Friday, August 21, 2015

බදුල්ලේ සමන්ත පරාදයි බං

ඡන්දය ඉවර වෙලා ටික දවසක් ගමටම වෙලා හිටියා. මිනිස්සු එක්ක කතාබහ කරමින්, ප්‍රථිඵලේ ගැන එකේක විග්‍රහ අසමින් හිටිය. මම බණ්ඩාරවෙල. බදුල්ල දිස්ත්‍රික්කේ.... අපේ පැත්තෙ නම් ඉතින් කතාබහ සමන්ත වද්‍යාරත්න පාර්ලිමේන්තු නොගිය එක ගැන තමයි.

යූඇන්පී ශ්‍රී ලංකා හැමෝම සමන්ත පරාද වීම ගැන දුක් වෙනවා. සමන්ත පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් කියලා... මට ඉතින් ඕව අහද්දී මතක් වෙනවා හොඳට. සමන්ත ඇතුලේ ඉන්න ඕන නං ඡන්දෙ දුන්නෙ නැත්තෙ ඇයිබං?

මතක තියාගන්න මහින්ද එළවන්න පුළුවන් වුණේ බදුල්ලේ මිනිස්සු නිසා. ඌව ඡන්දෙදී බදුල්ලෙන් තමා මහින්ද පරද්දන්න පුළුවන් කියන සංඥාව එන්නත් කළේ. ඒ සංඥාව නිසා තමයි තමන්ට වෙච්ච පෞද්ගලික කෙනෙහෙළිකම් නිසා අවුලෙන් හිටපු මෛත්‍රී එළියට බහින්න ඩීල් එක දැම්මේ.බදුල්ලේ ප්‍රථිපලේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන.


බදුල්ලෙන් ගියපාර යූඇන්පී දෙකක් සහ සන්ධානෙ හයක් යැව්වා. එ් අයගෙන් හතරක්ම පාර්ලිමේන්තුවේ පිංපඩි කාපු නිකං මිනිස්සු. චාමික හිටියෙ වැලිමඩ කඩේ. උදිත් එක්කෝ නාමල් එක්ක නැත්තන් බඩුවක් එක්ක රවුම් ගැහුවා. පුෂ්පකුමාරව 2010න් පස්සේ දැක්කෙත් මේ ඡන්දෙ ළංවෙලා. තේනුක ලැයිසන් මැරයෙක්. ඩිලාන් හොරාකාපුව අපේ පත්තරෙන්ම හෙළි කළා. ලකී සෙනෙවිරත්න මහින්දට දෙන්න ගියානෙ. ඔන්න ඔහොමයි බදුල්ලෙ නියෝජිතයෝ. 


ලංකාවෙ අනිත් හැම තැනම වගේ මෙතනත් ඉන්නේ ගොඩක් පීඩිත මිනිස්සු. විශේෂයෙන් අපේ වැලිමඩ පැත්තේ අල ගොවියෝ, මහියංගණේ පැත්තේ හේන් ගොවියෝ, වතු කම්කරුවෝ ඉන්නේ. උමාඔයේ අවුල. එළවළු මිළ, උගස් කළ රත්තරන්, අධික දරිද්‍රතාවය, වතු කම්කරුවාගේ දවසේ ආදායම වගේ ප්‍රශ්ණ අපේ පැත්තේ මිනිස්සුන්ට තියෙන්නේ. මේව ගැන දශමයක උනන්දුවක් නිමල්, හරීන් ඇතුළුව අපේ පැත්තෙ එක නියෝජිතයෙක්වත් දැක්වුවේ නැහැ. සමන්ත මේ පැත්තේ ගම්මානවල ඇවිදලා ඒ මිනිස්සු එක්ක කතා කරලා දිස්ත්‍රික්කය ගැන ලොකු අවබෝධයක් තියෙන කෙනෙක්. ඔහු තමයි බදුල්ලේ නියෝජිතයා. අනෙක් ජවිපෙ නායකයන් ගැන විවේචන තිබුණත් මම සමන්තට ගරු කරන්නේ ඒකයි.


කොහොම හරි අපේ අය සමන්තව යැව්වේ නැහැ. ඊට පස්සේ අපරාදේ සමන්ත නැත්තේ කියල කියනවා. ඔහු නොගියේ හේතු කිහිපයක් එක්ක. කතාබහෙන් මං තේරුම් ගත්ත ප්‍රධාන හේතු කිහිපයක්.

එකක් හරීන්ට අතිවිශාල ජනප්‍රියත්වයක් හිමිවීම. උවේ ඡන්දෙ තමයි මහින්දව එළවන්න දුන්නු රතු එළිය. ඒකෙ නියමුවා හරීන්. ඒකත් එක්ක මිනිස්සු හරීන්ව ගැළවුම්කාරයෙක් විදියට දැක්කා. මහින්ද පාලනයේ ප්‍රථිපල විදියට දරිද්‍රතාවයේ අන්තයට ගිය මිනිස්සු තමන්ව ගලවාගන්න හරීන්ට පුළුවන් කියල විශ්වාස කළා. 


අනෙක් පැත්තෙන් හරීන්ගේ කැම්පේන් එක. ඒක තනිකර ඔහුගේ ඒකාධිකරයක් තිබුණේ. නීති පවා කැඩුවා. බදුල්ල බලහත්කාරයෙන් සම්පූර්ණ කොළ කළා. දරුණුවට වියදම් කළා. ගායකයෝ සහ සංගීත කණ්ඩායම් බදුල්ලේ පදංචි කරවගෙන සංගීත කළා. යහපාලනේ කියන තරම් සුදු නෑ කියල හරීන්ගේ කැම්පේන් එක දැක්ක නං තේරුම් ගන්න තිබ්බා. ඒ කැම්පේන් එක්ක හැරෙන්න සමන්තට පුළුවන් වුණේ නැහැ.

අනික අපේ ගමේ දෙතුන් දෙනෙක් කිව්ව කතාවක්... ඇත්ත හරියටම දන්නේ නැහැ. ඒ සමන්තගේ කුලය ඡන්දදායකයෝ හොයල තිබ්බ එක. ඇත්ත හෝ බොරු ප්‍රචාරයක් හෝ මත සමන්ත අඩු කුලේ කියල ඡන්දේ නොදීපු අයත් ඉන්නවා. 

කොහොම හරි සමන්ත ගියේ නැහැ. බදුල්ලේ ප්‍රථිඵලේ අවධානය යොමු වෙන්න ඕන තවත් කෑල්ලක් තමයි ලක්ෂ්මන්ව ගෙදර යැවීම සහ තේනුකව තෝරාගැනීම. ඇත්තටම බදුල්ල සන්ධාන ලිස්ට් එකේ හොඳ තෝරාගැනීම් තිබ්බෙත් නැහැ. කෝමහරි අනූහතරෙදිත් යූඇන්පී දින්න මහියංගණේ තනි අලියා ශ්‍රීලංකා ලිස්ට් එකෙන් ගෙදර යැව්වා. ඒක අවස්ථාවාදී දේශපාලනයට හොඳ පාඩමක්. දෙවැනියට ආපු චාමර සම්පත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් නියෝජිතයෙක්. 

ඩිලාන්ගේ හාළිඇල සහ නිමල්ගේ බදුල්ල පරාදයි. ඒකත් අවධානය යොමු වෙන්න ඕන කාරණයක්.

විශේෂම කාරණේ මේකයි. ගියපාර එක දෙමළ නියෝජිතයෙක්වත් බදුල්ලෙන් ගියේ නැති පසුබිමකමේ පාර දෙමළ නියෝජිතයන් දෙන්නෙක් යැවීම.


වඩිවේල් සුරේෂ් සහ අරවින්ද කුමාර්. මේ දෙන්න හපුතලේ, පූනාගල, හාළිඇල බණ්ඩාරවෙල පැත්තේ වතු කම්කරු දෙමළ මිනිස්සු වෙනුවෙන් යමක් කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. විශේෂයෙන් දෙමළ මිනිස්සු හොඳ එකඟතාවයකින් තමන්ගේ මනාප තුන හරීන්ට, සුරේෂ්ට සහ අරවින්දට දීලා තිබුණු නිසා. දෙන්නෙක්ම යවාගන්න පුළුවන් වුනා. ඒක ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් හොඳ සංඥාවක්. තොණ්ඩමාන්ලගේ බලකොටු බිඳිල තියෙන මේ වෙලාවේ ඒ මිනිස්සුන්ව රවට්ටන්නේ නැතිව යමක් කළොත් හොඳයි.

21 comments:

  1. තරිඳු උඩුවරගෙදර මහ විද්යාලෙ ගිය මධුර උඩුවරගෙදරගෙ නෑදෑයෙක්ද?.....
    මම අවුරුදු ගානකින් මැතිවරණයක් දැකලා නෑ.... සමන්ත අයියගෙ පරාජය ගැන ඌවෙ අපි හැමෝම කණගාටු වෙන්න ඕනි. ඔයා කියන කුළ ප්‍රශ්ණෙත් ඇතමෙක්ට තියෙන්න ඇති මොකද අපේ පැතිවල මිනිස්සුන්ට ඕක ආභරණයක් නිසා. ඒත් ඔතන වැඩිපුරම බලපෑවෙ පක්ෂය. මගේ මතකෙ හැටියට අර ජවිපෙ සන්ධානෙ එක්ක ජන්දෙ ඉල්ලුව පාර සමන්ත අයියට මනාප 84000 ගනක් තිබුනා. ඒක ඒ පක්සෙ ඒ වතාවෙ එහෙන් ගත්තු වැඩිම මනාප ගානදත් කොහෙද.ඒත් මිනිස්සු නිල් කොළ වලින් රතුවට හැරෙන්න තිබුන අකමැත්තය් එයාට මනාප අඩුවෙන්න මූලික හේතුව.
    හොදම උදාහරනෙ අපේ ගම. අපේ අප්පච්චි ඇතුළු බොහෝ දෙනෙක් " සමන්ත පුතා" ගැන කතා කරන්නෙ ආඩම්බරයෙන්. හැබැයි ජන්දෙ නිල් හෝ කොල

    ReplyDelete
    Replies
    1. ලංකාවටම ඉන්නේ උඩුවරගෙදරල කිහිප දෙනයි... මධූර මගේ මහප්පගේ පුතා... තාත්තගේ පැත්තේ ඥාති සම්බන්ධතා ඒතරම් ශක්තිමත් නැති නිසා මම මධුර අයියව මුණගැහිලා නම් නැහැ.

      Delete
    2. අැත්ත... මට තවත් විග්‍රහයක් තියෙනව ඒ සිද්ධිය ගැන.... ජවිපෙ ඡන්ද පදනම සම්බන්ධව

      Delete
  2. අනිත් ඒවා නොදන්නව වුනත් කුලේ කතාවනම් ඇත්ත වෙන්න පුළුවන්. මොන තාක්ෂණික යුගය වුනත් අපේ රටේ බහුතරයක් තාම ඉන්නේ කුලමල ඔළුවේ තියාගෙන. මහනුවරින් ඇයි කවදාවත් අඩුුකුලේ එකෙකුට ඡන්ද නැත්තේ? මොන මිනීමැරුවත් රත්වත්තලා ඇයි දිනන්නේ. මොනවත් නෙවෙයි කුලය

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... තාමත් කුලවාදය දරුණු විදියට අපේ මිනිස්සුන්ගේ ඔළුවල තියෙනවා

      Delete
  3. උඩුවා.. මචං මම බදුල්ලේ.. සමන්ත ගැන හොඳටම දන්නවා.. සමන්ත ලොක්කා පාර්ලිමේන්තුවට නොගිය එකට මටත් පොඩි වගකීමක් තියෙනව වගේ කියල හිතෙනවා.. මොකද හන්දටම ෂුවර් චන්ද දෙකක් මගෙයි වයිෆ් ගෙයි මේ පාර ආපු පොඩි ගමන් අපහසුතාවයක් නිසා දැම්මේ නෑ..
    කුල මල කතා මම දන්නේ නෑ මචං මගේ ලංගම හිතවතෙක් වෙච්චි සමන්ත හා එයාගේ පවුල ගැන මං දන්නේ සමන්ත කියන්නේ රිදීමාලියද්ද කියන පට්ට දුෂ්කර ගමේ හොඳ ගොවියෙක්ගේ පුතෙක් කියල විතරයි. මිනිස්සුන්ගේ සල්ලි ගසා කාපු නැති, බොරු සෝබන නැති පොළොවේ පය ගහල ඉන්න ඒ වගේ එකෙකුට දීපු චන්දයක් කවදාවත් අපතේ යන්නේ නෑ..
    එකතකින් තේනුක වගේ පුබ්බඩයෙකුට චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු තණකොළ කන මිනිස්සුන්ව නියෝජනය කරන්න සමන්තලා හොඳ වැඩියි බං..

    ReplyDelete
    Replies
    1. හන්දටම නෙවෙයි හොඳටම / ලංගම නෙවෙයි ළඟම විය යුතුයි.

      Delete
    2. .............................. කල්‍යාණ මිත්‍ර ලියන කලාහිත බ්ලොගයේ පල වී තිබී මා කියවූ අපූරු ලිපියක් නිසා, මට මේ මස දාහත්වෙනි දා ඡන්දය පාවිච්චි කීරීමට ලංකාවට යන්නට ඇති ඉඩකඩ ගැන මම සිතින් සොයා බැලුවෙමි............ ..........

      ...................දැන් මට ඇති ප්‍රශ්නය නම් ඒ සඳහා දින දෙකක් ගමනට වැයකොට, අඩු වශයෙන් සතියක් පමණ නිවාඩු අහිමි කරගෙන, ඩොලර් දෙදහසක් පමණ වැය කරගෙන ලංකාවට එනවාද නැති නම් විකල්ප ක්‍රියා මාර්ගයක් ගන්නවා ද යන්නයි. ලංකාවට ආවත් මගේ ඡන්දය තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නිසා සමන්ත විද්‍යාරත්නට මනාපය පල කරන්නට මට ඉඩ නැත.

      එසේ නම් ඒ වෙනුවට මා කළ යුත්තේ කල්‍යාණ මිත්‍ර බ්ලොග්කරුවාට බදුල්ලට ගොස් සමන්ත විද්‍යාරත්නට ඡන්දය පාවිච්චි කරන්නට උනන්දු කිරීමයි.......... .......................
      http://rasikalogy.blogspot.com/2015/08/have-you-got-first-world-problem.html



      Delete
    3. ජවිපෙ නැතත් මම සමන්තව ප්‍රිය කරනවා

      Delete
    4. මේක තනිකරම කමියගේ වැරැද්ද.

      Delete
    5. සමන්ත මගෙත් ලඟම මිතුරෙක්. අපි නිතර කතා බහ කරනවා.. මම ඇත්තටම විශ්වාස කරන්නේ සමන්ත විතරයි ඌව පළාතට ආදරයක් ඇති එකම දේශපාලන ක්‍රියාකාරිකයා දැනට ඉන්න...

      Delete
  4. සමන්තගේ කතා ආකර්ෂණීය වෙන්න පුළුවන්.ඒත් මිනිස්සු දන්න යකාට කැමතියි නොදන්න දෙවියන්ට වඩා.තමන්ගේ පවුලේ කෙනෙක් 71 හරි 87-89 භීෂණයෙන් විපතට පත් වෙලා තියෙනවා නම් ඒ අය ජවිපෙට ඡන්දේ දෙන්න කැමති වෙන්නේ නෑ. ජවිපේ මේ පාරත් සම්ප්‍රදායික ප්‍රචාරක ක්‍රමවල නියුතුවෙලා හිටියේ.ඒවා තවදුරත් වලංගුද කියන ප්‍රශ්නේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ජනතාව ගේ තීරණය දීල තියනවා, ඉතින් සමන්තටත් තීරණයක් ගන්න වෙලාව හරි වගෙයි.

      Delete
    2. ඇණයා කියන දේ මට තේරෙන්නේ නෑ ඒත් සමන්ත හැමදාම ඉන්නේ එකම තීරණයක.. මේ සමන්ත මට දුන්නු ඉන්ටවීව් එකකින් කොටසක්........

      //අපව ගෙදර තියලා යැව්වේ කාවද, ඒ අය කළේ මොනවද කියලා ජනතාව හොයලා බලන්න ඕනෑ. බදුල්ලේ නියෝජිතයන් අටක් යැව්වා. ඉන් හතරදෙනෙක් පහුගිය අවුරුදු පහට පාර්ලිමේන්තුවේ එක යෝජනාවක්වත් දාලා නැහැ. දැන් තේනුක විදානගමගේ හිරේ. චාමික බුද්ධදාස හිටියේ වැලිමඩ කඬේ. උදිත ලොකුබණ්ඩාර, දොස්තර පුෂ්පකුමාරලා කළේ මොනවද? යූඇන්පියෙන් යවපු ලක්ෂ්මන් සෙනෙවිරත්න නැවතුණේ මහින්ද ළඟ. පිරිසිදු දෑත් කියලා පෝස්ටර් ගහපු ඩිලාන් පෙරේරා කරපු හොරකම් පහුගිය සතියේ රාවයෙන්ම හෙළි කළා.
      උමා ඔය ව්‍යාපෘතියෙන් බණ්ඩාරවෙල, මකුල්ඇල්ල, දික්කපිටිය, වැලිමඩ, ඌව පරණගම පුහුල්පොල විනාස වෙද්දී ඒ පැත්ත පළාතක ඔය නියෝජිතයෝ ගියාද? අවුරුදු දහස් ගාණක් ස්වභාවධර්මයා කියූ පාරේ ගිය උමා ඔය මහින්ද රාජපක්ෂ කියන පාරේ හම්බන්තොටට යවනකොට පාර්ලි මේන්තුවේ යෝජනාවක් දාන්න ඔය නියෝජිතයෝ අටෙන් එකක්වත් හිටියේ නැහැ. අපේ පවුල් හත්අටදාහක් අසරණ වෙලා. නායක නිමල් හරි නායක හරීන් හරි ආවේ නැහැනේ බණ්ඩාරවෙල බලන්න. අන්තිමට මිනිස්සු ටිකක් එකතු කරගෙන ගිහින් අනුර කුමාර සහෝදරයාව මුණගැහිලා තමයි උමාඔය සම්බන්ධයෙන් යෝජනාවක් දැම්මේ. මාව යැව්වත් නැතත් මම ගෙදර ඉන්නේ නැහැ. මහපාරේ හරි ජනතාව වෙනුවෙන් වැඩ කරනවා.
      අපි බුද්ධිමත් පුරවැසියන් ගෙන් ඉල්ලන්නේ ජනවාරියේ පැරදුණේ මහින්ද පමණයි. ඒ ක‍්‍රමයත් මහින්ද කෙනෙකුත් නැවත පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. මහින්දගේ මජර හෙංචයියන්ව පරාද කරන්න. මේ මජර ක‍්‍රමය ඉවර කරන කටයුත්ත සම්පූර්ණ කරන්නට අපේ පක්ෂයේ නියෝජිතයන්ව හැකි තරම් ඔබේ කරගැට මතුවෙච්ච අත්වල කතිරයෙන් පත් කරන්න. ජනවාරි අටවැනිදා ආරම්භ කළ ගමනේ ඊළඟ පියවර තියන්න කියලා.//
      - See more at: http://ravaya.lk/?p=7910#sthash.h0DP5EQA.dpuf

      Delete
  5. සමන්ත කියපු කතාව හරි...

    ජවිපෙට ප්‍රේක්ෂකයින් හිටියට ඡන්ද දායකයින් නැහැ...

    ReplyDelete
  6. ජාතික තලයේ දේශපාලකයෙක් විදියේ පිළිගැනීමක් තියෙන සමන්ත බදුල්ලේම හිරවෙලා ඉන්න එක මම ඒතරම් පිළිගන්නේ නැහැ.ජවිපෙ ජන්ද අඩුවෙන්න මහින්දගේ ආගමනයත් බලපෑම් කෙරුවා වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කොටි නැඟිටිනවෝ මහින්ද පාවිච්චි කළා....
      මහින්ද නැඟිටිනවෝ එජාපය පාවිච්චි කළා

      Delete
  7. ඇත්තටම ජවිපේ මීටින් වලට ආව මිනිස්සු ඡන්දේ දුන්නනම් ප්‍රධාන විපක්ෂය වෙන්නේ ජවිපේ.. ඒත් අවාසනාවකට වගේ ඒක එහෙම නොවී වෙනදා සිද්ද වෙන දේම සිද්ද වුනා..

    ReplyDelete
  8. ඒක දකින විදියේ වැරුද්දක් බන්!
    හැමෝටම පෙන්නේ එකම විදියට නෙවෙයි නේ?

    ReplyDelete