Tuesday, June 26, 2018

ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ අපූරු ජීවිතයෙන් බිඳක්

නූතන නවකථා කලාවේ කතාන්දර රජු ලෙස සැලකෙන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා. විසිවැනි සියවසේ මුල්ම යුගයේදී සිංහල නවකථාව වර්ණයෙන් පුරවාලන්නට ඔහු සමත්වෙනවා. 1890 උපත ලබා 1957 දී මෙලොවින් සමුගත් වැල්ලවත්තආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා හෙවත් ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා විසින් රචනා කළ විජයබා කොල්ලය, සිරියාලතා, හිඟන කොල්ලා, කැලෑ හඳ, හඳපාන, දෛවයෝගය, සුනේත්‍රා ඇතුළු නවකථා කෘති ගොන්නක් වගේම කෙටිකතා එකතු රැසක් සිංහල සාහිත්‍යයට අපූරුවට පාර පෙන්වන්නට සමත් වුණා. සිල්වා ශූරීන්ගේ සංස්කෘත මිශ්‍ර භාෂා ශෛලියද අපූරු ලෙස පාඨකයාව ග්‍රහණය කරගන්නට සමත් වූ බව විචාරකයන් ලියනවා.






ඩබ්ලිව්. ඒ. සිල්වාගේ සමීපතම පාඨකයෙක් මෙන්ම සමීප මිත්‍රයෙක්ද වූ කේ.එච්.ඒ. ධර්මසේකර විසින් කථා රජ කතාව නමින් 1963 පමණ කාලයේදි ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ ජීවිත කතාව රචනා කළා. මේ කෘතියද එක් විදියකට ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ නවකථාවක් මෙන්ම අපූරු සිදුවීම්වලින් ගහණ කතාවක් රැගත් කෘතියක්.

ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා උපත ලබා ඇත්තේ වැල්ලවත්තේ බව එම කෘතියේ සඳහන් වෙනවා. වැල්ලවත්තේ යැයි කියද්දී අප සිහියට නඟාගත යුත්තේ වර්තමාන වැල්ලවත්ත නොවෙයි. 1900 පමණ කාලයේදී වැල්ලවත්ත කියන්නේ සෑහෙන තරම් පිටිසර ගම්මානයක්. මේ සටහනෙන් අපි කතාකරන්නේ කතා රජ කතාව කෘතියේ එන අපූරු සිදුවීම් කිහිපයක් ගැන.

සිරියාලතා

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ලියූ පළවැනි නවකථාව වන්නේ සිරියාලතා නම් කෘතිය. මේ කෘතිය එවක තිබුණු අනෙක් නවකථා බොහොමයකින් වෙනස් වුණා. එක් අතකින් එකල තිබුනු නවකථා බොහොමයක් ආදර්ශ කථා, බණ කතා රැගත් කෘති වුණා. එහෙත් පැහැදිළිවම ඉංග්‍රීසි සාහිත්‍යයේ ආභාෂය ලබා ඩබ්ලිව්.ඒ. සිල්වා රසවත් කතාවක් කියණු පිණිස සිරියාලතා නවකථාව ලිව්වා. ඔහු ඉතාම තරුණ කාලයේ පටන්ගත් මේ කෘතිය පියාගේ වියෝව වැනි ඇතැම් හේතු නිසා මන්දගාමී වූ බව ‘කතා රජ කතාවේ’ කියනවා. කොහොම වුණත් කෘතිය අවසාන කරන ඩබ්ලිව්. එ්. සිල්වා මහතා කෘතිය ගැන එක්තරා හිමිනමකට කියනවා. එ් හිමිනම සිල්වා මහතාගේ නිවසට පැමිණ කෘතිය ඉල්ලාගෙන යන්නේ එය කියවා ලබාදෙන බව කියමින්.



මේ හිමිනම පන්සලට රැගෙන යන කෘතිය පන්සලට පැමිණෙන පුද්ගලයන්ට පෙන්වමින් එය තමන්ගේ කෘතියක් ලෙස හඟවන්නට පටන්ගන්නවා. කතා රජ කතාවේ කියැවෙන ආකාරයට බොහෝවිට මේ කෘතිය පෙන්වා ඇත්තේ කාන්තාවන්ට.

කෙසේ හෝ මේ බව නොදන්නා ඩබ්ලිව්. ඒ. සිල්වා පොත ඉල්ලාගෙන මුද්‍රණය කර තියෙනවා. ඉන්පසුව ඇතැම් අය කියන්නට පටන්ගෙන ඇත්තේ මේ කෘතිය සිල්වාගේ නොව, අහවල් හිමිනමගේ බව.

‘ඔයා කොහේද ඔහොම වැඩක් කරන්නේ? ඒකට ඔයා මොන පිරිවෙනකද ඉගෙන ගත්තේ? ඔය අර හාමුදුරුවන්ගේ වැඩක්. ඒ දවස්වල ඕක මට ඒ හාමුදුරුවෝ පන්සලේදි කියෙව්වා.’ ඇතැමෙක් කියා තියෙනවා. කෘතියේ සැබෑ හිමිකරු ගැන වාදය වර්ධනය වී ගුටිබැට හුවමාරුවක්ද ඇතිවූ බව කියනවා. බොහෝ දෙනෙක් තරුණ ඩබ්ලිව්.ඒ. සිල්වාගේ පෙනුම බලා මෙවැන්නක් මේ කොලුගැටයාට කළ නොහැකි බව අනුමාන කළ බවද කියනවා.

තවත් වතාවක එකල ප්‍රකට වී සිටි එක්තරා පඬිවරයෙක් ඉදිරියේ ‘සිරියාලතා’ කියවා අදහස් විමසන්නට ඩබ්ලිව්.ඒ. සිල්වා තරුණයා උත්සාහ කොට තියෙනවා. ‘දුව ඇග්නස්’ යැයි කියමින් කෘතිය කියවන්නට පටන්ගනිද්දි පඬිවරයා විසින් කතාව නවත්වා ‘මුල ඉඳන් කියවන්න’යැයි අණ කළ බව කියනවා. ‘මේ කියවන්නේ මුල ඉඳන් තමයි’ යනුවෙන් සිල්වා මහතා කියද්දී, නවකතාවක් ලියන්න කලින් නවකතාවක් පටන්ගන්නා හැටි ඉගෙනගන්නැයි කියමින් ඒ පඬිවරයා සිල්වාට බැණවැදුණු බව කියනවා.

මෙවැනි සමකාලීන සමාජයේ ‘හොඳ’ යැයි පිළිගැනීමට අනුව ‘සිරියාලතා’ හොඳ කෘතියක් නොවුණත් තමන්ගේම වියදමින් කෘතිය පළකරන්නට තරම් එවකට 18 හැවිරිදි තරුණයෙක් වූ ඩබ්ලිව්.ඒ. සිල්වා තරුණයා නිර්භීත වූ බව කියනවා. මෙසේ මුද්‍රණය කළ පොත රැගෙන පෝස්ටරයක්ද මුද්‍රණය කරවාගත් මේ තරුණ ලේඛකයා කොළඹ ජේ.ඩී. ප්‍රනාන්දු නම් පොත් වෙළඳසැලකට ගිහින් තියෙනවා.

ඒ වෙළඳසැලේ කළමණාකරු සහ තරුණ ලේඛකයා අතර මෙබඳු සංවාදයක් ඇතිවෙලා.

‘මොකක්ද මේ පොත?’

‘සිරියාලතා’

‘මොකක්ද සිරියාලතා කියන්නේ?’

‘මේක නවකථාවක්’

‘කවුද කර්තෘ?’

‘මම’

‘එහෙනම් හොඳට ඇති, ඕවා විකුණන්න බැහැ මහත්තයා. සිරිසේන මහත්තයාගේ නවකතා විතරයි විකිණෙන්නේ.’

‘විකුණුනොත් කොමිස් අඩුකරගෙන මුදල් දෙන්න. නොවිකුණුනොත් මම පොත් ආපසු ගෙනියන්නං.’

‘බෑ! බෑ! කීයටවත් අපි ඕවා බාරගන්න සතුටු නැහැ. මෙහෙ තියන්න එපා.’ කළමණාකරු එසේ අවසාන පිළිතුර ලබා දී තියෙනවා.

අන්තිමේදී මේ කෘතිය කේ.ඩී. පෙරේරා නම් වෙළඳසැලට ලබාදෙනවා. එතැනිනුත් මේ පොත විකිණෙන්නේ නැතිවේවියැයි උපදෙස් ලැබී ඇතත් විකිණුනොත් මුදල් ලබාදෙන පොරොන්දුව පිට පොත් බාරගෙන තියෙනවා. කොහොම වුණත් පොත් වෙළඳසැල් පිළිබඳ බලාපොරොත්තු නොතැබූ මේ ධෛර්යවන්ත තරුණ ලේඛකයා කොළඹ නොරිස් වීදියේ සහ මහ වීදියේ සුරුට්ටු කඩ සියල්ලෙහිම පොත් දහය බැගින් තබා පොස්ටර් එල්ලා තියෙනවා. සති පහක් යනතුරු පොත් විකිණී නැහැ. එහෙත් සති කිහිපයකින් පසුව පුවත්පත් කිහිපයකම පොතට සුභදායක ප්‍රතිචාර ලැබෙද්දී පොත විකිණෙන්නට පටන්ගත් බව කියනවා.

පෙම්වතිය

තරුණ කාලයේදී ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා පෙම් කළ අසල්වැසි තරුණයක් ගැන අපූරු කතාවක්ද කතා රජ කතාව කෘතියේ එනවා. මාසේ පෝය දිනෙක, මුළු ගමම පන්සල් ගිය මොහොතක ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා සහ පෙම්වතිය පන්සල් නොගොස් රහසින් තරුණියගේ නිවසේදී හමුවෙන්නට සැලසුම් කරනවා. මේ තරුණියට ඇගේ නිවසෙන් විවාහයක් කතා කළ නිසා, මේ දෙදෙනාගේ ආදර කතාවේ ඊළඟට කුමක් කරන්නේදැයි කතාබහ කරගැනීමටයි මේ දෙපළ මෙසේ හමුවී ඇත්තේ.

නිවසේදී රාත්‍රියේ හමුවෙන මේ දෙදෙනා බොහෝ දේ කතාකරන බව කියනවා. සිල්වා තරුණයාගේ මව මේ දෙදෙනාගේ ආදරය ගැන දැනගෙන ඇති බවත්, තරමක් ආර්ථික වශයෙන් සිල්වා පවුලට වඩා දිළිඳු පෙම්වතියව ඈතින් තබාගන්නා ලෙස තදින් උපදෙස් දී ඇති බවත් ඇය ඔහුට කියනවා. ඔහු කෙසේ හෝ දෙදෙනා එක්විය යුතු බව කියනවා. දෙදෙනාගේ අනාගතය ගැන, කළහැකි දේවල් ගැන මෙන්ම ඔහු පැළඳගෙන ආ බුරුම සෙරෙප්පු කුට්ටම ගැන පවා දෙදෙනා කතාබහේ සිටිනවා.










මේ නිවසේ ඇත්තේ ඉදිරිපස දොරක් පමණක්ලු. මේ දෙදෙනා කතාබහ කරන අතරේ එක්වරම දොරට තට්ටු කරන්නේ තරුණියගේ මව. ඇය පිංකම අහවර වෙන්නට පෙර ගෙදර ඇවිත්.

පෙම්වතිය ඔහුට අතින් සන් කොට යාබද අඳුරු කාමරයේ සැඟවෙන්නැයි කීවාලු. කලබලයේ එක සෙරෙප්පුවක් පමණක් දාගන්නා ඔහු අනෙක් සෙරෙප්පුවට පයින් ගසාගෙන කාමරයේ හැංගුනාලු.

නිවසේ දොර අරින් පෙම්වතිය දකින්නේ තමන්ගේ මව සමඟ සිල්වා මහතාගේ මවත්, තමන්ගේ මව විසින් තමන්ට විවාහ කරවා දෙන්නට සූදානම් වන මනමාලයාත් පැමිණ ඇති බව. අසනීප වේශයක් මවාගෙන පන්සල් නොගොස් ගෙදර නතර වී ඇති ඇය අසනීපය තවමත් අඩු නැති බව පෙන්වමින් නැවත ඇගේ කාමරයට ඇවිත්.

‘මට නිදිමතයි. මට අමාරුයි.’ තරුණිය කියද්දී තරුණියගේ මව එහාපැත්තේ අඳුරු කාමරයට යන්නට සූදානම් වී ඇත්තේ තරුණියට ඒ කාමරයේ නිදාගන්නැයි කියමින්. එහෙත් තරුණිය සහ සිල්වාගේ මව ඇය ඒ කාමරයට යෑම නවත්වා තියෙනවා.

මේ සිදුවීමෙන් පසුව මනමාලයාවත්, තරුණියගේ මවත් උණුවතුර ගෙනෙන්නැයි සිල්වාගේ මව විසින් කුස්සියට පිටත් කරවනවා. තරුණිය දෙසට ළංවෙන සිල්වාගේ මව රහසින් ඈට ‘දෙකෙන් එකයි’ යනුවෙන් කියනවා. තරුණියටද එය කී විගස තේරුම් ගොස් ඇත්තේ මේ කියන්නේ කාමරයේ ඉතිරිවී ඇති සෙරෙප්පුව ගැන කියා. අපහසුතාවයට පත්වූ ඇය කියා ඇත්තේ ‘කලබලයට මගේ එකක් දාගෙන ගොසින්. ඒ නිසයි දෙකෙන් එක කියා.’ එසේ කියමින් තරුණිය සිනාවුණත් ඔහුගේ මව නම් සිනාසී නැහැ. ‘නම්බුව රැකගෙන දැන්වත් පිටවෙනවා හොඳයි.’ කේන්තිය මුසුවූ ගැඹුරු හඬින් ඇය මඳක් හඩනඟා එසේ කීවාලු. ඒ කීමත් සමඟ අප කථානායකයා අඳුරු කාමරයෙන් එළියට පැන අනෙක් පිම්මෙන් නිවසෙන් එළියට පැන කළුවරේ සැඟව ගිය බව කියනවා. ඔහුගේ ඒ ප්‍රේමය මේ සිදුවීමෙන් නැවතුණු බව කියනවා. පසු කාලයක සිල්වා මහතා ලියූ ‘දෙකින් එක’ නම් කෙටිකතාවට ආභාෂය ලැබෙන්නේ මේ සැබෑ සිදුවීම ඇසුරෙනුයි.

හිඟන කොල්ලා

ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ලියූ ‘හිඟන කොල්ලා’ නවකතාව අපූරු කතා රසයක් මවන්නට සමත් නවකතාවක්. දිනක් රාත්‍රියක මන්නාරම් යනු පිණිස දුම්රියේ පළමු පන්තියේ නිදන මැදිරියකට සිල්වා මහතා ගොඩවෙනවා. නිදන මැදිරියකදී කුඩා කාමරයක් තව කෙනෙකු හා බෙදාහදාගන්නට වෙනවා. සිල්වා මහතාට කාමරය බෙදාහදාගන්නට සිදුවී ඇත්තේ මුදලාලි කෙනෙකු සමඟයි. රාත්‍රියේ දුම්රිය මැදිරියෙහි විදුලි බල්බය නොනිවා පොතක් කියවමින් මේ මුදලාලි ගමන් කරනවාලු.


හිඟන කොල්ලාචිත්‍රපටියෙන් ( http://www.sarasaviya.lk )

සිල්වා මහතා පළවැනි වතාවේ බල්බය නිවන්නැයි ඉල්ලුවාලු. ‘හොඳ පොතක් හම්බවුණා. තව ටිකයි තියෙන්නේ. ඉක්මනින් කියවලා නිවන්නම්’ යැයි කී මුදලාලි දිගටම පොත කියෙව්වාලු. රෑ මැදියමටත් ළංවෙද්දී ඉවසිය නොහැකි තැන විදුලි බල්බය නිවන්නැයි සිල්වා මහතා තදින් මුදලාලිට බැන්නාලු.

‘මහත්තයා, මේක වීසිකර දාන්න පොතක් නෙවෙයි. හොඳ සිංහල පොතක්. මහත්තයාලා ඉංග්‍රීසි කට ගාගෙන කලිසම් දමාගත්තාට මේවායේ අගේ දන්නේ නැහැ.’ යැයි කියමින් මුදලාලිද එවර සිල්වා මහතාට බණින්නට පටන්ගත්තාලු.

‘මොකක්ද ඔය තරම් වැදගත් පොත? බණ පොතක්ද?’ එවර සිල්වා මහතා මුදලාලිගෙන් එසේ ඇහුවේ කේන්තිය මුසු හඬෙන්මලු. ‘හිඟන කොල්ලා. මේක සිංහල නවකථාවක්’ කියා තදින් සිල්වාට කී මුදලාලි ‘නමවත් දන්නවාද දන්නෑ’ කියා තමන්ටම කියාගත්තාලු.

ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා පසුකාලයක ලියන විදියට ඒ මුදලාලි පසුදින එළිවෙන තෙක්ම පොත කියැවීම පසෙක තබා මේ පොතක අගය නොදත් කලිසංකාරයාට බැණවැදුණාලු. එලෙස බැණ වදිද්දී ‘මේ පොත ලීවේ මම’ කියා කීවොත් එයද විහිළුවක් ලෙස මුදලාලි සලකනු ඇති නිසා සැබෑව කියන්නටත් බැරිවුණාලු. එහෙත් තමන්ගේ ජීවිතයේ අපූරුම අත්දැකීමක් ලෙස මේ සිදුවීම ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා මතක තබාගත්තාලු.

මෙවන් තවත් රසකතා බොහොමයක් කතා රජ කතාව කෘතියෙහි එනවා. අතිවිශිෂ්ඨ ලේඛකයෙකුගේ සැබෑ ජීවිතය ගැන අපූරු සිදුවීම් මෙන්ම ආදර්ශවත් සිදුවීම් රැසක් මේ කෘතියේ තියෙනවා. ඒ සියල්ල දැනගන්නට නම් මේ අපූරු කෘතිය සොයාගෙන කියැවිය යුතුමයි.

14 comments:

  1. ගොඩගේ එකේ ඇති මං හිතන්නේ

    ReplyDelete
  2. ඇම් ඩී ගුණසේන සමාගමේ ඕනෑම පොතක් ගෙන්වා දීමේ සේවාවක් ඇත. මේ අංකය අමතන්න.
    0774447227

    ReplyDelete
  3. ඒක අපූරු පොතක් වාගෙයි

    ReplyDelete
  4. හොල්මනක් ගැන ලස්සන කතාවකුත් තියෙනවා...

    ReplyDelete
  5. මම හොය හොයා හිටපු විස්තරයක්... ස්තති මේ සටහනට... පොත හොයාගන්න ඕනේ..

    ReplyDelete
  6. වැදගත් රසවත් සටහනක්.

    ReplyDelete
  7. කතා රජ කතාව පොත ඔබ ළඟ තිබෙනවානම් මා හට කෙටි පණිවිඩයක් තබන්න. බෙහෙවින්ම පින් ��

    ReplyDelete
  8. මට ඔබව ඇමතිය හැකි ආකාරයක් දන්වන්න.
    සුගති ධර්මසේකර

    ReplyDelete