Thursday, March 31, 2016

වින්ඩීස් චැම්පියන් ඩාන්ස් එකයි සිංදුවයි

ලෝකෙ ඕනම ක්‍රීඩාවක ඉන්න පුළුවන් යුනික්ම ටීම් එකක් තමයි වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් ටීම් එක... හකා දාන බ්ලැක් කැප්ස් රග්බි ටීම් එකත් ඒ වගේ යුනික් ටීම් එකක්නෙ... ඒ වගේ කන්ඩායම් වල ඇටිටියුඩ් ඒ ක්‍රීඩාවම ලස්සන කරනව...  වෙස්ට් ඉන්ඩීස්ල මේ පාර වර්ල්ඩ් කප් එකේ දැම්මෙ චැම්පියන් ඩාන්ස් එක. ඇෆ්ගනිස්ථාන්ට පරාද වුණාම මූණවල් එල්ලගන්නෙ නැතිව ඇෆ්ගනිස්තාන් කොල්ලො එක්කලත් චැම්පියන් ඩාන්ස් එකක් දාල ෆොටෝ එකකට පෙනී ඉන්න වෙස්ට් ඉන්ඩීස්ල ප්‍රමාද වුණේ නෑ..



යාපනේ රෝසමල් මිස බෝම්බ කොහෙද?

මං ෆෝන් එකෙන් ලිරික් බලාගෙන මරියාන් එකේ ටැමිල් සිංදුවක් කිව්ව... මට වරදිනකොට කජීපන්(ශක්ති) කාරයා හදනවා... විනෝජිත් සද්ද නෑ.. හොඳට බොනවා... රමේෂ්(වෙබ්) අහිංසකය.. (මයෙහිතේ උගෙ හිත අපෙ හිටපු කෙල්ලෙක්ට ගියා.. දැං ඌ එහෙ කෙල්ලෙක්ව බැඳල හොඳේ... වෙඩින් එකටත් අපි ගියා.. )

විනෝජිත් හොඳ කොල්ල.. ඌ තමයි යාපනය මාධ්‍ය සංගමේ සභාපති... මගෙ හොඳම යාළුවා මයුරන්(ඩෑන්).. යකෝ උට සිංහල බෑ මට දෙමළ බෑ අපි දෙන්නටම ඉංග්‍රීසි බෑ.. ඒත් උෟ මගේ හොඳම යාළුවෙක්... උං මට කතාකළේ ධනුෂ් කියලා... මං ධනුෂ් වගේ නිසා නෙවෙයි මංම කිව්ව මට ධනුෂ් කියපං කියල. ඒක මගෙ සිඟිති ආතල් එකක්... 

Wednesday, March 30, 2016

පාලකයන්ගේ නීතිය හා ඉන්දීය සිනමා සම්මාන උළෙලේ බලාපොරොත්තු කඩවීමක්

දැවැන්තයා
මේ පාර ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල අවසන් වුණේ සම්මාන උළෙලවල් වල සාමාන්‍යෙයන් සිදුවෙනවාක් මෙන් එක් එක්කෙනා හිතපු ඇතැම් දේවල් කඩ කරමින්... සමහර දේවල් සාර්ථක කරමින්...

පළවෙනිම දේ මං හිතුවේ මේ පාර හොඳම චිත්‍රපටියට වෙට්ට්‍රිමාරන්ගේ ජීනියස් වැඩේ විසරනෛ ෆිල්ම් එකට හොඳම චිත්‍රපටිය ලැබෙයි කියලා.. ඒත් ඒක වෙනුවෙන මෙවර හොඳම චිත්‍රපටිය වුණේ වාණිජ වශයෙන් අතිසාර්ථක වුණ අනිත් ජීනියස් වැඩේ බහුබාලි චිත්‍රපටියයි.. විසරනෛ ඒකට වඩා මට නම් හොඳයි.. ඒක් ජජ් බෝඩ් එකේ ඉන්නෙ මං නෙවෙයිනෙ... ආහ්.. මේ සම්මාන උළෙලේදී බන්සාලි උන්දැල එහෙම නවකයන්ට සම්මාන දෙන්න කියලා තරඟයෙන් අයින් වුණේ නැහැ හොඳේ..

ඒ නිසානෙ ඉලයරාජා උන්නැහේ, බන්සාලි උන්නැහේ වගේම තමන් ඉන්දියාවේ බිහිවුණ ගෞරවණීයම නළුවා බව පෙන්නන්න වගේ හතරවෙනි වතාවටත් හොඳම නළුවා සම්මානය අමිතාබ් උන්නැහේ ඉස්සුවේ...

ඒ අනුව කමල් හසන්ට වඩා අඩියක් ඉස්සරහට අමිතාබ් එනවා... මේ පාර කමල් හසන්ට වුණත් හොඳම නළුවා වෙන්න ඉඩ තිබුණා.. ඔහුගේ විශිෂ්ඨ රංගනයක් ගිය අවුරුද්දේ දකින්න ලැබුණා.. ඔය කතා ගැන මං ලිව්වනේ... 

Friday, March 25, 2016

සංගයියෙ තිරිමාන්න අවුල්ද අවුල් කරලද?

දැන් මම රිටයර්ඩ් ක්‍රිකට් ෆෑන් කෙනෙක් වෙලා!

ඉස්කෝලේ කාලේ මම වෘත්තිමය ක්‍රිකට් රසිකයෙක් විදියට හිටියා.... දැන් දැන් මැච් බලන්න වෙලාවක් නැහැ. වර්ල්ඩ් කප් එක පටන්ගන්නකොට මට හිතුණේ මේකේ එක මැච් එකක්වත් බලන්න වෙන එකක් නැහැ කියාල...

ඒත් විශ්‍රාමික වෘත්තිකයෙක්ට පරණ වෘත්තිය අභිමුඛ වෙනවා ඉඳහිට... රිටයර්ඩ් ටීචර්ලට උගන්වන්න වෙනවා වගේ!

සති එකහමාරකට විතර කලින් ඉන්ග්ලන්ඩ් සවුක් අෆ්‍රිකා මැච් එක වෙලාවේ අපි සලාක එකේ සෙට් වුණා.. නූතන, නින්දිත, උපුල්, බිඟුන්, තරිඳු, සුධාරක, සංඛ, වරා සහ බියර් ඇතුළු සෙට් එකක්! සෙට් වුණේ ගොඩක් දේවල් කතා කරන්න. ගොඩක්ම දේශපාලනේ ගැන. අපට එක්වෙලා කරන්න පුළුවන් වැඩ කිහිපයක් ගැන කතා කරන්න ඕන වුණා. ඒත් මැච් එක උණුසුම් වෙද්දී දේශපාලනේ කැලේ.... සලාක එකේ හිටපු අනිත් එවුන් එක්ක අපිත් සෙට් වෙලා මැච් එකට චියර් කරන්න ගත්තා. මේ දේශපාලනික සත්වයො ටික තමයි සද්දෙන්ම මැච් එක වින්දේ...

Thursday, March 24, 2016

හාමුදුරු ගොල්ලගෙ දේශපාලන ආතල්! 

ලංකාවේ හාමුදුරු ගොල්ල දේශපාලනේ එක්ක තදින් ගැටගැහිලා ඉන්නේ. කළු සල්ලි ඒ අයට බොහොම ළඟයි. ඒ බව පෙන්නන්න සිද්ධි ගොඩයි.

මේ සිද්ධි දෙක පහුගිය සතියේ එකිනෙකට වෙනස් සිද්ධි දෙකක්....
ආගම මහේශාඛ්‍ය විදියට කරන්න යන්නේ අපට නිර්වාණය හොයලා දෙන එකද?
එයාලගේ සැප ගන්න එකද?

සිරිධම්ම හිමිගේ අමුතු බණ

Tuesday, March 22, 2016

පනමරකාඩු 2 - ඔහුව හමුවිය

අමීර් ඛාන් රඟපෑ මංගල් පාණ්ඩේ චිත්‍රපටිය ඉන්දියානු නිදහස් සටනේ ආරම්භකම මොහොත සටහන් වූ සිපෝයි කැරැල්ල අලලා නිර්මාණය කළ චිත්‍රපටියකි. විමුක්ති සටනක්, නිදහස් සටනක් දේශප්‍රේමය කේන්ද්‍ර කොටගත්තකි. එහෙත් ලංකාව ඇතුලේ දේශප්‍රේමය එපා වන තරමට ලංකාවේ ලේ වගුරවා දමා තිබුණි. දේශප්‍රේමී යන වචනය සිහිපත් කළේ අජූවයි. දේශප්‍රේමය බියෙන් සලිත කරවන වචනයක් විය. නූතන ජාතික රාජ්‍යය තුළ දේශප්‍රේමය එක්තරා ආකාරයකට ජාතික හැඟීම යනුවෙන්ද හැඳන්විය හැකිය. දේශ ප්‍රේමයෙන් ඇරඹී ජාතික හැඟීම බවට පත්වූ හැඟීමක් නූතන නව රාජ්‍යය එකමුතු කර ඇත. ලංකාවේ දේශප්‍රේමය හෝ ජාතික හැඟීම පැවතුණේ කෙසේදැයි අත්දැකීමෙන් නොදනිමි. එහෙත් පසුකාලයෙක ලංකාවේ දේශප්‍රේමය ප්‍රතිනිර්මාණය වුණේ සිංහලයන්ට පමණක් අයිති දෙයක් ලෙසිනි. ජාතික හැඟීම දෙමළුන්ට විරුද්ධ එකක් විය. එහි ප්‍රථිපලය මේ හැඟීම් ජාතියක් දියුණට ගෙනයෑම වෙනුවට පරාභවයට ගෙන යෑමයි.



මගේ පඩිය කීයද?

මා කිසිදා කියන්නට උත්සාහ නොකරන දෙයක් කියන්නට සිදුවන්නේ කේසව් අයියාගේ චිත්‍රපටිය අවසන් කිරීම සඳහා මුදල් එකතුකරන්නට ගන්නා උත්සාහයට වැරදි අර්ථකථන දීම පිණිස මගේ වැටුප පිළිබඳ ප්‍රශ්ණයක සිව්වෙනි මානය විසින් නඟා තිබීම නිසාය. මෙය ලිවිය යුතු නැතැයි කිහිප වතාවක් සිතුවද මා මෙය ලියන්නට තීරණය කළේ තමන් හෙන කට්ට කන බව හුවා පෙන්වන්නට උත්සාහ ගැනීමෙන් පලක් නැති වුණත් මා මෙය ලියන්නේ කේසව්ගේ ප්‍රශ්ණයට මෙය අදාල කරගැනීම මෙය කියා දමන්නට හොඳ අවස්ථාවක් නිසා ද විය හැකිය.

//උබේ පඩිය පහලොස්දාහද බන්. රුපියල් පහලොස්දාහෙ විසිදාහෙ පඩි ගෙවන මාධ්‍ය ආයතන තියනවද බන්.
පහලොස්දාහකට මෙච්චර වලිකන්නෙ නැතුව ගමේ කුල්ලීවැඩකට යමන්කො .දවස් විස්සක් වැඩ කලොත් 25000 ක්.
බස් එකක කොන්දෙක් වුනොත් ටිකක් කට්ට තිබ්බත් පනහ පන්නනව.
බස් වියදම් ,කෑම වියදම් අරක මේක එක්ක. රුපියල් පන්දාහෙන් කොලබ ජීවත් වෙන්න බෑනෙ.//

මගේ වැටුප දහඅටදහසක් වන අතර දීමනා වලට කපාගත් පසුව දහසයදහසකි. බොහෝ විට පොතක් දෙකක් ආයතනයෙන්ම ගන්නා නිසා අතට ලැබෙන්නේ පහළොස්දහස් ගණනකි. ඒ බව මගේ බැංකු විස්තර වලින් දැනගත හැකිය. 

පහළොස්දාහ මට ජීවත් වෙන්නට වැඩිත් එක්කය. රුපියල් අටදාහක් පමණ හොඳටෝම ඇතිය. කලින් මාසවල ඉතිරි කළ යම් මුදලක් තිබුණු නිසා ගිය මාසයේත් විශාල මුදලක් වෙන වැඩකට යට කළ මොහොතේ පන්දාහෙන් කරගන්නට බැරි මාසය ගොඩදාගැනිල්ලට උදව් වූයේ ඉතිරි වී තිබුණු මුදල්ය.

Friday, March 18, 2016

සුවිශේෂීම වැඩකට ඔබේ සහාය දෙන්න!

ඒ වැඩේ මම කරලා දෙන්නම්. ඔයා වැඩේ ගැන කල්පනා කරන්න අයියෙ. යැයි කේසව් අයියාට පැවසුවෙමි. ඒ මගේ මාසික වැටුපෙන් තුනෙන් දෙකක් පමණ බැර කළද තව රුපියල් අනූදහසක් සොයාගත යුතු නමුත් මෙය කෙසේ හෝ කළ යුතුයැයි විශ්වාස කළ නිසා ය. ඇතැම් විට මට ඒ මුදල සොයාගත නොහැකි නමුත් අපට එය කළ හැකිවනු ඇත. මා වගකීම කරට ගත්තේ මා විසින් කරනු ලබන සුවිශේෂීම කාර්යය මෙයයැයි කල්පනා කරමින් ය.



Thursday, March 17, 2016

ධම්මික රණතුංගට තදවුණේ ඇයි?

රණතුංග පවුල කියන්නෙ පුදුමාකාර පවුලක්. වෙලාවකට මේ පවුල හරිම සමඟයි. ඒත් දේශපාලන වේදිකාවේදී මේ පවුල ඉන්නේ විවිධ තැන්වල. 


රුවන් රණතුංග මල්ලීව ප්‍රසන්න රණතුංග අයියාව ඉවත් කළ සංවිධායක තනතුරු වලට කළේ පහුගිය සතියේදී. ප්‍රසන්න රණතුංග ඒකාබද්ධ විපක්ෂයේ කසකාරයෙක් වුණත් නොවැළැක්විය හැකි හේතුවක් යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහභාගී නොවී විදේශගත වුණා. 

ජන සටනට ආ ජරාම පුද්ගලයා

අපි අද හඬ නඟපු නිසා නාමල් රාජපක්ෂ බේරිලා ඇවිල්ලා තියෙනවා. නැත්තන් නාමල් මල්ලි ඔයත් හිරේ අද.


උඩුවේ හාමුදුරුවොන්ගෙ පන්සලේ අලි පැටියෙක් දාල ගිහිල්ලා කියලා අත්අඩංගුවට අරගෙන. අලි පැටියාව සන්තකයේ තියාගත්තා කියලා.
 අලි පැටියා පන්සලේ ඉන්නකොට කන්න දීලා විතරයි තියෙන්නේ. මෙහෙම ගියොත් පන්සලේ ඉන්න බලු පැටියයි පූස් පැටියයි ඔක්කොම හාමුදුරුවොන්ගෙ සන්තකයට පත්වෙනවා.

Tuesday, March 15, 2016

පනමරකාඩු 1

ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය පැතුවේ ය. දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්නට සූදානමින් සිටියේ ය. ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඊළමක් පතා ආයුධ අතට ගත් මිනිසුන් සමඟ ඔවුන් අතරෙහි සිටියේ ය. එහෙත් ඔහු ආයුධ අතට නොගත්තේ ය.

ලොව සාමකාමීම එහෙත් තියුණුම අවිය පෑන වී තිබුණායැයි කිව හැකි ය. යුධකාමී තියුණු අවිය කඩුව වූවා මෙන් ය. එහෙත් ලෝකය පෑනේ යුගය පසුකර කැමරාවේ යුගය වෙත පැමිණ ඇත. කඩුව පසුකර තුවක්කුව පැමිණි යුගයක ඔහු පෑනටත් වඩා මුවහත ඇති කැමරාව තෝරාගත්තේ ය. හතුරන්ට පමණක් නොව මිතුරන්ටද කැමරාව ඉලක්ක කළේ ය.

ඔහුව මුණගැසුණු පළමු මොහොතේදීම මා සෙවූ කතාව ඔහුගේ කතාව බව වටහාගතිමි. ඔහුගේ කතාව සාවධානව ඇහුම්කන් දුනිමි. එක්වතාවක්, දෙවතාවක්, තුන්වතාවක්. ‘තරිඳු ගෙදර යනවා වගේ අපේ ගෙදර ආවා. යාපනයේ ආවොත් ආවේ මෙහෙට‘

එහෙත් ඔහුගේ කතා හඬපට ලෙස රෙකෝඩරය තුළ දිගු කාලයක් පැවතුණි. දේශපාලඥයන්ගේ කෙළවරක් නැති බොරු පිරුණු හඬපටයන් ද සිවිල් බුද්ධිමතුන්ගේ සැබෑ නොවෙන සිහින පිරි හඬපටයන් ද අසමින් ලියා වෙහෙස වී සිටි මට කේසව්ගේ හඬපට අසන්නට වෙන් කරන්නට ඉඩකඩක් නොවීය.

එහෙත් එක්තරා රාත්‍රියක ලියන්නටම සිත්විය. ලියන්නටම සිතුණි. මා සිටියේ දෙමළ චිත්‍රපටයක් දෙස නෙත් යොමාගෙන මොනවාදෝ කල්පනා කරමිනි’  

මා හැමදාම ලීවේ එහෙමය. මම ඔහුගේ කතාවක් විවෘත කරගතිමි. මා මේ කතා එක්කළේ පොතකට එකතු කරන්නට ය. පොත පසෙක තබා බ්ලොග් අවකාශයේම මේ කතා විසුරුවා දමන්නට කල්පනා කළේ කවදා හො පොතක් වීම කෙසේවෙතත් පොතකට කියා ලිවීම කොහෙත්ම සිදු නොවනු ඇතැයි සිතූ නිසා ය. අද සිට සෑම අඟහරුවාදාවකම කොටස් ලෙසින් ඔහුගේ කතාව බ්ලොග් අවකාශයේ විසුරුවන්නට බලාපොරොත්තු වෙමි.... 

ඔහු කේසවරාජන් නවරත්නම් නම් විය!!!!!!! 

මගේ මේ ලිවිල්ල සමඟ යන ඔබට ඇතැම්විට කේසව් අයියාව වටහාගත හැකිවනු ඇත. සම්පූර්ණයෙන්ම නොවේ. එහෙත් කෙටි හැඳින්වීම් කරනවාට වඩා වැඩි යමක්. ඇතැම් විට දෙමළ විමුක්ති සටන වටහාගත හැකිවනු ඇත. එහෙත් එයද සම්පූර්ණයෙන්ම නොවේ. එහෙති රණවිරු මහවිරු කතා වලට වැඩි දෙයක්. මිනිසෙක්ව හෝ විමුක්ති අරගලයක් සම්පූර්ණයෙන්ම වටහාදිය හැක්කේ කෙසේ ද?

‘මම ඉපදුණේ හැට දෙකේදී යාපනයේ අරියාලෛ වල. යාපනයේ කටච්චේරිය පහු වුණාම තියෙන ගම. ඉස්කෝලේ යන්න කලින් මම බදුල්ලේ, මෝදර වගේ තාත්තා එක්ක එකේක පැති වල ඉඳලා තියෙනවා. අරියාලෛ ශ්‍රී පාර්වතී විද්‍යාලයේ මම ඉගෙනගත්තේ. තුන්වැනි පන්තියේදී තාත්තා එක්ක හලාවත ගියා. දකුණේ ඉඳපු තැන් වලින් මගේ මතකයේ තියෙන්නේ හලාවතයි මහනුවරයි තමයි. මම තුන්වැනි පන්තියෙන් හයවැනි පන්තිය වෙනකන් හලාවත රෝමානු කතෝලික දෙමළ පිරිමි විද්‍යාලයට ගියේ. ඉන්පස්සේ මහනුවරට ගිහින් හත වසරේ ඉඳන් නවය වසර වෙනකන් හිටියේ මහනුවර. ඉන්පස්සේ උසස්පෙළ කාලයේදී වගේ ආයෙමත් යාපනයට ආවා. තාත්තා පොලිස් නිලධාරියෙක්!!!‘

මේ එල්ටීටීඊ සාමාජිකයෙක් නොවුණත් එල්ටීටීඊ පාලන ප්‍රදේශයක ඔවුන් සමඟ එක්ව ජීවත් වූ මිනිසෙකුගේ කතාවේ ආරම්භයයි. දෙමළ ඊළම පැතූ මිනිසෙකුගේ කතාවක ආරම්භයයි. මා වැඩියෙන්ම ආදරය කරන මිනිසෙකුගේ කතාවේ ආරම්භයයි. ඔහුගේ කතාවේ ඇතැම් තැන් විස්මයජනක ය. එළැඹෙන සතියේ සිට මේ කතාව දිගහරින්නට බලාපොරොත්තු වන්නෙමි.

Sunday, March 13, 2016

ලයිට් හා බැඳුණු මගේ ළමා කාලය

මේ ලියන්න යන්නේ ලයිට් යෑම ඇතුලේ තියෙන දේශපාලනය ගැන නෙවෙයි. යහපාලනයේ ලයිට් ගියාම ඒකේ සෞන්දර්ය දකිනවා, රාජපක්ෂ කාලයේ ලයිට් ගියානම් මැරෙන්න යනවා වගේ කතාවක් කියන්න කෙනෙක්ට පුළුවන්..... ඕවට කොහෙද උත්තර???

ලයිට් යෑම එක්ක මට අත්විඳින්න ලැබෙන දෙයක් තමයි මම කළුවරට කොච්චර හුරුද කියන එක. ඊයේ ලයිට් යද්දී මම හිටියේ බණ්ඩාරවෙල ගෙදර ඉඳන් කොළඹ එන්න ලෑස්ති වෙමින්. මම තිබුණු තැන් වල මතකයෙන් ඇඳුම් ටික හොයාගෙන ඇඳගන්නත්. ටොයිලට් එකට ගිහින් එන්නත් පර්ස් එක, ලැප් එක, ෆෝන් එක තිබුණු තැන් වලින් හොයාගෙන අරගන්නත් මට පුළුවන් වුණා. අම්මා නැතිවෙලා යැයි හොයමින් හිටපු ටෝච් එකත් හොයලා දුන්නා. කට්ට කළුවරේ මේවා කරද්දී මට සිහිවුණේ උපුල් ( සේනාධිරිගේ ) අයියාව.

Tuesday, March 08, 2016

කාන්තා දිනයේ භාෂි මධුභාෂිනී පීඩිත කාන්තාව වෙනුවෙන්

අද කාන්තා දිනය. කාන්තා දිනයේ කාන්තාව වෙනුවෙන් ලියන්න දෙයක් සිහිකරමින් ඉන්නකොට භාෂි ගයා තිබුණු ගීතයක් හමුවුණා.

භාෂි ආයෙමත් ප්‍රදීපා වෙත යනවා!!

ප්‍රදීපා ධර්මදාස ගයන, රෝහණ වීරසිංහ සංගීතවත් කළ විනේ කටින උන් තමයි ඇය තෝරාගන්නේ!!

කට්ටිය භාෂි මධුභාෂිනීව අමතක කරලද?







විනේ කටින උන් තරහක් නොකියාම

Sunday, March 06, 2016

රෙද්දෙ නිදහස නිසා පුතේ දැං මං Jobless


නාඬ ඉඳපං පුතේ
සතපහක් නෑ අතේ
ගොඩක් අයගේ මතේ
මගෙ වැරැද්දලු පුතේ

බඩගින්න උහුලන්න
පුත ටිකක් ඉවසන්න

මුළු රටම දැක තියෙන
මගෙ මූණට
අලුත් රස්සා නැහැලු පුතේ
මගෙ වැරැද්දලු පුතේ

තක්කඩි ලංකාදීපය හා රතුපස්වල වීරයන්

රතුපස්වල මිනිසුන්ට තිබුණු ප්‍රධානම ගැටලු තුනට විසඳුම් අප්‍රේල් වනවිට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලය විසන් අදාල අංශ වලට නියෝග කළේ පහුගිය දවසක ජනාධිපති කාර්යාලයේදී තිබුණු රැස්වීමකදී. රතුපස්වල සටනේ දෙවැනි අදියරේදී විශාලම ජයග්‍රහණය ලබාගන්න ඒ අනුව රතුපස්වල මිනිසුන්ට හැකි වුණා.

මේ බව සෙනසුරාදා පුවත්පත් වල වාර්තා කර තිබුණා. ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනේ අදාල සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනපතිට කියන්න වැඩසටහනට රතුපස්වල මිනිසුන් දුන් දුරකථන ඇමතුමක් මත බවයි. ඉන්පසුව පහුගිය සෙනසුරාදා තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රතුපස්වල සටනේ ගෞරවය තමන් වෙත හරවා ගන්න උත්සාහ කළා. සැබැවින්ම තෙරිපැහැ හිමියන්ව ගමේ මිනිසුන් සලකන්නේ සටන පාවාදුන් කෙනෙක් විදියට. එය ඔවුන් විසින් අපට තහවුරු කරන්නේ විවිධ හඬපට පවා ඉදිරිපත් කරමින්. කොහොම වුණත් ජයග්‍රහණයට පියවරුන් ගොඩක් ඉන්නා බව පිළිගත හැකියි. මේ සමඟ දිගින් දිගටම සිටියත් අපට ජයග්‍රහණයේ ගෞරවය අවශ්‍ය නොවනවා මෙන්ම එය ලබාගැනීමට උත්සාහ කිරීමද වැරදියි.

Thursday, March 03, 2016

වෙබ් වලට ඉව කරන ආණ්ඩුවේ ජනමාධ්‍ය පාඨමාලාව

ආණ්ඩුව මේ වන විට ජනමාධ්‍ය පාඨමාලාවක් කරමින් සිටින්නේ ය. මාධ්‍යවේදීන් කටයුතු කළයුතු ආකාරයට කියා දෙන්නට උනන්දුවක් දක්වන්නේ ය. අගමැතිවරයා සත්තුන්ගේද යක්කුන්ගේද නම් කියමින් මාධ්‍ය කරන්නට ඉගැන්වීය. ඉන්පසුව කිරිඅැල්ල ඇමතිවරයා නොසරුප් වචන සමඟ මාධ්‍යකරණය ඉගැන්වීය.

දැන් වෙබ් අඩවි වල මාධ්‍යකරණය නියාමනය කරන්නට ආණ්ඩුවට ඕනෑ වී ඇත. ඒ සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි මාර්තු 31ට පෙර ලියාපදිංචි කළ යුතුයැයි පසුගිය 26 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් දැන්වීමක් පළ කරමිනි. ඒ නිවේදනයේ අදහස වූයේ දවසට කලින් ලියාපදිංචි නොකළොත් වෙබ් අඩවි වාරණය කරන්නට පවා ඉඩ  ඇති විදියේ තර්ජනයකි.



වෙබ් අඩවි නියාමනය සම්පූර්ණ ජෝක් එකක් බවට දැන් පත්වී තිබෙන්නේ මේ තීරණය දැනගත් විගස වෙබ් වලට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ආ විරෝධය දරාගන්නට නොහැකි වන බව ජනමාධ්‍ය අමාත්‍යංශයට වැටහී ගිය නිසා ය. දැන් ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන කලින් කී දැන්වීම නිලධාරීන්ගේ වැරදි නිසා සකස් වූ එකක් බව පෙන්වන්නට උත්සාහ දරන්නේ ය.