Wednesday, July 22, 2015

භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස හා මාධ්‍ය උන්නතිය පිළිබද දේශපාලන පක්ෂවල සැබෑ කැපවීම පෙන්වන තෙක් ඡන්දදායක රටවැසියන් මහත් අපේක්ෂාවෙන් පසු වේ.

  • ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI)
  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)
  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය
  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානය
  • ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුව
  • තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • යාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club)
එක්ව කරන ප්‍රකාශනයකි.
Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව භාෂණයේ හා මාධ්‍ය නිදහස පිළිබඳව යම් මට්ටමක සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් වූ බව පෙනෙන්නට තිබේ.
මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත එල්ල වූ බලපෑම් හා තර්ජන වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ග, පදනම් විරහිත ලෙස අවහිර කරන ලද දේශපාලනික වෙබ් අඩවි නැවත නිදහස් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මුලික අයිතිවාසිකමක් ලෙස පිළි ගැනීම, දේශපාලනික හේතුන් මත රට හැර ගොස් සිටින ජනමාධ්‍යවේදීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට රජය විසින් කරනු ලබන විවෘත ආරාධනා, වැනි පියවර මේ බවට මූලික නිමිති සපයයි.
කෙසේ වෙතත් භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සඳහා තවත් කටයුතු රාශියක් ඉතිරි වී ඇති බව අපගේ අදහසයි. ඉදිරි මහ මැතිවරණයෙන් පසු තේරී පත් වන නව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මෙම ප්‍රතිපත්තිමය, නීතිමය, ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අවශ්‍ය වන දේශපාලනික කැපවීම ප්‍රදර්ශනය කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් ජනමාධ්‍ය නිදහස වර්ධනය කිරීමට හා එහි සාධනීය ව්‍යුහාත්මක වෙනසක් ඇති කීරීම පිළිබඳ පහත සඳහන් නිශ්චිත නිර්දේශ කෙරෙහි සිය කැපවීම ප්‍රකාශ කරන මෙන් 2015 අගෝස්තු 17 වන දින මහා මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටිමු.
(මෙම කරුණු පෙළගැස්වීම එහි ප්‍රමුඛතාවය අනුව නොවන බව සලකන්න)
1. තොරතුරු දැනගැනීමේ අයිතිය: පුරවැසියන්ට රජය හා රජයේ ආයතන සතු තොරතුරු ලබා ගැනීමේ අයිතිය නීතියෙන් සම්මත කළ යුතුය. සියලුම මාධ්‍ය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිතව 2015 මැයි මස සකස් කොට අවසන් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත නව පාර්ලිමේන්තුව විසින් හැකි තාක් ඉක්මනින් හා දියාරු නොකොට සම්මත කර ගත යුතුය.
2. මාධ්‍ය ස්වයං නියාමනය: 1973 අංක 5 දරණ පුවත්පත් කොමිසම පනත ඉවත් කළ යුතු අතර රජය විසින් පාලනය කරන පුවත්පත් මණ්ඩලය මුළුමනින්ම අහෝසි කළ යුතුය. ඒ වෙනුවට මාධ්‍ය කර්මාන්තය විසින්ම 2003 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කොට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් කිරීමෙන් වඩාත් සවිමත් හා සක්‍රිය ස්වයං නියාමන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුය.
3. නීති විමර්ශනය හා සංශෝධනය: මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන සිවිල් හා අපරාධ නීති තවමත් මෙරට නීති පොත්වල ඉතිරිව පවතී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති මෙයට ඇතුලත්ය. මේවා විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කළ යුතුය.
4. ජනමාධ්‍යවේදීන්ට එරහි අපරාධ විමර්ශනය: ඝාතනය කරන ලද, පහරදීම්වලට ලක් වූ, තර්ජනයට ලක් කරන ලද, අතුරුදන් කරන ලද හෝ වෙනත් අයුරකින් හිරිහැරයට ලක් වූ මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනය කොට, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීමටත් වගකීම දරන ඉහළ මට්ටමේ ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය.
Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015

5. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය: භාෂණයේ නිදහස තහවුරු කරන ජාත්‍යන්තර නීති රීති වලට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කළ යුතුය. එසේ කිරීම මගින් රේඩියෝ සහ ටෙලිවිෂන් සඳහා විකාශන සංඛ්‍යාත වෙන් කිරීම විධිමත් ලෙස සැලසුම්කරණය කළ යුතුය. එසේම මහජන සේවා, වාණිජ හා ප්‍රජා යන තල තුන තුළම සේවා සැපයීම සඳහා අවස්ථා සැලසිය යුතුය. එමගින් දේශපාලනික හා වෙනත් පොදු උන්නතියට අදාල තොරතුරු ආවරණය වඩාත් සමබරව හා අපක්ෂපාතීව ගෙන ඒමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ඇති වගකීම ඉටු කිරීමට නියාමන බලපෑමක් කළ හැකි වනු ඇත. මහජන අභිලාෂයන් මුදුන්පත් වන අයුරුන් සමස්ත නියාමනය සිදු කළ හැකි පරිදි ස්වාධීන විකාශන අධිකාරියක් ස්ථාපනය කළ යුතුය.
6. ප්‍රජා විද්‍යුත් මාධ්‍ය: විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය මගින් ප්‍රජා විකාශන සේවා (community broadcasting) උනන්දු කල යුතුය. ජාත්‍යන්තර අර්ථ දැක්වීම් වලට අනුව ප්‍රජා විකාශනයන්හි හිමිකාරිත්වය හා මෙහෙයවීම ප්‍රජාව සතු විය යුතු අතර ඒවාට වඩාත් උචිත හා දරාගත හැකි ලෙස සකස් කරන ලද බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.
7. රාජ්‍ය මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය: මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා අශීලාචාර සම්ප්‍රදායෙන් දැන්වත් අත්මිදිය යුතුය. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) ස්වාධීන රුපවාහිනී සේවය (ITN) ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කළ යුතුය. එමගින් කර්තෘ නිදහස ආරක්ෂා කරන මහජන සේවා සපයන්නෙකු බවට මේ ආයතන කෙමෙන් පරිවර්තනය කළ යුතුය. මෙම ආයතනවලට දේශපාලන බලපෑම් කිරීමට ඉඩක් නැති පරිදි ස්වාධීන ලෙස මුදල් ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එම ක්‍රියාමාර්ග මගින් එම ආයතනයන්හි මෙතෙක් කිසිදා නොපැවති ස්වාධීනත්වය ටිකෙන් ටික තහවුරු කර ගත හැකිය. ලේක්හවුස් ආයතනයටද (Associated Newspapers Ceylon Limited, ANCL) රාජ්‍ය බලපෑමෙන් ස්වාධීනව කර්තෘ නිදහස භුක්ති විඳීම සඳහා ක්‍රියාදාමයක් සකස් කල යුතුය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ මහජන අදහස් විමසීමක් කළ යුතුය.
Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015

8. මාධ්‍ය වාරණය වැලැක්වීම: කිසිදු මාධ්‍යයක් කිසිවක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර පතන වාරණ ක්‍රම සියල්ල ඉවත් කළ යුතුය. ප්‍රකාශනයෙන් හෝ විකාශයෙන් පසුව කිසිවකුට අගතියක් වේ නම් උසාවියක් මගින් මාධ්‍ය අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. (ප්‍රසිද්ධ රැගුම් පාලන පනතද ඇතුළු) වාරණ නීති හා රෙකුලාසි නැවත සලක බැලිය යුතු අතර භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංස්කරණය කළ යුතුය.
9. දේශපාලන වෙබ් අඩවි සඳහා සීමා ඉවත් කිරීම: ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සම්මුතීන් මගින් සහතික කරන ලද භාෂණයේ නිදහස උල්ලංගනය කරන පරිදි සමාජ ජාල හා අන්තර්ජාල අන්තර්ගතය පාලනය නොකළ යුතුය. රට තුළ සිට කියැවීමට නොහැකි වන සේ දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. රටේ නීතියට නිශ්චිතවම එරෙහි වන (අසැබි රූප ආදිය ඇතුළත්) වෙබ් අඩවි පාලනය කිරීම පිළිබඳ සීමා පැන වීමේදී එය සැම විටම අධිකරණ අධීක්ෂළය යටතේ පමණක් කළ යුතු අතර එමගින් මහජනයාගේ තොරතුරු ලබා ගැනීමේ නිදහසට හා භාෂණයේ නිදහස සඳහා වන මූලික මානව අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුය.
10. අවේක්ෂණය වැලැක්වීම: තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂනයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන අවේක්ෂණය කිරීම (surveillance) රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි අවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.

1 comment:

  1. ඔබ මතුකරන්නා වූ කාරණාවන් ඉතා වැදගත්........ මේ සදහා සමාජයක් විදිහට ම අපි පෙළගැසිය යුතුයි කියලයි අපිටනම් හිතෙන්නේ

    ReplyDelete