දැන් දැන් සටහන්
ලියැවෙන්නේ අඩුවෙන්ය. ලියන්නට පටන්ගෙන අතරමඟ නවතා දැමූ අවස්ථා බොහෝය. ලියන්නට නම්
මානසික විවේකයක් පිරියක් තිබිය යුතුය. (පිරියක් කියන්නේ එළියේ තියෙන අවුල් ගැන
කල්පනා කළොත්නේ ලියන්නේ... ලියන්නේ ආසාවට නෙවෙයි.. මොකක්හරි දෙයක් ගැන කම්පනයක්
අති වුණොත්නේ...)
දැන් දැන් එළියේ තියෙන
අවුල් විසඳීම වෙනුවට ඇතුළේ තියෙන අවුල් ගැන කතා කර කර ඉන්නට සිදුවී තිබේ. (තේරුමක්
නැති දේවල් ගැන කල්පනා කරන්න සිද්ධ වෙලා... යාළුවෝ එක්ක අවුල්, පවුල් අවුල්, සමාජ
සම්බන්ධතා බිඳවැටීම ගැන අවුල්) කාලය කෙතරම් නාස්ති වී ඇත්ද? තනියම වැඩක් කරගෙන
පාඩුවේ ඉන්න එක හොඳයැයි අවසානයේ හිතෙයි.
මේ සටහන විද්‍යාව දූෂණය
කළ අයට මරණ දඬුවම දෙන්නේ නම් සිවුරු හැර අළුගෝසු කාර්යය කරන්නට සූදානම් යැයි කියූ
බද්දේගම සමිත හිමියන් නිමිති කරගෙනය. හාමුදුරුවන් කියා තිබුණේ ලංකාවේ අළුගෝසු
වෘත්තිය කරන්නට එන අය තනතුර අත්හරින නිසා විද්‍යා දැරියගේ මිනීමරුවන්ට මරණ දඬුවම
දුන්නේ නම් අළුගෝසු කාර්යය කරන්නට තමන් සූදානම් බවය.
(ඒ ප්‍රකාශයෙන් මට නම්
ආවේ බුද්ධපුත්‍ර ෆීලින් එකක් නෙවෙයි. දේවදත්ත ෆීලින් එකක්. මට නිකන් මැවිල පෙනුණ
බුදුහාමුදුරුවොත් සමිත හාමුදුරුවොන්ගෙ මේ අමුතු ධර්මෙ අනුගමනය කළොත් කොහොමද කියල. අංගුලිමාල
එද්දී රටේ දරුවන් වෙනුවෙන් කියල බුදුහාමුදුරුවෝ අංගුලිමාලට ගේම දෙන්න ගියානං?
අනිත් අතට මට මේ ප්‍රකාශය ගැනත් අවුලක් හිතෙනව. විද්‍යා ඝාතනය ගැන මිනිස්සු කතා
කළේ එහේ සිදුවෙච්ච නැගිටීම් නිසා. ලංකාවේ කොච්චර මේ වගේ දේවල් වෙනවද? මෙහේ කට්ටිය සිය ගණන් දූෂණ කරලා පාටි දැම්මා. ඇයි මේ
සිවුරු ඒවා ගැන නිහඬ?)
වෛරයෙන් වෛරය නොසන්සිඳේ
කීවේ බුදුන් වහන්සේය. අපරාදකරුවන්ටත් මිනිසුන් ලෙසම සැලකීම බුද්ධ ප්‍රතිපත්තියයි. සද්ධර්මාලංකාරයේ
පන්සලකින් සිවුරු හොරකම් කරන සොරෙකුට ගමේ මිනිසුන් පහර දුන් විට සොරාව ආරාමයට ගෙන
ගොස් තෙල් ගල්වා බෙහෙත් කලේ බුද්ධ පුත්‍රයෙකි. ඒ සොරා නැවත සොරකම් නොකරන්නට නම්
පහර දිය යුතුයැයි ගැමියන් කියද්දී හාමුදුරුවෝ සිතුවේ ගුටිකෑ මිනිසා සුවපත් කරන
ආකාරයයි.
මා මේ කතා කරන්නේ විද්‍යාගේ
ඝාතකයන් වෙනුවෙන්ද?
විද්‍යාගේ ඝාතකයන් කළේ සමාවක්
දිය නොහැකි අතිශය බරපතළ අපරාධයකි. සමාජයක් යහපත් කරන්නේ නීතිය හා සදාචාරය විසින්ය.
නීතිය රකින්නට නම් නීතිය කඩකළොත් ලැබෙන දඬුවම් ගැන බියක් ඇතිවිය යුතුය. සදාචාරය
රකින්නට නම් සදාචාරය කඩකළොත් එන අපවාද ගැන බියක් ඇතිවිය යුතුය. අපේ තියෙන්නේ
සදාචාරයක් නීතියක් නැති සමාජයකි. අවුල තියෙන්නේ එතැනය. හාමුදුරුවන් වහන්සේලා ගහන්න
ඕනෑ එතැනටය.
විද්‍යා දැරියට වුණු
අපරාධය වැනි තැන්වලදී අප කතා කළ යුත්තේ සමාජයේ මෙවන් අපරාධ වෙන්නේ ඇයි? අවුල
කොතැනද? වැනි දේවල් ගැනය. එහෙත් අපි කතා කරන්නේ අපරාධකාරයාට දෙන දඬුවම ගැනය.
(මරණ දඬුවම මේවාට විසඳුම
නෙවෙයි. මරණ දඬුවම නිසා අපරාධ අඩු වෙනවාය කියලා කිසිම තැනකින් ඔප්පු වෙලා නැහැ.
අපරාධ වුණු පසුව දඬුවම් දෙන තැනට නෙවෙයි නැවත ඒ වගේ අපරාධ නොවෙන තැනටයි අපි වැඩ
කරන්න ඕන)
ලංකාවේ චීවරය දැන්
පාවිච්චි වෙන්නේ බෞද්ධ ආකල්ප වෙනුවෙන් නොවේ.
අළුගෝසුවෙක් වෙන්නෙමියි
කියූ බෞද්ධ හිමිනමකට බෞද්ධ ශාසනයේ සිටිය හැක්කේ ද?. සිංහල බෞද්ධ සංස්කෘතියක්
වෙනුවෙන් අවංකවම පෙනී සිටින මිනිසුන් ප්‍රථමයෙන් කළ යුත්තේ බෞද්ධ නොවන සංකල්ප ප්‍රචලිත
කරන චීවරධාරීන්ගෙන්ද, බෞද්ධකම හිස තබාගෙන යන දේශපාලඥයන්ගෙන්ද රට ගලවාගැනීමය.