කතාව ආදරණීයයි ආශිකී වගෙ තමයි කොපි නෙවෙයි



 ආදරණීය කතාවක් චිත්‍රපටියට ගොඩක් අය කැමතියි. මාත් කැමතියි. ඒත් මට තියෙනවා යෝජනා ටිකක්. මට කරන්න තියෙන යෝජනා මම චිත්‍රපටියේ අධ්‍යක්ෂ (නිර්මාණකරුවා) සහ සම නිෂ්පාදක (නිර්මාණය අලෙවි කරන්නා) වන ප්‍රියන්ත කොළඹගේත් අනෙක් සම නිෂ්පාදක චමින්ද ගමගේත් ඉදිරියේ ඔවුන්ට ඉදිරිපත් කළේ චිත්‍රපටිය ගැන තිබුණු සංවාදයකදි. එතකොට මගේ යෝජනා ගැන මේ වැඩේ මට වඩා ප්‍රවීණයෙක් වන ප්‍රියන්ත කොළඹගේගේ පිළිතුරුත් ලැබුණා. (ඒ නිසා මේ සටහන ප්‍රියන්ත දෙන පිළිතුරු වලට ප්‍රතිපිළිතුරුත් එක්කයි ලියැවෙන්නේ.)


ප්‍රියන්ත කොලඹගේ

 කරලා ඉවර ෆිල්ම් එකකට මේවාත් කළොත් හොඳයි කියලා යෝජනා කරලා වැඩක් නැහැ. ඒවා අළුතින් ෆිල්ම් එකක් කරන කෙනෙක්ට සලකා බලනවානං වැදගත් වෙයි. (මගේ බ්ලොග් එක කියවන්න තරම් අළුත් ෆිල්ම් කරන අයට කා දමන්න කාලයක් තියෙනව කියල හිතන්න අමාරුයි.)

ආදරණීය කතාවක් කියන්නෙ ආශිකී 2 චිත්‍රපටියේ කොපියක් නෙවෙයි කියලා ප්‍රියන්ත කොළඹගේ කියනවා. ඒක බොහෝදුරට ඇත්ත වුණාට එයාම ඒක කියන නිසා පොඩි පරහක් තියෙනවා. ඒත් හේතු කිහිපයකින් මේක ආශිකී එකේ කතාව නෙවෙයි. කොටින්ම කීවොත් ප්‍රවේගය කියන්නෙ පොලදාවන් සම්පූර්ණ කොපිය වෙනවා වගේ තත්වයක් නෙවෙයි මේක. අනිත් පැත්තෙන් ටැමිල් ෆිල්ම් එකක් වෙන නන්බන් චිත්‍රපටියෙදී හින්දි චිත්‍රපටියක් වන ත්‍රී ඉඩියට්ස් සම්පූර්ණයෙන් කොපි කළා වගේ නෙවෙයි. පෝක්කිරි කියන දෙමළ චිත්‍රපටිය සම්පූර්ණයෙන් කොපි කරලා වෝන්ටඩ් කළා වගේ නෙවෙයි. ( මම මේව ලිව්වෙ කොපි කරනවාය කියන්නෙ චෝදනාවක් නෙවෙයි කියලා කියන්නයි. ) හරි, සේපාල් අමරසිංහ හඳගම එලජි චිත්‍රපටියෙන් කොපි කළාය කියලා කිව්වාම කට්ටිය එයාට විරුද්ධ වුණානේ, ප්‍රසන්න විතානගේ දොස්තයෙවුස්කිගේ කතාවක් ඇසුරින් ඔබ නැතිව ඔබ එක්ක කළාම කට්ටිය අයියෝ කොපියක් කියලා කිව්වද? මේකත් ඒවා වගේ වැඩක්. හඳගම ආභාෂය ලැබුවේවත් නැහැලු එලජි එකෙන්. ප්‍රසන්න අරක ඇසුරින් මේක කළාලු. ප්‍රියන්ත කියනවා මේක අරකෙ කොපියක් නෙවෙයි කියලා. ඇත්තටම හාරලා ඇහුවොත් එයා පිළිගනියි මේ දෙකේ සමානකම් තියෙනවා කියලා.

අයියෝ ආශිකී එකේ කොපියක්නෙ කියලා ෆිල්ම් එක තාම නොබලපු කෙනෙක් ඉන්නවනං සහකාරයා/ සහකාරිය අරගෙන (එහෙම බැරිනං යාළුවො සෙට් එක, පවුලෙ අය, බැරිමනං තනියෙං හරි ) දුවලා දුවලා ගිහිං මේක බලන්න. 

ආශිකී ස්ක්‍රිප්ට් එක මේකට වඩා දියුණුයි කියලා බය නැතිව කියන්න පුළුවන්. හේතු කිහිපයක්. පළවෙනි එක තමයි ආදරණීය කතාවක් එකේ ආදරණීය කන්සෙප්ට් එක ටිකක් පරණ වීම. ප්‍රියන්ත ෆිල්ම් එක ගැන සංවාදයේදී කීවේ මේ චිත්‍රපටිය ආශිකී 2 එකට වඩා වෝක් ටු රිමෙම්බර්, නෝට්බුක් වගේ බටහිර චිත්‍රපටි වලට වැඩියෙන් සමීපයි කියලා. ඇත්තටම මට ෆිල්ම් එක බලද්දී වෝක් ටු රිමෙම්බර් මතක් වුණා. ඒ විතරක් නෙවෙයි ඔය කැන්සර් තියරි එක තියෙන ෆිල්ම් ඕනතරං තියෙනවා. හින්දි සිනමාවම ගත්තොත් මේ ළඟදී ආපු සනම් තේරි කසම් චිත්‍රපටියත් ඒ වගේ එකක්. සනම් තේරි කසම් චිත්‍රපටියෙදී කැන්සර් සීන් එක ගේන්නේ වෙනම තැනකින්. කැන්සර්ම කේන්ද්‍ර කරගන්න ගියොත් ෆිල්ම් එක ටිකක් ඔඩ් වෙනවා මේ වගේ කාලෙක. ( උත්තරීතර ප්‍රේමවන්තයො දෙන්නෙක් එකිනෙකාට ආදරය කරද්දී තමන් මැරෙන්න යන බව එක්කෙනෙක් දැනගත්තොත්? ඕක කොච්චර ඇහුවත් පරණ වෙන්නැති ප්‍රශ්ණයක්. හැබැයි ඒක අළුත් විදියකට අහන්න පුළුවන් වෙන්න ඕන.)



ප්‍රේමයේදී දෙන්නගෙන් එක්කෙනෙක් මියයෑම තමයි ෆිල්ම් එකකට ගේන්න පුළුවන් ඛේදනීයම අවසානය. ඒක ස්ටීරියෝටයිප් නැතිව අළුත් විදියකට ගේන්නේ කොහොමද කියන එකයි ගෝල්ඩන් ප්‍රශ්ණය.

ලිපිය එන්න එන්නම දිග වෙන නිසා ඔය ප්‍රශ්ණය වෙනම සාකච්ඡා කරන්න හිතුවා. ටිකක් වෙලාව අරගෙන. ඊට වඩා සරල තැනකින් මේ සටහන හමාර කරන්නං.
ආශිකී චිත්‍රපටිය සාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ප්‍රේමවන්තයන්ගෙ නැවුම් බව. ඒ කියන්නේ ශ්‍රද්ධා කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් කියන නැවුම් මූණු දෙක තමයි කතාව තරුණ හිත්වලට කාවැද්දුවේ. කොටින්ම කීවොත් ඔය කතාවම ශාරුක් දාලා කළොත් ෆිල්ම් එක හිට් වෙයි ඒත් ලව් ඇන්තම් එකක් වෙන්නේ නැහැ. විස්මයක් වෙන්නේ නැහැ.
මං ප්‍රියන්ත ඉදිරියේ ඔය ප්‍රශ්ණෙ මතුකළාම ඔහු කිව්වේ එහෙනං ශාරුක්ලා අමිතාබ්ලා සිනමාවේ අවුරුදු තිහ හතළිහ හිට් පිට හිට් ෆිල්ම් කරන්නෙ කොහොමද කියලා. ඒත් ඇත්තටම ශාරුක් ඩීඩීඑල්ජේ, කුච් කුච් හෝතා හේ, දිල් තෝ පාගල් හේ කරපු කාලේ තමයි ආදරයේ චිත්‍රපටි වුණේ. ඉන්පස්සේ යොවුන් තාරුණ්‍ය ආදරය වගේ තීම් එක්ක ෂාරුක්ට ෆිල්ම් කරන්න බැහැ. කසාද බැඳපු කෙනෙක්ගේ ආදරය, ආත්මයෙන් ආත්මයට එන ආදරය වගේ ඒවා ෂාරුක් කළේ. ඒවත් ෂාරුක්ගේ ලෙගසිය නිසා මිස ලව් ඇන්තම් විදියට හිට් වුණේ නැහැ. මෑත කාලේ නං හැපි නිව් ඉයර්, දිල්වාලේ, චෙන්නයි එක්ස්ප්‍රස් වගේ කුණුගොඩවල් මිසක් ලව් ඇන්තම් ෂාරුක් කළේම නෑ.



ෂාරුක් නං කමක් නෑ. එයා සිනමා පෞරුෂයක් නිසා කොච්චර කල් ගියත් මාකට් කරන්න පුළුවන්. ඒත් උදාරි වර්ණකුළසූරිය වගේ රෑ මෙගා ටෙලිඩ්‍රාමා බෙල්ට් වල පට්ටගහපු මූණකින් සිනමාශාලා වලට මිනිස්සු අද්දන එකනං කරන්න අමාරුයි. ඇත්ත කිව්වොත් උදාරි කියන්නේ පිස්සු හැදෙන ආකර්ශණයක් ලබාගන්න පුළුවන් කෙනෙක්. ඇය ලස්සනයි. (කාලයක් මාත් ඇගේ රූපෙට පිස්සු හැදිලා හිටියා කියලා උඩ කිව්ව සංවාදේ හිටපු සන්නස්ගල මගේ කටින්ම අල්ලගත්තා.) ඒත් මේ ෆිල්ම් එකේදී ප්‍රියන්තට තිබුණු එකම වාසිය එයා ටික කාලයක් සිනමාවෙන් ඈත් වෙලා හිටපු එක විතරයි. උදාරි විතරක් නෙවෙයි ජනප්‍රිය කලාවේ ඉදිරියට යන්න ඉන්න ඕනම තරුණ ශිල්පියෙක් ශිල්පිනියක් ඉදිරියේදී වුණත් කල්පනා කරන්න වෙන්නේ හැමවෙලාවෙම දකින්න අහන්න ලැබුණොත් වටිනාකම හැලෙනවා කියන එකයි. (බස් අජිත් වගේ)

දේවල් බාගෙට කියලා සටහන නතර කරන්නේ කාර්යබහුල ජීවිත වලින් සෑහෙන කොටසක් දැනටමත් හොරකම් කරලා තියෙන නිසා. කියන්න තියෙන ඉතිරිටික පස්සට තියන්නං. මේ ෆිල්ම් එක ගැන මගේ අතින් සටහන් කිහිපයක් ලියැවේවි. ඒ වෙන මොනාවත් නිසා නෙවෙයි ෆිල්ම් එක මට වැදුණ නිසා. අනිත් බොහෝ දෙනෙක්ට වගේම ෆිල්ම් එක මටත් ඉෆෙක්ට් කරන්න ප්‍රියන්ත කොළඹගේ, හේමාල්, මියුසික් කරපු උදාර සමරවීර වගේම  බිමල්, උදාරි අරුණි ඇතුළු ෆිල්ම් එකට දායක වුණ සියළු දෙනා සමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ෆිල්ම් එක බලන්න ඔයාලත් දුවලා දුවලා යන්න.

9 comments:

  1. මම බැලුවේ නම් නෑ.. බලන්න හිතකුත් නෑ... මට ඕක වදින එකකුත් නෑ.. හේතුව, දැන් ඉන්න උන් ලව් කොරන්න දන්නේ නෑ... ඒකනේ අර සේපාල් පරණ ඒවා දදා ඉල්ලන්නේ.. අපිට ඕන මේවා කියලා.. මට හොඳට මතකයි ජනක සහ මංජු බලන්න ගිහින් හතර සැරයක් හැරිලා ආවා.. ඒ කියන්නේ හවුස් ෆුල්... ආන් එහෙම ලව් ඉස්ටෝරියක් හදන්න පුලුවන්ද එකෙකුටවත්.. කලින් සින්දු ටික එලියටා දාලා.. අපරාදේ අර ඉනෝකගේ සෝ එක කව්ද බැලුවේ... පබාද කොහෙද නේ හිටියේ.. බබා කියන්නේ රොමෑන්ටික් කේස් එකක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක්.. එහෙම නම් ඉතින් පවිත්‍රා වන්නිආරච්චි දාලා එකක් කරන්න තිබුනා.. ගීතත් ඊට ලස්සනයි.. අනික ගීතයි ඒ හිටපු කොල්ලයි දැම්මා නම් අර හඳයගෙ එකේ අනිත් පැත්ත නිසා සෝ ගාලා සෙනග එන්නත් තිබුනා.. ඔය ෆිලුම් හදන උන් උඹ අඳුනනවා නම් පොඩ්ඩක් කියහන් අපිව කොන්සල්ට් කොරන්න කියලා.. හැබයි චාජ් එක වැඩියි හොඳේ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඒ කාලේ ෆිල්ම් බලන්න කට්ටිය ගියේ සමාජමය ආර්ථිකමය වශයෙන් මීට වඩා වෙනස් තැනක..
      අනික ඒ කාලේ ෆිල්ම් කරපු අය නිදහසේ කොපි කළා.... ගොඩක් අය කොපි කියලා දැනගත්තෙත් නැහැ....
      මට අතීතකාමයක් නෑ.... ඒ කාලේ ෆිල්ම් බැලුවාම ඒ තරං මැජික් එකක් පෙනෙන්නෙත් නෑ...
      දැං එවුං ලව් කරන්න දන්නෙ නෑ කියනෙක නං ඇත්ත... ඒත් මේක ඊට වෙනස් වැඩක්

      Delete
    2. කොපි කරලා හරි කමක් නෑ... පුළුවන්නම් හදන්න කියපන්, හෝල් කුඩු කරන එකක්.. සමාජ ආර්ථික වෙනස්කන් ඉන්දියාවේ නැද්ද, ඇමරිකාවේ නැද්ද, ඒවල ටී වී නෙමෙයි වර්චුවල් රියැල්ටි තියෙද්දිත් බොක්ස් ඔෆීස් ඒවා හැදෙන්නේ කොහොමද?

      ඕවට තමයි උඩුවෝ කියන්නේ නටන්න බැරි උන් පොළොව ඇදයි කිව්වා කියලා කියන්නේ..

      Delete
  2. අවංකව ම බලන්න වුවමනාවක් දැනෙන්නෙ නැහැ.. හෝ ගානා පොකුණ බලන්න යාමට මට මා තුළින් ම දැඩි පෙළඹවීමක් දැනුණා.. ඒ වගෙම දෙවරක් ඒක බලන්නත් ගියා. මේ චිත්‍රපටයෙ ට්‍රේලර් එක තුළින් ෆිල්ම් එක බැලුවාම අලුත් යමක් ලැබේවි කියා හිතන්නේ නැහැ.

    ReplyDelete
  3. හින්දි ,දෙමල චිත්‍රපට රාමුවට කොටු නොවී අපේ රටට ගැලපෙන සිනමාවක් නිර්මාණය කර ගන්න හැකියාවක් නැතිද?

    ReplyDelete
  4. ෆිල්ම් එක බැලීම ගැනනම් ශුවර් එකක් නෑ. නෙට් එකේ කොහේ හරි තිබිලා අහු උනොත් ඇරෙන්න. හැබැයි සිංදු ටික නම් මේ දවස් වල පට්ට ගහනවා තියාගෙන. මොකො සිංදු ටික නම් මට මාර ගති.

    ReplyDelete
  5. තවම බැලුවේ නැත. ඇගේ ඇස අග නම් දෙවතාවක් බැලුවා.

    පත්තිනි ත් බැලුවා ගමේදි. එහෙ හෝල් නම් ඉතින් කියල වැඩක් නෑ. ගෙදර අය මං එක්ක ගියොත් මිස චිත්‍රපටයක් නොබලන නිසා සිනමාත්මක හැඟීමක් නොදැනුණත් ඒ අබල දුබල හෝල්වල ඉඳහිට චිත්‍රපටයක් බලනවා. හඬ තාක්ෂණය අන්තිමයි. දෙබස් තේරුම් ගන්න සෑහෙන කට්ටක් කන්න ඕනි. අම්ම අන්තිමේ කිව්වෙ ‘‘මොකුත් තේරුණේ නෑ. හරියට ලොකු දුවගෙ කවි පොත වගේ කියල.ජිරි බිරි ගානවා විතරයි.‘‘ කියල

    ඇගේ ඇස අග අපේ ගම්පළාත්වලට තවම ආවෙ නැහැනෙ.

    මේ චිත්‍රපටිය නම් බැලුවෙ නැහැ තාම...

    ReplyDelete
  6. මට හිතෙන්නේ ආදරය කියන හැඟිම හදවත ට වදින්න දෙන්න පුලුවන් නලු නිලියෝ නැහැ බිහිවෙන්නේ.. ඒ ඇයි..

    ReplyDelete

Search This Blog