Saturday, June 23, 2018

ශ්‍රීලනිප මළගමේ අවසන් ඇණය


ඉදිරි මාස දෙකක් තුනක් ඇතුලත මහින්ද රාජපක්ෂ ඇතුළුව නිල වශයෙන්
 ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල සාමාජිකත්වය ගන්න නියමිතයි. ‍ එය ලංකා ඉතිහාසයේ දැවැන්ත දේශපාලන වෙනසක් වේවි. 




නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ගිය මේ අයට වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමිවීමේ අවදානමක් තියෙනවා. නිදහස් සන්ධානයේ ලේකම්වරයා නිල වශයෙන් පාර්ලිමේන්තුවට කරන දැනුම්දීමකින් එහෙම කරන්න පුලුවන්. ව්‍යවස්ථාව අනුව එහෙමයි. මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගන්නට හේතු අතර ප්‍රධානම හේතුව ඒක. හැබැයි ලංකාවේ ප්‍රායෝගිකව පක්ෂ මාරු කළ පමණින් මන්ත්‍රීවරයෙකුගෙ මන්ත්‍රීධූරය අහිමි කරන්න අමාරුයි. ලංකාවෙ එහෙම වෙලා නැති තරම්. 

කොහොම වුණත් අපි එක්ක සෑහෙන වෙලාවක් කතාකරමින් ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරයෙක් පැහැදිළි කළා එහෙම පක්ෂ මාරු කළාට පස්සෙ ශ්‍රීලනිපය මොකක් කළත් විනාශ වෙන බව. මේ මන්ත්‍රීවරු පණස් ගනණකගෙ මන්ත්‍රීධූර අහෝසි කළා කියලා හිතමු. එහෙම වුණොත් ඒක මේ මන්ත්‍රීවරුන් ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් ලබනවා.

'මමනම් හරි කැමතියි මගේ මන්ත්‍රීධුරය අහෝසි කරනවාට. තව මාස කීයද පාර්ලිමේන්තුවට තියෙන්නෙ. ඒ කාලෙ ඉවරවෙද්දී ඡන්දයක් එනවා. පළාත් සභාවට කලින් අපි පොහොට්ටුවට බැඳනවා. අපේ මන්ත්‍රීධූර නැති කළොත් අපි කට්ටියම පළාත් සභාවට ඉල්ලනවා.' එක්කෙනෙක් කිව්වෙ එහෙමයි. අනෙක පළාත් සභා ඡන්දයෙන් පස්සෙ මන්ත්‍රීධූර අහෝසි කළොත් මොකද වෙන්නෙ. මේ කණ්ඩායමට පුලුවන් අධිකරණයට යන්න. 

අධිකරණය ඉදිරියේ මේ මන්ත්‍රීවරු පණස් ගණනක නඩුව කාලයක් ඇදෙනවා. මේ පක්ෂවල මැතිවරණ ප්‍රකාශ ගෙනෙනවා. සන්ධානයේ ගිවිසුම් ගෙනෙනවා. සන්ධානයේ සාමාජික පක්ෂවල කරුණු විමසනවා. අධිකරණ කටයුත්තට මාස අටක් විතර යන්න පුලුවන්. ඉතින්, අධිකරණයෙනුත් මේ අයගෙ මන්ත්‍රීධූර අහෝසි කළොත් ඒක කරන්න වෙන්නෙ මාස අටක් විතර ගිහින්. ජනාධිපතිවරණය කට ළඟ තියෙද්දී.එතකොට ආයෙමත් ඡන්දයට කලින් විශාල ජනතා අවධානයක් මේ අයට ලබන්න පුලුවන්. පාර්ලිමේන්තු වරප්‍රසාද ටික, වාහන, වැටුප් වලට වඩා ඒ ජනප්‍රියත්වය දිගු කාලීනව වැදගත්. වටිනවා. ගොඩ.

ඒ සියලු තර්ක අනුව ඉදිරි මාස කිහිපයේදී මේ අය ආණ්ඩුවෙන් ඉවත්වෙන බව අභ්‍යන්තරයේ විශ්වාසදායක ආරංචිමාර්ග කියනවා. ඒ් ඉවත්වීම හරහා ශ්‍රීලනිප මළගමේ අවසන් ඇණය වදීවි. ශ්‍රීලනිප බලවේගයම අලුත් පක්ෂ නාමයකින් අනාගතයට මුල පුරාවි. 

*****************************

ඒකාබද්ධ විපක්ෂයේ තියෙන ප්‍රධානම පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. රාජපක්ෂවරුන්ගේ පක්ෂය. රාජපක්ෂවරුන් අවුරුදු ගාණක් තිස්සේ ප්‍රමෝට් කරපු තීම් එක තමයි නෙළුම් පොහොට්ටුව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුණෙ නෙළුම් පොහොට්ටුව තීම් එක කරගෙන. 

රාජපක්ෂලා තමන්ගෙ හැකි උපරිම උත්සාහය ගත්තා බණ්ඩාරණායකවරුන්ගේ පක්ෂය වෙච්ච ශ්‍රීලනිපයේ ආරම්භයේදී රාජපක්ෂලාත් බණ්ඩාරණායකලා ලඟින්ම හිටපු බව පෙන්වන්න. මොකද පක්ෂයේ නිර්මාතෘවරුන් ලෙස තමන්ගේ පරම්පරා නාමය කියැවීම ලංකාව වගේ පසුගාමී දේශපාලන සංස්කෘතියක් තියෙන රටක බලය ගන්න හොඳම ක්‍රමයක්. හැබැයි කොච්චර කළත් ශ්‍රීලනිපය බණ්ඩාරණායකලාගේ. උරුමය බණ්ඩාරණායකලාගේ. හැබැයි පොදුජන පෙරමුණ කියන්නේ රාජපක්ෂලාගේ පක්ෂය. බණ්ඩාරණායකලාගේ ශ්‍රීලනිපය මැරිලා අනාගතයේදී පොදුජන පෙරමුණ ප්‍රධාන පක්ෂ දෙක අතරට ආවොත් එය රාජපක්ෂලාගේ නම සදාකාලිකවම දේශපාලන පොළොවේ කෙටුවා වගේ වැඩක් වේවි. මේ පක්ෂය නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, චිචී රාජපක්ෂ වගේම අනෙක් රාජපක්ෂලාගේ පුත්තුන්ටත්, ඒ පුත්තුන්ගෙ පුත්තුන්ටත් බල දේශපාලනයේ වැඩකිඩ දාන්න හොඳ අවස්ථාවක් වේවි. 

ඉතින්, මේ වෙද්දී ඒකාබද්ධ විපක්ෂයේ සිටින කණ්ඩායම රාජපක්ෂලාගේ රාජපක්ෂය වෙච්ච පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නා බව අතිශය පැහැදිළියි. මහින්ද රාපජක්ෂත් ඇතුළුව. හැබැයි ඒක සිද්ධවෙන්නෙ කවදාද කියන එක තමයි ප්‍රශ්ණය. 

පොහොට්ටුව පක්ෂයක් විදියට ලියාපදිංචි කරද්දී ඒකේ සභාපතිවරයා ලෙස නම් කරපු ඩමිය වුණේ ජී.එල්. පීරිස් මහාචාර්යවරයා. ඔහු පාර්ලිමේන්තුවේ නැහැ. පක්ෂයේ ලේකම්වරයා වගේම පසුව ජාතික සංවිධායක බවට පත්වුණ බැසිල් රාජපක්ෂත් පාර්ලිමේන්තුවේ නැහැ. ඇත්තටම පොදුජන පෙරමුණේ නිල සාමාජිකත්වය දරණ මහජන නියෝජිතයන් ඉන්නේ පළාත් සභාවල විතරයි. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වුණ කිසිම මන්ත්‍රීවරයෙක්ට පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්න බැහැ. ඒ අය පොදුජන පෙරමුණට සපෝට් කරන්නේ පක්ෂයෙන් පිට කණ්ඩායමක් විදියට පමණයි. සාමාජිකයන් විදියට නෙවෙයි. 

ඇත්තටම පොදුජන පෙරමුණ හැදෙනකොට ඔය පාර්ලිමේන්තු කණ්ඩායමේ හිටපු ඩලස් අලහපෙරුම, මහින්දානන්ද, වෙල්ගම, සී.බී. , ලොකුගේ ඇතුළු ප්‍රවීණම නායකයන් බොහොමයක් කැමති වුණේ කවදාහරි ශ්‍රීලනිපයට ආයෙත් යනතුරු පමණක් පොහොට්ටුව සමඟ වැඩ කරන්න විතරයි. මොකද එයාලාගේ ඇතුලෙන්ම හැඟීමක් තිබුණා අපි ශ්‍රී ලංකාකාරයො කියලා. ඇත්තටම පක්ෂෙ සාමාජිකයො පවා හිතුවෙ මෛත්‍රීපාල සිරිසේනගෙ ග්‍රහණයෙන් ශ්‍රීලනිපය මිදෙනකල් පොහොට්ටුවේ ඉන්නවා කියලයි. ඒ බව ශ්‍රිලනිපයේ ප්‍රබලයන් වෙච්ච ඒකාබද්ධයේ සාමාජිකයො ගොඩක් මා එක්ක පෞද්ගලිකවම කියලා තියෙනවා. 'කවදාහරි අපි එකතු වේවිනේ.' නිතර ඔවුන් කීවේ එහෙමයි. 

හැබැයි මෛත්‍රීපාල සිරිසේන කියන අනෙක් දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ අනෙක් දේශපාලන නායකයා එක්ක එකතුවෙලා කළේ ඉතාම අධම වැඩක්. දේශපාලනිකව ඒක නින්දිතම වැඩක්. මහින්ද රාජපක්ෂ එක්ක 2015 මැතිවරණයට එකට ඉදිරිපත් වෙන්න මෛත්‍රීපාල සිරිසේන මහතා පසුපසින් එකඟ වුණා. මහින්ද රාපජක්ෂ මහත්තයාට මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නත් ඉඩ දුන්නා. ඒත් අන්තිම මොහොතේ මහින්ද රාජපක්ෂට පිහියෙන් ඇන්නා වගේ වුණා. ලංකාවෙ කිසිම දේශපාලන නායකයෙක්ට පුරවැසියො විදියට අපි ගැතිවෙන්න ඕනෑ නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂට හිතවත් ඡන්දදායකයන්ට කරපු මේ වැඩේ ඉතාම නින්දිතයි. මොකද ඡන්දය ආවාම ඡන්දයේදීත් පාක්ෂිකයො ඔප්පු කරලා පෙන්වුවා අපි ඉන්නේ මහින්ද රාජපක්ෂ එක්ක කියලා. මෛත්‍රීගේ කණ්ඩායම දිස්ත්‍රික්කවලින් පරාජය කළා. ඉන්පස්සෙ මෛත්‍රී කලේ අර පරාජය කරපු අයව ජාතික ලැයිස්තුවෙන් ගෙනාවා. මහින්ද එක්ක හිටපු පළියට තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර වගේ දැනුමක් තියෙන පුද්ගලයන්වත් හැලුවා. 

මේ සියල්ලෙන් පස්සෙ බැසිල් රාජපක්ෂ මහත්තයා පොදුජන පෙරමුණ ඉස්සරහට ගෙනාවා. ඔහු ඒ වෙද්දී 2014 පරාජයට හේතුව විදියට ලේබල් වෙලා තිබුණේ. ( ගෝඨාගේ මිනීමැරුම් සහ මර්ධනය රාජපක්ෂලාගේ පරාජයට සැබෑ බරපතළ හේතුවක් වුණත් ඒක කවුරුවත් හයිලයිට් කළේ නැහැ.  ඇත්තටම මර්ධනය කියන්නෙ රාජපක්ෂ ආණ්ඩුවට මිනිස්සු විරුද්ධ වෙන්න ප්‍රධානම හේතුවක්. ) ඒත් බැසිල් රාජපක්ෂ මැජික් එකක් කරලා පෙන්වුවා. ප්‍රාදේශීය නායකයන්ව එකතු කරගෙන බිම් මට්ටමේ සංවිධානය ශක්තිමත් කළා. ඇත්තටම බැසිල් රාජපක්ෂට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ යාන්ත්‍රණය තමන්ගෙ යටතට ගන්න එක විතරයි. ඒත් ශ්‍රීලනිපයේ කාර්යාලය, එතැන තිබුණු දත්ත සහ තොරතුරු සියල්ල නැතිව අලුතෙන්ම මෙහෙම දෙයක් කරන එක අමාරු වැඩක්. කවුරුත් ඒ ක්‍රෙඩිට් එක බැසිල්ට දිය යුතුයි. 

මේ ජයග්‍රහණයෙන් පස්සේ මම අර උඩින් කී මධ්‍යස්ථ කණ්ඩායම පවා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්න හිත හදාගෙන තිබුණේ. මොකද මෛත්‍රීපාල සිරිසේන අර වෙන්වෙන්න යන අය තමාට ළං කරවාගැනීම වෙනුවට ඔවුන්ව තව තවත් ඈත් කිරිම කලේ. ඒ දුමින්ද දිසානායක කියන අත්දැකීම් මඳ දේශපාලඥයා හරහා. ඉතින්, මේ වෙද්දී අර කණ්ඩායම පොහොට්ටුවට එක්වීම ස්ථිරයි. 

අනෙක 16 දෙනාගේ කණ්ඩායම කියන්නේත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක එකතුවෙලා. ශ්‍රීලනිපය කියන පක්ෂයට ආදරයෙන් මෙතැන හිටපු කණ්ඩායම. මිනිස්සුන්ගෙ ගැරහීමට ලක්වෙවී මේ කණ්ඩායම මෙතැන හිටියා. ඒකට පළවැනිම හේතුව ඇමතිකම්. හැබැයි ඒක පිටිපස්සෙ පක්ෂෙට ආදරයකුත් තිබුණා. මේ දේශපාලඥයන්ට ඕනෑ පළවැනිම දේ ඇමතිකම් කියලා සිතීමත් මෝඩකමක්. මේ වගේ කණ්ඩායමක් අවුරුදු ගාණක් බලයේ ඉන්නකොට හම්බකරල දේවල් විපක්ෂයේ ඉන්න ටික කාලයකට විතරක් නෙවෙයි, තව පරම්පරා හතකට ප්‍රමාණවත්. 

මෝඩ පුරවැසියො වෙච්ච අපි වගේ නෙවයෙි,පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස්කරන කූඹියෝ වගෙයි. ' මේ අයට දැන් තියෙන ප්‍රශ්නය බලයේ රැඳීලා ඉන්න හැටි. වැරදි වෙලාවක ආණ්ඩුවේ ඉඳීම තරම් නරක දෙයක් නැති බව 'තිස්ස අත්තනායක' ඛේදාන්තය වගේ දේවල්වලින් අපේ දේශපාලුවෝ හොඳින් දන්නවා. ඉතින්, මේ 16 දෙනාගේ ගමනේත් තාර්කික අවසානය පොදුජන පෙරමුණ සමඟ එක්වීමයි. 

ප්‍රසන්න රණතුංග, පවිත්‍රා ඒකට විරුද්ධයි තමයි. හැබැයි මහින්ද රාජපක්ෂට පවිත්‍රා වගේම ජෝන් වැදගත්, ප්‍රසන්න වගේම ගම්පහ අනෙක් සෙට් එකත් වැදගත්. ඔය චරිත 16ත් නිමල් වගේ නිදිමත චරිත ටිකත් මහින්දට වැදගත්. ඒ නිසා ඔය බරබරේ දාන අයව කණට කරලා මහින්ද මහත්තයා සුද්ධ සිංහලෙන් දෙකක් කියලා පැහැදිළි කළාට පස්සේ විරුද්ධ කට්ටියත් නිහඬ වෙයි. සිංහලෙන් කිව්වාම නොතේරුණෙත් අතපයත් දිගඅරින්න මහින්ද මහත්තයා කටයුතු කොරයි. එතකොට කොහොමත් තේරුම් ගනියි සාමයේ, සංහිඳියාවේ වැදගත්කම. ( අතපය දිගඇරියාට ඒකට විරුද්ධව වචනයක් නොකියා ඉන්න තරම් මහින්ද ළඟ ඉන්න අය බුද්ධිමත්. )

No comments:

Post a Comment