ගොඩවදින්නෝ

Friday, August 28, 2015

ඔහු නිකන්ම රතුපස්වල වීරයෙකි



අප සිටින්නේ වීරයන් අවැසි සමාජයක. මේ මොහොතේ වීරයන්  ඕනෑ තරම් ඉන්නවා. වීරයෙක් වෙන එක ලේසියි. වීරයෙක් නැතිව අපටත් බැහැ. මොකක් හෝ ක්ෂේත‍්‍රයක වීරයෙක්් අනුයන්න අපි බලාගෙන ඉන්නවා.
 
දේශපාලනයේ, කලාවේ, සිනමාවේ වගේම ක‍්‍රීඩාවෙන් වීරයෝ බිහිවෙනවා. මාධ්‍ය හරහා ඒ වීරයන්ගේ ප‍්‍රතිරූප මවනවා. වීරයෝ ඉන්න තැන දුෂ්ටයොත්  ඕනෑමයි. දුෂ්ටයන්ගේ ප‍්‍රතිරූපය මවන්නෙත් මාධ්‍ය හරහාම තමයි.

දෙමළ මිනිසුන්ගේ වේදිකාව මතින් පැනනැඟුණු යුද්ධයක් විසින් අපේ සමාජයට වීරයන් සහ දුෂ්ඨයන් නිර්මාණය කරලා දුන්නා. රටම අප්පච්චි කෙනෙකුගේ ප‍්‍රතිරූපයකුත් අප්පච්චිගේ වීර මල්ලියෙකුත් රාජකීය පවුලකුත් මාධ්‍ය හරහා එළියට ආවා. මේ වීරයන්ගේ ප‍්‍රතිරූපය රකින්න රණවිරුවෝ කියලා අතුරු වීරයෝ ටිකක් සමාජගත වුණා. දුෂ්ටයොත් නිර්මාණය වුණා. ඒ අර රජ පවුලේ ආතල් කඩන අය.

මාතෘකාවට ආ යුතුයි. සටහන ලියැවෙන්නේ රජ පවුලේ අවසානය ගැනත් අලූතින් බිහිවුණු වීරයන් ගැනත් කියන්නට නෙවෙයි. මේ මාධ්‍ය වීරයන් හැරුණුකොට ඇත්ත සමජයේත් වීරයන් ඉන්න බව මතක් කරලා දෙන්නයි. ඒ වීරයන් විනාඩියෙන් විනාඩිය වෙළඳ දැන්වීම්වල පෙනී හිටින්නේ නැහැ. ඔහු ඔබ ගමනක් යන ති‍්‍රරෝද රියේ රියදුරා විය හැකියි. වැලිවේරිය දේවස්ථානය ඉදිරිපිටදී ත‍්‍රිරෝද රථයක් තුළ අපට වීරයෙක් මුණගැහුණා. මේ සටහන ඔහු වෙනුවෙන්.

ඔහු මෙලන් චින්තක පෙරේරා. නමින් පමණක් ඔහුව හඳුනාගත නොහැකි වුණත් පහුගිය මැතිවරණවලදී වත්මන් ආණ්ඩුව බලයට එන්නට යොදාගත්ත රූප රාමු අතර ඔහු සිටින දර්ශනයකුත් ඉහළින්ම අලෙවි වී තිබුණා. ඒ ඔහු රතුපස්වල වැලිවේරියේදී හමුදාවේ වෙඩි ප‍්‍රහාරයට ලක්වී බිම ඇද වැටෙන දර්ශනය.
ඔහු වැලිවේරියේ පදිංචිකරුවෙක්. රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය විස වී තිබීම නිසා වැලිවේරිය හන්දියේ උද්ඝෝෂණය කළ මිනිසුන් අතරට ඔහුත් එකතු වුණේ වැලිවේරිය හන්දියේ සිය ත‍්‍රිරෝද රථය තබාගෙන සිටින විට මිතුරන් විසින් තත්ත්වය පෙන්වා දී ඔහුටත් කතා කළ නිසා. නොසිතූ විදියට හමුදාව විරෝධතාකරුවන් වට කරගෙන භයානක සෙවණැලි මවද්දී ඔහු නිර්භයව හමුදාව ඉදිරියට ගියේ හමුදාව කවදාවත් සාමාන්‍ය මිනිසුන්ට මොනවත් කරන්නේ නැහැ මචංකියමින්. එහෙත් ඔහුට හමුදාවට එකල අණ දුන් රාජපක්ෂවරුන් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඉදිරියෙන්ම සිටි ඔහු ශ‍්‍රී ලංකා හමුදාව අතින් වෙඩිපහර කෑවා.

මේ සිදුවීම දෛවෝපගතයි. ඔහු අවුරුදු දොළහක් හමුදාවේ හිටියා. 1990 සිට 2002 දක්වා සිංහ රෙජිමේන්තුවේ සිටි ඔහු හමුදා සෙබලෙක් විදියට වෙඩි ප‍්‍රහාරයට ලක්වී තිබුණා. ඔහුගේ සිරුර තුළ එල්ටීටීඊ වෙඩි ප‍්‍රහාර තුනකත්, හමුදාවේ වෙඩි ප‍්‍රහාරයකත් තුවාල තියෙනවා. මොහොතක් එහි අර්ථය සොයන්න.
කවදාවත් අපි ආමි එකේ ඉන්නකොට නිරායුධ පුද්ගලයකුට විරුද්ධව අවි පාවිච්චි කරලා නැහැ. අනෙක් අතට සිවිල් වැසියෙක්ට කොහොමත් වෙඩි තියන්නේ නැහැ. මම ආමි ඒකේ ඉන්නකොට ෂොට් තුනක් වැදිලා තියෙනවා. තාමත් පිටේ කැළලක් තියෙනවා. ඒ වෙලාවේ වෙඩි තියන්න පටන් ගන්නකොට මම ඉස්සරහට ගියේ වෙඩි තියන්න එපා කියලා ඉල්ලන්න.

ඔහු අයත් වන්නේ රාජපක්ෂ වර්ගීකරණයට අනුව රණවිරුවන්ගේ කාණ්ඩයටද, එසේත් නැත්නම් දේශද්‍රෝහීන්ගේ කාණ්ඩයට දැයි සිතාගත නොහැකියි. යුද හමුදාවේ හිටපු කාලය සුන්දරයි’. ‘ඔහු එහෙම කියනවා. හමුදාවේ ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සු. එදා හිටියේ හමුදාව කියලා විශ්වාස කරන්නත් මම කැමති නැහැ. මම ආමි එකේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැනේ. උද්ඝෝෂණයක් කියලා හිතාගෙන වෙඩි තියන්න ඇති.ඔහු යුධවාදී මතවාදයේ රණවිරුවෙකුව සිට හදිසි අනතුරකින් පසු මහින්ද විරෝධී පිලේ වීරයෙක් ලෙස මැතිවරණ ව්‍යාපාරවල විකිණෙන භාණ්ඩයක් බවට පත් වුණා යැයි පැවසිය හැකිය. ඇත්තටම එය ලංකාවේ අධිපතිවාදී මතවාදයේ වෙනස්වීමට හොඳ නිදසුනක් නොවේද?

එතැනදී තුවාල ලබලා මාස හතරහමාරක් රෝහලේ හිටියා. උකුල් ඇටය සම්පූර්ණයෙන්ම බද්ධ කළා. ගෙදර ඇවිල්ලා මාස හයක් හතක් ඇවිදගන්න බැරිව ඇඳේ හිටියා. ඊට පස්සේ තමයි කිහිලිකරුවලින් හෙමීට ඇවිදින්න පටන් ගත්තේ.

2013 අගෝස්තු පළමුවැනිදා සිට වසරකට අධික කාලයක් ඔහු කිසිවක් කරගන්න බැරිව හිටියා. ඒ වෙනකොටත් වෙඩි පහර කන රූපරාමු මහා දේශපාලන වෙනසක් සඳහා අලෙවි වෙමින් තිබුණා. ඒ අලෙවියෙන් ඔහුට ලාභයක් හිමි වුණේ නැහැ.

මට ති‍්‍රරෝද රියක් තිබුණා. ඒ හමුදාවෙන් ඉවත් වෙලා ඉතිරි කරගත්ත මුදල් සහ ඉන් පස්සේ විදේශගත වෙලා එකතු කරගත්ත සල්ලිවලින් ෆිනෑන්ස් කරලා ගත්ත වාහනයක්. මම ඇඳට වෙලා හිටපු කාලයේ ෆිනෑන්ස් ගෙවාගන්න බැරිව වාහනය අරන් ගියා. දහ අතේ ණය වුණා. දැන් යාළුවෙක්ගේ ත‍්‍රිවීල් එකක එයා වැඩ නැති වෙලාවට කුලියට අරන් දුවනවා.

බලාපොරොත්තු පිරුණු ලෝකයක් ණයවලින් වසා දමා තිබෙනවා. මෙලන්ට පාසල් යන කුඩා දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඔවුන්ට පාසල් ගාස්තු ගෙවන්න පවා මුදල් හොයාගන්න බැරිව රතුපස්වල වීරයා අසරණ වෙලා ඉන්නවා.

මියගිය තුන්දෙනාට නම් ආණ්ඩුවෙන් ලක්ෂ දහය ගානේ දුන්නා. ඒත් මට කිසිම සහනයක් ලැබුණේ නැහැ. අඩු තරමේ මගේ ත‍්‍රිවිල් එක ෆිනෑන්ස් එකෙන් බේරලා දෙන්නවත් පුළුවන් වුණා නම්, දැන් බිරිඳ ගාමන්ට් රැුකියාවක් කරලා රුපියල් දොළොස්දාහක වැටුපක් ගන්නවා. මම මේ ත‍්‍රීවිල් එකේ කුලියයි, තෙල්වලට යන වියදමයි හැර සොච්චම් ආදායමක් ගන්නවා. මේ රස්සාව කරන්නත් අමාරුයි. නිතර කොන්දේ වේදනාව එනවා. එක දිගට අඩි දහයක් වත් යන්න බැහැ.’ 

මියගිය තිදෙනාටත් වඩා අසරණ වී තිබුණේ මෙලන්. ඔහු  පවුලක බරක් කරේ තබාගෙන තවමත් ජීවිතය ගැටගහනවා. මේ සටහන ලියැවෙන්නේ මෙලන්ගේ කතාව අහලා කිසිවෙකුටත් සංවේග උපදවාගන්න නෙවෙයි. මේ මිනිසුන්ගේ වේදනාව මතින් ඉපදුණු ආණ්ඩුවලට වගකීමක් තියෙනවා මේ මිනිස්සු ගැන හොයලා බලන්න. ඔහුව මුණගැහෙන්න ගොඩක් අය ඇවිත් තියෙනවා. සුළු සුළු ආධාර දුන් අයත් ඉන්නවා. අවසානයේ ඔහු අහම්බෙන් වීරයෙක් වීම එක් කතාවක් පමණක් බවට පත් වෙලා.

වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව තවත් භූමියක ජලය විස කරන්නට රතුපස්වලින් ගිහින්. 1997 ඉඳන් අපවිත‍්‍ර වුණ රතුපස්වල ජලය වසර විස්සක් යනතුරු සාමාන්‍ය තත්ත්වයට එන්නේ නැහැ. මිනිස්සු විස වතුර බොනවා. රතුපස්වල කතාව ආණ්ඩු මාරු කරන්නට විතරක් හේතු වෙලා. මෙලන්ලා වැනි රතුපස්වල වීරයන් තමන්ගේ පීඩිත ජීවිත තවත් පීඩිත තත්ත්වයට පත් වුණු වටපිටාවක නිමක් නැති අසහනයකින් යුතුව ජීවත් වෙනවා.

3 comments:

  1. මේක තමා අැත්ත..... ඒක වෙලාවක ප්‍රභාකරන්ගේ දකුණු අත වෙලා හිටපු කරුණා අාවා අාණ්ඩුවට... ඊට පස්සේ දේශප්‍රේමී ගෙවල් හදපු අැමතිතුමා කිව්වා ඒයා දේශප්‍රේමී කෙනෙක් කියලා.... ඒ වෙලාවෙත් අපිට මේ ගැටලුවම අාවා.. ඒතකොට ඒතුමා අරන්තලාවෙදී වෙඩි තියලා මරපු හාමුදුවරු දේශප්‍රේමීන්ද නැද්ද කියලා......

    ReplyDelete
  2. සමා වෙන්න මෙහෙම අහනවට.

    ආබාධිතයෙක් වීම හරහා ඔහුට රජයෙන් දීමනාවක් ලබාගන්න බැරිද? මාසික වැටුපක් වගේ.

    ඊට අමතරවා මානව හිමිකම් හා අයිතිවාසිකම් වෙනුවෙන් නඩුවක් පවරන්න ෆ්‍රී ඔෆ් චාජ් ලෝයර්ස්ලා ලබා ගන්න ක්‍රමයක් හොයාගන්න බැරිද?

    මම හිතන්නේ අද පවතින රහය වුනත් මේ පුද්ගලයන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඔවුන්ට වෙන අසාදාරණය නැති කරන්න ඕන.

    ReplyDelete
  3. සැඟවුණු වීරයෝ ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා.ඔවුන්ගේ වීරත්වය නොදැනුවත්වම තවත් අය අලෙවි කරනවා තමන්ගේ පටු වාසිය තකා.වීරයෝ පාරේ හිගනවා.

    ReplyDelete

Search This Blog