මට වැරදුණා මං යනව.....

දේශපාලනය.. දේශපාලනය ගැන කොතරම් ලිව්වත් හිතට සහනයක් දැනෙන්න නම් විදියක් නෑ. මොන විදියකට දේශපාලනයට සම්බන්ධ වුණත් දැනෙන්නේ අවුලක්ම විතරයි. බලාපොරොත්තු නෑ. 

දැන් මහ වරදකාර හැඟීමක් එක්ක කොහේහරි යන්න හිතෙනවා. මූණ දෙන්න බැරිව කාටවත්. මගේ අතින් වුණ බරපතළ වැරැද්දක් නිසා. මේ ඉන්න තැන එක්ක පුංචි වැරැද්දක් අපි අතින් වුණත් බරපතළ විදියට ගෙවන්න සිද්ධ වෙනවා. වැරදි වලින් අපි ඉගෙනගත්තත් එකක් ඉගෙනගනිද්දී බරපතළ විදියට අපට ගෙවන්න සිද්ධ වෙනවා. ගෙවීම කරන්නේ අපි නෙවෙයි වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ( මා කරපු වැරැද්දත් එක්ක මම ලියනවා. මේක කාටවත් නොතේරෙන අණ්ඩර සිංහලයක් වෙන්න පුළුවන්. ඉන්න තේරෙන තැනකට ගේන්න.)

ඊයේ පෙරේදා දවසක ලක්ෂාන් මධුරංගගේ කවි පොත එළිදක්වන උත්සවේදී විමල් කැටිපෙආරච්චි අයියා කළ කතාව මතක් වෙනවා.එතැනට එන්න පුළුවන්. (මම මෙතැනින් එහාට තැනින් තැන උපුටාගෙන හයිලයට් කරන්නේ කැටපෙ අයියාගේ කතාවේ කොටස්. සම්පූර්ණ කතාව මෙතැනින්)



වැරදීම් පිළිබඳ මිනිස් ඉරණමේ විවිධ පැති මානයන්ට අපේ ජීවිත ගොදුරු වෙමින් තිබෙන මොහොතක ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න කවි පොතක් එළිදක්වා තිබෙනවා. සමාජ දේශපාලනික වැරැුදීම් බොහෝ ගණනක් පෞද්ගලිකවත් සාමූහිකවත් අප අතින් සිදුවෙමින් පවතින නිමේෂයක ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න ‘වැඩියෙන්ම වැරදුණේ කවියන්ට’ යන නමින් කවිපොතක් එළිදක්වා තිබෙනවා
කැටිපෙ අයියා එහෙම කියනවා. ඇත්තටම අපි මේ මොහොතේ මොනතරම් වරද්දගන්නවාද? පරමාදර්ශයන් නැති ස්ථිර මාවතක් නැති අධ්‍යාපනයක් නැති වල්මත් ගතියක් මිස වෙන කිසිවක්ම නැහැ දැන්. ඒ අතරේ තමයි අපි බරපතළ වරද්දාගැනීම් කරන්නේ. ගැටලුව කියන්නේ අපි කරන වැරදි වලට සමාව යදින්න පුළුවන්ද? නැහැ...... මේ කාලයේ අපි කරන වැරදි වලට සමාවක් නැහැ.

කැටිපෙ අයියා කියනවා 70 - 80 කාලයේ කවිය තුළ රැඳුන බලාපොරොත්තුවේ ජීවය සහ දැන් කවියේ තියෙන බලාපොරොත්තු විරහිත වේදනාව ගැන. ඒක කවියෙන් එහාට දේශපාලනයට තාරුණ්‍යයට වගේම ජනමාධ්‍ය වලටත් අදාලයි. අපි ඉන්නේ බලාපොරොත්තුවක් නැති කාලයක.


මම එතැනින් පිට පැන්නා.... මම මේ කාලයේත් බලාපොරොත්තු තියාගත්තා. මං අමතක කළා මේ කාලසීමාව තුළ වැරදි වලට සමාවක් නැති බව. 

මේ සටහන ලියන්නේ 'අලුත් මිනිහෙක් ඇවිත්' පොතයි 'වැඩියෙන්ම වැරදුණෙ කවියන්ට' පොතයි එක ළඟ තියාගෙන කැටිපෙ අයියාගේ කතාව ගැන අවධානයක් යොමු වෙන්න ඕන කියලා හිතාගෙන හිටපු නිසා වගේම මම වැරැද්දක් කරලා හෘදයසාක්ෂියෙන් අවුලක් සෙට් වෙච්ච නිසා. (ජේවීපී හෘදය සාක්ෂිය නෙවෙයි) දරුණු ලැජ්ජාවක් ඇති වෙච්ච නිසා. මේ කාලයේ වැරැද්දක් වුණත් සනසවන්න කවුරුත් නැති නිසා, අවුල පිට කරන්න විදියක් නොතේරිච්ච නිසා.


අවුලක් නෑ. ටික දවසක් කොහේ හරි ඉන්න ඕන. පුළුවන් වෙයි ආයෙමත් ඇවිත් ඉක්මනින් නිවී යන්න නියමිත බලාපොරොත්තුවක් දල්වගෙන ආයෙත් වැඩ පටන්ගන්න. මේ කාලේ වැඩ කරන්නේ එහෙමයි. 

70-80 කියන්නේ සිංහල දේශපාලනය හොඳටම රෝමාන්තික වෙලා තිබ්බ කාලවකවානුවක්. දැන් වැඩිය ඇහෙන්නේ නැති ‘විප්ලවය’ ‘අරගලය’ වගේ වචන නිතර දෙවේලේ දේශපාලන වේදිකාවේ ඇහුණු කාලයක්. දැන් වැඩිය ඇහෙන්නේ නැහැයි කියන්නත් බැහැ. ‘කුස්සියේ විප්ලවය විම්’ – ‘රෙදි සෝදන විප්ලවය රින්සෝ’ – ‘කැරපොත්තන්ට එරෙහි අරගලය – මෝටීන්’ වගේ ඒවා කොච්චර නම් ඇහෙනවද

ඇත්ත... විප්ලවය, අරගලය ගැන අදහස්... බලාපොරොත්තුවක් 70 - 80 කාලයෙන් පස්සේ කඩවෙලා පරමාදර්ශ සමතලා වෙච්ච මුඩුබිමක් තියෙන්නේ... ඒකේ ප්‍රතිඵලයක් විදියට අපේ පරපුරට මෙහෙම ලියන්න වෙනවා.... 'වැඩියෙන්ම වැරදුණේ ............. '


‘අලූ‍ත් මිනිහෙක් ඇවිත්’ ඒ කාලයේ කවි පොතකට යස අපූරු නමක්! ලක්ෂාන්ගේ කවි පොතේ නම ‘වැඩියෙන්ම වැරදුණේ කවියන්ට.’ කතන්දර දෙක මේ නම් දෙකෙමත් ගැබ්වෙලා තියෙනවා. එක නමක් අපේක්ෂාව දෝරේ ගලන්න සලස්වද්දී අනෙක් නමෙන් අපේක්ෂාභංගත්වය වෑහෙනවා. කරන්න දෙයක් නැහැ. අලූ‍ත් මිනිහෙක් ඇවිත් වගේ නමක් ලක්ෂාන්ට එන්න විදිහක් නැහැ. මේ වෙනකොට ඒ වගේ නමක්, කොළඹ දිස්ත‍්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයකුට ෂෝක් ටැග් ලයින් එකක්.
 
අන්තිමේ මට මෙහෙම එකකුත් හිතෙනවා... ඒ මට පේන හැටිද මන්ද.... දැන් ආයෙමත් ඉස්සරහට විප්ලවය ගැන රෝමාන්තික කතා ඇහෙන කාලයක් ඒවිද? මම කියන්නේ මංගලගේ දේදුණු විප්ලව බයිලාව ගැන නෙවෙයි.. ඊට වඩා වෙනස් විදියට විප්ලවය ගැන රෝමාන්තික හැඟීම් ඇතිවෙන්න පස හැදෙන ගතියක් තියෙනවා. ලෝක ඉතිහාසේ වුණත් විප්ලවීය සිහින නැතිකරලාම දාන්න බැහැනේ..... කාලයේන් කාලයට මතු වෙනවා...... ඒකේ ප්‍රතිඵලය මොකක්ද? 70-80 වගේ කාලයක්, ලේ ගංගාවක් සහ ආයෙමත් වරදින යුගයක්ද?

අප ඉදිරිපිට රෝමාන්තික අලූ‍ත් මිනිස්සු නැහැ. අප ඉදිරියේ ඉන්නේ ඉන්ෂුවරන්ස් දාන හැටි කියා දෙන විප්ලවවාදීන්. උස්සන්නවත් කව්රුත් ඉතුරුවෙලා නැහැ. සියලූ‍ පරමාදර්ශයන් අපෙන් උස්සලා ඉවරයි. ඞීල් සහ ගේම් පමණක් අවක්ෂේප වෙලා සමාජ බීකරයේ අඩියේ තැන්පත් වෙලා තියෙනවා. අපි හැමෝම අඩු වැඩි වශයෙනුත් පෞද්ගලිකව හා සාමූහිකවත් බීකරය අඩියේ තිබෙන ඞීල් සහ ගේම් තලපය ඇඟිල්ලෙන් ගෙන හොරෙන් ලෙවකනවා.

6 comments:

  1. දේශපාලන ගැන බරපතල වාදයක් කරලා අවුල් පිට ඉන්න වෙලාවක බොග බලන්න ගොඩවැදුනම මෙයත් අවුල් පිටලු...

    ReplyDelete
  2. අලූ‍ත් මිනිස්සු දෙගොල්ලක් එක දූපතක දෙපැත්තක සටන් කරලා පැරණි විදිහටම මැරිලා ගියා

    ReplyDelete
  3. //මම කියන්නේ මංගලගේ දේදුණු විප්ලව බයිලාව ගැන නෙවෙයි.. ඊට වඩා වෙනස් විදියට විප්ලවය ගැන රෝමාන්තික හැඟීම් ඇතිවෙන්න පස හැදෙන ගතියක් තියෙනවා. ලෝක ඉතිහාසේ වුණත් විප්ලවීය සිහින නැතිකරලාම දාන්න බැහැනේ..... කාලයේන් කාලයට මතු වෙනවා...... ඒකේ ප්‍රතිඵලය මොකක්ද? 70-80 වගේ කාලයක්, ලේ ගංගාවක් සහ ආයෙමත් වරදින යුගයක්ද?//
    ඉතිහාසය නිර්මාණය වෙන්නේම වැරදීම් මතින්. හැම නිවැරදි සොයාගැනීමක් පස්සේම වරද්දාගැනීම් දහස් ගණනක් තිබෙනවා. අපට නිවැරදි දේ එක්වරම ගොඩනගන්න බැහැ. දහස් ගණනක් වූ වරද්දාගැනීම්වල අත්දැකීම්වලින් තමා අපට හරිදේ හදාගන්න වෙයි.

    ReplyDelete
  4. මේ යන විදියට එහෙම වෙන්ඩත් ඉඩ තියෙනවා! ඒත් ඒක දියුණු විප්ලවයක් වෙන්ඩ ඕනේ!

    ReplyDelete
  5. ගියාට වඩා ඉක්මනට උඹ ආවානෙ.. අපි උඹට යන්න දෙන්නෙ නෑ ලේසියෙන් ...හහ් හහ් හා...

    ReplyDelete
    Replies
    1. බැඳගත්ත බෙරේ ගහන්න ඕනනේ

      Delete

Search This Blog