Sunday, March 06, 2016

තක්කඩි ලංකාදීපය හා රතුපස්වල වීරයන්

රතුපස්වල මිනිසුන්ට තිබුණු ප්‍රධානම ගැටලු තුනට විසඳුම් අප්‍රේල් වනවිට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලය විසන් අදාල අංශ වලට නියෝග කළේ පහුගිය දවසක ජනාධිපති කාර්යාලයේදී තිබුණු රැස්වීමකදී. රතුපස්වල සටනේ දෙවැනි අදියරේදී විශාලම ජයග්‍රහණය ලබාගන්න ඒ අනුව රතුපස්වල මිනිසුන්ට හැකි වුණා.

මේ බව සෙනසුරාදා පුවත්පත් වල වාර්තා කර තිබුණා. ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනේ අදාල සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනපතිට කියන්න වැඩසටහනට රතුපස්වල මිනිසුන් දුන් දුරකථන ඇමතුමක් මත බවයි. ඉන්පසුව පහුගිය සෙනසුරාදා තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රතුපස්වල සටනේ ගෞරවය තමන් වෙත හරවා ගන්න උත්සාහ කළා. සැබැවින්ම තෙරිපැහැ හිමියන්ව ගමේ මිනිසුන් සලකන්නේ සටන පාවාදුන් කෙනෙක් විදියට. එය ඔවුන් විසින් අපට තහවුරු කරන්නේ විවිධ හඬපට පවා ඉදිරිපත් කරමින්. කොහොම වුණත් ජයග්‍රහණයට පියවරුන් ගොඩක් ඉන්නා බව පිළිගත හැකියි. මේ සමඟ දිගින් දිගටම සිටියත් අපට ජයග්‍රහණයේ ගෞරවය අවශ්‍ය නොවනවා මෙන්ම එය ලබාගැනීමට උත්සාහ කිරීමද වැරදියි.



කොහොම වුණත් ලංකාදීපය ඉහත කී සිදුවීම මේ විදියට වාර්තා කළේ තක්කඩිකම නිසා බව පැහැදිළියි. අපි කළ මැදිහත්වීම කෙසේ වෙතත් රතුපස්වල ජනතාව වුණ මහන්සිය මේ පුවත මේ විදියට පළ කළ තක්කඩියන් හොඳින්ම දන්නවා. අපි මේ රැස්වීම අවසානයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ ඒ නිසා. මෙය ජනපති කාර්යාලයට ආ දුරකථන ඇමතුමක් මත එක්වරම අනුකම්පාවක් පහල වෙලා කාර්යක්ෂම ලෙස ලබාදුන් විසඳුමක් නෙවෙයි.

පහුගිය අගෝස්තු නවවෙනිදා රතුපස්වලදී පුරවැසි බලයේ සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීම, ඉන්පසුව අපගේ මැදිහත්වීමෙන් පැවැත්වුනු ප්‍රවෘත්ති සාකච්ඡා දෙක, මානව හිමිකම් කොමිසමට සිදුකළ පැමිණිල්ල, ජනාධිපති කාර්යාලයට යැවූ ලියුම්, මීට පෙර වරක් ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීම ඇතුලූ බොහෝ අසීරු මාර්ගයක මේ සටන විසඳුමක් කරා ආවේ. මෙය ලියා තැබිය යුත්තේ ගෞරවයක් හිඟා කන්න නෙවෙයි. ලංකාදීපයේ සම්බන්ධයක් තියෙන ජනපතිට කියන්න නම් ඊනියා වැඩසටහන් පිම්බීම සඳහා තක්කඩි ක්‍රියා කරන්නට ඉඩ නොතැබිය යුතු නිසා. මේ තක්කඩියන් ගැනත් ඔවුන්ගේ ඉතිහාසය ගැනත් අපි හොඳින්ම දන්නවා.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++ 



රතුපස්වල සටනේ දෙවැනි අදියර පහුගිය අගෝස්තු නවවෙනිදා ආරම්භ වුණා. ඒ රතුපස්වල ප්‍රශ්ණය මඟහරිමින් හිටපු රතුපස්වල දර්ශන විකුණා බලයට ආපු යහපාලන ආණ්ඩුවට අභියෝග කරමින්. මේ රතුපස්වල සටනේ දෙවැනි අදියරේදී අමතක නොවෙන චරිත කිහිපයක් තියෙනවා. ඔවුන් ඇත්තටම වීරයන්.
රතුපස්වලට සටනේ ගෞරවය ගන්න බොහෝ දෙනෙක් ඉදරිපත් වෙනවා. එවන් පසුබිමක මේ නම් ලියා තැබීම වැදගත්.

සටනට අපි සංගමයක් විදියට මැදිහත් වුණේ 2015 අගෝස්තු මාසයේදී... ඊට කලින් ඉඳන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් තරිඳු ජයවර්ධන පුද්ගලයෙක් විදියට මේ සටනට සහයෝගය දෙමින් ලොකු කාර්යභාරයක් කළා. මාධ්‍යවේදියෙකුගේ කාර්යභාරය ඉක්මවායමන් ඔහු කළ මැදිහත්වීම අගය කළ යුතුයි.

නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මේ සටනේ අනෙක් වීරයා. ඔහු තමන්ගේ නීතීඥ ගාස්තු අය නොකර පමණක් නෙවෙයි ගමන් වියදම් හා උසාවියට කළයුතු ඇතැම් වියදම් අතින් දරාගෙන ගැමියන්ට විරුද්ධව පවරා තිබුණු බොරු නඩු වලදී ගැමියන් වෙනුවෙන් පෙනී සිටියේ සංදර්ශනකාමය වෙනුවට සැබෑ මැදිහත්වීමක් කරන නීතීඥවරයෙක් විදියට. සමාජ ක්‍රියාකාරිකයෙක් විදියට. ඔහුට විශේෂ ස්තූතියක් යා යුතුයි.

ජෝසෆ් ස්ටාලින් කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ තමන්ගෙු් ජීවිතයම සමාජය වෙනුවෙන් කැපකරලා සතපහක්වත් ලාභ නොලබපු කෙනෙක්. ඔහු හැමදාම වීරයෙක්. රතුපස්වලට අපගේ ඉල්ලීම පරිදි ඔහු මැදිහත් වුණේ තමන්ගේ බලපෑම් සහගත හඬ රතුපස්වල මිනිසුන් වෙනුවෙන් වෙන්කරමින්.

අනිත් වීරයා සැබෑ පුරවැසියෙක්. සුරේෂ් පෙරේරා. ඔහු රතුපස්වල ගම්වාසී තරුණයෙක්. අපට අැමතුම් ලබා දෙමින් අපගෙන් අවශ්‍ය උපකාර ලබාදෙමින් ඔහු සටන්කළා. ආවේගශීලී ලෙස රතුපස්වල ගම්වාසීන් සංවිධානය කරමින් ඔහු කතාකළා. ඇතැම් අවස්ථාවල නීතීඥයෙක් නැතිවීම නිසා ඔහු  උසාවියේදී හරස් ප්‍රශ්ණ ඇහුවා. ගුටි කන්න පවා සිදුවුණා. ඔහුට මේ සටන මුදල් රැගෙන නතර කරන්නට යෝජනා කොතෙකුත් ආවත් ඔහු සටන් කළා. 


සත්‍යය දැන දැන ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනයක් මත පදනම් වෙලා ලංකාදීපය පලකල තක්කඩි පුවතින් යටගැහුවේ මේ අයගේ මැදිහත්වීම. ඔවුන්ගේ මහන්සිය. ඉතිහාසය හැමදාම පදනම් වුණේ ලියන්නාගේ ලැදියාවන් මත. රතුපස්වල සටනේ අවසානයේ ඉතිහාසය ලියැවෙන්නේද සුරේෂ් පෙරේරා වැනි අයගේ නම් යටපත් කරමින්.

මීට පෙර රතුපස්වල ගැන ලියූ සටහන

3 comments:

  1. සටනක සබැ අයිතිකරුවන් පිළිබදව නිවරදි තොරතුරු සමාජ ගත කිරීම සැබවින්ම ඔවුන්ට සිදුකරණ ප්‍රණාමයකි ...

    ReplyDelete
  2. Janapathi andawa bada rassawa sari karagannata datha kanna gobbayoo..
    sebe weerayanta jaya wewa..

    ReplyDelete
  3. Tharindu,Jayantha,Joseph saha Suresh habaama weerayo!E wage ayata jathiye pranamaya himi wiya yuthuyi.Oya kiyana Theripaha Siridhamma gam waseenta wiruddawa neda wada kale?Eya tika dawasak athurudahanwa hitiya bawath mathakayi.

    ReplyDelete