අම්මා


හොඳම මිත්‍රෙයකුගේ තාත්තා තමන්ගේ ජීවිතයෙන් සමුගත්තා. 

අනෙකාගේ දුකේදි ළඟින් ඉන්න අහිංසක ඔහුගේ තාත්තාත් ඒ වගේම කෙනෙක්... 

තාත්තා හිටපු විදුහල්පතිවරයෙක්. කවුරුත් බාරනොගත්ත දුෂ්කර පාසැලක් බාර අරගෙන කාලයක් තිස්සේ එතැන හිටපු කෙනෙක්. 

මේ රටේ බහුතරයක් ඒ තාත්තාව දන්නේ නැහැ. හැබැයි ඒ දුෂ්කර ගමේ මිනිස්සු තාත්තාව දන්නවා විශේෂ පුද්ගලයෙක් විදියට. ඒ තාත්තාගේ නම ඉතිහාසයේ නොලියැවුණත් ඈත ගමක ළමයින්ගේ ඇස් පෑදීම නිසාත් මගේ මිත්‍රයා වගේ හොඳ මනුස්සයෙක් ලෝකයට බිහිකරපු එක නිසාත් ඔහු පොළොවට ණය නැති ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. 

සමහර මිනිස්සු මේ ලෝකෙට බිහිවෙන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කරන්න. සමහර අය බිහිවෙන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කරන මිනිස්සුන්ව බිහිකරන්න. ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ සෙවණැල්ල පිටිපස්සේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පත්වෙන්න. 

මේ සතියේ රාවයේ සම්මුඛ සාකච්ඡාවක දුලීකා මාරපනගෙන් රාවය අහනවා ප්‍රශ්ණයක්. කාන්තාවක් වුණාම ළමයි හදන්න ඕනද කියලා. ඒකට පිළිතුර විදියට ඇය කියන්නේ මේ ලෝකයට බිහිවෙන හැම ගහක්ම ඵල දැරිය යුතු නැහැ කියලා. සමහර ගස්වල අරටුව ශක්තිමත්, සමහර ගස්වල ඵල රසයි, තවත් ගස් සෙවණ දෙනවා.... හැමෝම දරුවන් හදන්න ඕන නැහැ. හැබැයි දරුවන් හදමින් ගෙදර හිටියා කියලා මනුස්සයෙකුගේ ශ්‍රේෂ්ඨත්වය අඩුවෙන්නේත් නැහැ. 

මේ සටහන ලීවේ මිත්‍රයාගේ තාත්තා ගැන කියන්න නෙවෙයි. ඔහු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. මට කියන්න ඕන මගේ අම්මා ගැන. 

මීට කළින් මම අම්මා ගැන කීවේ ලයිට් යෑම ගැන අත්දැකීමක් ලියපු වෙලාවක.

ඒ සටහනේ කියපු විදියට අම්මාට අවුරුදු පහක් තිස්සේ දවස් 1800 ක විතර කාලයක් කියන්න කතන්දර තිබුණ. ඇය මගේ ලෝකය කතන්දර වලින් පිරෙව්වා. 

අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. ඇය බොහොම දක්ෂ කාන්තාවක් බවයි මගේ හැඟීම.

ආච්චිගේ ගතානුගතික අදහස්...  තාත්තා හමුවීම.. ඔහු එක්ක විවාහ වෙලා අපි මේ ලෝකයට පැමිණීම. ඔහු අපෙන් ඈත් වීම, මාවත් නංගිවත් තනියම උස්මහත් කරන්න සිදුවීම නිසා, පුංචි ඉස්කෝල වල හිටපු නිසා ඇයට බොහෝ දුර ගමනක් යන්න තිබුණු අවස්ථාව අහිමි වෙන්න ඇති.
  
ඒ නිසා කොතරම් දක්ෂ කාන්තාවක් වුණත් ඇය බොහොම ඈත පාසැලක සාමාන්‍ය ඉංග්‍රීසි ගුරුවරියක් විදියට මේ වෙලාවෙත් උගන්වමින් ඉන්නවා.

අසනීප වෙලා ඉන්න ආච්චිගෙන් කුණුහරුපයෙන් බැණුම් අහමින් ඇයට සාත්තු කරනවා මේ මොහොතෙත්. ආච්චි කවදාවත් අම්මාට ආදරය කළේ නැහැ. ඇය හැමදාම කළේ අම්මා කරන දේවල්වල අඩුපාඩු කියපු එක. හැබැයි ආච්චි අවුරුදු දාසයක් තිස්සේ අම්මාගේ සත්කාර විඳිමින් විශ්‍රාම ජීවිතය ගත කරන්නේ.

පරිභව අපහාස වින්දත් අම්මා ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් එක්ක. ඒ ඇගේ ආයෝජනය නිසා. අම්මාගේ ලොකුම ආයෝජනය මාත් නංගීත්.

ඉස්කෝලේ

කොන්තෙහෙල, ක්‍රේග් ටැමිල්, අඹේවෙල, දෙහිවින්න, බලගොල්ල ( බදුල්ල මීගහකිවුලේ) වගේ බොහොම පුංචි ඉස්කෝල වල තමයි ඇය උගන්වලා තියෙන්නේ. ඒ හැම පාසැලකම ඉන්න දුප්පත් පවුල්වල දරුවන්ට ඉගැන්වීම අම්මා කරපු අනෙක් දැවැන්ත ආයෝජනය. සමහර අවස්ථාවල අම්මාගේ සිසුන් අපට මුණගැහෙනවා. ඒ අය අම්මාට හිතාගන්නට බැරිවිදියේ සැලකීම් කරනවා.

සරලම අත්දැකීමක් කිව්වොත් මෑත දවසක බොරැල්ලේ අවන්හලක වැඩකරන එක් සිසුවියක් හිටියා. ඇය අම්මාට හැකි උපරිමයෙන් සලකන්න උත්සාහ කළා. අපි ඒ වෙනකොටත් කෑම ඕඩර් කරලා තිබුණේ. නංගි, මම සහ අම්මා. කැෂියර් හිටපු ඒ සිසුවිය අපට කෑම අතින්ම ගෙනත් දුන්නා පමණක් නෙවෙයි අන්තිමේ කොච්චර බලකරත් අපේ බිල බාරගත්තෙත් නැහැ. රුපියල් දෙදාහකට ආසන්න බිල නොගෙවා තමන්ගේ පඩියෙන් කැපෙන්න සැලැස්වීම තමයි අම්මා වෙනුවෙන් ඒ මොහොතේ ඇයට කරන්න හැකිවුණ උපරිමය. ඊට වඩා ඉහළ තැන්වලට ගිය අය ඉහළ උදව් කරලා තිබුණත් මේ සහෝදරිය ඒ වෙලාවේ කටයුතු කරපු විදිය විශේෂයි. ‘ටීච නැත්නම් අපි ගමේ කුඹුරු කොටනවා. මෙහෙම තැනකට හරි ආවේ ටීචර් නිසයි.‘ ඇය කීවා. 

අම්මා පුංචි ඉස්කෝලවල දරුවන් ඉහළ තැන්වලට ගෙනල්ලා තියෙනවා. සමහර විට මගෙනුත් බැණුම් අහන්නේ අම්මා සීමාව ඉක්මවලා දරුවන් ගැන වද වෙන නිසා. ළමයින්ගේ අයිඩෙන්ටි කාඩ් හදන්න කොළඹ එන්නත්, පොත්පත් වගේම සමහර ක්‍රීඩා කරන ළමයින්ට සපත්තු අරගෙන දෙන්නත් ඇය කැපවෙනවා. පාසැල් එන්නේ නැති ළමයින්ගේ ගෙවල්වලට ගිහින් එක්කාගෙන ආපු අවස්ථාත් තියෙනවා.

අපේ ගමේ ඉන්න ළමයින්ට ඇය අමතර පන්ති කරනවා. සමහර අයගෙන් ඉතා අඩු මුදලක් ගන්න ඇය සමහර ළමයින්ගෙන් මුදල් ගන්නේ නැහැ. තමන්ට තියෙන විවේක කාලයත් ඇය ගෙවා දමන්නේ අමතර පන්ති වලිනුයි.

මේ ඉස්කෝලවල ලමයින්ට ශේක්ෂ්පියර් කවුද කියලා උගන්වන්න ඇය ලොකු මහන්සියක් ගන්නවා. ඉස්සර ඉස්කෝලේ ට්‍රිප් එක වාර්ෂිකව සංවිධානය කළේ ඇය. ට්‍රිප් එක යන අතරේත් අලුත් දෙයක් ළමයින්ට පෙන්වන්න ලොකු උත්සාහයක් ගන්නවා.

ශේක්ෂ්පියර්ලාව පෙන්වන්නත් යම් දෙයක් ගැන ඩීටේල් තොග ගණන් කියාදෙන්නට උත්සාහ කිරීමත් නිසා සමහර අවස්ථාවල අම්මාව සමච්චලයට ලක් කරන්නේ මැරෑටි සිසුන් පමණක් නෙවෙයි. කම්මැලි සහෝදර ගුරුවරුන් පවා. බොහෝ දෙනෙක්ට අම්මාව වදයක්. හැම දෙයක් ගැනම උගන්වන්න උත්සාහ ගන්න නිසා. 

නම් තැබීම්

අපේ ගමේ ඉන්නවා කකුලක් කොර බල්ලෙක්. අම්මී ඌට තිබ්බ නම තමයි 'අසඩක්.' අසඩක් කියන නම ආවේ හුණුවටයෙන්. හුණුවටය නොකියවපු අනිත් අයට මේ නම තේරුණේවත් නැහැ. ඉතින් අම්මායි මායි නංගියි හැර කවුරුතු අසඩක්ට අසඩක් කියලා කතාකළේ නැහැ.

අපේ ගෙදර අම්මාගේත් නංගිගේත් සැලකිල්ල ලබල පූසෝ සෙට් එකක් ඉන්නවා. මේ ළඟදී අලුතින් දෙන්නෙක් ඒ පවුලට එකතුවෙලා තිබුණා. අම්මාගේ ස්ටයිල් එකට අනුව සාහිත්‍යයෙන් පූසන්ට නම් තිබ්බා. කෙට්ටු බඩගිනිකාර දුර්වල එක් පූසියකට තිබ්බ නම සුද්දි. ගෙදරට එන අය අහන්නේ කළුපාට මේ පූසට සුද්දි කියලා නම තිබ්බේ ඇයි කියලා.

අනිත් කෙනා නිතර ඉන්නේ ගෙදර ටීවී එක උඩ. එයා සිරුරෙන් ගොඩක් පුංචියි. හැසිරීම විහිළුකාරයි. එයාට තිබුණා පුංචි උඩුරැවුලක්. අම්ම එයාට තියල තිබුණ නම 'චාලි චැප්ලින්'.

ගෙදරට යන එන අයට මේ නම තේරුණෙත් නෑ. 

හීනය

අම්මාගේ හීනය වුණේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මම ඩොක්ටර් කෙනෙක් වෙන අදහස හතර වසර වෙනකන් තියාගෙන හිටියත් ඒක අතහැරියේ හතර වසරේදී බදුල්ල හොස්පිට්ල් එකට ගිය වෙලාවක. ඉන්පස්සේ ලේඛකයෙක් වෙන්න හීන දකින්න පටන්ගත්තා.

හැබැයි ලේඛකයෙක් වෙන්න ඕන කියලා අම්මාට කිව්වම අම්මා උත්තර දුන්නේ ලේඛකයෙක් වෙලා හිඟා කාපන් කියලා.. 

එතැනින් පස්සේ අම්මාට හොරෙනුයි මම අනාගතය සැලසුම් කළේ... අම්මාට දහසක් දේ කියලා ආට් කරන්න ආවා. ඉන්පස්සේ දස දහසක් දේ කියලයි රාජපක්ෂ යුගයේදී රාවයට සම්බන්ධ වුණේ. (මොකක් හෝ හේතුවක් නිසා ඒ කාලයේ ආණ්ඩු විරෝධී විදියට ලිවීම ජීවිතයට තර්ජනයක් කියලා විශ්වාස කරපු අය හිටියා. මමනම් ඒක විශ්වාස කළේ නැහැ.)

තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය කියලා එකකුත් හදාගෙන ප්‍රසිද්ධියේ දේශපාලනික වැඩවලට සම්බන්ධ වෙද්දී අම්මා මට කිව්වා ‘තාත්තා ළඟ හැදුණෙ නැතත් උඹත් තාත්තාගේ අඩි පාරේ යනවා‘ කියලා.

එහෙත් මම අම්මාට කිව්වේත් මම විශ්වාස කරන්නේත් මම තාත්තාගේ අඩිපාරේ යන කෙනෙක් නෙවෙයි කියලයි.

මගෙ පාර

තාත්තා ශ්‍රිලනිපයෙ දේශපාලනය කරපු කෙනෙක්. පක්ෂ දේශපාලනයක ගිලුණු කෙනෙක්. සමාජය ගැන හිතනවාට වඩා එයා හිතුවේ පක්ෂය දිනවීම ගැනයි. 

එයාට පවුල අමතක වුණා. අපව අත්හැරියා.

මම කියන්නේ ලෝකේ හොඳම මිනිහා වුණත් තමන් හැදුව ළමයින්ව, තමන් හදාගත්ත පවුලව අතහරිනවානම් එයා පවුලට වගකියන්නේ නැත්නම් ඒ මනුස්සයාගෙන් වැඩක් නැහැ කියලයි. කරන්න බැරිනම් ලමයි නොහද ඉන්න ඕන.

ප්‍රභාකරන්ගේ පුතා ගැන හිත උණුවෙලා කවි ලියන, දෙමළ දරුවන් ගැන අඬාගෙන කවි ලියන අය ඉන්නවා තමන්ගේ දරුවා කිරි කෝප්පයක් බොන්න නැතිව අඬද්දී.

මම පක්ෂයක් දිනවීම ගැන හිතන්නේ නැහැ. අම්මා කළේ ගුරුවරියක් විදියට තමන්ගේ කාලය මිඩංගු කරපු එක. 


අම්මා මට ඒ වෙලාවට කියනවා ඩොක්ටර් කෙනෙක් වෙලා අවංකව රෝගීන්ට සේවය කරලා වුණත් ඒක කරන්න පුළුවන් කියලා. මම ආට් තෝරගත්තම කිව්වා ඔයා සිවිල් සර්විස් එකට ගිහින් රටට ලොකු සේවයක් කරන්න කියලා. දැන් කියනවා ලෝ එන්ට්‍රන්ස් කරලා නීතීඥයෙක් විදියට ලොකු සේවයක් කරන්න කියලා.

මම අම්මාට කියන්නේ අම්මා කියන එක හරි. ඕනම ෆීල්ට් එකක ඉන්න අවංක කෙනෙකුට ලොකු සේවයක් කරන්න පුළුවන් තමයි. 

හැබැයි මට පුළුවන් ෆීල්ඩ් එක මේකයි කියලා. 

මම යන්නේ අම්මාගේ පාරේ. මගේ විදියකට. 


28 comments:

  1. උඹ තෝරගත්ත පාර හොඳයි... මොන පාර තෝරගත්තත්, අවංකව ඒ පාරේ පලයන් කොන්ද කෙලින් තියාගෙන. කෙලවෙලා නන්නපෝල් උනත්, රෑට නිදා ගන්න පුලුවන් කිසි අවුලක් නැතිව..

    ReplyDelete
  2. නියමයි ......
    ඕනම එක්කෙනෙකුට රටට සේවය කරන්ඩ පුලුවං වගේම පවුලත් රැක බලාගන්ඩ පුලුවං ..
    ඒකට ඔය ඊනියා ලොකු ලොකු ජොබ් කරන්ඩම ඕනෙ නෑ ....

    ReplyDelete
  3. තමන් කැමති දේ කරන්න. හුඟක් සාර්ථක වෙන්න පුලුවන් වගේම සතුටින් ජීවත් වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  4. // (මොකක් හෝ හේතුවක් නිසා ඒ කාලයේ ආණ්ඩු විරෝධී විදියට ලිවීම ජීවිතයට තර්ජනයක් කියලා විශ්වාස කරපු අය හිටියා. මමනම් ඒක විශ්වාස කළේ නැහැ.) //

    +++++++++++

    ඔහේ මිත්යා විස්වාස නොකරන කෙනෙක් වගේ හිටන්!

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ මැරුවත් මං වගේ එකෙක්ව මරන එකක් නැහැ කියල

      Delete
    2. සාරස
      ලසන්තත් එහෙමයි

      Delete
    3. // රාජ්November 26, 2016 at 12:38 AM
      සාරස
      ලසන්තත් එහෙමයි //

      මෙන්න ලසන්ත මැරුව කස්ටිය:
      කියන්නේ යූ එන් පී ලොක්කෙක්, පල වෙන්නේ BBC එකේ... ඇත්තම ඇථ්ත හිටන්!

      http://news.bbc.co.uk/2/hi/south_asia/7496367.stm

      Sri Lanka's main opposition party has accused the country's most senior army officer of being behind violent attacks on reporters.
      Opposition MP Joseph Michael Perera told parliament that the attacks were carried out by a "special team" controlled by Lt Gen Sarath Fonseka.
      Mr Perera said the government should arrest the offenders and "immediately bring them to justice".
      The army has denied that it is any way involved in attacks on journalists.

      Delete
    4. ලසන්තව මැරුවේ කවුද කියල නොදන්නවා වුණත් මරන්න ඕන වුණේ කාටද කියල හැමෝම දන්නව.
      මරන්නම පඩි ගන්න මිනිස්සුන්ටත් වඩා වග කියන්න ඕන මරන්න ඕඩර් දුන්න අය.
      මම කීවේ රාජපක්ෂලාට විරුද්ධව ලියපු පලියට මගෙ ජීවිතයට තර්ජනයක් නැහැ කියල.
      හැබැයි රාජපක්ෂලාට විරුද්ධව ලියපු හින්ද ජීවිතයට තර්ජන තිබුණු අය හිටියා

      Delete
  5. ඔය පාරෙ ගිහින් අම්මට බත් වේලක් හරි දෙන්න පුලුවන්නම් එච්චරයි

    ReplyDelete
    Replies
    1. අම්මල ගොඩකට වේලක් දෙන්නයි ට්‍රයි කරන්නෙ

      Delete
  6. //මම කියන්නේ ලෝකේ හොඳම මිනිහා වුණත් තමන් හැදුව ළමයින්ව, තමන් හදාගත්ත පවුලව අතහරිනවානම් එයා පවුලට වගකියන්නේ නැත්නම් ඒ මනුස්සයාගෙන් වැඩක් නැහැ කියලයි.//

    මේ ලින්ක් එකේ මම රචනය කරපු ගීතයක් තියෙනවා. අහලා බලන්න.

    ReplyDelete
  7. බොක්කෙන් ලියූ ලිපියක්, බොක්කටම දැනුනා.

    මට නම් ගඟ ගලන පැත්තට පාවෙලා යනවා මිස උඩුගං යන්න ගට තිබුණේ නැති බව සිහිවී දුකක් ද ඇතිවුණා.

    ReplyDelete
    Replies
    1. උඩුගං බලා යන්න මම ට්‍රයි කරනව.

      Delete
  8. අම්මා මතු දිනක ආච්චී වගේ වුනා ම?

    ReplyDelete
    Replies
    1. අම්මාව මායි නංගියි බලාගන්නව

      Delete
  9. ඉගෙනගන්න දේවල් තියෙන බ්ලොග් එකක් ගිගින් බලන්න.

    ReplyDelete
  10. හිතට දැනුනා මචං, උඹට ජය...

    ReplyDelete
  11. පළවෙනියට පුදුම උනා
    දෙවෙනියට සංවේදි උනා
    තුන්වෙනියට ආපහු සැරයක් කියෙව්වා.
    පුදුම වෙන්න කාරණය තමා “උඩුවා“ ගෙන් මේ වගේ පෝස්ට් ලියැවෙයි කියල මම දැනන් උන්නෙ නැහැ.
    සංවේදී උනේ මගෙ අම්මා නිසා වගේම මගේ වෘත්තිය ගැනම ලියවිලා තියෙනව දැකලා.

    තුන්වෙනි සැරේට කියෙව්වම නිසංකලංකයේ හිතට ආපු සිතුවිල්ල තමා “මාධ්‍ය වේදීයෙක්ට පුළුවන් ද පවුලකට සලකන්න “ කියනෙක.

    අනික “රාවය “ වගේ පත්තරේක කෙනෙක්ට පුළුවන් ද?

    මාධ්‍ය වේදියත් හරියට විප්ලවකාරයෙක් වගේ විශේෂයෙන් රාවය වගේ පත්තරේක.ඉතින් “විප්ලවාදිය“ මුලු ලෝකේටම ආදරය කරන කෙනක්. එයාලට පුලුවන් ද මෙච්චර සංවේදී වෙන්න ?

    ගලපගන්න බැහැ බන් ඔක්කෝම කලවම් වෙලා. පස්සෙ වෙලාවක හතරවෙනි සැරේටත් කියවල ආයෙ කමෙන්ටුවක් ලියන්නම්

    ReplyDelete
  12. හිතට වදින කතාවක්.

    ReplyDelete
    Replies
    1. හදවතින් ලියපු හින්ද වෙන්න ඇති

      Delete
    2. හිත පතුලටම වදින ලිවිල්ලක්.. අප මිත්‍රයාගේ මිය ගිය පියා ද දුයිෂෙන් කෙනෙක්මයි. උඩුවා ඒ ගැනත් ලියපන්..

      Delete

Search This Blog