පාසැලේ අභිමානය

 
මේ ඩෑස් ස්මිත්ගේ ගිටාර් ගර්ල් ඡායාරූපයයි. බ්‍රිස්ටල් නගරයේ වීදියේ ගිටාර් වාදනය කරන්නියකි.



සුජීව බටනලා වාදකයෙක්. චරිත්ගායකයෙක්. මේ දෙදෙනාවම මට හමුවුණේ බස් රියකදී. සුජීව හොඳම බටනලා වාදකයා නොවෙනවා මෙන්ම චරිත්හොඳම ගායකයාත් නෙවෙයි. එහෙත් එය ගැටලුවකුත් නෙවෙයි. මොකද ඔවුන් හිටියේ රියැලිටි තරඟයක හෝ සංගීත සංදර්ශනයක නොවන හින්දා. ඔවුන් හිටියේ රුපියල් දහයක් විස්සක් බලාපොරොත්තුවෙන් බස්රියක. ඔවුන් බස්රියට ගෙනාවේ එකිනෙකට වෙනස් කතා දෙකක් විසින්.


සුජීව වෙනත් රැකියාවක් කරන අතරේ නිවාඩු ලැබෙන සති අන්තයක තමයි බස්රියට ගොඩවෙන්නේ. ඔහුගේ පියා අසනීප වීම සමඟයි ඔහු බස්රියට ගොඩවෙන්න තීරණය කළේ. පාසැලේදී බටනලා වාදනය සුජීවට ඉගෙනගන්න ලැබෙන්නේ තූර්ය වාදක කණ්ඩායමේදීයි. 


චරිත්නම් කිසිදා ගායනය ඉගෙනගෙන තිබුනේ නැහැ. ඔහු ගී කියා තිබුණේ යාළුවන් සමඟ එකතුවුණ වෙලාවක පමණයි. ඔහු පාපන්දු ක්‍රීඩාව ඉගෙනගත්තා. ඔහුගේ හීනය වෙලා තිබුණේ පාපන්දු ක්‍රීඩාවෙන් ජාතික තලයේ ක්‍රීඩා කරන්න. පාපන්දු හැකියාව වෙනුවෙන් කුමක් හෝ ආයතනයක රැකියාවක් ලබාගන්න. ඒ ආයතනයේ පාපන්දු ක්‍රීඩා කරන්න.

සාමාන්‍ය ජීවිතයක්. සාමාන්‍ය හීනයක්.

එහෙත් ඔහු පාපන්දු තරඟාවලියකදී නීතිවිරෝධී පහරකට මුහුණදෙනවා. ඔහු ජීවිතකාලයටම ආබාධිතයෙක් වෙනවා. ඔහුගේ හැම හීනයකටම පදනම වෙලා තිබුණු කකුල් දෙක පාපන්දු වෙනුවෙන් තවදුරටත් නොසුදුසු තත්වයට පත්වෙනවා. ඒ නිසයි ඔහු ගී ගයන්නට බස්වලට නඟින්නට පටන්ගන්නේ. 

චරිත් බස්වලට නැඟුණේ තමන් ඉගෙනගත්ත පාසැලේ සහතිකපත් අරගෙන. ඔහු පාපන්දු වෙනුවෙන් ලබපු සහතිකපත් බස් එකේදී මුලින් පෙන්වනවා. ඉන්පස්සේ ගීතයක් ගයනවා. මුදලක් එකතු කරගන්නවා. එයින් ජීවත්වෙනවා. 

එහෙත් දිනක් ඔහු ඉගෙනගත්තා පාසැලේ ගුරුවරයෙක් බස් එකේදී ඔහුව දැකලා. ඉන්පසුව චරිත්ට පාසැලෙන් නියෝග ලැබී ඇත්තේ කරන දෙයක් පාසැලේ නම ගාවගන්නේ නැතිව කරන ලෙසයි. ඉන්පසුව චරිත්ව නැවත බස්රියේදී දැක්කේ සහතිකපත් නැතිවයි. 

සුජීවටත් පාසැලෙන් බටනලා වයනවාට දැඩි විරෝධතා ඇවිත් තියෙනවා. එය පාසැලේ ගෞරවයට හානියක් කියලයි පාසැලෙන් කියා ඇත්තේ. ඒ අනුව ඔහුට බස්රියේදී පාසැලේ බටනලා වැයූ හැටි කියන එක තහනම් වෙලා. 

දැන් සුජීවත් චරිතුත් පාසැලේ සිටි අයගේ අකැමැත්ත මත තමන්ගේ ජීවිකා ගෙනියනවා. 

කොළඹ එක් පාසැලක සිසුවෙක්ට හමුදාවේ ඉහළ නිලධාරියෙක් තර්ජනය කළා. ඒ වෙලාවේ පාසැලේ සිටි බොහෝදෙනෙක් හමුදා නිලධාරියාගේ පැත්ත ගත්තා. හේතුව සිසුවා බොරැල්ලේ වතු සමාජය නියෝජනය කරන කෙනෙක් විදියට පාසැලේ සමාජය අඳුනාගෙන සිටීම. ‘ඔය වතුවල අය අපේ ඉස්කෝලවලට ගත්තාම ඔහොම තමයි.‘ මා එක්ක ඒ පාසැලේ ආදි සිසුවෙක් කිව්වා. ඒ පාසැලේම ආදි සිසුවෙක් ප්‍රසිද්ධ හන්දියක් අයිනේ සපත්තු මහනවා. ඔහු එක්ක එක පන්තියේ සිටි අය බොහොමයක් දැන් සමාජයේ ඉහළයැයි සැලකෙන තැන්වල ඉන්නවා. එහෙත් ඔහුට පාසැලේ ආදි සිසුවෙක් විදියට තැනක් ලැබෙන්නේ නැහැ. ඔහු ‘වැදගත්‘ පුද්ගලයෙක් නොවෙන හින්දා. ඒ පාසැලෙන්ම බිහිවුණ ජාතිවාදී ගෝත්‍රවාදී දේශපාලඥයෙක්ට පාසැල් සමාජය ඉහළ ගෞරවයක් ලබාදෙනවා.

මා දන්නා තවත් තැනැත්තියක් ඉන්නවා. ඇය ලිංගික ශ්‍රමිකාවක්. ඇයටත් පාසැලේ ආදි ශිෂ්‍යාවන් ඇතුළු පාසැලේ සමාජයෙන් එල්ලවෙන්නේ ලොකු පිළිකුලක්. ඇය පාසැලේ ගෞරවයට හානියක්. තවත් මිතුරියක් පිරිමි පාසැලකින් පිටවුණ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක්. ඇය සමඟ පෙර එකම පන්තියේ සිටි ඇතැමුන් ඇයව නාඳුනන ලෙස මඟහැර යනවා. 

මේ සපත්තු මසන්නා, බටනලා වාදකයා සහ ගී ගයන්නා කියන තුන්දෙනාම ‘හොඳ මිනිසුන්‘ බවයි මගේ අවබෝධය. සපත්තු මසන්නා උණුසුම් මිනිසෙක්. ඔහු එක්ක කතාවට වැටී බොහොවෙලා ඉන්න පුලුවන්. ඔහු අපරාධකරුවෙක් නෙවෙයි. බටනලා වාදකයා අහිංසක සහ සබකෝලයෙන් පිරි කෙනෙක්. ඔහු කිව්ව විදියට බස් එකට නැඟලා වාදනයක් ඉදිරිපත් කරන්න හයිය එකතුකරගත්තෙත් හරිම අඅපිරුවෙන්. ගායකයාත් ඒ වගේ. ඔහුත් ‘නරක මිනිහෙක්‘ නෙවෙයි. ලිංගික ශ්‍රමිකාව ටිකක් කට සැර වුණත් හිත හොඳ ගැහැණියක්. සංක්‍රාන්ති ලිංගික මිතුරිය, ඇය ඕනම කෙනෙකුගේ ආදරය දිනාගන්නවා. ඔවුන්ව ප්‍රතික්ෂේප වෙන්නේ අසාර්ථක මිනිසුන් නිසයි.

පාසැල කියන්නේ ඕනම කෙනෙකුගේ අනාගත ජීවිතය ගොඩනඟන තැන. පාසැලෙන් අවුරුදු පිටවෙලා අවුරුදු පණහක් හැටක් ජීවත්වුණත් ඒ සම්පූර්ණ ජීවිතකාලයේදී පාසැල ඕනම කෙනෙකුට අත්හරින්න බැහැ. ඇතැමුන් පාසැලට ආදරයෙන් පාසැලට ළං වෙද්දී තවත් බොහෝ දෙනෙකුට පාසැල භයානක සෙවණැල්ලක් වෙනවා. 

මෑතකාලයේ ලංකාවේ පොලිස්පති පත් කරද්දී පාසැලේ ආදි සිසුන් එක්ව පොලිස්පති වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘතියක් පටන්ගත්තා. ඒක අපූරු නාටකයක් වුණා. මාධ්‍ය ලෝකයේ අපි එක්ක කන බොන මිතුරන් අතරේ ගාල්ලේ පාසැලකින් ආ මාධ්‍යවේදීන් බොහොමයක් ඉන්නවා. ඔවුන් පාසැල වඩා පුදුමාකාර භක්තියකින් එක්වෙනවා.

ඉහළ පාසැලක ඉගෙනගැනීම ඇතැමුන්ට තමන්ගේ තත්වය පෙන්වන්න හේතුවක් වෙනවා. තමා අහවල් පාසැලේ යැයි කීම ලොකු ගෞරවයක් වෙනවා. තමාගේ දරුවා යන පාසැල පැවසීම අභිමානයක්. ඒ පාසැල්වලින් පිටවෙන්නේ සමාජයේ ඉහළ මිනිසුන්යැයි ඔවුන් කියනවා. උඩින් කිව්වා වගේ අසාර්ථක මිනිසුන් එවන් පාසැලක සිටීම පාසැලේ ගෞරවය නැති කරන නිසා බොහෝ දෙනෙක් පාසැලෙන් පිට කරනවා. කොන් කරනවා. පාසැලක ගෞරවය වෙනුවෙන් ඔවුන්ට ගෙවීමක් කරන්න සිදුවෙනවා. ඒ ගෙවීම භයානක සෙවණැල්ලක් වගේ ඔවුන්ගේ ජීවිත පසුපස එනවා. 


(රාවයට මා ලියූ ලිපියක් ඇසුරෙනි... )

ප.ලි. - බ්ලොග් ලිවීමෙන් ලබන සතුට අන් කිසි දෙයකින් ලබාගන්න බැහැ. පහුගිය කාලේ බ්ලොග් එක වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න බැරිවුණත් හෙට සිට අනිවාර්යයෙන්ම බ්ලොග් එක නිතිපතා අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බ්ලොග් එකේ යම් වෙනස්කම් ටිකක් ඉදිරියේදී කරන්නත් බලාපොරොත්තු වෙනවා.
 
උඩුවාගේ සටහන් සීසන් 02 මෙලෙස ඇරඹෙනවා.

4 comments:

  1. උඩුවා පුතේ... මෙච්චරකල් ඔහෙ කොහෙද ගිහින් හිටියෙ?

    ReplyDelete
  2. පාසල් තුලින් ප්‍රවර්ධනය කරන්නෙත් එක්තරා ගෝත්‍රික වාදයක්.එක හරියට රනිල් "රෝයල්" එක මාකට් කරනවා වගේ.හරි නම් පාසල් විරුද්ධ වෙන්න ඕනේ මහජනතාවගේ දේපල හොරා කාපු දේශපාලකයෝ තමන්ගේ පාසලේ නම අවභාවිතා කරන එකටයි.හැබැයි වෙන්නේ පාසැලෙන්ම ඒ වගේ උන්ට මල් මලා දාලා පිළිඅරගෙන තමන්ගේ වර්තමාන ශිෂ්‍යයින්ටත් අර හොර පාරේම ගමන් කරන්න දිරි ගන්වන එකයි.

    ReplyDelete
  3. කවුරුත් කැමති වෙන්නෙ නෑ තමන් උගත් පාසැලේ කෙනෙක් බස්වල හිඟා කකා තමා අහවල් පාසැලේ ආදි ශිෂ්‍යයෙක් කියනවට. ඒ පාසැල රටේ ජනප්‍රිය පාසැලක් නම් තත්වය තවත් දරුණුයි. අර සංක්‍රාන්ති ලිංගික කෙනා නම් වෙනස් කතාවක්. හැබැයි ඔබ කියන ඔය බස්වල හිඟාකන අයත්, වීදි ලිංගික ශ්‍රමිකාවත් ඒ පාසැල්වලට අවමානයක් තමයි. ඒක සාධාරණීය කරන්න බෑ. පාසැල් යන්නෙ රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න මිසක් මේ වගේ වැඩවලට නෙමෙයිනෙ.

    ReplyDelete
  4. ජනප්‍රිය පාසල්වාදය කියන්නෙත් එක්තරා ආකාරයක බෙදුම්වාදයක් තමයි. එහි ඇති ඉතාම සියුම් පීඩාකාරී ප්‍රහාරයන් අපේ සමාජයේ විවිධ තලවලදී එදිනෙදා දැකගන්න පුළුවන්. අනෙක් අතට ඔය බොහෝදුරට ආදි ශිෂ්‍ය සංගම් ඇතුලේ විශාල ආකර්ෂණයක් ගන්න වැඩ කරන උදවිය තමන්ගෙ පාසල් කාලවලදි පාලම් කොඩියක් දාන්නවත් වැඩකට සහභාගී වු අය නෙවෙයි. පාසල් කාලයේ බැහැලා වැඩ කළ සමහර චරිත පාසල් වියේ නිමාව සමඟ මුහුණදීමට සිදුවන ජීවන අරගලයෙන් හෙම්බත් වෙලා සයිඩ් වෙද්දී පාසල් කාලේ පුද්ගලවාදයේ පතුලෙම හිටි සමහරු ඕබී එකේ මාර චරිත වෙනවා.

    ReplyDelete

Search This Blog