Friday, July 28, 2017

මම විදර්ශනට කැමති ඇයි??

විදර්ශන කන්නංගර කියන්නෙ සයිටම් විරෝධයේ, එහෙම නැත්නම් ලංකාව ඇතුලෙ මෑතකාලයේදී නව ලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි සටනේ ඉදිරිපෙල ප්‍රකාශකයෙක්.

මම නව ලිබරල් ආර්ථිකයට එරෙහි සටනේ ඉන්න කෙනෙක් නෙවෙයි. සයිටම් ගැන ගත්තාම මම සයිටම් එකට පක්ෂව අදහස් දක්වන කෙනෙක් විදියටත් සමහරු අඳුනගන්නව. සයිටම් එකට පක්ෂව මම කතා නොකළත්.




ගොඩක් අය විදර්ශන එක්ක සංවාදෙට යනව. සමහර විට එවන් සංවාද කියවනව. බලන් ඉන්නව. ඉතින් ඒවා බලාගෙන ඉඳීම ඔහු නියෝජනය කරන බලවේගය දිහා බැලීමකුත් වෙනව. ඉතින් විදර්ශන කියන පුද්ගලයා වැදගත් බලපෑම් සහගත පුද්ගල චරිතයක්.

මම විදර්ශනට කැමතියි. මම විදර්ශනට කැමති ඇයි?? බලමු ඇයි කියල.....

ලෝක දේශපාලනේ මේ වෙද්දි තදින් වරනැඟෙන ප්‍රශ්ණ දෙකක් තියෙන බව බොහො දෙනෙක් දකිනව.

1. ජනවර්ග අතර ගැටුම් උග්‍ර වෙලා ඇමෙරිකාව වගේ රටවල්වලටත් ඒ ප්‍රශ්ණවලට කෙටි විසඳුම් හොයන රාජපක්ස වර්ගයෙ පාලකයො පත්වෙලා.
2. ලෝකෙ සමාජවාදෙ පරාදයි, නව ලිබරල්වාදෙ දිනුම් කියල කිව්වාට දැන් නව ලිබරල් ක්‍රමය දරුණු ප්‍රශ්ණ කිරීමකට ලක්වෙන්න පටන් අරන්.

උඩ ප්‍රශ්ණ දෙක නූතන ඉතිහාසෙ පුරා තිබුණත් දැන් ඒක වඩා බරපතලව අහන ප්‍රශ්ණයක් වෙලා.

මම සයිටම් සටන විශ්වාස නොකළත් මහා පරිමාණ ආයෝජන වලට සීමා නොවී පීඩිත කොටස් ගැන සැලකිලිමත් වෙලා ගෙන යා යුතු ආර්ථික ප්‍රතිපත්තියක් ගැන විශ්වාස කරනවා. මේ පැරණි ආර්ථික ප්‍රතිපත්තිය හැත්තෑහතට තිහයි කියල ජයට සැමරුවාට ජාතියක් විදියට අපි සමරන්න පුලුවන් ජයග්‍රහණ ලබල තියෙනවද?? මමනම් කියන්නෙ අවස්ථාවාදී නායකයො ඉන්නකං මොන ප්‍රතිපත්ති තිබුණත් වැඩක් නෑ.

(සයිටම් සටන හේතුවෙන්නෙ ලංකාවෙ නව ලිබරල් ආර්ථිකය පරාජය වෙන්න නෙවේ, රාජපක්ෂ ආණ්ඩුවක් හදන්න. වෛද්‍ය සංගමය ගෙනියන අරගලය ඒ ඉලක්කය දක්වා ගෙනියන්නත්, රාජපක්ෂ ආණ්ඩුවක අනුරුද්ධ පාදෙණිය නම් මිත්‍රශීලී නිහඬ පුද්ගලය සෞඛ්‍ය ඇමති වෙන්නටත් සැලසුම් තියෙන බව විශ්වාසකටයුතු මාර්ග අපට කියනව. සයිටම් විරෝධී වාමාංශික කොටස් මේකට සම්බන්ධයැයි මම හිතන්නෙ නෑ.)

පීඩිත මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න ඕන. ඔය ලිබරල ආර්ථික සීන් එක වෙනුවෙන් පෙනී ඉන්න බොහෝ දෙනෙක් පීඩිත මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ. ෆන් එකේ ජීවත්වෙන, ජීවිත රේස් එක දුවන අය. ලොකු පඩි, වාහන හොයන අය. (බොහෝ දෙනෙක්.) පොළොවෙ ප්‍රශ්ණ වලදි උඩින් බලල පොර ටෝක් දෙනව.

(උමා ඔය ප්‍රශ්ණෙදි ප්‍රොජෙක්ට් එක නතර කරන්න එපා කියල විනාශය දෑහින් නොදැක කොළඹ ඉඳන් කියනව. ආයෝජන අපරාදෙ හින්ද.)

ඒ නිසා විදර්ශන(ලා) එක්ක කළයුතු, කළහැකි වැඩ ගොඩක් තියෙනව. මොකද සමාජ ආර්ථික ප්‍රශ්ණ ගැන පොළොවෙ කළයුතු දේ බොහෝයි. ලංකාවෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ කෙළවරක් නෑ. ඔවුන් වෙනුවෙන් පුළුල් සිවිල් ව්‍යාපාර සටන් කරන්න ඕන.

ඇතැමුන් හිතාගෙන ඉන්නෙ සියල්ල ප්‍රයිවටයිස් කරන එක ෆන් කියල. විශාල ව්‍යාපෘති වලින් කේතුමතිය පහල වෙනව කියල.

අසාධාරණ ආර්ථික ක්‍රමයක් ඇතුලෙ කාවහරි පීඩාවට පත්වුණාම එයාල 'අවස්ථා' අඳුනගන්න බැරි මෝඩයෝ කියල සැහැල්ලුවෙන් නොතකා හරින්න නව ලිබරල් සිස්ටම් එකකට සපෝට් කරන අට පුලුවන්.

(පහුගිය දවසක කෙනෙක් ලියල තිබුන ගෙදර ස්ලැබ් එකක් දාන්න එන කම්කරුවත් දැං දාහකට එහා කුලියක් ගන්නව කියල. කෙනෙක් ඒක ප්‍රශ්ණ කරල තිබුණෙ රුපියල් තුංහාරසීයට වැඩ කරන කුලී කාරයො තාම ඉන්නව කියල. එහෙම අඩු වැටුපට වැඩ කරන අය ඉන්නවනම් ඔවුන් අවස්ථා අඳුනගන්න බැරි මෝඩයො විදියට අර ලිබරල් මත පළකරන්නා කීවා. ඒ සැහැල්ලුවෙන් අර මිනිස්සුන්ව හලල දැම්ම. )

ඒත් ඒ විදියට දුර්වලයාව, අවස්ථා අඳුනගන්න බැරි කෙනා විනාස වෙන්න අරින, රේස් දුවනව වගේ සමාජ ක්‍රමයක් ඕනද??

(ලංකාවෙ තේ වතු වල වැඩ කරන්න ඉන්දියාවෙ දිළිඳු මිනිස්සුන්ව ගෙනාවෙ පොළොව යට උම්බලකඩ, පොල්, කෑම තියෙනව කියල බොරු කියල. බොරුවට පහසුකම් ගැන රවටලා. අර වගේ බොරුවකටත් රැවටෙන අසරණ මිනිස්සුන්ව තාම සූරාකද්දි, ඒ මිනිස්සු පීඩා විඳින්නෙ අවස්ථා අඳුනගන්න බැරි මෝඩයෝ හින්දා කියල අතාරින්න පුලුවන්ද????)

සමාජ ආර්ථික වශයෙන් අයිතීන් නැතිව පීඩාවට පත්වෙන, සමාජ දැනුම අතින් සහ අවස්ථා හොයායෑම අතින් නූගත් මිනිස්සු අති බහුතරයක් ඇස් ඇරල බලද්දි මේ රට ඇතුලෙ පේනව. ඒ අය වෙනුවෙන් සටන් කරන්න වෙනවා. ඒ සටන්වල විදර්ශනලාට ලොකු වැඩ කොටසක් තියෙනවා. අපිත් ඔවුන් එක්ක වැඩ කරනවා.

විදර්ශන කියන්නෙ ටියුෂන් කරල සල්ලි හොයන ගමං රැල්ලට වාමාංශික වෙලා ඉන්න පොරක් නෙවෙයි. ඔහු භාවිතාව ඇතුලේ කුහක නෑ. (මම ටියුෂන් කිරීම වරදක් විදියට නොදකිතත් ඔහු පෞද්ගලික අද්‍යාපනය ප්‍රතික්ෂේප කරන අතරේ ටියුෂන් කිරීම ඔහුගෙ පැත්තෙන් කුහකයි. )

වැඩක් කරද්දි විදර්ශන මහන්සි වෙන තරම වගේම බොහෝ දෙනා කියවන්නෙ නැති මේ වගෙ කාලෙක විදර්ශන කියවන්නෙක් වීමත් විශේෂයි.

(මේ කාලෙ පොඩ්ඩක් කියවල(පොත්) ගොඩක් කියවන(කයිවාරු) අය ඉන්නෙ.)

වාද විවාද වලදි විදර්ශන දරුණු වචනවලින් පහරදෙන, ඇහුම්කන් දෙන්න අකැමති පොරක්. හැබැයි එදිනෙදා ඔහුව ආශ්‍රය කරන අය දන්නව ඔහු ඇහුම්කන් දෙන කෙනෙක්.

(මේ කාලෙ ඇහුම්කන් දෙන අයත් අඩුයි.)

මරදානෙන් පරන දාර්ශණික පොත් හොයාගෙන, ඒව කියවල, සිගරට් බීල, පොත් එළිදැක්වීම් කරල ගෝල්ලිප් දාර්ශණිකයෙක් බිහිවෙනව... උන් අපට නොතේරෙන දේවල්ම කියනව කියල විදර්ශන එක්ක නිතර හැප්පෙන කෙනෙක් වන රවීෂ කියල තිබ්බ. ඇත්තටම අඩු වැඩි වශයෙන් බොරු දාර්ශනිකයො හිටියත් විදර්ශන කියන්නෙ බර වචන දාල නොතේරෙන දේවල් කියන කෙනෙක්ට වඩා බරක් ඇතිව යමක් කියන කෙනෙක්. ඒ නිසා විදර්ශන(ලා) යමක් කිව්වම නක්කලේ දානවට වඩා මෙයා මොකක්ද කියන්නෙ කියල තේරුම් ගන්න උත්සාහ කරන එක හොඳයි.

හරි හෝ වැරදි වුණත් විදර්ශන දේශනයක් හෝ ලිපියක් ලියන්නෙ ටිකක් පසුබිම් තොරතුරු හොයල පැය ගාණක් වැය කරල. අපේ පරපුරේ ගොඩක් අය ඔළුවට එන එන එක කටින් එළියට දානව.

මේ මහන්සිය නිසා ඔහු කියන දේ වචන ගොඩක් නෙවෙයි, පදනමක් ඇති කතාවක්. වාදයට පැටලෙද්දි වුණත් ඒ ගැන සිහිතබාගැනීම වැදගත්.

විදර්ශන සෑහෙන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. ඔහුව මුණගැහෙන හැම අවස්ථාවකදිම මම වැදගත් අලුත් යමක් ඉගෙනගන්නව.

විදර්ශනගෙත් අඩුපාඩු තුන්කෝටි හතලිස්පන්ලක්ෂයක් මම දකිනව තමයි.
ඒත් මේ සටහන ඔහුට කැමති ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක්නෙ.

ඔහුගෙ කටින් එන හැම එකක්ම පිළිගන්න අවැසි නෑ. ඒත් සංවාදගත වෙද්දි අවශ්‍ය රෙස්පෙක්ට් එකත් එක්ක සංවාදගත වෙන්න ඕන. විදර්ශන සංවාද වලට යන්නෙත් ඒ රෙස්පෙක්ට් එක එක්ක නෙවෙයි. ඔහු එක්ක පැටලෙන අය පැටලෙන්නෙත් ඒ ක්‍රමේට.

නව ලිබරල් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුභසාධන ආර්ථික ක්‍රම ගැන ලොකු සංවාද, විවාද ඇතිවෙන කාලෙක ඒ සංවාද වෛරයෙන් පිරුණු කමෙන්ට් වලි වීමට වඩා හරවත් සංවාද වීම වැදගත්.

විදර්ශනට කැමති ඇයි කියන එක ලිව්වෙ සංවාදවලට එද්දි ඒ රෙස්පෙක්ට් එක ඇති කරගත යුතු හින්ද. ඒ වගේම විදර්ශන 'මට බොහෝ දෙනෙක් කැමති විය යුත්තෙ ඇයි' කියන එකත් කල්පනා කරන්න ඕන.

6 comments:

  1. තර්කය වැටහුණා. ප්‍රධාන මාතෘකාවට ආදාල නොවුනත් සයිටම් ගැන කීම නිසා මෙය කියන්නම්. පොදුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සහ ඒ හා බැඳුණු රජය මඟින් ක්‍රියාත්මක වන සිසුණය ක්‍රමය තමයි පෝසත් දුප්පත් යන දෙකොටසටම සාධාරණ විසඳුම. දුප්පත් අයට යන්න බැහැ කියන පදනම මත සිසු ණය ක්‍රමයකට සටන් නොකර පෞද්ගලික විද්‍යාල වැසීමට ඉල්ලීම තර්ක කරන්නාගේ ඔබ දකින ලක්ෂණයන් නිසා හෝ එකඟ වෙන්න බැහැ. නව ලිබරල් වාදීන්ට ඔබ දෙන අර්ථකතනයට එකඟ වන්නත් අමාරුයි. ඔවුන් පීඩිත මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මොවුන් බොහෝ දෙනෙකුට රාජ්‍ය පාලනයේ දුර්වලතා වලින් වෙන හානියක් නැහැ. එම දුර්වලතා වලින් හානි වෙන්නේ පීඩිතයන්ටයි.

    ReplyDelete
    Replies
    1. මචං, ඒ කියන්නෙ උඹත් විදර්ශනට කැමතියිද...??? :O :O :O :O :O :O

      Delete
    2. මම විදර්ශන කෙනෙක් දන්නේ නැහැ. උඩුවාගේ තර්ක වලට ප්‍රතිචාරයක් පමණයි

      Delete
    3. "අපේ පරපුරේ ගොඩක් අය ඔළුවට එන එන එක කටින් එළියට දානව."

      Delete