Wednesday, January 31, 2018

සිරිසේන!



දහම් බේබි වාරී මාර්ග ව්‍යාපෘතියක් විවෘත කරමින්




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපූරු කතා ගොඩක් මෑත දිනවල කියනවා. රටේ මෑත කාලයේ බිහිවුණ වැනෙනසුළුම පාලකයා ඔහු. වැනෙනසුළු බව කිව්වේ ඔහු හිටං ඉන්නකොට වැනෙන එක ගැන නෙවෙයි. ඔහුට ස්ථීර අදහසක් නැහැ. තමන් හිටගත්ත තැන හිටගන්න බෑ. ඔහු වරින් වර තමන්ගේ අදහස් වෙනස් කරනවා.
අපි උදාහරණවලට ගත්තොත් නැවත ජනාධිපතිවරනයට ඉදිරිපත් නොවන බව කීව ජනාධිපතිවරයා දැන් කියන්නේ ඉදිරි ජනාධිපතිවරයණයට ඉදිරිපත් වෙනවාද නැද්ද කියන එක ගැන ස්ථීර අදහසක් නැති බවයි. සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ශපථ කළ ජනාධිපතිවරයා පසුව දිවයින පුවත්පතට තමන්ගේ නමින් ලිපියක් ලියමින් කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ තීරණයක් ගැනිම තමන් විසින් ශ්‍රිලනිපයට බාර දී ඇති බවයි.


අගමැති

ඇත්තටම අපේ අදහස වගේම ජනාධිපතිවරයා ගැන වැඩිපුර අවබෝධයක් ඇති අයගේ අදහසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොඩක් අවංක පුද්ගලයෙක් නෙවෙයි කියලා කල්පනා කරන්න සාධාරණ හේතු තිබුණා වුණත් ඔහු ලවා යහපත් වැඩ කොටසක් කරවාගන්නට අවස්ථාවක් තිබුණු බවයි. ඒ කියන්නේ ජනාධිපතිවරයා ලවා ව්‍යවස්ථාවේ වෙනස්කම් ටික, සුළු ජනවර්ගවලට අවශ්‍ය සංශෝධන ටික කරවාගන්න හැකියාවක් තිබුණා. 

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට වුවමනාවක් තිබුණානම්. ඒ කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සියල්ල සැහැල්ලුවෙන් ගත්ත බව පෙනෙන්නට තියෙනවා. ළඟදී අපි රනිල් වික්‍රමසිංහ මහතාට සමීප එජාප නායකයෙක් එක්ක ජනාධිපතිවරයාගේ සහ ශ්‍රිලනිපයේ පහුගිය දිනවල ක්‍රියාකාරකම් ගැන ඇහුවාම ඒ නායකයා කිව්වේ ‘අපෝ ඕවා ඡන්දය වෙනකල් විතරයි. ඉන්පස්සේ ආණ්ඩුව තිබුණා වගේ හොඳට තියෙයි කියලා.’ ඒ තුල අපට පෙනුණේ අගමැතිවරයාගේ මේ සැහැල්ලුවට ගැනීමේ දර්ශණය. අනෙක් පැත්තෙන් ඔහුගේ මුරණ්ඩුකම. ඇත්තටම අගමැතිවරයාගේ හැසිරීම ජනාධිපතිවරයාගේ පහුගිය දිනවල හැසිරීමට හේතුවක්.

ජනාධිපතිවරයා

මේක පැහැදිලියි. ජනාධිපතිවරයාට දැන් ස්ථාවරයක් නැහැ නෙවෙයි, ඔහුට දැන් ස්ථාවරයක් තියෙනවා. ඒ ශ්‍රිලනිප පාර්ශ්වයන් දෙක එකතුකිරීම. රාජපක්ෂලා සමඟ එකතුවීම. සුපුරුදු ජාතිකවාදී දේශපාලන ප්‍රතිපත්තියක් එක්ක, වාමාංශිකයැයි කියන ( ඇත්තම වාමාංශික නොවන) ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක දේශපාලන අනාගතය ගොඩනංවාගන්න එක. ඇත්තටම රාජපක්ෂලා මෛත්‍රීපාල සිරිසේනට සමාව දේවි. රාජපක්ෂවාදීන් හෙවත් බයියන් වුණත් මෛත්‍රීපාල සිරිසේන මහතාව සම්පූර්ණ විහිළුවක් බවට පත් කළත් ඔවුන්ටත් සමාව දිය හැකියි. රාජපක්ෂලා සමාව දුන්නොත් ඔවුන් අනිවාර්යයෙන් එසේ කරනු ඇති. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ මාවතේ ගොස් එජාපය සමඟ ගණුදෙනු අවසන් කරන්නට හිත හදාගෙන ඇති බව පෙනෙනවා.
ඇත්ත. ජනාධිපතිවරයා තවම මහින්ද රාජපක්ෂලාට දැඩි විවේචන එල්ල කරනවා තමයි. එහෙත් මේක මැතිවරණ සමයක්. මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරණ ශ්‍රිලනිපයට තියෙන ලොකුම අභියෝගය ඒකාබද්ධ විපක්ෂය. ඒකාබද්ධ විපක්ෂය වෙනුවට ශ්‍රිලනිපයට ඡන්දය දෙන තැනට සුපුරුදු ශ්‍රිලනිප පාක්ෂිකයාව ඉලක්ක කළ යුතුයි. ඒ සඳහා ඔහු රාජපක්ෂලා විවේචනය කළයුතුයි. එහෙත් ඒ විවේචන පසෙක තිබියදී ජනාධිපතිවරයාට යළි රාජපක්ෂලා සමඟ එක්විය හැකියි. ඒ ගෝඨාභය රාජපක්ෂ මාර්ගයෙන්. 

විවාහයකට සහභාගී වී

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඩඩ්ලි සිරිසේන සමඟ සමීප ගණුදෙනුවක් ඇති කෙනෙක් බව පෙනෙනවා. එය ‍එසේ නොවන බව කියන්නට කෙනෙකුට පුළුවන්. එහෙත් මොන හේතුවක් නිසාද ඩඩ්ලි සිරිසේන මහතා තමන්ගේ පුතාගේ විවාහයට ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කරන්නේ. 

ඩඩ්ලි සිරිසේන පේෂල ජයරත්න එක්ක බැසිල් රාජපක්ෂව හමුවීමට යන්නේ ඇයි? ඩඩ්ලි සිරිසේන මහතා බැසිල් රාජපක්ෂව ගෝඨාභය රාජපක්ෂ හරහා පක්සය එකතු කිරිමේ සැලැස්මට හවුල් කරගන්න හිතාගෙන බැසිල් රාජපක්ෂට ඇමතුම් රැසක් ගත්ත බව අපට තහවුරු වුණා. බැසිල් රාජපක්ෂ ඒවාට පිළිතුරු නොදුන් බවයි කියන්නෙ.
එහෙත් ඔහුට එක්වරම ඒක කරන්න බැරි බව පෙනෙන්නේ. මොකද ජනාධිපතිවරයා හිටපු තැනින් එක්වරම අනෙක් තැනට මාරුවෙන්න බැහැ. ඒ නිසා ඔහු ඒකට පසුබිම හදාගනිමින් ඉන්න බව පේනවා.



දහම් බේබි එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වී

ජනාධිපති පුතා 

මේ සියල්ල මැද ජනාධිපති පුතා දහම් සිරිසේන ගැනත් කතන්දර කියැවෙනවා. දහම් සිරිසේනගේ සෝෂල් මීඩියා අකවුන්ට් එකක් බැලුවත් ඔහු පෞද්ගලික ජීවිතය ගත කරමින් දේශපාලනයට මැදිහත් නොවී සිටින කෙනෙක් වෙනුවට දේශපාලනයට මැදිහත් වෙන කෙනෙක් බව පේනවා. 2015 ඔක්තෝම්බර් විතර වෙද්දීම දහම් සිරිසේන පුංචි මහත්තයා තම පියා සමඟ එක්සත් ජාතීන්ගේ සමුළුවට නිව්යෝර්ක් ගිය ආකාරය මතකයි. මෙතැනින් ඒ ගැන කියවන්න. 

මේ සියල්ල එක්ක එක් දෙයක් සිහිකරන තැනටයි ලිපිය ගෙනෙන්නට උත්සාහ කරන්නේ. ඒ දහම් සිරිසේන මහතා ක්ලික් සමාජශාලාවේදී ඇති කරගත්ත ගැටුම ගැනයි. මේ ගැටුම සම්බන්ධයෙන් පැහැදිළි සාක්ෂි ඒ දිනවල ලැබුණා. මෙතැනින් ඒ ගැන ලිපියක් කියවන්න පුළුවන්.

රාවය ඒ දිනවල පැහැදිළිවම දහම් සිරිසේන පුංචි මහත්තයාගෙන් සහ ඒ පුංචි මහත්තයාගේ පියාගෙන් විමසුවේ මේ තරුණයාට මේ තරම් ක්ලබ් ගානේ ඇවිදින්නට මුදල් කොහෙන්ද කියායි. මේ ගැටුම සම්බන්ධ චෝදනාව බරපතල එකක්. ඒ ගැන පරීක්ෂණ කරන්නට සී.අයි.ඩී.යට බාරදෙන බව ජනාධිපතිවරයාම ඒ දිනවල කීවා.
කොහොම වෙතත් මෑත දිනයකදී සාගල රත්නායක ඇමතිවරයාව රාවය වෙනුවෙන් ඉන්ටවීව් කරපු මොහොතක මේ ක්ලික් සමාජශාලාවේ ගැටුම ගැන පරීක්ෂණ යනවාදැයි අපි විමසුවා. එහෙත් ඇමතිවරයා කීවේ එහෙම සිදුවීමක් සිදුවුණාදැයි තමන්ට මතක නැති බවයි. 

නීතිය හා සාමය බාර ඇමතිවරයා මේ වගේ බරපතල චෝදනාවක් රැගත් සිදුවීමක් සම්පූර්ණයෙන් මතකයෙන් අතුගා දමා තිබීම මොනතරම් සුන්දර යහපාලනයක්ද. මොන තරම් සුන්දර සම්මුතිවාදයක්ද. 

දහම් සිරිසේන පුංචි මහත්තයා පියා වෙනුවෙන් රජයේ ව්‍යාපෘති විවෘත කිරීම මෙන්ම පහුගිය කාලය වෙද්දී දේශපාලන වේදිකාවේදීද දැකගන්නට ලැබුණා. දහම් බේබි විසින් ප්‍රසිද්ධියේම ශ්‍රිලනිප තරුණ හමුවකට ශ්‍රිලනිප ප්‍රධාන කාර්යාලයේදී එක්ව සිටියා. එපමණක් නෙවෙයි, පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලටද දැන් ඔහු සහභාගී වෙන බව ඔහුගේම ෆේස්බුක් අඩවිය බැලුවොත් දැනගන්න පුළුවන්. හෙට ඔහු කුමන හෝ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන අයුරුත් අපට දැකගන්න පුළුවන් වේවි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඔහුගේ පවුලත් බලය නම් කාන්තාව විසින් සෙඩියුස් කර ඇති බව මේ සියල්ලෙන් තව තවත් තහවුරු වෙනවා පමණයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ සිටින්නේ ලැජ්ජා විරහිත, පට්ටපල් බොරුකාරයන් බවට මේවා හොඳම සාක්ෂි. අනෙක් සියළු තැන්වල සිටින ලැජ්ජා නැති දේශපාලඥයන්ගේ ගොඩටම ඔහුත් අයිතිවෙනවා. ඉතින් කඩුව කොහොම වැනුවත් ඇති ප්‍රයෝජනයක් නැති බව පැහැදිළියි.


දහම් බෙිබී පොලොන්නරුව දිස්ත්‍රික් රැස්වීමේ දී

                                                                                       

3 comments:

  1. සිරිසේන ඔය තත්වයට ගෙනාවේ රනිල්, රනිල් වැඩිය් බල කලේ නැහැ දුෂිත දේශපාලනයෝ අල්ලන එකට . මෛත්‍රීට ඉඩ දුන්න ඒ අය තියාගන්න. ඒකට හේතුව තමන්ගේ පක්ෂේ වියදම් කරපු අයටත් ගානක් හොයා ගන්න ඉඩ සලස්වන්න. අන්තිමට වැඩේ පොඩ්ඩක් ක්‍ර්රුවල්. චන්දෙන් පස්සේ දෙන්නම් එකතු වෙයි. එච්චරයි. පරිස්සම් වෙන්න ඕනේ බැසිල් ගෙනුයි.

    ReplyDelete