Monday, July 02, 2018

මරණය


චාමර ලක්ෂාන් සමඟ අපි කිසිදිනක කතාකරලා නැහැ. වෘත්තිමය සම්බන්ධයක් තිබිලාත් නැහැ. ඔහු ගැන වැඩිපුර අහන්න ලැබිලාත් නැහැ. දන්නේ ඔහු ලේක්හවුස් එකේ හිටපු කාලය ගැන පමණයි. බොහෝ අය චාමරව දැනගෙන හිටපු බවත්, හැමෝම ඔහුට ආදරය කරලා තියෙන බවත් දැන් පෙනෙනවා. ඒ ඇතැම් අය ඔහු ජීවත්ව සිටියදී ඔහු ගැන කියා තිබෙන දේවලුත් අප අසා තියෙනවා. අවංකවම කීවොත් ඔහු ගැන දැවැන්ත ප්‍රතිරූපයක් අපේ හිතේ මවාගන්නට තරම් ඔහු ගැන අසා තියෙන දේවල් ශක්තිමත් වෙලා තිබුණෙ නැහැ.

ඇත්තටම චාමර ලක්ෂාන් මහතා ජීවිතයෙන් සමුගත්තාට පසුව ඔහු ගැන කියන දේවල්වලින් බිඳක් හෝ ඔහු ජීවත්ව සිටියදී අසන්නට ලැබී තිබුණානම් චාමර මහතාව ආශ්‍රය කිරීමේ වාසනාව අපටත් ලැබෙන්න ඉඩ තිබුණා. එවැනි කිසිවක් අහන්න නොලැබුණ නිසා චාමර ලක්ෂාන් මහතා අපේ සැලකිල්ලේ පරිධියේ හිටපු කෙනෙක්.

චාමර ලක්ෂාන්

එහෙත් මෑතකදී ඔහුට සිළුමිණ සහ රැස පත්තර දෙකේම කර්තෘ ධූර එකවර දරන්න සිදුවුණාට පස්සේ ඔහු ගැන පුංචියට කතාවුණා මතකයි. ඔහුට ඒ වගකීම් දෙකම දරන්න පුළුවන්ද කියන එක ගැනයි සාකච්ඡා වුණේ. ඔහු සාමාන්‍ය සිළුමිණ කර්තෘලා වගේ විශ්‍රාම යා යුතු වයසේ සිටින කෙනෙක් නොවන, තරුණයෙක් බව විතරක් අපේ විශේෂ අවධානයකට ලක්වුණා.

හදිසියේ කෙනෙකු ජීවිතයෙන් සමුගත්තාට පස්සේ ඔහු ගැන සිහිපත් කිරීමත්, ඔහු සමඟ තිබුණු සියලු අදහස් පසෙක තියලා ගෞරවණීය සමුගැනීමක් ලබාදීමත් ශිෂ්ඨාචාරය විසින් අපට උරුම කරපු යහපත් ලක්ෂණයක්.
අවංකවම මේක කියන්නෙ ඔහු ගැන නරක යමක් ලියන්න නෙවෙයි.  ඇත්තටම මේ ලියන්න සූදානම් වෙන්නේ ඔහු ගැන නෙවෙයි. එහෙත් ඔහු ගැන අපි වැඩිපුර නොදන්නා බව සියල්ලට කලින් ලියා තැබිය යුතු නිසයි මේ ටික ලීවේ.

උඩින් කී විදියට, අපි ඔහු ගැන අඩුවෙන් දැන සිටියත් හදිසියේ සිදුවුණ ඛේදවාචකය නිසා අප විශාල කම්පනයකට පත්වුණා. එක විදියකට මෙය බරපතල ඛේදවාචකයක්. අනෙක් පැත්තෙන් පෘථග්ජන අදහස් පෙළක් මේ කම්පනයට හේතු වුණා. අපේ ලෝකය දැවැන්ත බියක්, අවිනිශ්චිත බවක් සහ කාලකණ්නි බවකින් වෙලී ගියා. මේ හැඟීම මීට කලින් ආවේ ඉන්දික ගුණවර්ධන ගැන අහන්න ලැබුණු මොහොතේ.

ඉන්දික සමඟ වුණත් අපට ලොකු මිතුදමක් තිබුණෙ නැහැ. ඒත් අභ්‍යන්තර බැඳීමක් තිබුණා. චාමර එක්ක කිසි බැඳීමක් තිබුණෙ නැහැ. ඒත් නොකියා ආපු මේ මරණ දෙකම එක්ක අපේ ජීවිත ෂොක් වුණේ එකම එක ආත්මාර්ථකාමී හේතුවක් නිසා. මරණය. මේ සටහන මරණය ගැනයි. මේ කතාව මියගිය ඒ සුන්දර මිනිසුන් සමඟ සම්බන්ධයක් නැහැ. ඔවුන්ගේ මරණයන් විසින් අපව කල්පනාවකට යොමු කළා පමණයි.

ඇත්තටම අපි අපේ ඉන්දික හෝ චාමර ලැබුවා වගේ ක්ෂණික මරණයට ඒ තරම් බයක් නැහැ. අපි දෙන්නාටම මරණයෙන් මතු ජීවිතයක් ගැන අපට කිසි විශ්වාසයක් නැහැ. ඒ නිසා මරණය කියන්නේ බය අවසන් වෙන මොහොත. ඒත් අපට බය තියෙන්නේ අපේ සමීපතමයන් ගැන. අපි නැතිවුණොත් වටේ සිටින අයට කුමක් වේවිද? එ වගේම වටේ සිටින කෙනෙක්ට හදිසියේ යමක් වුණොත්.

ඉන්දික සහ චාමර කියන දෙදෙනාගේම සෞඛ්‍ය තත්වයන් ගැන අපි වැඩිපුර දන්නේ නැහැ. ඒත් ඇත්තටම අපි සෞඛ්‍ය අඩුවෙන් තකන සංස්කෘතියක් තියෙන ජාතියක්. අපි අතරේ ඉන්න බොහොමයක් සීමාව ඉක්මවලා මහත අය. නැත්නම් සීමාව ඉක්මවලා කෙට්ටු අය. අපි කාර්යාලවල ඉඳගෙන ඉන්නවා මිස ශරීරය වෙහෙස කිරීම ගැන කල්පනා කරන්නෙ නෑ. අවුරුදු හතළිහ වෙද්දී හෘද රෝග, රුධිර පීඩනය, සීනි ඇතිවෙන ජාතියක් අපි. ඇත්තටම අවුරුදු හතළිය කියන්නේ නාකි වයසක් නෙවෙයි. ඒත් අපේ මිනිස්සු අවුරුදු හතළිහ වෙද්දී පණහ හැට පෙනුමක් උරුම කරගන්නවා. ශරීර සෞඛ්‍ය ගැන හිතන්නේ නැති තරම්. සෞඛ්‍ය පරීක්ෂාවන්ට අපි යොමුවෙන්නෙ නැහැ. හදිසියේ මරණය ඇවිත් අපව පැහැරගන්නා තෙක් අපි දන්නෙ නැහැ.

මේ සිදුවීම් සමඟ අපට දැනුණු හැඟීමක් බෙදාගන්න ඕනෑ.

අපි මරණයට සූදානම්ද? ණය කඳු වටේටම ගොඩගසාගත් අපේ ජීවිතවලට මරණය කඩාවැදුණොත් අපේ සමීපතමයන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම විනාශයට ලක්වෙන්න ඉඩ තියෙනවා. අපි හැමවෙලාවෙම අපේ ආදායමට වඩා වැඩියෙන් පරිභෝජනය කරනවා. අපේ ජීවිත දුවන්නේ ණය එක්ක. ඒ ණයකාර ජීවිත කිසිම හදිසි අවස්ථාවකට සුදානම් නැහැ. සම්පූර්ණ රෝලක් බිඳී යනවා. ඇත්තටම අපි ඒවාට සූදානම්ද?

සියළු සත්වයෝ මරණයට පත්වෙන බව බෞද්ධ දර්ශණයේ උගන්වනවා. සියළුම වස්තූන් හැම මොහොතකම විනාශය කරා ගමන් කරමින් සිටින බව කියනවා. බෞද්ධ දර්ශනය අනුව දෙවියන්ට පවා මරණ දිනයක් තියෙනවා. ඇත්තටම මරණය ගැන ජීවත්වෙන හැම මොහොතකම සිහිතබාගැනීම වැදගත් නැද්ද? එය ජීවිතය විඳින්නට බාධාවක්ද? ජීවිතය විඳින අතරේ මේ හැම විඳීමක්ම අනියත බව සිහි තබාගැනීම වැදගත් නොවේවිද? එය ජීවිතයේ විඳීම මැද, මේ සියල්ලෙහිම නිස්සාර බව සිහිතබාගන්නට උදව් වේවි.

ඒ මරණය සිහිකිරීම විඳවීමක් නෙවෙයි. විඳීම ගැන අවබෝධ කරගැනීමක්. ඒ නිස්සාර සතුට වෙනුවෙන් වගකීම් අමතක කිරීමත්, තව පුද්ගලයෙකුට හානි කිරීමත් මරණය සිහිකළොත් අපට නවත්වන්න පුලුවන් වේවි. ප්‍රයෝජනවත් යමක් ලෝකයටත්, සමීපතමයන්ටත් ඉතිරි කර සමුගන්නට හැකිවේවි. ඇතැම්විට බුදුන් මරණය සිහිකිරීමේ භාවනාව යැයි කියන්න ඇත්තේ ඒකට වෙන්න ඇති. පලක් බැඳගෙන ඇස් පියාගෙන ඉඳහිට කරන දෙයක් නෙවෙයි. ජීවත්වෙන හැම මොහොතේම කළ යුතු දෙයක්.

5 comments:

  1. මමත් චාමර ගැන කලින් අහලා නෑ.කොහොමත් මට සිලුමිණේ ඒ කාලේ ඉඳලම හිටපු උන් වැඩියේ දිරෙව්වේ නෑ. පත්තර විකිණෙන්නේ නැති උනාට ඒකේ ලොකු උන් හිටියේ නිව්යෝර්ක් ටයිම්ස් එකේ සයිස් එකෙන්. කොහොම නමුත් චාමර ගැන මේ දිනවල කථාවෙන දේවල් හැටියට ඔහු හොඳ කෙනෙක් බව පේනවා.

    ReplyDelete
  2. උඩුවාත් ටික ටික වයසට යමින් සිටින බව පේනවා

    ReplyDelete
  3. // ඒ ඇතැම් අය ඔහු ජීවත්ව සිටියදී ඔහු ගැන කියා තිබෙන දේවලුත් අප අසා තියෙනවා. //

    D

    ReplyDelete
  4. කොහොමත් දැන් නම් කිසිම පත්තරයක් බලන්නේ නෑ..
    පත්තර බලන්න හිතෙන දේශපාලන වාතාවරනයක් රටේ ඇත්තෙත් නෑ
    මමත් මේ අයව දන්නෙ නෑ
    නමුත් උඹ කියන දේ ඇත්තක් තියෙනවා....
    ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැත
    මම නම් බියර් වලට මාරු උනා...
    ඒක පට්ට...
    දැන් නාකියිනේ...

    ReplyDelete
    Replies
    1. උඹ කරේ ‌ෙනොකරන්නම ඔ්න ‌ෙදෙයක් - බියර් නිසා සීනිි ප්‍රශ්නේ ඒන්න පුලුවන් ‌ෙනේද

      Delete