ගොඩවදින්නෝ

Friday, May 08, 2015

තල් වනයේ දිගහැරෙන කේසවරාජ්ලාගේ ලෝකය


අප සිටියේ යාපනයේ කයිතඩි උතුර ප‍්‍රදේශයේ කුඩා ගමක් මධ්‍යයේය. පනෙයිමරකාඩු දෙමළ චිත‍්‍රපටියේ රූගත කිරීම් අතරතුරය. පහළොවකින් පමණ සමන්විත කුඩා කණ්ඩායමක් විසින් වෙහෙස නොතකා වැඩ කරන්නේ ආර්ථික අපහසුතා ජයගනිමින් කෙසේ හෝ චිත‍්‍රපටියේ වැඩකටයුතු අවසාන කිරීමේ අධිෂ්ඨානයෙන් යුතුවය. එදින උදෑසනම වැඩ ආරම්භ කළ කණ්ඩායම කම්කරුවන් වෙසින් කුඩා කැලයක් එළි පෙහෙලි කොට දර්ශන තලය සකසා ගත් අතර ඉන්පසුව අංග රචනා ශිල්පීන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ, සහ නළුවන්ගේ වෙස් ගෙන රූගතකිරීම් ආරම්භ කළහ. ඔවුන්ට වැඩ කරන්නට ඉඩදී මඳ වේලාවක් බලා සිට අපි ඔවුන් සමග කතාබහට එක්වීමු.

කේසවරාජ්

පනෙයිමරකාඩු චිත‍්‍රපටියේ අධ්‍යක්ෂවරයා පී. කේසවරාජ්ය. ඔහු යුද්ධය සමයේ එල්ටීටීඊය සමග කටයුතු කළ පුද්ගලයෙකි. එල්ටීටීඊ නායකයින්ව ළඟින් ඇසුරු කළද ඔහු යුද්ධයට සම්බන්ධවී යුද්ධ කළ පුද්ගලයෙක් නොවේ.
මම කලාකාරයෙක්. එල්ටීටීඊ පාලනය යටතේ නිර්මාණ කළා, ඒ අය එක්ක හිටියා. නමුත් මම කළේ කලාව. මම එල්ටීටීඊ සාමාජිකයෙක් නෙවෙයි. කොටි කරපු හැමදෙයක්ම මම අනුමත කළේ නැහැ. ගොඩක් වෙලාවට ප‍්‍රශ්න කළා. ඒ ප‍්‍රශ්නවලට කවුරුත් තාම හරි උත්තර දීලා නැහැ. මගේ කිසිම නිර්මාණයකින් ප‍්‍රභාකරන් අපේ නායකයා (තලෙයිවා) කියලා ඉස්මතු කළේ නැහැ. හැමදෙයක් ගැනම හමුදාවට චෝදනා කළේ නැහැ. හැමෝම සාමාන්‍ය මිනිස්සු.’
කේසවරාජ් දකුණේ ඉපදී හැදී වැඩුණු පුද්ගලයෙකි. ඔහුගේ පියා පොලිස් නිලධාරියෙක් වන අතර මව ගුරුවරියකි. පියාට ලැබෙන මාරුවීම් සමග කොළඹ, බදුල්ල, යාපනය, හලාවත ආදී ප‍්‍රදේශවල අධ්‍යාපනය ලැබීමට ඔහුට සිදුවූ අතර ළමා කාලය වැඩි වශයෙන් සිංහල ප‍්‍රදේශවල ගෙවීමට ඔහුට හැකිව තිබුණි.
හැත්තෑ ගණන්වල අගභාගයේදී කේසවරාජ්ලා යාපනයට ගොස් තිබේ. ඉන්පසුව ඇතිවූ ජාතිව්‍යාධි ශාපලත් අඳුරු කාලපරිච්ෙඡ්දය විසින් සිංහලයන් සමග හැදී වැඩුණු ශ‍්‍රී ලංකා රජයේ පොලිස් නිලධාරියකුගේ පුතෙක් වන තරුණ කේ. සවරාජ්ගේ සිත තුළද සිංහලයන්ගේ පීඩනයෙන් මිදීමට වෙනම රාජ්‍යයක් ඇති කරගත යුතුය යන ආකල්පය ඇති කරවීමට සමත්ව තිබුණි. එහෙත් ආයුධ අතට ගන්නට තරම් කේසවරාජ්ගේ සිත දරඳඬු නොවීය. ඔහු තුවක්කුවෙන් ඉලක්ක කිරීම වෙනුවට කැමරාවෙන් ඉලක්ක කිරීම තෝරාගෙන තිබුණි.
එල්ටීටීඊ පාලනය යටතේ කේසවරාජ් විසින් චිත‍්‍රපට 13ක් නිර්මාණය කොට තිබේ. ඔහු ලංකාවේ දෙමළ සිනමාව වෙනස් කිරීමට සමත් වූ සිනමාකරුවෙකි. ඔහු පවසන ආකාරයට ඔවුන් නිර්මාණකරණයට පිවිසුණු පසු ඊලාම් සිනමාව නමින් හඳුන්වන සිනමා කර්මාන්තය ආරම්භ විය. ඔහු විසින් නිර්මාණය කළ කඩලෝරකාට්ටු නමැති චිත‍්‍රපටිය විශාල අවධානයක් දිනාගත් නිර්මාණයකි. කේසවරාජ්ගේ සිනමාත්මක අදහස් දකුණේ ප‍්‍රකට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ පවා ගෞරවයට පාත‍්‍ර වී තිබෙන්නේ ය.
ඉන්දීය දෙමළ ෆිල්ම්වල කොපි තමයි මෙහේ හැදුවේ. අපි ලංකාවේ දෙමළ සංස්කෘතිය එක්ක චිත‍්‍රපටි හදන්න පටන් ගත්තා. ඊට පස්සේ ඊළාම් සිනමාව ආරම්භ වුණා. කඩරෝලකාට්ටු තමයි මම හිතන්නේ ලංකාවේ හැදුණු පළමුවෙනි ඩිජිටල් චිත‍්‍රපටිය. සැලකියයුතු තරමේ නිර්මාණකරුවන් පිරිසක් හිටියා. ගොඩක් අය දැන් මිය ගිහින්. ඇත්තටම දැන් අලූතින් ලංකාවේ දෙමළ සිනමාව ගොඩනඟන්නයි අපට ඕන.’
යුද්ධයේ අවසාන කාලයේ ඔහුට නිර්මාණ කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර යුද්ධය අවසාන වූ පසුව ඔහුට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් යළි නිර්මාණකරණයෙහි යෙදෙන්නටය. ඒ සඳහා නිෂ් පාදකවරයෙක් සොයමින් සිටි කේසවරාජ්ට ප‍්‍රකට දකුණු ඉන්දීය නිෂ් පාදකවරයෙක් මුණගැසෙන අතර නිෂ්පාදකවරයා ටික කලක් වැඩකටයුතු කොට කේසවරාජ් අතරමංකර දමා යන්නේය.
ප්‍රොඩියුසර් අපට ගොඩක් පහසුකම් දෙනවා කිව්ව නිසා ඒ ගැන හිතාගෙන තමයි ස්ක‍්‍රිප්ට් එක ලිව්වේ. එයා ගියාට පස්සේ ආයේ අලූතින්ම රූගත කිරීම් පටන් ගත්තා. අමාරුවෙන් සල්ලි හොයාගෙන දැන් පුංචි කණ්ඩායමක් එක්ක වැඩ කරනවා. නිෂ්පාදකවරයා නැතත් සල්ලි නැතත් මම චිත‍්‍රපටිය කොහොම හරි කරනවා. ප‍්‍රසන්න විතානගේට, අශෝක හඳගමට පුළුවන් නම් උතුරේ ප‍්‍රශ්නය කතා කරන්න මම කරබාගෙන ඉන්නේ කොහොමද? මම යුද්ධයට අහුවෙලා හිටියනේ.’

පනෙයිමරකාඩු

යුද්ධයෙන් කවුද දින්නේ කවුද පරාද වුණේ කියන එක නෙවෙයි ප‍්‍රශ්නය. අපි ඔක්කොම මේකේ හිටපු මිනිස්සු. හමුදාවෙන් ගැහුවද කොටි ගැහුවද කියලා අහන්න හොයන්න දෙයක් නැහැ. අපි යුද්ධයට කැමතිද නැද්ද කියන එකයි වැදගත්. අපි හිතුවා තමයි අපේ කොල්ලෝ දිනන්න ඕන කියලා. අපි දැන් නිර්මාණ කරන්න ඕන ඒ දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් නෙවෙයි. මෙහේ මිනිස්සුන්ට දැන් තියෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන්.’
චිත‍්‍රපටියේ තියෙන්නේ යුද්ධයෙන් අවතැන්වෙච්ච කෙනෙක් සම්බන්ධ කතාවක්. මේකෙන් මම උත්සාහ කරන්නේ දකුණටත් වඩා උතුරේ දේශපාලනය ප‍්‍රශ්න කරන්න. උතුරේ දේශපාල නඥයෝ දේශ පාලනය කරනවා මේ ප‍්‍රශ්නයෙන් මොකක්හරි සටන් පාඨයක් හදාගෙන. ඒත් අවතැන් වෙච්ච අය වෙනුවෙන් ඒ අයට කිසිම සැලැස්මක් නැහැ. එල්ටීටීඊ එකේ ඉඳලා පුනරුත්ථාපනය වෙච්ච අය දැන් ඉන්නේ කන්නවත් නැතුව. ඒ අයට රස්සා දෙන්න බයයි. සිංහල දේශපාලනයට අත දික්කරන්න කලින් අපිට උතුරේ සමාජයේ කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන කල්පනා කරන්න ඕන.’
මඳ වේලාවක් දර්ශන තලයේ කාර්ය බහුලව සිටි කේසවරාජ් නැවතත් අප සමග කතාබහට එක්වූයේ සිනමාපටය ගැන විස්තරයක් කරමින්ය. පනෙයිමරකාඩු චිත‍්‍රපටියේ නමවූ අතර නමේ සිංහල තේරුම තල් වනය වේ. කෙටි කතාබහකින් අනතුරුව ඔහු නැවතත් දර්ශන තලය වෙත යන්නේය.
දරාගත නොහැකිතරම් දැඩි අව්වේ වුවද දර්ශනය තමන්ට අවශ්‍ය මට්ටමට පැමිණෙන තුරු යළි යළිත් එකම දර්ශනය කිරීමට මේ කුඩා කණ්ඩායම සූදානම්ය. රූගත කරමින් සිටි දර්ශනය වූයේ කුඩා දැරියක් සහ මහලූ මිනිසෙක් යුද්ධයෙන් විනාශවූ දේවාලයක් ටකරම්වලින් තාවකාලිකව ඉදිකොට පූජා කටයුතු සඳහා සූදානම් වන ආකාරයයි. ඒ අතරතුර අපේ අවධානයට ලක්වෙන්නේ දර්ශනය අවසානවූ සැණින් දැරිය වෙත ගොස් හිසට ඉහළින් සෙවණක් අල්ලන නැවතත් දර්ශනය ආරම්භ වනවිට කැමරාව ළඟට ගොස් දෙබස් සිහිපත් කරන අධ්‍යක්ෂවරයා ළඟටත් කැමරා ශිල්පියා ළඟටත් නළුවන් ළඟටත් දර්ශන තලය පුරාම දුව පනින කඩිසර තරුණියකි.
මේ ඉන්නේ ප‍්‍රියා. එයා චිත‍්‍රපටියේ ප‍්‍රධාන නිළිය, සහය අධ්‍යක්ෂක, නිෂ්පාදන කළමනාකරු සහ කෑමබීම හදන කෙනෙක් විදියටත් වැඩ කරනවා. ඇය හොඳ අනාගතයක් තියෙන දක්ෂ ශිල්පිනියක්. මුලින් නිළියක් වෙන්න තමයි ප‍්‍රියා ආසාවෙන් හිටියේ. මාත් එක්ක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ දැන් එයා අධ්‍යක්ෂවරියක් වෙන්න ආසාවෙන් වැඩ කරනවා. ඇත්තටම මෙතන ඉන්න හැමෝම මුදල් ලැබෙනවට නෙවෙයි ඉගෙනගන්න ආසාවෙන් තමයි වැඩ කරන්නේ. සැබැවින්ම කේසවරාජ්ගේ දර්ශන තලය සිනමාව පිළිබඳ වැඩමුළුවක් විය. කිසිදු ගුරු මුෂ්ටියක් නොතබා සිනමාවමෙන්ම ජීවන දර්ශනයද තමන් සමග ස්වේච්ඡුාවෙන් වැඩ කරන තරුණ කණ්ඩායමට ඔහු ඉගැන්වීය.
වෙනත් තැන්වල වාහන තියාගෙන පනහක හැටක විතර කණ්ඩායමක් එක්ක තමයි වැඩ කරන්නේ. මෙතන 15ක් විතර ඉන්නේ, එකම එක වෑන් එකක් විතරයි තියෙන්නේ. සෙට්එක දාන්නේ අපි. ඊට පස්සේ ආටිස්ට්ලා වෙනවා. උයන වෙලාවට උයන්නෙත් අපි. වැඩ කරන්නෙත් අපි. මේ අයට වැටුප් දෙන්න සල්ලි නැහැ. අපි වැඬේ කරගෙන යනවා බලලා තමයි මේ අය ඇවිත් සපෝට් කරන්නේ. කලින් අපට ස්ටෑන්ඞ් තිබුණේ නැහැ. අපි අතින් තමයි ලයිට්ස් ඇල්ලූවේ. දැන් අමාරුවෙන් කට්ටිය එකතුවෙලා උපකරණ ටිකක් හොයා ගත්තා. ඒත් අමාරුවෙන් තමයි වැඬේ කරගෙන යන්නේ.

දෙමළ සිනමාව

ලංකාවේ හොඳ චිත‍්‍රපටියක් හැදුවොත් අලෙවි කරන එක ප‍්‍රශ්නයක් නෙවෙයි. මොකද දැන් විදේශ ගතවුණ ශ‍්‍රී ලාංකික දෙමළ ජනතාව ඉන්නවා. ඒ අය කැමතියි ලංකාවේ දෙමළ චිත‍්‍රපටි හැදෙනවා නම් බලන්න. දකුණු ඉන්දියාවේ චිත‍්‍රපටිත් ඩයස්පෝරාව ඉලක්ක කරලා හදන්නේ. ඒ නිසා ලංකාවේ හොඳ දෙමළ සිනමාවක් ගොඩනඟන එක ගැටලූවක් නෙවෙයි. මේ වෙලාවේ අපට ඕනෙ හොඳ නිෂ්පාදකවරු ටිකක් හොයාගන්න එක.’
විකිපීඩියාව පවසන්නේ ලාංකේය දෙමළ චිත‍්‍රපටි නිෂ්පාදනය වී ඇත්තේ සියයකටත් අඩුවෙන් බවයි. එය සාවද්‍ය තොරතුරක් බවත් ලාංකේය දෙමළ සිනමාවටම අයිති වන ඊලාම් සිනමා කර්මාන්තයත් සමග ගත්කල ඊට වඩා දෙමළ චිත‍්‍රපට නිෂ්පාදනය වී ඇති බවත් බොහොමයක් චිත‍්‍රපට තිරගතවී නොමැති බවත් පෙනී යයි. කේසවරාජ්ලා පවසන කරුණු අනුව දෙමළ සිනමාව තුළ නිෂ්පාදනය වූවාටත් වැඩියෙන් අතරමැද නවතා දමන්නට සිදුවූ චිත‍්‍රපට ප‍්‍රමාණය වැඩිය. කෙසේවෙතත් ලංකාවේ දෙමළ සිනමාව විශාල සිනමා කර්මාන්තයක් ලෙස වර්ධනය වී තිබුණේ නැති බව සත්‍යයකි. ඒ සඳහා සරලවම පෙනීයන හේතු තිබෙන්නේය. ලෝක සිනමාව සමග තරග කරන දකුණු ඉන්දීය දෙමළ සිනමාව ඊට ප‍්‍රධානතම හේතුව විය.
කතා කරන අතරතුර අපි කේසවරාජ්ගෙන් ඉනිඅවන් ගැනද විමසුවෙමු.
හඳගම අතිදක්ෂ නිර්මාණකරුවෙක්. අපි කාලයක් තිස්සේ හඳුනනවා. එයාගේ ෆිල්ම් බලලත් තියෙනවා. ඒත් ඉනිඅවන් චිත‍්‍රපටිය හරි අධ්‍යයනයකින් පස්සේ කරපු නිර්මාණයක් කියලා මම හිතන්නේ නැහැ. මේ ප‍්‍රශ්නවලට මැදිවෙච්ච අය එක්ක තවත් කතා කළා නම් හඳගමට හොඳ නිර්මාණයක් කරන්න තිබුණා. හඳගම යුද්ධයට කලින් ඉඳන් මාව හඳුනන්නේ. නමුත් යුද්ධයෙන් පස්සේ මුණගැහුණේ ඉනිඅවන් කළාට පස්සේ. එයාල හිතාගෙන හිටියේ යුද්ධයේදී මම මියගිහින් කියලා.’
එල්ලෝරුම් සාධාරණ මනුෂ්‍යම්
පෙර දර්ශනයෙන් පසුව ඔවුන් රූගතකරමින් සිටියේ දේවාලය තිබුණු ඉඩම අත්පත් කරගන්නට බලා සිටි ව්‍යාපාරිකයෙක් එවන ලද මැරයන් පිරිසක් විසින් දේවාලය කඩන දර්ශනයකි. නළුවන්ගේ හිඟකම නිසා මැරයන්ට රඟපෑවේ කැමරා අධ්‍යක්ෂ ඇතුළු කේසවරාජ්ගේ තරුණ තාක්ෂණික කණ්ඩායමයි. තාවකාලිකව කේසවරාජ් අධ්‍යක්ෂ සහ කැමරා අධ්‍යක්ෂ යන චරිත ද්විත්වයම රඟ දක්වන්නට විය. ඒ අතරතුර අප සමග කතාබහට එක්විය.
එල්ටීටීඊ පාලනය යටතේ අපි අඬාගෙන හිටියා කියන එක බොරුවක්. අපිත් විනෝද වුණා. පාටි දැම්මා. විවාහ වුණා. සමහර වෙලාවට අද බැඳලා හෙට මියයන අවස්ථාත් තිබුණා. කොටි නැතිවුණාට පස්සේ අපේ අනාගතයත් විනාශ වුණා. කොටි නැතිවුණු එකේ අවාසිය තමයි අවස්ථාවාදී දේශපාලඥයන් නායකයන් වුණු එක. කලින් ඔවුන් ද්‍රෝහියෝ. දැන් ඔවුන් ජාතික නායකයෝ.’
සිංහලයා සතුරා කියලා අපි හිතමු. අපි දන්නවා එයාගෙන් අපට ලොකු හොඳක් වෙන්නෑ කියලා. ඒත් අපි යාළුවෝ කියලා හිතන අය මොකක්ද කරන්නේ? ඇයි දැන් බැරි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම්වලින් අපේ ඇත්ත අයිතීන් ඉල්ල ගන්න. දැන් මිනිස්සු අතේ තුවක්කු නැහැ. මිනිස්සු පව්. හැම බරක්ම ඒ මිනිස්සු කරෙන් ඉස්සුවේ. කොටින්ගේ බරත් ඉස්සුවා. හමුදාවේ බරත් ඉස්සුවා. දැන් උස්සන් පලයන් කියලා දේශපාලනයේ බරත් කරේ තියෙනවා.’
මැරුණ මිනිස්සු වෙනුවෙන් වටිනාකමක් ලැබෙන්න ඕන. කොහොමත් ජාතික කියන සාධකය මත සිංහලයා එක්ක විශේෂ වෛරයක් මට නම් නැහැ. එල්ලෝරම් සාධාරණ මනුෂ්‍යම් ඒ කියන්නේ හැමෝම සාමාන්‍ය මිනිස්සු.’

විකිණීම

යුද්ධය නිසා හොඳ දෙයක් වුණා. කාටවත් ලංකාව විකුණන්න බැරිවුණා. ප‍්‍රභාකරන් කරපු හොඳ දෙයක් ඒක. ඔයාලට පේනවනේ මෑතකාලයේ යුද්ධයෙන් පස්සේ කොච්චර දේවල් වික්කද?’
ඉන්දියාවෙන් කරන්නෙත් ලංකාවේ ප‍්‍රශ්න විකුණන එක. ඔවුන්ට හැම දෙයක්ම බිස්නස්. ඉසිප‍්‍රියා මගේ ගෝලයෙක්. ප‍්‍රභාකරන්ගේ පුතා බාලචන්ද්‍රන් ගැන මම හොඳට දන්නවා. එයාලගේ ජීවිත ගැන මෙහේ චිත‍්‍රපටි කරන්න බැරි නිසා. එහේ කරලා බිස්නස් කරනවා. ඇත්තටම ඔය කෑගහන ගොඩක් අයට අප කැමති නැහැ. ඒවා විකුණලා සල්ලි හොයන අයට මෙහේ ගෙවල් දහයක් හදලා දෙන්න බැරිද?’
එවැනි පසුබිමක කේසවරාජ්ගේ ජීවිත කතාවටද ලැබෙන මූල්්‍යමය වටිනාකමද ඉහළය. ඔහුගේ කතාව ප‍්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙක් අතින් ලංකාවේ දැවැන්තම නිෂ්පාදනයක් ලෙස සිනමාවට නගන්නට නියමිතව තිබෙන බවක් කියැවෙන්නේ ඒ නිසාය.
අප හැමෝම කරන්නේ යම්කිසි අලෙවි කිරීමක් නිසා ඇඟිල්ල දිගුකර චෝදනා කරන්නට අවශ්‍ය නැත. ඇඟිල්ල දිගුකරන්නේ නම් දිගුකළ යුත්තේ විකිණීම කරන ආකාරයටය. උතුරේ කතා දකුණට සමීප කෙරෙන්නේ නම් එය උතුරේ අයිතිවාසිකම් ඉල්ලා කළ දීර්ඝ සටනක් සඳහා වටිනාකමක් ලැබෙන අවස්ථාවක් වනු ඇත.


 ආයෝජනය කරන්නේ නම් කේසවරාජ්ලා ගොඩනඟන ලාංකේය දෙමළ සිනමාවද විකුණන්නට හැකි බව දකුණට මතක් කරදීම පමණක් මේ මොහොතේ වැදගත් වනු ඇත.
(2015-05-03 රාවයේ පළවූ සටහනකි. ප්‍රමාද දෝෂයකින් කේසවරාජ්ගේ නම පී. කේසවරාජ් ලෙස සඳහන් විය. නිවැරදි නම එන්. කේසවරාජ් ය.)

1 comment:

  1. කේසවරාජ්ලාගේ නිර්මාණ දකුණට පැමිණීමේ අඩුව මග හැරිය යුතුයි. ඔවුන්ගේ වෙළෙඳපොල ඩයස්පෝරාව හෝ විදේශය පමණක් වීම කේදජනකයි

    ReplyDelete

Search This Blog