Thursday, May 07, 2015

SLFP සභාපති විදියට මැන්ඩෙලා වෙන්න පුළුවන්ද?




මම දෙවැනි වරට ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැහැ. යුතුකම් ඉටු කරනවා
ආණ්ඩු පෙරළියෙන් පසු ජනවාරි නවවැනිදා හවස්වරුවේ පැවති චාම් දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය. ඉන්පසු දිගින් දිගටම මෛත්‍රීගෙන් ආවේ බලය බදාගැනීම වෙනුවට බෙදාගන්නට සූදානම් නායකයෙකුගේ හඬ ය.
එහෙත් ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපතිත්වය ලබාගත්තේ ය. ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගැනීමට ශ්‍රිලනිප සහාය අත්‍යාවශ්‍ය නිසා එය බලය අත්හැරීමේ ක්‍රියාවලියේම කොටසක් යැයි තර්ක කළ හැකි විය. දැන් දහනවය සම්මත වී ඇත. දැන් මෛත්‍රී මැතිවරණයෙන් ශ්‍රිලනිපය ජයග්‍රහණය කරවීමේ වගකීමක් කරට ගෙන ඇති සෙයකි.
මෛත්‍රී දෙවැනි වරට ඉල්ලන්නේ නැතිනම්, බදාගන්නට නොව අත්හරින්නට කැමති කෙනෙක් නම් මේ ජනාධිපති ධූර කාලය අවසන් වූ පසු දේශපාලනයෙන් සමුගත යුතුය. ( මහින්ද වගේ ජනාධිපති වෙලා ඉඳලා ආයෙමත් අගමැති අපේක්ෂකයෙක් වෙන්න හිතන්නේ නැත්නම්)
මෛත්‍රී පොදු අපේක්ෂකයා වෙන්නට කලියෙන් සිවිල් සමාජ අවකාශය තුල පැවති පොදු අපේක්ෂක සංවාදයේ ප්‍රධාන කොන්දේසියක් වූයේ පොදු අපේක්ෂකයා නිර්පාක්ෂිකයෙකු විය යුතු බවය. විශේෂයෙන් රාජ්‍යයේ නායකයා වන ජනාධිපතිවරයා නිර්පාක්ෂිකයෙකු වීම වැදගත් විය. ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් නැඟෙන තර්ක අතරද රාජ්‍යය නායකයා දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරය යන්න තිබේ.
ආයෙමත් අගමැති අපේක්ෂකයෙක් වෙන්නේ නැත්නම්, ජනාධිපතිවරණයට ඉල්ලන්නේත් නැතිනම් මෛත්‍රී දේශපාලන පක්ෂයක දේශපාලන වේදිකාවකට නඟින්නට අවශ්‍ය නැත. පෙනෙන විදියට මෛත්‍රීට කොහොමත් අවශ්‍ය ගාන්ධි, මැන්ඩෙලා පන්නයේ ඉතිහාසගත නායකයෙක් වන්නටය. දේශපාලන පක්ෂයක් නියෝජනය කළහොත් ඒ නමට කැළැලක් ඇති විය හැකිය.
ඉතින් මෛත්‍රී කළ යුත්තේ මැතිවරණයේදී නිර්දේශපාලනික ජනාධිපතිවරයෙක් ලෙස සිටීමය. ධූර කාලය එසේ කටයුතු කොට ගෞරවණීය ලෙස විශ්‍රාම ගොස් පුරාවෘත්තයක් බවට පත්වීම ය. එසේ නැතිනම් අපට හිතන්නට වෙන්නේ ආයේ ඉල්ලන්නේ නෑ කීවාට ෂේප් එකේ අවස්ථාවක් ආවොත් බලයේ ඉන්නට මෛත්‍රීත් උත්සාහ ගන්නා බවය. අත්හරිනවා කීවාට අල්ලගෙන ඉන්නට ඔහුත් ප්‍රිය කරන බවය. (කොහොමත් ඉතින් පිටරටින් ආනයනය කලායැ. අවුරුදු හතලිහක් ලංකාවේ පොලිටික්ස් කලා කිව්වහම හිතාගන්න පුළුවන්නේ)
                                                                                                                                      2015-05-07

1 comment:

  1. වැදගත් ලිපි පෙළක්ම ඇත. බ්ලොග් ආගමනයට ජයවේවා!

    ReplyDelete