Wednesday, July 08, 2015

සමිත හාමුදුරුවන්ගේ දේවදත්ත වොයිස් එක...



දැන් දැන් සටහන් ලියැවෙන්නේ අඩුවෙන්ය. ලියන්නට පටන්ගෙන අතරමඟ නවතා දැමූ අවස්ථා බොහෝය. ලියන්නට නම් මානසික විවේකයක් පිරියක් තිබිය යුතුය. (පිරියක් කියන්නේ එළියේ තියෙන අවුල් ගැන කල්පනා කළොත්නේ ලියන්නේ... ලියන්නේ ආසාවට නෙවෙයි.. මොකක්හරි දෙයක් ගැන කම්පනයක් අති වුණොත්නේ...)

දැන් දැන් එළියේ තියෙන අවුල් විසඳීම වෙනුවට ඇතුළේ තියෙන අවුල් ගැන කතා කර කර ඉන්නට සිදුවී තිබේ. (තේරුමක් නැති දේවල් ගැන කල්පනා කරන්න සිද්ධ වෙලා... යාළුවෝ එක්ක අවුල්, පවුල් අවුල්, සමාජ සම්බන්ධතා බිඳවැටීම ගැන අවුල්) කාලය කෙතරම් නාස්ති වී ඇත්ද? තනියම වැඩක් කරගෙන පාඩුවේ ඉන්න එක හොඳයැයි අවසානයේ හිතෙයි.

මේ සටහන විද්‍යාව දූෂණය කළ අයට මරණ දඬුවම දෙන්නේ නම් සිවුරු හැර අළුගෝසු කාර්යය කරන්නට සූදානම් යැයි කියූ බද්දේගම සමිත හිමියන් නිමිති කරගෙනය. හාමුදුරුවන් කියා තිබුණේ ලංකාවේ අළුගෝසු වෘත්තිය කරන්නට එන අය තනතුර අත්හරින නිසා විද්‍යා දැරියගේ මිනීමරුවන්ට මරණ දඬුවම දුන්නේ නම් අළුගෝසු කාර්යය කරන්නට තමන් සූදානම් බවය.

(ඒ ප්‍රකාශයෙන් මට නම් ආවේ බුද්ධපුත්‍ර ෆීලින් එකක් නෙවෙයි. දේවදත්ත ෆීලින් එකක්. මට නිකන් මැවිල පෙනුණ බුදුහාමුදුරුවොත් සමිත හාමුදුරුවොන්ගෙ මේ අමුතු ධර්මෙ අනුගමනය කළොත් කොහොමද කියල. අංගුලිමාල එද්දී රටේ දරුවන් වෙනුවෙන් කියල බුදුහාමුදුරුවෝ අංගුලිමාලට ගේම දෙන්න ගියානං? අනිත් අතට මට මේ ප්‍රකාශය ගැනත් අවුලක් හිතෙනව. විද්‍යා ඝාතනය ගැන මිනිස්සු කතා කළේ එහේ සිදුවෙච්ච නැගිටීම් නිසා. ලංකාවේ කොච්චර මේ වගේ දේවල් වෙනවද? මෙහේ කට්ටිය සිය ගණන් දූෂණ කරලා පාටි දැම්මා. ඇයි මේ සිවුරු ඒවා ගැන නිහඬ?)

වෛරයෙන් වෛරය නොසන්සිඳේ කීවේ බුදුන් වහන්සේය. අපරාදකරුවන්ටත් මිනිසුන් ලෙසම සැලකීම බුද්ධ ප්‍රතිපත්තියයි. සද්ධර්මාලංකාරයේ පන්සලකින් සිවුරු හොරකම් කරන සොරෙකුට ගමේ මිනිසුන් පහර දුන් විට සොරාව ආරාමයට ගෙන ගොස් තෙල් ගල්වා බෙහෙත් කලේ බුද්ධ පුත්‍රයෙකි. ඒ සොරා නැවත සොරකම් නොකරන්නට නම් පහර දිය යුතුයැයි ගැමියන් කියද්දී හාමුදුරුවෝ සිතුවේ ගුටිකෑ මිනිසා සුවපත් කරන ආකාරයයි.

මා මේ කතා කරන්නේ විද්‍යාගේ ඝාතකයන් වෙනුවෙන්ද?

විද්‍යාගේ ඝාතකයන් කළේ සමාවක් දිය නොහැකි අතිශය බරපතළ අපරාධයකි. සමාජයක් යහපත් කරන්නේ නීතිය හා සදාචාරය විසින්ය. නීතිය රකින්නට නම් නීතිය කඩකළොත් ලැබෙන දඬුවම් ගැන බියක් ඇතිවිය යුතුය. සදාචාරය රකින්නට නම් සදාචාරය කඩකළොත් එන අපවාද ගැන බියක් ඇතිවිය යුතුය. අපේ තියෙන්නේ සදාචාරයක් නීතියක් නැති සමාජයකි. අවුල තියෙන්නේ එතැනය. හාමුදුරුවන් වහන්සේලා ගහන්න ඕනෑ එතැනටය.

විද්‍යා දැරියට වුණු අපරාධය වැනි තැන්වලදී අප කතා කළ යුත්තේ සමාජයේ මෙවන් අපරාධ වෙන්නේ ඇයි? අවුල කොතැනද? වැනි දේවල් ගැනය. එහෙත් අපි කතා කරන්නේ අපරාධකාරයාට දෙන දඬුවම ගැනය.

(මරණ දඬුවම මේවාට විසඳුම නෙවෙයි. මරණ දඬුවම නිසා අපරාධ අඩු වෙනවාය කියලා කිසිම තැනකින් ඔප්පු වෙලා නැහැ. අපරාධ වුණු පසුව දඬුවම් දෙන තැනට නෙවෙයි නැවත ඒ වගේ අපරාධ නොවෙන තැනටයි අපි වැඩ කරන්න ඕන)

විද්‍යාගේ සිදුවීමෙන් පසු රාවය හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට මේ මාතෘකාව සම්බන්ධයෙන් මමත් මැදිහත් වුණු තැන් කිහිපයක් මේ. (රාවයෙහි පලවූ සංවාදයක්  , විවෘත සංවාදය විද්‍යාෙගන් පසු අපි ,

ලංකාවේ චීවරය දැන් පාවිච්චි වෙන්නේ බෞද්ධ ආකල්ප වෙනුවෙන් නොවේ.

අළුගෝසුවෙක් වෙන්නෙමියි කියූ බෞද්ධ හිමිනමකට බෞද්ධ ශාසනයේ සිටිය හැක්කේ ද?. සිංහල බෞද්ධ සංස්කෘතියක් වෙනුවෙන් අවංකවම පෙනී සිටින මිනිසුන් ප්‍රථමයෙන් කළ යුත්තේ බෞද්ධ නොවන සංකල්ප ප්‍රචලිත කරන චීවරධාරීන්ගෙන්ද, බෞද්ධකම හිස තබාගෙන යන දේශපාලඥයන්ගෙන්ද රට ගලවාගැනීමය.

13 comments:

  1. ඉතාම වැදගත් ලිපියක්. ආගමික නායකයන් සමාජයට අවශ්‍ය යම් විශේෂ කාර්යයකටය. පරෙවියාගෙන් ගන්න වැඩේ අලියාගෙන් ගන්න බැරිය. මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් සිවුරෙ සිටියත් කිසිම හික්මීමක් නැති සැටි මෙන්ම ඔහුගේ ව්‍යාපාදයත් මෙයින් පෙනේ. මොහුගේ මුහුණද අලුගෝසු පෙනුමක් ඇත. මේ පුද්ගලයා මීට කලකට ඉහත ඔහුගේ රැස්වීමක් කඩාකප්පල් කිරීමට ආ මැරයෙකුට පුටුකකුලකින් පහර දී මරා ඇත. මොහුගේ චිත්ත සන්තානයේ ඇති ප්‍රචන්ඩත්වය ඔහුගේ වදන් වලින් පෙනේ.

    බහුතර භික්ෂූන් සමිත ඥානසාර මාදිලියේ අයයි. ඊට හේතුව භික්ෂු සංස්ථව පාලනයකින් රහිත වීමයි. භික්ෂුව යනු ගාල කඩාගත් හරකෙකි.

    ReplyDelete
    Replies
    1. ලංකාවට කෙලවෙන්න හේතුව මේ ධර්මය හෝ සමාජය ගැන නූගත් පුද්ගලයන් දෙසන බණ තමයි

      Delete
  2. ඉතාම වැදගත් ලිපියක්, ඔබ කතා කොට ඇති සියලු දේ ඇත්ත. බද්දේගම සමිත වැන්නන් චීවරධාරීන්ගේ කොටසට වැටෙන්නන් පමණයි. එමෙන්ම ඔවුන් මුග්ධ දේශපාලඥයන් ද වනවා. ඔවුන් දේශපාලනික වශයෙන් ගන්නා තීරණවල ඇති තකතීරු ස්වභාවය ද මෙම ප්‍රකාශනය තුළින් අවබෝධ වෙනවා. ඔබ පවසන පරිදි අප රටේ සියලු තැනකම තීරණ ගන්නේ යම වරදක හේතුව තුරන් කරන්නට නොව වරදට දඩුවම් දීම සදහා පමණි. වැරදුණු තැන එතැනයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... බොහෝ වෙලාවට රෝගයට මිස රෝග නිධානයට බෙහෙත් කරන්නේ නැහැ

      Delete
  3. සමිත හාමුදුරුවෝ සම්පූර්ණ වැරදි නැහැ නේද ? මොකද, එයා අලුගෝසු වැඩේ කරන්න යනවානම් සිවුර අයින් කරල යන බව කියල තිබුණා නේ. මේ ප්‍රකාශය කරද්දිත් එයා සිවුර අයින් කරල කීවනම් තවත් හරි.(මරණ දඬුවම සාර්ථක විසඳුමක්ද කියන එක වෙනම කාරණාවක්)http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ප්‍රකාශය කරන්නේ චීවරේ තියාගෙනද නැද්ද කියන එකට වඩා වැදගත් කාරණේ සිවුරු දරණ අය හිතන්නේ කොහොමද කියන එක සහෝදරයා

      Delete
  4. කැලණියේ ක්‍රිස්ටෝපර් වලේ ඉඳගෙනත් ගැස්සෙන්න ඇති බද්දේගම සමිත ගේ ඒ කතාවට.

    ReplyDelete
  5. දේවදත්ත හාමුදුරුවන්ගේ සමිත වොයිස් එක

    ReplyDelete
  6. චීවරයට යටින් ඉන්නේ මිනී මැරීමට ආසාවක් තියන කෙලෙස් ගොඩක්

    ReplyDelete
  7. බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දැම්මානං කියවන අයට පහසුවක්

    ReplyDelete
  8. මරණය යනු දඩුවමක් නොවේ. දියුනු රටවල අපේ රටවල තරම් අපරාධ වාර්ථා වන්නේ නැති අතර ඒ රටවල සිර දඩුවම උපරිමය වසර විස්සකි.. එයින් පෙනී යන්නේ සිරකරුවන් එල්ලා මැරුවාට අපරාද අඩුවන්නේ නැති බවකි..

    ReplyDelete