ලයිට් හා බැඳුණු මගේ ළමා කාලය

මේ ලියන්න යන්නේ ලයිට් යෑම ඇතුලේ තියෙන දේශපාලනය ගැන නෙවෙයි. යහපාලනයේ ලයිට් ගියාම ඒකේ සෞන්දර්ය දකිනවා, රාජපක්ෂ කාලයේ ලයිට් ගියානම් මැරෙන්න යනවා වගේ කතාවක් කියන්න කෙනෙක්ට පුළුවන්..... ඕවට කොහෙද උත්තර???

ලයිට් යෑම එක්ක මට අත්විඳින්න ලැබෙන දෙයක් තමයි මම කළුවරට කොච්චර හුරුද කියන එක. ඊයේ ලයිට් යද්දී මම හිටියේ බණ්ඩාරවෙල ගෙදර ඉඳන් කොළඹ එන්න ලෑස්ති වෙමින්. මම තිබුණු තැන් වල මතකයෙන් ඇඳුම් ටික හොයාගෙන ඇඳගන්නත්. ටොයිලට් එකට ගිහින් එන්නත් පර්ස් එක, ලැප් එක, ෆෝන් එක තිබුණු තැන් වලින් හොයාගෙන අරගන්නත් මට පුළුවන් වුණා. අම්මා නැතිවෙලා යැයි හොයමින් හිටපු ටෝච් එකත් හොයලා දුන්නා. කට්ට කළුවරේ මේවා කරද්දී මට සිහිවුණේ උපුල් ( සේනාධිරිගේ ) අයියාව.
ඔහු තවමත් ඇස් නොපෙණුනත් සම්පූර්ණ රාවය පත්තරේ ඇතුළු පොත්පත් පුවත්පත් කියවීමටත් කවි කියැවීමට හා ලිවීමටත් තම පවුලේ අයගේ සහායෙන් කටයුතු කරනවා. ඒ වගේම රාවයේ ලිපියක අඩුපාඩුවත් තිබුණොත් අහවල් අහවල් තැන් ගැටලු සහගත බව මතකයෙන්ම කියන්න ඔහුට පුළුවන්. ඔහු කට්ට කළුවරේ ආලෝකවත් ජීවිතයක් ගත කරනවායැයි මට හිතෙනවා. මගේ ඇස් වෙලාවක නොපෙනී ගියොත්?????? 

කට්ට කළුවරට මාත් ටිකක් හුරු බව විශ්වාසයි....

අපේ ගෙදරට ලයිට් ආවේ මම හතර වසරේ අග හරියේ ඉන්නකොට. ගෙදර අපි ඉපදෙන්නත් කලින් කාර් බැටරියකින් පාවිච්චි කරපු, ( අනූයහේ වර්ල්ඩ් කප් එකේදීත් පාවිච්චි කරලා) ජාතික, චැනල් අයි, අයිටීඑන් විතරක් පෙණුනු කළුසුදු ටීවි එක මුලින්ම බැලුවේ හතර වසරේදී. ඉස්කෝලෙ පන්තියේ යාළුවෝ කතා කරපු ඒවායින් පිස්සු පූසා, හොඳහිත, හයිලෑන්ඩර් වගේ ජාතික එකේ කාටූන් ටික මිසක් සූර පප්පා, අපි රජ ඉබ්බෝ, සිල්වාන් වගේ කාටුන් එකකින්වත් ටිකක්වත් බලන්න හැකියාවක් නොතිබුණු ටීවි එකත් එක්ක තිබුණු පයුරුපාසානම අඩු එකක් වුණා. හයේදී හොස්ටල් එකට ගියාට පස්සේ සෑහෙන අඬලා අඬලා සර්ට කියලා ඉල්ලාගෙන අපි බලන ස්කූබි ඩූ හරි ක්‍රිකට් මැච් එකක්හරි ඇරුණාම මට වෙන ටීවී සම්බන්ධයක් තිබුණේ නැහැ.

කොහොමහරි ලයිට් අපේ ගෙදරට එනකන්ම, ඊට පස්සෙත් සෑහෙන කාලයක් යනකන් නංගීව හා මාව විනෝදයෙන් තැබීම අම්මාට බාරවුණ දෙයක් වුණා. අවුරුද්දකට සැරයක් වගේ විනාඩි පහක් පමණ දකින් තාත්තාගෙන් හෝ අනුන්ට බණින්නට පමණක් කට අරින ආච්චිගෙන් විනෝදයක් බලාපොරොත්තු විය හැකිව තිබුණේ නැහැ. ගෙදර තිබුණු විශාල චිමිනි ලාම්පුව සාලයේත් කුප්පි ලාම්පු දෙක කුස්සියේත් තිබුණේ. කාගේ හෝ ඕපාදූපයක් නැතිවුණොත් ආච්චී සාලයේ චිමිනි ලාම්පුව ළඟ පිරිත් කියමින් ඉන්නවා. ඒ වෙලාවට අපි දෙන්නා අම්මා වටේ ගුලි වෙනවා. ඒ කතා අහන්න. පරණ කතාවක් ආයේ කියන්නයැයි අපි දෙන්නාගෙන් ඇවිටිලි නොආවොත් අපට හැමදාම අළුත් කතාව බැගින් කියන්න අම්මාට සිද්ධ වෙනවා. අවුරුදු හතරක පමණ කාලයක් තිස්සේ අළුත් කතා හොයමින් කීම අසීරු අභ්‍යාසයක් වෙන්න ඇති. ඒත් ඒ කතා වලදී අපි අහපු අතුරු ප්‍රශ්ණ එක්ක අපේ චින්තනය පුළුල් වෙන්න ඇති. නස්රුදීන්ලා, පර්සියන් කතා, ග්‍රීක කතා, පෙරදිග කතා, ජාතක කතා, ජනකතා, අන්දරේගේ කතා අපි කාලයක් තිස්සේ ඇහුවා. එක දවසක් අම්මා කීවා කතා ෆැක්ටරිය ඉවරයි කියලා. 



ඒ වෙලාවේ නංගීත් මාත් හැඬුම්බර වුණ නිසා අම්මා තීරණය කළා අළුත් කතා සීරීස් එකක් අපට ගෙන එන්න. ඒ ඇත්ත ලෝකයේ කතා. අයිස්ටයින් ගැන, නිව්ටන් ගුරුත්වාකර්ශනය හොයාගත්ත හැටි වගේ කතා අම්මා අපට කියන්නට පටන්ගත්තා.

මම තුන වසරේදී අම්මා කීවා තව ටික කාලයකින් කතා කියන එක නවත්වන නිසා ඊට කලින්ම කතා කියවන්න හුරුවෙන්න කියලා. බණ්ඩාරවෙල මහජන පුස්තකාලයේ සාමාජිකත්වයක් අම්මා මට අරන් දුන්නා. එතැන් පටන් මම කතා අහන්නට විතරක් නෙවෙයි කියවන්නටත් හුරුවුණා. හතර වසර අග වෙද්දී බණ්ඩාරවෙල පුස්තකාලයේ ළමා අංශයේ තිබුණු තිබුනු සියළු ටාසන් පොත් ටිකත් ෂර්ලොක් හෝම්ස් පොත් ටිකත් කියෙව්වා. සතිපතා අරන් දුන්න මිහිර පත්තර, විජය පත්තර කියෙව්වා. මේ සියල්ල නිසා හැමදාම පන්තියේ පාඩම් මඟහැරපු දඟකාරයෙක් විදියට නාමකරණය වුණ මම ශිෂ්‍යත්ව විභාගයෙන් ඩී.එස්. එකට එන්න තරම් ලකුණු ගත්තා.

මට හිතෙන්නේ මගේ ළමා කාලයට ලයිට් නැතිවීම මගේ වර්තමානය ගොඩනඟන්න දරුණු විදියට අම්මාට උදව්වක් වෙන්න ඇති.

ඩී.එස්. හොස්ටල් ජීවිතේදීත් කට්ට කළුවර මට හුරුවක් වුණා. මගේ ඇඳ තිබුණේ හොස්ටල් එකේ එහා කොණේ. රාත්‍රිෙය් එළියට යන්නට වුණොත් හරි රෑ වෙනකන් ඩයිනින් හෝල් එකේ ඉඳලා නින්දට එන්න වුණොත් මඟ දිගට ලයිට් දමමින් යන්න පුළුවන් වුණේ නෑ. අම්මා අරන් දුන්න ටෝච් එක සතියකින් නැතිවුණ නිසා හැමදාම පාහේ රාත්‍රී කට්ට කළුවරේ හොස්ටල් එක මැද්දෙන් ඇවිදින්න හුරුවුණා. 

අදත් කළුවරට මම කැමතියි. ලයිට් නිවාගෙන අඳුරේ ඉන්න වෙලාවල් මාව ගොඩක් දේ හිතන්නට යොමු කරවනවා................................................................... 

27 comments:

  1. කළුවරේ ජරමරේ කියල තිබ්බේ වේදිකා නාට්‍යයක් , මට එක මතක් වුනා

    ReplyDelete
    Replies
    1. අහල තියෙනව බලල නැහැ

      Delete
    2. සින්දුවක් කියන්නද?
      දත් කැඩෙන්න හොම්බට අනිනවා!

      ඒ "කලුවරේ ජරමරේ" නාට්‍යයේ තවමත් මතක කොටසක්!

      Delete
    3. හැබයි ඒක පෙන්නුවේ ලයි දාලා

      Delete
    4. ගොඩක් ප්‍රසිද්ධ නාට්‍යයක් වගේ

      Delete
    5. කළුවරේ ජරමරේ කියන්නේ මම ආසම නාට්ටියක්.... . නමුත් ඒ ප්‍රහස්නයේ ගැඹුරකුත් තිබ්බා. ලයිට් දැම්මහම තමයි නාට්ටියේ උන්ට කළුවර. අනිත් වෙලාවට උන්ට එලිය. ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවුනත් මට නම් අදටත් ඒක ලස්සනයි.

      Delete
  2. මේ ලිපිය කියෙව්වම මටත් එහෙමම හිතුනා. මම තුන වසර විතර වෙනකම් අපේ ගෙදරට කරන්ට් තිබ්බෙ නෑ. තාත්තා වැඩට ගිහින් රෑ ගෙදර එනකම් අම්මයි මායි කතන්දර කිය කිය හිටියා.

    ReplyDelete
  3. Replies
    1. අම්මා තමයි මගෙ රසවත්ම මතකය

      Delete
    2. ඒ කියන විදිහම හරිම සුන්දරයි !!!

      Delete
  4. මත් කැමතියි කළුවරට ඒත් කාන්තා පාර්ෂවයේ කවුරු හරි ලඟින් ඉන්න ඕන... අනික ෆෑන් එකක් ඕන...

    ReplyDelete
    Replies
    1. ලයිට් ගියාම ෆෑන් නැහැනේ

      Delete
  5. විදුලි බලය නැතිවිට නිර්මාණ ශිල්පින් බිහිවීම වැඩිවේ....හික් හික් හික්....

    ReplyDelete
    Replies
    1. දැන් ඒක වෙනස් වෙන්න පුළුවන්

      Delete
  6. ඒ කාලෙ චන්ද්‍රිකා නෝනා අනිවාර්යෙන් ලයිට් කපද්දී අපි පොඩි එවුන්. එතකොට පාඩුවේ පැත්තකට වෙලා අම්මා කියන කතා අහගෙන හිටියා. ආයේ ඉතින් එහෙම කාලයක් එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මට ළමයි ඉන්න දවසක කතන්දර වලට හුරු කරවනවා

      Delete
    2. ඒක දරුවන් වෙනුවෙන් මෙන්ම යයපත් සමාඡයක් වෙනුවෙන් කරන හොඳ ආයෝජනයක්.

      Delete
  7. අම්මා නිසා තමා තරිඳු ලියන පතට යොමු වුනේ කියල තමා මට හිතෙන්නේ. ලනගකදී ලයිට් ගිය වෙලාවක් හිතා ගන්න බැහැ. නමුත් ලංකාවේදී ලයිට් ගියපු වෙලාවක එනවා කට්ට කරුවලක්. කෑලි කපන්න හැකි ගණ අඳුර කියන එක සැබවින්ම අත් දකින්න පුළුවන් ඒ වෙලාවට. එකේ තියනවා ඇමුතුම් ගතියක්.

    ReplyDelete
    Replies
    1. අම්මා නිසා තමයි උඩුව හැදුණේ

      Delete
  8. අම්මා තාත්තා කියන කතන්දර ගැන නම් ආයෙ කතා කරල වැඩක් නැහැ.. පුංචි කාලෙ ඇතැම් කතන්දරවල දුක්බර අවසානයන් මං නිසා වෙනස් කරන්නත්, ෂොටෝ-මාලු වේටර්ලා-කළුගල්පොත්තා-ශාන්ති-කාන්ති ආදී අනේක විධ ප්‍රබන්ධ චරිත මවන්නත් මගෙ අසරණ තාත්තට සිද්ධ වුණා.අද මේ ලියැවෙන්නේ එදා ඒ අහපු කතන්දරවල ඡායා මතකයන් යැයි හිතෙනවා.. මෙසේ විදුලිය විසන්ධි කිරීම උස් තැන්වල මැදිහත් වීමෙන් සිදු වන්නේ නම් ඒ ගැන පිළිකුළක් තිබෙනවා.නමුත් ඒ සුන්දර අන්ධකාරය ඇතුළෙ මිනිස්සුන්ට ඉගෙනගන්න පුළුවන් වුණා නම් වස්සානේ පේ්‍රමයත්,තරු තරඟවලටත් එහා ගියපු සුන්දර ජීවිතයක් තමුන්ට තියෙනවය කියල, අන්න ඒක ලොකු දෙයක්.. මේකප් තවරගත්ත සීනිබෝල ගෑණුන්ට මිනිස්සුන්ට පණ නහගන්න යන වෙලේ තමන්ට ගෙදර ඇතුළෙ ජීවිතයක් තියෙනවය කියල තේරුම්ගන්න මේ අන්ධකාරය ඇතුළෙවත් ආලෝකයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඇරෙන්න වෙන මොනව කියන්නද..

    ReplyDelete
    Replies
    1. ලයිට් යෑම නිසා ජෙනරේටර් නැති හොස්පිට්ල් වල නැතිවුණ ජීවිත ගාණ විසාලයි, සිදුවුණ පාඩුව ලොකුයි...
      දේශපාලනික ආර්ථික කාරණයක් නොවෙයි සෞන්දර්යයෙන් දැක්කොත් නං ලයිට් යන එකේ හොඳ කෑල්ලක් තියෙනවා

      Delete
  9. ලයිට් ගිහින් ආපහු ආවාම ෆෑන් එකෙන් ඉටිපන්දම බේරාගන්න මාර ෆයිට් එකක් දෙන්න වෙනව, නැද්ද?

    ReplyDelete

Search This Blog