ගොඩවදින්නෝ

Tuesday, March 15, 2016

පනමරකාඩු 1

ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය පැතුවේ ය. දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්නට සූදානමින් සිටියේ ය. ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඊළමක් පතා ආයුධ අතට ගත් මිනිසුන් සමඟ ඔවුන් අතරෙහි සිටියේ ය. එහෙත් ඔහු ආයුධ අතට නොගත්තේ ය.

ලොව සාමකාමීම එහෙත් තියුණුම අවිය පෑන වී තිබුණායැයි කිව හැකි ය. යුධකාමී තියුණු අවිය කඩුව වූවා මෙන් ය. එහෙත් ලෝකය පෑනේ යුගය පසුකර කැමරාවේ යුගය වෙත පැමිණ ඇත. කඩුව පසුකර තුවක්කුව පැමිණි යුගයක ඔහු පෑනටත් වඩා මුවහත ඇති කැමරාව තෝරාගත්තේ ය. හතුරන්ට පමණක් නොව මිතුරන්ටද කැමරාව ඉලක්ක කළේ ය.

ඔහුව මුණගැසුණු පළමු මොහොතේදීම මා සෙවූ කතාව ඔහුගේ කතාව බව වටහාගතිමි. ඔහුගේ කතාව සාවධානව ඇහුම්කන් දුනිමි. එක්වතාවක්, දෙවතාවක්, තුන්වතාවක්. ‘තරිඳු ගෙදර යනවා වගේ අපේ ගෙදර ආවා. යාපනයේ ආවොත් ආවේ මෙහෙට‘

එහෙත් ඔහුගේ කතා හඬපට ලෙස රෙකෝඩරය තුළ දිගු කාලයක් පැවතුණි. දේශපාලඥයන්ගේ කෙළවරක් නැති බොරු පිරුණු හඬපටයන් ද සිවිල් බුද්ධිමතුන්ගේ සැබෑ නොවෙන සිහින පිරි හඬපටයන් ද අසමින් ලියා වෙහෙස වී සිටි මට කේසව්ගේ හඬපට අසන්නට වෙන් කරන්නට ඉඩකඩක් නොවීය.

එහෙත් එක්තරා රාත්‍රියක ලියන්නටම සිත්විය. ලියන්නටම සිතුණි. මා සිටියේ දෙමළ චිත්‍රපටයක් දෙස නෙත් යොමාගෙන මොනවාදෝ කල්පනා කරමිනි’  

මා හැමදාම ලීවේ එහෙමය. මම ඔහුගේ කතාවක් විවෘත කරගතිමි. මා මේ කතා එක්කළේ පොතකට එකතු කරන්නට ය. පොත පසෙක තබා බ්ලොග් අවකාශයේම මේ කතා විසුරුවා දමන්නට කල්පනා කළේ කවදා හො පොතක් වීම කෙසේවෙතත් පොතකට කියා ලිවීම කොහෙත්ම සිදු නොවනු ඇතැයි සිතූ නිසා ය. අද සිට සෑම අඟහරුවාදාවකම කොටස් ලෙසින් ඔහුගේ කතාව බ්ලොග් අවකාශයේ විසුරුවන්නට බලාපොරොත්තු වෙමි.... 

ඔහු කේසවරාජන් නවරත්නම් නම් විය!!!!!!! 

මගේ මේ ලිවිල්ල සමඟ යන ඔබට ඇතැම්විට කේසව් අයියාව වටහාගත හැකිවනු ඇත. සම්පූර්ණයෙන්ම නොවේ. එහෙත් කෙටි හැඳින්වීම් කරනවාට වඩා වැඩි යමක්. ඇතැම් විට දෙමළ විමුක්ති සටන වටහාගත හැකිවනු ඇත. එහෙත් එයද සම්පූර්ණයෙන්ම නොවේ. එහෙති රණවිරු මහවිරු කතා වලට වැඩි දෙයක්. මිනිසෙක්ව හෝ විමුක්ති අරගලයක් සම්පූර්ණයෙන්ම වටහාදිය හැක්කේ කෙසේ ද?

‘මම ඉපදුණේ හැට දෙකේදී යාපනයේ අරියාලෛ වල. යාපනයේ කටච්චේරිය පහු වුණාම තියෙන ගම. ඉස්කෝලේ යන්න කලින් මම බදුල්ලේ, මෝදර වගේ තාත්තා එක්ක එකේක පැති වල ඉඳලා තියෙනවා. අරියාලෛ ශ්‍රී පාර්වතී විද්‍යාලයේ මම ඉගෙනගත්තේ. තුන්වැනි පන්තියේදී තාත්තා එක්ක හලාවත ගියා. දකුණේ ඉඳපු තැන් වලින් මගේ මතකයේ තියෙන්නේ හලාවතයි මහනුවරයි තමයි. මම තුන්වැනි පන්තියෙන් හයවැනි පන්තිය වෙනකන් හලාවත රෝමානු කතෝලික දෙමළ පිරිමි විද්‍යාලයට ගියේ. ඉන්පස්සේ මහනුවරට ගිහින් හත වසරේ ඉඳන් නවය වසර වෙනකන් හිටියේ මහනුවර. ඉන්පස්සේ උසස්පෙළ කාලයේදී වගේ ආයෙමත් යාපනයට ආවා. තාත්තා පොලිස් නිලධාරියෙක්!!!‘

මේ එල්ටීටීඊ සාමාජිකයෙක් නොවුණත් එල්ටීටීඊ පාලන ප්‍රදේශයක ඔවුන් සමඟ එක්ව ජීවත් වූ මිනිසෙකුගේ කතාවේ ආරම්භයයි. දෙමළ ඊළම පැතූ මිනිසෙකුගේ කතාවක ආරම්භයයි. මා වැඩියෙන්ම ආදරය කරන මිනිසෙකුගේ කතාවේ ආරම්භයයි. ඔහුගේ කතාවේ ඇතැම් තැන් විස්මයජනක ය. එළැඹෙන සතියේ සිට මේ කතාව දිගහරින්නට බලාපොරොත්තු වන්නෙමි.

8 comments:

  1. ඊළම වෙනුවෙන් පෙනී සිටීම වරදක් නොවේ. ඇත්තෙන්ම ඊළම වෙනුවෙන් කොළඹ උද්ඝෝෂන පවත්වන්නත් නිදහසක් තියෙන්න ඕන. මහවිරු සැමරුම් වලට විරුද්ධවන අය සමග මම ඒ ගැන වාද කලා.

    ReplyDelete
  2. ඊලඟ සතියේ සිට ඉතිරි කොටස් ටික ද කියවීමට සිතා ගතිමි.

    ReplyDelete
  3. හොඳයි. කියවලාම බලමු

    ReplyDelete
  4. ඕකේ...
    කියවලා බලමු කෝ...
    හැබැයි බොලාට ලේසි වෙන්නෙත් නැති වෙයි.. හොද හොද කතා ටිකක් අහගන්නත් හැකි වෙයි
    හෙහ්

    ReplyDelete
  5. දිගටම ලියන්න
    අපි එනවා බලන්න...

    ReplyDelete
  6. ලියමු ලියමු. කියවන්න ආසයි මෙහෙම ඒවා නම්.

    ReplyDelete
  7. සුනිල් ආරියරත්නගේ විප්ලවකාරී කවක් කේසව්ගේ සිනමාවෙන් වෙනස්වෙන්නේ කොතැනද..

    ReplyDelete
    Replies
    1. කේසව්ගේ විප්ලවය එකපාරම නැවතිලා යුරෝපයට පලා ගියේ නැහැ.
      කේසව්ගේ විප්ලවය අංශක තුන්සිය හැටක් කැරකිලා පශ්චාත් යුධ වෙනසකට බඳුන් වුණේ නෑ.
      කේසව්ගේ විප්ලවය තවමත් අමාරුවෙන් මුදල් උපයාගනිමින් කරන දුෂ්කරක්‍රියාවක තියෙන්නේ

      Delete

Search This Blog