ගොඩවදින්නෝ

Monday, April 11, 2016

අවුුරුද්ද

අවන්ත ආටිගල ලියලා තිබුණා කොටුවේ වෙලෙන්දෙක් බීම වල මිල නොදන්න අහිසංක ගැමියෙක් බීම එකක් ඉල්ලූ වෙලාවක රෙඩ් බුල් එකක් පොවලා ඔහුව රවට්ටපු සිදුවීමක් ගැන. ඒක ඇත්තටම පිටකොටුවේ වෙළෙන්දෙක් විසින් ගැමියෙක්ව සූරා කෑමක් තමයි. ඒත් ලංකාව කියන්නේ සූරාකෑම ආයතනගත වුණ රටක්. කොටුවේ වෙළෙන්දා කියන්නේ කවුද? මේ ක්‍රමය ඇතුලේ පුංචිම සූරාකෑමක් කරන කෙනෙක්. මේ ගැමියා පිටකොටුවට ඇවිත් රෙඩ් බුල් එකක් බොන්නේ කොළඹට ආපු බස්කුලිය, කොළඹ විවිධ දේවල් මිලදී ගන්නකොට වගේම අවුරුද්ද පුරාම රාජ්‍යයේ සහ ධනපතියන්ගේ සූරාකෑමට හා තමන්ගේම සගයන්ගේ සූරාකෑමට යම් තරමකට ලක්වෙලා. මේ ගැමියාව සූරාකන තවත් ලුම්පන් මිනිහෙක්ව අපට පෙනෙනකොට ධනපතියාව එහෙම පෙනෙන්නේ නෑ. ධනපතියා අපි ඉස්සරහට එන්නේ පුනර්ජීව වගේ අරමුදලකින් දේවදූතයෝ විදියට. රාජ්‍යෙය් නියෝජිතයෝ එන්නේ යුද්ධෙන් රට බේරාගත්ත වීරයෝ වගේ මූණු දාගෙන. අපි නිරාවරණය කරන්න ඕන ඔය මූණු... (ඒ වැඩේදී මට වඩා ප්‍රබල දායකත්වයක් අවන්තගෙන් ලැබෙනවා ) 

ගැමියාම රවට්ටපු කොටුවේ කඩේ කොල්ලා ස්වර්ග සුව විඳන්නෙක් නෙවෙයි. 


අවුරුද්දට කොටුවේ ඇඳුම් කඩවල පෝලිමට දාලා තියෙන ටීෂර්ට් ඇතුලේ වැඩියෙන් දකින්න තිබුණා සිංහලේ වගේ තේමා තියෙන ඇඳුම්. ජාතීන් විදියට අපි එකිනෙකාට ගැටෙන්න ඇරලා මේ කරන්නේ බරපතල සූරාකෑමක් නෙවෙයිද? සටන ආ යුත්තේ ඒකට විරුද්ධවයි.

අවුුරුදු නැකත එනකොට වැඩ අල්ලන්න ඕන. ඒත් අපි නැකත එනකන් බලාගෙන ඉන්නේ හරියටම වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්න. එතකොට අවුරුද්දේ වැඩ අල්ලන නැකතටම කරන්නේ රතිඤ්ඤා පත්තු කරලා වටේ පිටේ අයට පෙන්නන එක. ගෑණු කෙනා වැඩ අල්ලනවා කියලා කරන්නේ ලිප පත්තු කරන එක. මේ ඔක්කොම කරන්නේ ටීවි එක බලාගෙන. 

හරියට බැලුවොත් ටීවි එකෙත් ජාතික එකේ පෙන්නන වෙලාවට නෙවෙයි හිරු එකේ පෙන්නන්නේ. කවුද හරි වෙලාව පෙන්නන්නේ කියලා හිතාගන්න බෑ. (අපේ අයගේ ජීවිතයට පාර පෙන්නන ටීවි චැනල් පෙන්නන්නේ එකේක පාරවල්. හරිපාර කාගේද කියලා කවදාවත් හිතාගන්න බෑ ) කලින් ජාතික එකේ පෙන්නුවේ ජනාධිපතිලා වැඩ අල්ලන හැටි. අවුරුදු දවසට විතරක් ලිප මොලවන ජනාධිපති ආර්යාව පෙන්නුවා. එයාලා ඒවා කලේ හරිම හරි නැකතටනම් ඒක සජීවීව පෙන්නුවත් කැමරාවෙන් ප්‍රධාන පාලක මැදිරියටත් එතැනින් කුළුණු හරහා ගෙවල් වලටත් යන්න ගතවෙන පොඩි වෙලාව ගත්තම ටීවි එක බලාගෙන අපි ලිප පත්තු කරන්නේ හරිම වෙලාවට නෙවෙයි.

රතිඤ්ඤා පත්තු කරන කතාවට ආපහු ගියොත් අපි රතිඤ්ඤා පත්තු කරලා වටේ ඉන්න අයට අපි අවුරුදු සමරනවා කියලා පෙන්නලා ඒ වැඩ අල්ලන්නේ අවුරුද්ද පුරාම අපි කරන දේවල් වලට නිවැරදිම වැඩ ඇල්ලීමක් විදියට තමයි. ඒ කියන්නේ අපි හැමදාම කළේ අනිත් අයට දේවල් පෙන්නන එක. අළුත්ම වාහන, පුටුසැටි, තිරරෙදි අපි එල්ලන්නේ අනිත් අයට පෙන්නන්න. අපි ගෙදරක පොත් රාක්කයක් හදන්නෙත් අනුන්ට පෙන්නන්න. ගෙදර චිත්‍රයක් එල්ලන්නෙත් කලා රසිකත්වයකට නෙවෙයි අනුන්ට පේන්න. ඉතිං අවුරුද්දේ වැඩ අල්ලනවා කියලා ඇත්තටම කරන්නේ මේ ප්‍රදර්ශනකාමී නිසරු ජීවිතයට වැඩ ඇල්ලීමක් තමයි.

ගෑණු කෙනා ලිප පත්තුකරන්නේ ලංකාවේ කාන්තාවට උරුම වෙලා තියෙන්නේ මොකක්ද කියලා පෙන්වමින්. ඊයේ දවසෙම මහන්සි වුණ අම්මා රෑ කැවුම් ටිකක් විතරක් සිරිතට හදනවා කියලා කැවුම් හදන්න පටන්ගත්තා. කොළඹ ඉන්න මං හැර වැඩිමල් පිරිමියෙක් නැති අපේ ගෙදර තාත්තාගේ වැඩත් අම්මාගේ වැඩත් කරන්නේ අපෙ අම්මා. ගමේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් වෙන ලහිරුවාගේත්, සංඛයාගේත් ගෙවල්වල එහෙමයි. නැකත වෙලාවට එයාල දුවන්න ඕන ලිපගිනි මොලවන්න. 

පැරණි සංස්කෘතිය වෙළඳ භාණ්ඩයක් වීම ඇත්තටම මට අවුලක් නෙවෙයි. ඉස්තරම් දේට මිලක් නියම වීම නෙවෙයි මට අවුල. ඒ නියම වෙන මිල ඇතුලේ මුදලින් එහාට ගිය හරයක් නොදැකීම. මිනිස්සු ජීවත්වෙන එක ඇතුලේ තමන්ගේ ජීවිතේ ලස්සන ජර්නි එකක් කරගන්න ඕන. ඒකට තමයි මුදල ඕන වෙන්නේ. ඒත් දැන් මුදල විසින් ඒ ජීවත්වීමේ මූලික හරය නැති කරලා දාල හපලා දාපු හපයක් පෙන්නනවා. එතකොට සංස්කෘතියේ තියෙන ඉස්තරම් කෑලි වෙනුවට ඒවායේ බාල කෑලි ටික අල්ලගෙන විකුණන්න ගන්නවා.

අවුරුද්ද කියන සංස්කෘතිකාංගය ගත්තාම ඒකේ වැඩියෙන්ම විකුණන්න අල්ලගන්න කෑල්ලක් තමයි තරහ මරහ අමතක කරන කතාව. ඊළඟට පරණ ගමට ආපහු යනවා වගේ කතාවක්. ඒක වෙසක් කියන ආගමික සංස්කෘතිකාංගය විකුණනවාට වඩා ටිකක් වෙනස් වැඩක්. අවුරුද්දට කොළඹ හිස්වෙද්දී වෙසක් එකට කොළඹ පිරෙනවා වගේ. මොකක්හරි ඇඩ් එකක් තිබුණා අවුරුද්දට පුතා සීයාව බලන්න ගමේ යන කතාවත් ඊළඟට වෙසක් එකට දාන සීයා පුතාව බලන්න ටවුන් එකට එන කතාවත්.


හොඳයි... මට කියන්න ඕන වුණේ මේ තරහ මරහ කතාව මට පොඩිකාලේ දැණුන සිද්ධියක්. මට මතකයි සතර කියන ජීවන රේස් එක හා ප්‍රදර්ශනකාමය එක්ක ශිෂ්‍යත්ව විභාගය දරුවන්ව පාස්කරවාගැනීම පිණිස අපේ මාපියන්ට තියෙන පීඩනය ඉලක්ක කරගත්ත පත්තරේ තිබුණු චිත්‍රකතාවක් මං පොඩිකාලේ කියෙව්වා. ඒකේ තියෙන්නේ පවුල් දෙකක් අවුරුද්ද පුරා රණ්ඩු වෙලා අවුරුදු දවසේ තරහ මරහා අමතක කරලා නැකතට ඒ ගෙදරට ගිහින් කතාබහ කරන සිදුවීමක්. පොඩි මට ඒ කාටූන් එක දැණුනේ හරිම අවුල් විදියට. අපේ ආච්චි වලියට බරයි. අම්මා විතරක් හිටපු නිසා අපි හිටියේ මහගෙදර ආච්චි එක්ක. අපේ දෙපැත්තේ ගෙවල් දෙකම අපිත් එක්ක තරහයි. (දෙපැත්තේ කිව්වාට සෑහෙන ඈතින් ගෙවල් තියෙන්නේ) මං කල්පනා කළේ අවුරුදු නැකතටවත් ඒ අය එක්ක ගිහින් කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. අනිත් පැත්තට මට හිතුණා අවුරුදු නැකතට විතරක් ගිහින් කතා කරලා වැඩක් තියෙනවාද කියලා. මට ඒ චිත්‍රකතාව තේරුණේම නැහැ. 

අම්මගෙන් ඇහුවම අම්මා කීවේ ඕවා තියෙන්නේ පොත් පත්තරවල විතරයි කියලා. කොහොම වුණත් කාලය ගෙවෙද්දී අර තරහා වෙලා හිටපු පවුල් එක්ක තිබුණු තරහා නැති වුණා. එකිනෙකා ගෙවල්වල එන්න යන්න ගත්තා. පස්සේ කාලෙක අපේ ගෙදරට වැඩියෙන්ම හිතවත් වුණේ ඔය හොඳටම තරහා වෙලා හිටපු ගෙදරක නැන්දා තමයි. ඔය වගේම ගමේ සමහර පවුල් තිබුණා යටින් පට්ටම තරහා වුණත් අවුරුදු නැකතට කැවිලි පාර්සලේ අරන් එන. ඕවා තමයි අපේ කල්චර් එකේ කෑලි. මේ හිතවත්කම් නැති වුණ විදියේ මුල හොයාගෙන ගියොත් සමහර පුංචි සිදුවීම්. වෙලාවක ඒවා ලියන්නම්. 

10 comments:

  1. අවුරුද්ද යනු කුමක්දැයි තේරුම් නොගැනීම හෝ තේරුම් ගැනීමට ඉඩ නොදීමක් සිදුවී ඇත.අවුරුද්ද යනු ප්‍රායෝගිකත්වය සුන් උළෙලකි.විය යුත්ත හා නොවිය යුත්ත ඇතිපදම් සිදුවන්නකි.ඇතැමුන් අවුරුද්ද සමරන්නේ ණය වීය....ඇතැමුන් අතේ මුදල් සතය දක්වාම වියදම් කිරීමෙනි...කෙසේ හෝ අවුරුද්දෙන් පසු සිදුවන්නේ අතේ සතේ නැතුව රෝල ගැසීමටය....

    ReplyDelete
  2. මේ හැම දේම දැන් මිනිස්සු කරන්නේ අනිත් එවුන් කරනවාට. හරියට කරනවනම් ආහාර අනුභවයට වෙලාව තියෙද්දි හොරෙන් කන්නේ ඇයි. අනිත් එක ඔය පරණ තරහ අමතක කරන එකයි අපි ගමට යන එකයි, ගමේ ගැමි ස්වඳයි, ගැමියන්ගේ අහිංසක බවයි කියන්නේ බයිලාවක්.

    ඔය කියන නෑදෑයෝ හැමෝම එනවා අපේ ගෙවල්වලටත් අවුරුද්දට. ඒත් තමන්ගේ පවුලේ එකෙක් හැඑ වෙන එකෙක් හොඳින් ඉන්නවා දැක්කොත් ඒ සමහරුන්ගේ ඇහේ කටු අනිනවා වගේ.අනිත් බයිලා එක තමයි ගමට යන් එක. දැන් කොහේද ඒ වගේ ගම් තියෙන්නේ. නගරවලට වඩා ගම්වල ලිංගික කුහකකමයි, ජෙනරල් කුහකකමයි මුල් දුවලා. එකෙක් තව එකෙකුට නැහැ. නගරේ මිනිස්සු අතර මේ අන්තර් සම්බන්ධතා අවම නිසා මීට වඩා පාඩුවේ ඉන්න පුළුවන්.

    මම නම් කියන්නේ අවුරුද්ද කියන්නේ නිකම්ම නිකං වචන ටිකක් විතරයි.

    ReplyDelete
  3. මම සිංහලේ තේමාවට විරුද්ධයි. ඒ වගේම දෙමළ ගැහැණු නලලේ තිලක තැබීමටත් විරුද්ධයි. ඒක අහිංසක දෙයක් නෙමෙයි. එයින් වෙන්නෙත් අනවශ්‍ය විදියට වාර්ගික අනන්‍යතාවයන් ප්‍රදර්ශණය කිරීමක්. ආගමික හෝ සංස්කෘතික කටයුත්තකදී එවැණි සංකේත පැළඳීමේ වරදක් නෑ. නමුත් නමුත් බාලවයස්කාර පාසල් සිසුවියන්ට එවැනි සංකේත පළඳවා පාසල් යැවීම අශිෂ්ඨ ක්‍රියාවක්. අවාසනාවකට සිංහලේ සංකේත විවේචනය කරන සිංහලයන් සිටියත් තිලකය විවේචනය කරන දෙමළු නෑ. ඕකයි රටේ තත්වය.

    ReplyDelete
  4. "ආ මල්ලි!, (අයියේ) සුබ අළුත් අව්රුද්දක් වේවා, වැඩ අනේ , අපිටත් කරදර, එන්න බැරිවුනා . අව්රුදු පහුවෙලා ඇවිත් යන්න එන්නම් කොහොමද පුතයි, දුවයි . මතක් කරා කියන්න. බුුදුසරණයි. "
    හෙට සහ අනිද්දා මට එන කෝල් ඔන්න දැම්ම ලිව්වා

    ReplyDelete
  5. උඹ දැකලා තියෙනවද බල්ලා කොච්චර පොෂ් උනත් ලගින්න කලින් වට දෙක තුනක් කැරකෙනවා. අවුරුද්ද කියන්නේ ඒ වගේ සීන් එකක්.

    ReplyDelete
  6. //ජාතීන් විදියට අපි එකිනෙකාට ගැටෙන්න ඇරලා මේ කරන්නේ බරපතල සූරාකෑමක් නෙවෙයිද? //
    ජාති ආලය කියන එක හොඳට මාකට් කරන්න පුලුවන් වෙලඳ භාණ්ඩයක්නෙ. ඒ වගේම තමයි xenophobia එකත්. ආගම තමයි හොඳම වෙලඳ භාණ්ඩය . පූජකයන් හා දේසපාලුවන් ඔය බ්‍රෑන්ඩ්ස් වල සන්නාම තානාපතිකම හොඳට කරනවනෙ

    අර පරණ පින්තූරෙ සුමනදාස නෑනෙ

    ReplyDelete
  7. වාණිජකරණයෙන් මිදුන අලුත් අවුරුද්ද පෙනී පෙනී තියෙද්දී ව්‍යාපාරිකයෝ මහජනතාවට ඇස්බැන්දුම් පෙන්නලා හොරෙන්ම පොකැට්ටුවට විදිනවා.

    අවුරුද්ද කට ලඟට එනකල් ඉඳලා වැඩ කරන්න ගියාමයි හුඟක් වැඩ වරදින්නේ.

    ReplyDelete
  8. ඇයි ඒ විතරක්යැ. මගුලක් මරණයක් වුණාමත් ඔය තරහා මරහා අතහැරලා එකතුවෙන ගතියක් තියෙනවා.

    ReplyDelete
  9. අවුරුද්ද දැන් පොෂ් වෙලා උඩුවෝ..වැලන්ටයින් එකට උනා වගේ නියම හරයෙන් ටික ටික ඈතට යනව

    ReplyDelete
  10. ජීවිතවලට වෙනසක් ඕනේ.
    හැමදාම රුපියල් අසූවේ බත් එක කකා ඉඳලා බෑ.

    ReplyDelete

Search This Blog