Saturday, July 07, 2018

අලිද? මිනිස්සුද? Human? Elephants?

සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනා ඉවත් කිරීම හෝ නොකිරීම බරපතල සංවාද මැවූ සාකච්ඡුාවක් බවට පත්විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පෞද්ගලිකවම මැදිහත් වෙමින් අලි දෙදෙනාව ඉවත් නොකරන ලෙස දැනුම් දී තිබුණි. එහෙත් වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන දෙදෙනාම ඉන්නේ අලි දෙදෙනාව ඉවත් කළ යුතුය යන මතයේය. එසේ නොකළොත් ඇමති ධූරයෙන් ඉවත්වන බව ෆොන්සේකා මහතා කියා තිබුණි. එහෙත් ඔහු ඇමතිධූරයෙන් ඉවත් නොවී, මේ වෙද්දී මාතෘකාව යටපත්වෙමින් තිබෙන බව පෙනෙයි. මාතෘකාව මාධ්‍ය වල යටපත් වුණත් ප‍්‍රශ්ණයෙහි වෙනසක් නැත. එපමණක් නොව අලි පහරදීම් නිසා පසුගිය සති තුන ඇතුලත මනුෂ්‍ය ජීවිත තුනක් නැතිව තිබුණි.


අලි ප්‍රහාරයකට ලක්වූ දරුවෙක්?


අලිද? මිනිස්සුද?

කොළඹ කේන්ද්‍රීයව අලි ප‍්‍රශ්ණය ගැන කෙරෙන සාකච්ඡුා අලි ප‍්‍රශ්ණයට සැබැවින් මුහුණදෙන සාමාන්‍ය ජනතාව විමතියට සහ කේන්තියට පත් කරන එකකි. අලි ප‍්‍රශ්ණය ගැන ඇතිවන සංවාදවලදී මිනිස් ජීවිතවලටත් වඩා අලින් ගැන අවධානය යොමු කෙරෙයි. එතැනින් එහාට දේශපාලන කාරණාද අලි ප‍්‍රශ්ණය ගැන කතාකරද්දී ඉදිරියට පැමිණෙයි.

ඇත්තෙන්ම අලි ප‍්‍රශ්ණය නාගරික මධ්‍යම පාන්තික ප‍්‍රජාවට පෙනෙන්නේ පුංචියට විය යුතුය. රටේ දේශපාලන තීරණවලට බලපෑම් කිරිමේ ශක්තියක් ඇති මධ්‍යම පාන්තිකයන් අලි ප‍්‍රශ්ණයිඅලි’ අවුලක් බව නොදන්නවා විය යුතුය. ඒ නිසාම අලි ප‍්‍රශ්ණයට හේතුව මිනිසුන්ම බව කියමින් වාර්ෂිකව අලිමිනිස් ගැටුමට වැඩෙන්නට ඉඩ දෙමින් සිටින්නට ඉඩ හරිනවා පමණි.

සිංහරාජයේ අලියන් දෙදෙනාව ඉවත් කළ පසුව සිංහරාජය ලෝක උරුම තත්වයෙන් ඉවත් වෙන බව කියන්නට දැන් විශේෂඥයෝ බිහිව සිටිති. සිංහරාජයට ලෝක උරුම තත්වය ලැබී ඇත්තේ සිංහරාජයේ සිටින අලින් නිසා නොවේ. මේ අලි දෙදෙනා ස්වාභාවික හේතු නිසා මියගියද, සිංහරාජය ලෝක උරුම තත්වයෙන් ඉවත් නොවනු ඇත. යුනෙස්කෝ සංවිධානය විසින් අලි දෙදෙනා පිළිබඳව ගන්නා පියවර පිළිබඳව විමසා ඇතත්, අලි දෙදෙනා ඉවත් කළහොත් ලෝක උරුම තත්වය අහිමි වන බව පවසා නැත. ඇත්තෙන්ම සිංහරාජයට ලෝක උරුම තත්වය ලැබී ඇත්තේ එහි ඇති තෙත් කලාපීය වනයකට ආවේණික ලක්ෂණ නිසාය. අලියා එයට වටිනාකමක් එක් කරන බව සැබෑය. එහෙත් සියල්ල රැුඳී ඇත්තේ අලියා සිටින නිසා නොවේ. එය එසේනම් කොහොමත් සිංහරාජයට නුදුරේදීම ලෝක උරුම තත්වය අහිමිවනු ඇත. වනජීවී නිලධාරීන් සහ රජය පියවරක් නොගතහොත් ඉදිරියේදී මේ අලි දෙදෙනාව මිනිසුන් විසින් මරා දමන්නට ඉඩ ඇති නිසාය. රූප සටහන්වල ඇති දත්ත විසින් පසුගිය කාලයේදී මියගිය අලින්ගේ සංඛ්‍යාව දැකගත හැකිවනු ඇත. මිනිසුන්ට වෙන කරන්නට දෙයක් නැත. තමන්ට ජීවත්වෙන්නට නම් තමන්ගේ ජීවිතවලට හානි කරන සාධක ඉවත් කරගැනීමට ඔවුන්ට සිදුවෙයි. එය වැළැක්වීමට නම් පියවර ගත යුත්තේ රජයයි. රජයට ඒ සඳහා කළ හැකි දේ බොහෝය.


අලි මරණ, ජීවිත හානි සහ මරණ

අලි සඳහා කළ වියදම්





අලි ඇතුන්ගේ මරණවලින් 50%කට වඩා සිදුවන්නේ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාය. මියගොස් ඇති අලි ඇතුන් අතර 2012 - 2016 සම්පූර්ණ ඇතුන් ප‍්‍රමාණය 38ක් පමණි. ඒ නිසා දළ ජාවාරම නිසා නොව, එදිනෙදා මිනිස් ජීවිතයට හානි කිරීම නිසා අලින් වැඩි පිරිසක් මිනිසුන් අතින් ඝාතනය වී ඇතැයි සැලකිය හැක. රජයටත්, කොළඹ කේන්ද්‍රීය සමාජයටත් අලි සහ මිනිස්සු අතරින් පහසුවෙන්ම අලින්ව තෝරාගත හැකිය. එහෙත් ප‍්‍රශ්ණයට මුහුණදෙන මිනිසුන්ට අලින්ගේ ජීවිත නොව, තමන්ගේ ජීවිත තෝරාගන්නට සිදුවනු ඇත.
රජය සහ සමාජය අලි දෙදෙනා ගැන කල්පනා කරනවානම් කළ යුත්තේ අලි දෙදෙනාව ආරක්ෂිත තැනකට ඉවත් කිරීමයි. ගම්මාන කිහිපයක මිනිසුන් ඉවත් කිරීම කළ නොහැක්කක් බව තේරුම් ගත යුතුය. අනෙක් අතට මේ ගම්මාන වටා අලි වැටවල් ඉදිකිරීමද ප‍්‍රායෝගික විසඳුමක් නොවන බව ගම්වාසීන් කියයි. එය මීට පෙර උත්සාහ කර ඇති විසඳුමකි. දැන් පරිසරවේදීන් යෝජනා කරන ආකාරයට ගමට වනජීවී නිලධාරීන් යොදවා අලියා ගම්වැදෙන වෙලාවට එළවා දැමීමත් ප‍්‍රායෝගික විසඳුමක් නොවේ. අලියා කුමන මොහොතේ කුමන තැනකින් ගම් වදින්නේදැයි නිරීක්ෂණය කිරීම පරිසරවේදීන් සිතන තරම් පහසු සෙල්ලමක් නොවේ.

විසඳුම්

පළවැනි වගුවෙහි දැක්වෙන අන්දමට අලි ඇතුන් සම්බන්ධයෙන් කර ඇති වියදම් වලින් වැඩි වියදම් කර ඇත්තේ විදුලි වැට ඉදිකිරීම සහ අලි වෙඩි බෙදාහැරීම වෙනුවෙන්ය. එහෙත් දෙපාර්තමේන්තුව අලිමංකඩවල අවහිරතා ඉවත් කරමින් අලි ඇතුන්ගේ එදිනෙදා ජීවිතයට පහසුමක් සැලසීම, වාසභූමි අතර සබඳතා පුළුල් කිරීම, අලි මිනිස් ගැටුම නැවැත්වීම පිළිබඳ විද්‍යාත්මක සොයාබැලීම් කිරීම සහ ඒවා පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතුව තිබුණි. අලිවැට සහ අලිවෙඩි යන විසඳුම් දෙකම තාවකාලිකව මිස අලි මිනිස් ගැටුමට පිළිතුරු ලැබෙන විසඳුමක් නොවන බව පසුගිය වසර ගණනාවක් තිස්සේ ඔප්පු වී ඇත. වෙඩි සහ වැටවලට මෙතරම් වියදම් කළත් අලි ඇතුන් නිසා සිදුවූ හානිය 2015ට වඩා 2016 වෙද්දී 36%කින් වර්ධනය වී ඇත.

මේ අලි ප‍්‍රශ්ණයට විසඳුම් ලෙස වනෝද්‍යාන ආශ‍්‍රිතව අලි ඇතුන්ගේ සංක‍්‍රමණික රටාවන් හඳුනාගෙන, ඒ ප‍්‍රදේශ එකිනෙක සම්බන්ධ කොට, ඔවුන්ගේ ගමන් මාර්ග වල ඇති බාධක ඉවත් කිරීම සහ ඒ ප‍්‍රදේශ කොටු කිරීම වඩා හොඳ විසඳුමක් විය හැකිය. අලි ඇතුන් ආහාර සොයා වගාබිම්වලට පැමිණීම වැළැක්වීම සඳහා අලි ඇතුන් සඳහා වෙන් කළ ප‍්‍රදේශවල අලිඇතුන්ට පහසුවෙන් ආහාරගත හැකි වන අන්දමෙන් වගා කටයුතු රජය හරහා සිදුකිරීමද වැදගත් පියවරකි. රජය ඒ පියවරයන් යෝජනා කර ඇතත් ක‍්‍රියාත්මක කිරීම දක්වා අඩියක්වත් තබා නැත. 

ලංකාවේ ඇති අලි මංකඩවල් 17කි. එහෙත් ඒ අතරින් ගැසට් කොට ආරක්ෂා කිරීමට හැකිව තිබෙන්නේ කවුඩුල්ල - මින්නේරිය අලිමංකඩ පමණි. ඒ 2004 දී ගැසට් කළ අලිමංකඩකි. ඒ හැරුණු කොට අනෙක් ඒවා මේ වෙද්දී ආක‍්‍රමණය කර ඇත. සාමාන්‍ය ගම්වාසීන් විසින් නොවේ. විශාල සංවර්ධන ව්‍යාපෘතියැයි කියාගත් ව්‍යාපෘති හරහාය. මේ අලිමංකඩවල් නිදහස් කරගැනීම අලි ගම්වැදීම වැළැක්වීමට ගතහැකි ප‍්‍රධානම පියවරකි.

හොරොව්පතානට

අලි දෙදෙනාව ගෙනයන්නට යෝජනා කළේ හොරොව්පතාන වෙතයි. එය ලංකාවේ සිටින ප‍්‍රචණ්ඩකාරී ඇලි ඇතුන්ව රඳවා තබාගැනීම සඳහා ඉදිකළ අක්කර 2500ක භූමියකි. මේ බිමෙහි විදුලි වැටේ අඩුපාඩු රැසක් ඇත. අලි ඇතුන් තිහකට වැඩි ප‍්‍රමාණයක් මේ බිමෙන් වරින් වර පළාගොස් ඇත. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වටියි. කෙසේ වෙතත් හොරොව්පතානටම සිංහරාජයේ අලි දෙදෙනා ගෙන යා යුතු නොවේ. හොරොව්පතාන සුදුසු නොවන්නේ නම් මේ අලි දෙදෙනාව යැවිය හැකි විකල්ප ස්ථාන බොහෝ තිබේ.

අලි ප‍්‍රශ්ණයට මුහුණදෙන ජනතාව ක‍්‍රම ක‍්‍රමයෙන් තමන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවමින් සිටියි. ආණ්ඩුවට හෝ කොළඹ සමාජයට මෙය සෙල්ලමක් විය හැකිය. එහෙත් ග‍්‍රාමීය ජනතාවට අහිමි වී සිටින්නේ තමන්ගේ සැමියාය, පියාය, දරුවාය. ලංකාවේ වරින් වර බෝම්බ පිපිරීම්වලින් මියගිය ප‍්‍රමාණයට වඩා අලි ඇතුන් නිසා මියගිය ප‍්‍රමාණය වැඩිය. ලංකාව බෝම්බ පිපිරීම් නවත්වන්නට යැයි කියමින් දෙමළ ජනතාවගේ කොටසක් සමූලඝාතනයට අන්ධ භක්තියෙන් සහාය දුන් රටකි. එදා ජනතාව අනුමැතිය දුන්නේ තමන්ගේ පැවැත්මට බාධා වෙන මිනිසුන් මරන්නටයි. අලි ඇතුන් මරන්නට අප යෝජනා කරන්නේ නැත.

මිනිසුන්ට ඇති අවධානම ඉවත් කළ යුතු බව අපි යෝජනා කරන්නෙමු. එසේ නැතිනම් මිනිසුන්  විසින් වාර්ෂිකව මරා දමන අලි ප‍්‍රමාණය තව තවත් ඉහළ යනු ඇත.

(  උපුටා ගැනීම අනිද්දා පත්තරයෙන්... )

1 comment:

  1. //ලංකාව බෝම්බ පිපිරීම් නවත්වන්නට යැයි කියමින් දෙමළ ජනතාවගේ කොටසක් සමූලඝාතනයට අන්ධ භක්තියෙන් සහාය දුන් රටකි. //

    මම මේ ඔයාගේම හොඳටඅවවාදයක් හැටියට කියන්නේ.
    ඉහත සඳහන් කොටස වැනි කොටස් පත්තරයක පලකලාට කමක් නෑ. ඒ ලිපිය බ්ලොග් එකක දාද්දී ඉවත් කරන්න.
    ඔයවගේ අදහස් වලට කියන්නේ ගොබෙල්ගේ න්‍යාය කියලා.
    අනිත්එක ඔයවගේ කෑලි වලට හොඳ ගානක් අයකරගන්න.

    ReplyDelete