Friday, July 06, 2018

Angoda, Wimal, Anura and පිස්සෝ

වීරවංශගෙ මෑත ඉතිහාසය තුළ විවිධාකාර අපහාස වචන රැසක් දකින්න පුලුවන්.
හැබැයි එහෙම වුණ පළියට විමල් වීරවංශට කවුරුහරි කෙනෙක් කරන අපහාසයක් සාධාරණීකරණය වෙන්නෙ නැහැ.

කොහොම වුණත් අපහාස කිරීම මාතෘකාවේදී මෙතෙක් කල් චූදිතයා වූ විමල් වින්දිතයා වෙනවා. අපි වින්දිත විමල් දෙස මධ්‍යස්ථව සහ සාධාරණව බලමු. අනුර කුමාර දිසානායක විමල් වීරංවශට චෝදනා කරන්නෙ මානසික රෝගියෙක් බව කියමින්. ඒ සිද්ධියේදී අනුරට කේන්ති ගිය එක සාධාරණයිද? විමල්ටත් මේවා උරුමයිද වගේ සංවාද ඔක්කෝම පැත්තක තියෙද්දි අපි නම් ඉදිරියට ගන්නේ මෙතැන පැසවන මාතෘකාව. දැවැන්තම ප්‍රශ්ණය.



Wimal Weerawansa


මානසික රෝගයක් කියන්නේ අපහාසයට කාරණයක්ද?

මානසික රෝගයක් කියන්නේ ශරීරයේ වෙනත් ඕනෑම රෝගයක් වගේ තත්වයක්. අසනීපයක්. කෙනෙකුට පිළිකා රෝගයක් හැදුණාම උඹේ අහවලාට පිළිකාවක් තියෙනවා කියා විහිළු කරනවාද? දියවැඩියාව හැදුණාම දියවැඩියාකාරයා කියා විහිළු කරනවාද? එහෙම රෝගයක් හැදුණාම කරන්නෙ ඒ අසනීපයට ප්‍රතිකාර සෙවීම. අනෙක කෙනෙකුට එවැනි රෝගයක් වැළඳීම ලැජ්ජාවකට කාරණයකුත් නෙවෙයි.

මානසික රෝගයක් කියන්නේත් එවැනිම තත්වයක්. අංගොඩ යනවා කියන්නේත් අපේක්ෂා රෝහලේ පිළිකා ප්‍රතිකාර ගන්නවා වගේම වැඩක්. ඒත් අපි තවම පරණ සමාජයේ ආකල්ප එක්ක මානසික රෝග දෙස වපරැහින් බලනවා. පිස්සෙක් කියන වචනය අපි තවමත් යොදාගන්නෙ අපහාසය වෙනුවෙන්. කෙනෙකුට මානසික රෝගයක් වැලඳී ඇතැයි කීම අපහාසයක් ලෙස සලකනවා.

අනුර කුමාර දිසානායක කේන්තියට කරපු ප්‍රකාශය ඇතුලෙ තියෙන්නෙ මේ ආකල්පය. මේ ආකල්පය වහා වෙනස්විය යුතු එකක්. 21 වෙනි සියවසට අයිති නැති එකක්. ගෝත්‍රික එකක්. ගැටලු සහගත එකක්.

මේ සියල්ල මැද අපට සිහිවෙනවා මෑතකදි අපට මුහුණදුන්න සිද්ධවුණ දෙයක්. බොහෝ අය මෙවැනි සිද්ධි ඕනෑ තරම් දැක ඇති.

 අප දන්නා ඥාතියෙක් මානසික රෝගයකට මුහුණදුන්නා. ඔහුට තිබුණේ සුව කරගත හැකි තත්වයක්.

ඔහු ගුප්ත විශ්වාසයන්වලට යොමුවෙන්න ගත්ත එක තමයි මුල්ම රෝග ලක්ෂණය වුණේ. දෙවියන් කතාකරනවා, යක්කු කතාකරනවා කියමින් තමයි වැඩේ පටන්ගත්තෙ. ඒ කාලයෙ ඉඳන්ම අපට  තේරුණා මෙතැන මානසික රෝගයක් තියෙනවා කියලා. අපි මුලසිටම කිව්වා මේක මානසික තත්වයක්, වහාම ප්‍රතිකාරවලට යන්න කියලා.

එහෙත් පවුලෙ අනෙක් අය හිතුවෙ මේක වරමක් කියලා. හැමෝම එයා ළඟට සාස්තර අහන්න ආවා. එයා සාස්තර කිව්වා. ගෙවල්වල බුදුපිළිම තියෙන තැන් මාරු කළා එයාගෙ උපදෙස් අනුව. සමහරු ගෙවල්වල බිත්තිත් කැඩුවෙ එයා දුන්න උපදෙස් මත. මේ පුද්ගලයා එකපාරම මාර විද්වතෙක් වුණා. හැමදේම එයාගෙන් අහලා කරන්න ගත්තා.

හැබැයි එයාගෙ තත්වය එන්න එන්න දරුණු වුණා. ඥාති ගෙවල්වල බඩු හොරකම් කරන්න පටන්ගත්තා. මුලින්ම ඒවා අහුවෙද්දී කිව්වෙ ඒවා ගෙදර තිබීම අසුභ නිසා අයින් කළා කියලා. මුලින්ම ඒකත් විශ්වාස කරන්න ගත්තා. පස්සෙ මේ බඩු හොරකම් කිරීමේ තත්වයත් උත්සන්න වුණා. ආවේශ වීම්, මැතිරීම් වැඩිවුණා. මෙයාට බුදුපිළිමයක් ළඟට යන්න බැරි තත්වයක් ආවා. බුදුපිළිමයක් ඉස්සරහට ගියොත් දරුණු වෙනවා. ඒ අස්සෙ කාන්තාවන්ට ඇඳුම් ගලවා පෙන්වන්නත් පටන්ගත්තා.

එතකොට කට්ටිය කියන්න ගත්තා යකෙක් වැහිලා කියලා. මෙච්චර දවස් යක්කුන්ගෙන් වැඩ අරගෙන, එක යකෙක්ව මෙල්ලකරගන්න බැරිවෙලා ඇඟට වැහුණා කියලා කියන්න ගත්තා.

 අපි කිව්වා වහාම මානසික රෝහලට ගෙනියන්න කියලා. ඒත් ඒ වෙනුවට රට වටේ කෝවිල්, දේවාල, යකැදුරෝ ගාවට ගෙනිච්චා. පවුලම විවිධ තැන් කිව්වා. අහවල් තැන හොඳයි, අහවල් තැන හොඳයි.

අන්තිමේ මිනිහාගේ තත්වය හොඳටම දරුණු වෙද්දී අසල්වැසියෝ පොලීසියට පැමිණිලි කළා. පොලීසියේ දෝෂාරෝපණ සහ බැණවැදීම් මැද අන්තිමේදී මානසික ප්‍රතිකාරවලට මෙයාව යොමුකළා. දැන් මානසික ප්‍රතිකාර ලබමින් ටිකෙන් ටික සුව අතට හැරෙනවා. හැබැයි ප්‍රතිකාර හොඳට කරන්න නම් මෙයාව මානසික රෝහලේ නවත්වන්නැයි උපදෙස් ලැබී තිබුණා. එහෙත් එතැන නවත්වන්නේ නැහැ. ලැජ්ජාවක් නිසා. ඒ වෙනුවට පිට ඉඳගෙන ප්‍රතිකාර ගන්නවා.

දැන් අර මනුස්සයාගෙන් සාස්තර අහපු හැමෝම පිස්සායැයි කියමින් හිනාවෙනවා. බණිනවා. අපහාසයට ලක් කරනවා. එහෙත් මේ කෙනාගේ අසනීප තත්වයට බෙහෙත් නොකර මානසික රෝගය වැඩි කළේ ඒ අයමයි.

දැන් අර අපහාසයන් මේ පුද්ගලයාගේ රෝගයට ප්‍රතිකාර කරන්නත් බාධාවක්.

අපේ සමාජය මානසික රෝග ගැන දකින ආකාරය සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. විමල් වීරවංශ සම්බන්ධ සිදුවීම සමඟ අපට දැනුණු ලොකුම අවුල මෙයයි. වෙනස් විය යුත්තේ එයයි.

1 comment:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/07/angoda-wimal-anura-and.html

    ReplyDelete