Showing posts with label පනමරකාඩු. Show all posts
Showing posts with label පනමරකාඩු. Show all posts

Tuesday, February 27, 2018

තුන්දෙනෙක්



ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම එක්ව නිර්මාණය කළ තුන්දෙනෙක් චිත්‍රපටිය  තව ටික දවසකින් සිනමාහල්වල දකින්නට ලැබේවි. යුද්ධයෙන් පසුව මිනිස්සු’ තුන්දෙනෙක් චිත්‍රපටියෙ තේමාව වුණා. ඇය, ඔහු සහ අනෙකා චිත්‍රපටියේ තේමාව වුණා. යුද්ධයේදී තෝරාගන්නේ මොන පිල වුණත් ඒ මැද සිටින්නේ මිනිසුන්. ආදරය දැනෙන මිනිසුන්, බිය දැනෙන මිනිසුන්, තමන් කළ වරදකට වරදකාරීත්වය දන්නා මිනිසුන්. 


තුන්දෙනා


Sunday, December 03, 2017

ඊළාම් සිනමාව චිත්‍රපටි සංස්ථාවට එයි



කේසවරාජන් නවරත්නම්ගෙ පනෛමරක්කාඩු චිත්‍රපටිය දෙසැම්බර් 05 වැනි අඟහරුවාදා හවස 4ට ජාතික චිත්‍රපටි සංස්ථාවෙදී පළවැනි වතාවට ප්‍රදර්ශණය වෙනවා. 

 
පනෛමරක්කාඩු හෙවත් තල් වනය

එන්. කේසවරාජන් නම් ඊළාම් සිනමාවෙ දැවැන්තයා, ඊළාම් සිනමාව වෙනස් මඟකට ගෙනආ අධ්‍යක්ෂවරයා යුද්ධයක අවසානයෙන් පසුව ශ්‍රී ලාංකේය දෙමළ සිනමාව වෙනුවෙන් චිත්‍රපටියක් නිර්මාණය කරනවා. උතුරේ සිනමාව වෙනස්කරපු ඔහු පළමුවතාවට දකුණේ චිත්‍රපටි සංස්ථාවේදී ප්‍රසිද්ධ සිනමා දර්ශණයකට එක්වෙනවා. මේ සියල්ල සිනමා ඉතිහාසය පැත්තෙන් ගත් කළ ඓතිහාසිකයි. මේ ඓතිහාසික අවස්ථාවෙ ඔහුට කියන්නට දේවල් බොහෝ ඇති. දකුණේ මාධ්‍ය විසින් ආවරණය නොකරපු, මේ මොහොතේ ඔහුට කියන්න ඕනෑවුණු දේවල් කිහිපයක් මෙහි සටහන් කර තියන්න ඕනෙ. චිත්‍රපටිය බලන්න කලින් ඔබේ දැනගැනීමට. 

Sunday, October 09, 2016

ලංකාවේ ඉසයිප්‍රියා ගැන තමිල්නාඩු ෆැන්ටසිය

ඉසයිප්‍රියා ගැන කරපු ෆිල්ම් එක  රිලීස් කිරීම වළක්වන තීන්දුවක් මැඩ්‍රාස් හයිකෝට් එක දීලා.

ඉසයිප්‍රියා ෆිල්ම් එක ගැන වැඩිය කියවන්න කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ මට. ෆිල්ම් එක ගැන දන්නෙත් නැහැ මම. කොහොම වුණත් වාරණ නියෝග වගේ දේවල් හරහා කලාවට තියෙන නිදහස සීම කිරීම එතරම් සුදුසු නැහැ.

Tuesday, March 22, 2016

පනමරකාඩු 2 - ඔහුව හමුවිය

අමීර් ඛාන් රඟපෑ මංගල් පාණ්ඩේ චිත්‍රපටිය ඉන්දියානු නිදහස් සටනේ ආරම්භකම මොහොත සටහන් වූ සිපෝයි කැරැල්ල අලලා නිර්මාණය කළ චිත්‍රපටියකි. විමුක්ති සටනක්, නිදහස් සටනක් දේශප්‍රේමය කේන්ද්‍ර කොටගත්තකි. එහෙත් ලංකාව ඇතුලේ දේශප්‍රේමය එපා වන තරමට ලංකාවේ ලේ වගුරවා දමා තිබුණි. දේශප්‍රේමී යන වචනය සිහිපත් කළේ අජූවයි. දේශප්‍රේමය බියෙන් සලිත කරවන වචනයක් විය. නූතන ජාතික රාජ්‍යය තුළ දේශප්‍රේමය එක්තරා ආකාරයකට ජාතික හැඟීම යනුවෙන්ද හැඳන්විය හැකිය. දේශ ප්‍රේමයෙන් ඇරඹී ජාතික හැඟීම බවට පත්වූ හැඟීමක් නූතන නව රාජ්‍යය එකමුතු කර ඇත. ලංකාවේ දේශප්‍රේමය හෝ ජාතික හැඟීම පැවතුණේ කෙසේදැයි අත්දැකීමෙන් නොදනිමි. එහෙත් පසුකාලයෙක ලංකාවේ දේශප්‍රේමය ප්‍රතිනිර්මාණය වුණේ සිංහලයන්ට පමණක් අයිති දෙයක් ලෙසිනි. ජාතික හැඟීම දෙමළුන්ට විරුද්ධ එකක් විය. එහි ප්‍රථිපලය මේ හැඟීම් ජාතියක් දියුණට ගෙනයෑම වෙනුවට පරාභවයට ගෙන යෑමයි.



Friday, March 18, 2016

සුවිශේෂීම වැඩකට ඔබේ සහාය දෙන්න!

ඒ වැඩේ මම කරලා දෙන්නම්. ඔයා වැඩේ ගැන කල්පනා කරන්න අයියෙ. යැයි කේසව් අයියාට පැවසුවෙමි. ඒ මගේ මාසික වැටුපෙන් තුනෙන් දෙකක් පමණ බැර කළද තව රුපියල් අනූදහසක් සොයාගත යුතු නමුත් මෙය කෙසේ හෝ කළ යුතුයැයි විශ්වාස කළ නිසා ය. ඇතැම් විට මට ඒ මුදල සොයාගත නොහැකි නමුත් අපට එය කළ හැකිවනු ඇත. මා වගකීම කරට ගත්තේ මා විසින් කරනු ලබන සුවිශේෂීම කාර්යය මෙයයැයි කල්පනා කරමින් ය.



Tuesday, March 15, 2016

පනමරකාඩු 1

ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය පැතුවේ ය. දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්නට සූදානමින් සිටියේ ය. ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඊළමක් පතා ආයුධ අතට ගත් මිනිසුන් සමඟ ඔවුන් අතරෙහි සිටියේ ය. එහෙත් ඔහු ආයුධ අතට නොගත්තේ ය.

ලොව සාමකාමීම එහෙත් තියුණුම අවිය පෑන වී තිබුණායැයි කිව හැකි ය. යුධකාමී තියුණු අවිය කඩුව වූවා මෙන් ය. එහෙත් ලෝකය පෑනේ යුගය පසුකර කැමරාවේ යුගය වෙත පැමිණ ඇත. කඩුව පසුකර තුවක්කුව පැමිණි යුගයක ඔහු පෑනටත් වඩා මුවහත ඇති කැමරාව තෝරාගත්තේ ය. හතුරන්ට පමණක් නොව මිතුරන්ටද කැමරාව ඉලක්ක කළේ ය.

ඔහුව මුණගැසුණු පළමු මොහොතේදීම මා සෙවූ කතාව ඔහුගේ කතාව බව වටහාගතිමි. ඔහුගේ කතාව සාවධානව ඇහුම්කන් දුනිමි. එක්වතාවක්, දෙවතාවක්, තුන්වතාවක්. ‘තරිඳු ගෙදර යනවා වගේ අපේ ගෙදර ආවා. යාපනයේ ආවොත් ආවේ මෙහෙට‘

එහෙත් ඔහුගේ කතා හඬපට ලෙස රෙකෝඩරය තුළ දිගු කාලයක් පැවතුණි. දේශපාලඥයන්ගේ කෙළවරක් නැති බොරු පිරුණු හඬපටයන් ද සිවිල් බුද්ධිමතුන්ගේ සැබෑ නොවෙන සිහින පිරි හඬපටයන් ද අසමින් ලියා වෙහෙස වී සිටි මට කේසව්ගේ හඬපට අසන්නට වෙන් කරන්නට ඉඩකඩක් නොවීය.

එහෙත් එක්තරා රාත්‍රියක ලියන්නටම සිත්විය. ලියන්නටම සිතුණි. මා සිටියේ දෙමළ චිත්‍රපටයක් දෙස නෙත් යොමාගෙන මොනවාදෝ කල්පනා කරමිනි’  

මා හැමදාම ලීවේ එහෙමය. මම ඔහුගේ කතාවක් විවෘත කරගතිමි. මා මේ කතා එක්කළේ පොතකට එකතු කරන්නට ය. පොත පසෙක තබා බ්ලොග් අවකාශයේම මේ කතා විසුරුවා දමන්නට කල්පනා කළේ කවදා හො පොතක් වීම කෙසේවෙතත් පොතකට කියා ලිවීම කොහෙත්ම සිදු නොවනු ඇතැයි සිතූ නිසා ය. අද සිට සෑම අඟහරුවාදාවකම කොටස් ලෙසින් ඔහුගේ කතාව බ්ලොග් අවකාශයේ විසුරුවන්නට බලාපොරොත්තු වෙමි.... 

ඔහු කේසවරාජන් නවරත්නම් නම් විය!!!!!!! 

මගේ මේ ලිවිල්ල සමඟ යන ඔබට ඇතැම්විට කේසව් අයියාව වටහාගත හැකිවනු ඇත. සම්පූර්ණයෙන්ම නොවේ. එහෙත් කෙටි හැඳින්වීම් කරනවාට වඩා වැඩි යමක්. ඇතැම් විට දෙමළ විමුක්ති සටන වටහාගත හැකිවනු ඇත. එහෙත් එයද සම්පූර්ණයෙන්ම නොවේ. එහෙති රණවිරු මහවිරු කතා වලට වැඩි දෙයක්. මිනිසෙක්ව හෝ විමුක්ති අරගලයක් සම්පූර්ණයෙන්ම වටහාදිය හැක්කේ කෙසේ ද?

‘මම ඉපදුණේ හැට දෙකේදී යාපනයේ අරියාලෛ වල. යාපනයේ කටච්චේරිය පහු වුණාම තියෙන ගම. ඉස්කෝලේ යන්න කලින් මම බදුල්ලේ, මෝදර වගේ තාත්තා එක්ක එකේක පැති වල ඉඳලා තියෙනවා. අරියාලෛ ශ්‍රී පාර්වතී විද්‍යාලයේ මම ඉගෙනගත්තේ. තුන්වැනි පන්තියේදී තාත්තා එක්ක හලාවත ගියා. දකුණේ ඉඳපු තැන් වලින් මගේ මතකයේ තියෙන්නේ හලාවතයි මහනුවරයි තමයි. මම තුන්වැනි පන්තියෙන් හයවැනි පන්තිය වෙනකන් හලාවත රෝමානු කතෝලික දෙමළ පිරිමි විද්‍යාලයට ගියේ. ඉන්පස්සේ මහනුවරට ගිහින් හත වසරේ ඉඳන් නවය වසර වෙනකන් හිටියේ මහනුවර. ඉන්පස්සේ උසස්පෙළ කාලයේදී වගේ ආයෙමත් යාපනයට ආවා. තාත්තා පොලිස් නිලධාරියෙක්!!!‘

මේ එල්ටීටීඊ සාමාජිකයෙක් නොවුණත් එල්ටීටීඊ පාලන ප්‍රදේශයක ඔවුන් සමඟ එක්ව ජීවත් වූ මිනිසෙකුගේ කතාවේ ආරම්භයයි. දෙමළ ඊළම පැතූ මිනිසෙකුගේ කතාවක ආරම්භයයි. මා වැඩියෙන්ම ආදරය කරන මිනිසෙකුගේ කතාවේ ආරම්භයයි. ඔහුගේ කතාවේ ඇතැම් තැන් විස්මයජනක ය. එළැඹෙන සතියේ සිට මේ කතාව දිගහරින්නට බලාපොරොත්තු වන්නෙමි.