බෝගස්වැව, චාවකච්චේරි, අස්ගිරිය හා අගමැතිගේ හමුදාව - ශේෂ පත්‍රය



ජාතිවාදී බෝම්බය පිපිරෙයිද?

චාවකච්චේරියේ බෝම්බ කට්ටලය හමුවී පැය කිහිපයක් යන විට ගින්න අවුලුවන්නට පිරිස් ඉදිරියට පැමිණ සිටීම පුදුම සිදුවීමක්. සියල්ලට කලින් නාමල් රාජපක්ෂ මේ ගැන ට්විටර් සටහනක් තියලත් හමාරයි. ලියුම්කරු ට්විටර් පණිවිඩය දැක ඒ මොහොතේම යාපනයේ මාධ්‍ය සහෝදරවරුන්ගෙන් විමසද්දී ඔවුන්ගේ මාධ්‍ය ආයතනවත් මේ ගැන දැනගෙන තිබී නැහැ. ජීඑල් පීරිස් වහාම ප්‍රකාශයක් කරමින් කියන්නේ පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙනඒමේ සූදානමක් තිබුණු බවට තොරතුරු ලැබී තිබෙන බවයි. මාධ්‍ය වලටත් කලින් මේ අයට තොරතුරු ලැබුණේ කොහොමද? හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ජැකට් එක හා ක්ලේමෝ හතර ඔතා තිබී ඇත්තේ 2008 වර්ෂයේ ලංකාදීප පුවත්පතකයි. යාපනය මාධ්‍යෙව්දීන් කියන්නේ බෝම්බ තබා එදිනෙදා දෙයක් ඔතන්නටවත් යාපනයේදී සිංහල පුවත්පත් පාවිච්චි නොවන බවයි. යාපනයේ ජනතාව අතර සිංහල පුවත්පත් ඉතා විරලයි. මේ නිවස වටලා ඇත්තේ ගංජා ඇතිබවට ලැබුණු තොරතුරක් මත. ගංජා වෙනුවට හමුවෙලා තියෙන්නේ බෝම්බ. මේ කතාවේ සැකසහිත තැන් ගොඩක් තියෙන්නේ සංවිධානාත්මක විදියට බෝම්බ තබන්නට උත්සාහයක් යාපනයේ නැතිවීමත් එවැන්නක් මවා පෙන්වන්නට කාට හෝ අවශ්‍ය වී ඇති බව පෙනෙන්න තිබීමත් නිසා.


බෝගස්වැව ප්‍රශ්ණය මොකක්ද?

බොදුබල සේනාව තමන්ගේ අළුත්ම නාටයය වෙනුවෙන් බෝගස්වැව යන්නට සූදානමින් සිටිනවා. ඉදිරියේදී මේක ජාතිවාදී කඳවුරේ ඉදිරිපෙළ සටන්පාඨයක් වේවි. බෝගස්වැව කියන්නේ ගම්මාන පහකින් සමන්විත ජනපදයක්. මේ ගම හදලා තියෙන ඉඩෙන් වැඩි කොටසක් 1930දී ගැසට් කළ රක්ෂිත ප්‍රදේශයකට අයිති වුණත් විල්පත්තුව වගේ කවුරුත් මේ ගැන කතා නොකළේ කැලෑ කැපුවේ සිංහල අය නිසයි. බෝගස්වැව 1, බෝගස්වැව 2, නන්දිමිත්‍රගම, සැලලිහිණිගම හා නාමල්ගම මේ ජනාවාසයේ ගම්මාන පහයි. රක්ෂිතය කපමින් 2011දී මේ ජනාවාසරකරණය ආරම්භ කළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඍජු මැදිහත්වීමෙන්. මෙහේ ගෙනැවිත් පදිංචි කළ අය අතරේ ගම්පහ, රත්නපුර වගේ ප්‍රදේශවල මිනිස්සු ඉන්නේ.  මිනිස්සුන්ට දුන්නේ විදුලිය විතරයි. වවුනියාවේ ඉඳන් කිලෝමීටර් 40ක් ඇතුලට තාරවත් නොදාපු දූවිලි පිරුණු පාරක ගිහින් ජීවත්වෙන මේ මිනිස්සුන්ට ආදායම් මාර්ග තියා ගෙවල්වත් හදලා දුන්නේ නැහැ. සංදර්ශන අවශ්‍යතාවයට හදපු ගෙවල් කිහිපයක් හැරුණාම. ඒ කාලයේ මේ ගැන කටක් අරින්නවත් මොන සේනාවක්වත් හිටියේ නැහැ. මේ පදිංචිකරුවන්ගේ අතිබහුතරය යුද්ධය නිසා මේ තැන්වලින් යන්න සිද්ධ වුණු අයත් නෙවෙයි. බෝගස්වැව කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව තුළ සිංහලකරණයට තිබුණු වුවමනාවේ ප්‍රතිඵලයක් විදියට හැදුණු ගමක්. කතාකරන ඕන දෙයක් මේ ටික මතක තබාගෙන කතා කළානම් හොඳයි.

ආර්ථිකය ගැන විවෘත වෙමු

පහුගිය සතියේ ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වපු වෙලාවේත් ආර්ථික අර්බුදය ගැන විමසනකොට කීවේ රටේ විශාල ආර්ථික අර්බුදයක් නැති බවයි. අගමැති ආර්ථික අර්බුදයක් ඇති බව කියද්දී ජනාධිපති එවැන්නක් නැතැයි කියන්නේ ඇයිදැයි බොහෝ අය ප්‍රශ්ණ කරනවා. ආර්ථික විශේෂඥයන් කියන විදියට ගැටලුව ගැන ජනතාව සමඟ නිති සංවාද කරලා තත්වය පහදා දෙමින් මිස මේ තත්වය කළමණාකරණය කරන්න බැහැ.  මේ වෙද්දී කලින් ස්ථායී මට්ටමේ තිබුනු ලංකාවේ ආර්ථිකය ඍණ මට්ටමක පවතින්නේ. ගෙවාගන්න බැරි විශාල ණය බරක් තියෙනවා. මේ කටුක සත්‍යය ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ජනතාව අමතන්න ලැබෙන අවස්ථාවල සිහිපත් කිරීමෙන්  රජය ගැනීමට නියමිත පියවර වලට ජනතා අනුමැතිය ලබාගන්න පුළුවන් වෙනු ඇති බවයි ආර්ථික විශේෂඥයන් අප සමඟ අදහස් දක්වමින් සිහිපත් කරන්නේ.

හමුදාව දැම්මම හරිද?

අගමැතිවරයා පහුගිය දවසක රාජකීය විද්‍යාලයේදී කීවේ අධ්‍යාපන සේවයේ සිටින නිලධාරීන් වැඩකරන්නේ නැතිනම් ඔවුන්ව ඉවත් කොට පෞද්ගලික සේවයේ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරීන් හා හමුදා සහ පොලිස් සේවයේ විනයක් තියෙන නිලධාරීන් බඳවාගෙන අධ්‍යාපනය ඉහළ නංවන බවයි. අධ්‍යාපන සේවයට හමුදාවේ අයව යෙදවීම කියන්නේ නම් බරපතල අවුලක් බව කිව යුතුයි. හොඳට හෝ නරකට කාලයක් තිස්සේ අධ්‍යාපනය නම් විෂය තුළ සේවය කළ නිලධාරීන්ට වඩා මිලිටරි නිලධාරීන් හොඳ වන්නේ ෆැසිස්ට්වාදයක් කරා යන මිලිටරි රාජ්‍යයක් තුළ මිසක් යහපාලනය කරා යන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට නෙවෙයි. අවශ්‍ය අධ්‍යාපනයේ නවීන සංකල්ප ගැන සිතන නිලධාරීන්වයි. මීට පෙර විදුහල්පතිවරුන්ට කර්නල් පදවි දෙන්නට ගියේද මිලිටරි විනය හා සිවිල් පුරවැසියෙකු සතුවිය යුතු විනය අතර වෙනස හඳුනාගන්නට පාලකයන්ට නොහැකි වූ නිසා.

අස්ගිරියේ වැඩවසම් චින්තනය
නව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගේ ලිංගික අනන්‍යතාවය ඉතා බාල විදියට ප්‍රශ්ණ කිරීම ලංකාව කොයිතරම් නොදියුණු ජාතියක්ද කියන එක මිසක් වෙන මොනවා පසක් කරනවාද? මහනුවර පාරත් වසාගෙන ඉන්න අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරුන් මේ කාන්තාව ප්‍රතික්ෂේප කරන්නේ ඇය ලිංගික විපර්යාසයකට බඳුන්වීම නිසානම් ඒක බුද්ධ ශාසනයේ මූලික ඉගැන්වීම් අමතක වී මිනිසුන් විවිධ සීමා වලින් බෙදා වෙන්කිරීමට එරෙහිව බුදුන් කළ දේශනා වලට එරෙහිව යෑමක්. මේ ආයතන පටු ජාති, කුල සීමා ආරක්ෂා කරමින් ඒවා රැකගන්න වැඩවසම් ආයතන මිසක් මිනිසුන් ආධ්‍යාත්මිකව දියුණු තත්වයකට ගෙනියන්න පුළුවන් ආයතන නොවන බව දිගින් දිගටම ඔප්පු කරමින් පවතිනවා. මේවා අනාගතයට කෞතුක භාණ්ඩ ලෙස මිසක් තවත් ක්‍රියාකාරීව පවතින්න අවශ්‍යද කියලා හිතා බලන්න වෙනවා.


(රාවය පුවත්පතට මවිසින් සතිපතා ලියන ශේෂ පත්‍රය නම් කොලමේ සංක්ෂිප්ත සටහනකි )

16 comments:

  1. හරි ම ප්‍රගතිසීලී ලිපියකි!

    ReplyDelete
  2. දන්න නොදන්න හැමදේටම පොරකාස නිකුත් කොරන අර ජී ඇලාට නම් මතක හිටින්ට මොනව හරි කරන්ට වෙනව. ජාතික ලැයිස්තුවෙංවත් ඇතුලට යන්ට තමයි ඔය විකාර කියව කියව දත කන්නෙ.

    ReplyDelete
    Replies
    1. මහින්දගෙ ආණ්ඩුවක් ගේන්න ඕන එකක් කරයි දැං

      Delete
  3. උතුරේ ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රකාශය තරිඳු දැක්කේ නැද්ද ? එහෙම නැත්නම් ලංකා ඊනිව්ස් එකේ වාර්තාව ?

    ReplyDelete
    Replies
    1. ඔබට තොරතුරු ලැබෙන මාර්ග ගැන තවත් අවබෝධයක් ලබාගැනීම හොඳයි.... රෙජිනෝල්ඩ් කුරේ කියන්නේ දේශපාලඥයෙක්... ඔහුගේ ප්‍රකාශයත් ජීඇල්ට දෙවැනි නෑ...
      ලංකා ඊ නිව්ස් කියන්නෙත් චාරයක් නැතිව මූලාශ්‍ර තහවුරු නොකරගෙන තොරතුරු වාර්තා කරන මාධ්‍ය්‍යක්... ඒකටත් තියෙන්නෙ දේශපාලන අරමුණක්... මම මේ තීරු ලිපිය ලියන වෙලාව වෙද්දී ලංකා ඊ නිව්ස් ඇතුලුව විවිධාකාරයේ අය විවිධාකාර අර්ථකථන මේකට දීලා තිබුණා.. ඔබට බලන්න පුළුවන් මේ වගේ චාරයක් නැති වෙබ් මාධ්‍ය ගොඩක් තිස්වැනිදා වනවිට මේකේ සුලමුල සොයාගත්තායැයි වාර්තා පල කරල තිබුණ...
      මම කොලම් එක ලියන වෙලාව වෙද්දී කුරේගේ කතාව කර තිබුණේ නැහැ.. එදා දවල් තමයි ඒ මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ

      Delete
  4. කුහක සමාජයට ඊරිසියාකාරී පාලකයන්....

    ReplyDelete
  5. කියන්ඩ තියනටික සහසුද්දෙන් කීම ගැන ස්තුතියි. අර පිංගුත්තර කර්නල් කෙනෙක් තමයි කුරුණෑගල අහින්සක පාසල් සිසුවියකට ජීවිතේ නැතිකරගන්න සැලැස්සුවේ. මේ පාර උන්ට තුවක්කු පිස්තෝල දීලා ඒවායින් ඉස්කෝල පාලනය කරවන්නද හදන්නේ?

    වවුනියාවේ ඇත්තම සිංහල ගම්මාන තියෙන්නේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ. වසර ගණනාවක් යුද්ධය මැද්දේ එහෙ හිටිය නිසා මම හොඳටම දන්නවා. මේ සෝබන වැඩ නිසා තමයි ජාතීන් අතර වෛරය වැඩි වෙන්නේ.

    ReplyDelete
  6. මිනිසුන් සියල්ල සමානය. එය තේරුන් ගත් දවසට අපි දිනුම්.

    ReplyDelete
  7. උඹ සිව්ම්ංසල කොළු ගැටයා වගේ මේක මෙතන දාන එක හොඳයි..... මම නම් පත්තරේ ගන්නවා සිකුරාද උදේම වරද්දන්නේ නැතිව...

    ReplyDelete
  8. මම නමි තියන්නේ ජාතිය කුමක් වුවත් ඔවුන්ට මේ රටේ ඕනම තැනක ජීවත් වෙන්න නිදහස තිබිය යුතුයි කියන එක. දකුණේ බහුතර සිංහලයන් අතර දෙමළුන්ට සහ මුස්ලිමුන්ට එසේ ජීවත්වී, ව්‍යාපාර කරගෙන ජීවත් වෙන්න අයිතිය හා නිදහස තියෙනවා. නමුත් උතුරේ සහ නැගෙනහිර ඉන්න සිංහලයන්ට ඒ නිදහස තියෙනවාද කියන එක ගැන නම් තියෙන්නේ ලොකු සැකයක්.

    ReplyDelete
  9. යම් පුද්ගලයෙක් තම ලිංගිකත්වය වෙනස් කර ගැනීමට හේතුකීපයක් බලපානවා.
    1. ජෛවීය හෝ මානසික නැඹුරුතාව. උදාහරණයක්:
    https://en.wikipedia.org/wiki/Kim_Petras

    2. සමාජයෙන් වන පෙළවීම්.
    http://news.asiaone.com/News/Latest+News/Asia/Story/A1Story20080720-77726.html

    3. නීතිමය හේතු මත. උදාහරණයක් ලෙස ඉරානය තුල සමලිංගිකත්වය තහනම් නමුත් ලිංගිකත්වය වෙනස් කර ගැනීමට රජයෙන් ආධාර පවා ලැබෙනවා.

    4. තම ගෝත්‍රයට එරෙහි වීමෙන් ආශ්වාදයක් ලැබීමේ මානසික ආබාධය නිසා. හොඳම උදාහරණය:
    http://www.dailymail.co.uk/news/article-2411152/Lucy-Vallender-Former-male-TA-soldier-UKs-transgender-Muslim-woman-MARRIED.html
    දෙමළ ජාති වාදය වෙනුවෙන් පෙනී සිටින සිංහල බෞද්ධයෙක් දුටු විටත් මට ඇතිවන්නේ ඉහත පුද්ගලයා දුටුවිට ඇතිවන හැඟීමමයි.

    මම පලාත් සභා ක්‍රමයටම විරුද්ධයි. පලාත් ආණ්ඩුකාර යන යෙදුම පවා සුදුසු එකක් නෙමෙයි. පලාත වෙනම රටක් ලෙස පැවතී පසුව ශ්‍රී ලංකා රාජ්‍යය විසින් එය ආක්‍රමණය කෙරුණු බවක් එයින් ගම්‍ය වෙනවා. කෙසේ වෙතත් මධ්‍යම පලාත් ආණ්ඩුකාර ධූරයට නිලූකා මහත්මිය පත් කිරීම ආණුඩුවේ මාධ්‍ය සංදර්ශණයක් ලෙස සැලකිය හැකියි. නිලූකා මහත්මියට ආණ්ඩුකාර ධූරයක් අවශ්‍යම නම් ඇයට බස්නාහිර ආණ්ඩුකාර ධූරය දී බස්නාහිර ආණ්ඩුකාරයා. බස්නාහිර ආණ්ඩුකාරයා මධ්‍යම පලාතට පත්කරන්න තිබුනා.
    උතුරු පලාත් ආණ්ඩුකාර ධූරයට විශ්‍රාමික හමුදා නිලධාරියෙක් පත්කිරීමට පත්කිරීමට එරෙහිව වර්ගවාදී කණ්ඩායම් විරෝධතා දැක්වීමට එරෙහි නොවන උන්, පාර්ශ්වයේ නායක හිමිවරුන්ගේ මතය ගැන ඔයතරම් උරණ මන්ද?

    ReplyDelete
  10. ලිංග භේදය පැත්තකින් තියලා ආණ්ඩුකාරධුරයට නිලූකා මහත්මිය පත්කිරීමට මමත් විරුද්ධයි.ඇත්තෙන්ම ඇයගේ පත්වීමට නගන්න ඕනේ විරෝධය මේ ලිංග ප්‍රශ්නයක් නැගීමෙන් නැති කරගත්තා.

    ReplyDelete
  11. සරලව පැහැදිළිව ලියැවුණු කාලීන ලිපියක්!

    ReplyDelete
    Replies
    1. එකම ලිපියකින් කරුණු පහක් ගැන කතා කරනවාට වඩා ලිපි 5 කින් කතා කර නම් හොඳයි කියා මට හිතෙනවා. කෙසේ වෙතත් මේ කරුණු දිගින් දිගට සාකච්චා කල යුතුයි. sudukukula.blogspot.com

      Delete
  12. දේශපාලනය නම් ජරා ජෝහොරුව ඇතුලේ එවන් ලිපි කියවීම පිලිකුක් කල මොහොතක මේ ලිපිය අහම්බෙන් කියෙව්වේ. ලංකාව තාමත් එකතැන නේද කියල තිතෙනවා මිනිස්සු තුල ආකල්පමය පරිවර්තනයක් සිදු නොවන තාක්.

    ReplyDelete

Search This Blog