Monday, June 11, 2018

දෙමළ ප්‍රශ්ණය සහ හමුදාව

මේ කර්නල්ගේ කතාව සම්පූර්ණ හමුදාවට ආදේශ කරගෙන මීඩියා සියල්ලම නටන්න යන නාඩගම් ගැන පස්සෙ පස්සේ මගේ ඔලුව ක්ලියර් වෙන්න ගත්තත්. ඒ සියල්ලට කලින් මට ආපු ඔරිජිනල් අදහස් එක්ක මට යමක් කියන්න ඕනෑ වුණා. මේක ටිකක් සුභවාදීවම මට බලන්න ඕනෑ වුණා.



රත්නප්‍රිය බන්දුගේ කතාව දුටු විගස මට මතක් වුණේ භාරතීපුරම්. දෙවැනියට කේප්පාපිලවු. තුන්වැනියට අතුරුදන් දරුවන් වෙනුවෙන් උපවාස කරන අම්මලා. හතරවැනියට මගේ මල්ලි සහ මස්සිනා.

හතරවැනියාගෙන් කතාව පටන්ගන්ඩෝනෙ. මගෙ මල්ලි. අම්මාගෙ මල්ලිගෙ පුතා. එයා හමුදාවෙ සෙබලෙක්. හමුදාවට බැඳුණෙ යුද්ධයෙන් පස්සෙ. ටිකක් නිහඬ කොල්ලෙක්. අහිංසකයෙක්. මස්සිනා කියලා කිව්වෙ නංගිගේ පෙම්වතාට. එයාත් හමුදා සෙබලෙක්. මම තවම මස්සිනා රෙස්පෙක්ට් එක තියාගෙන වචනයක් කතාකරලා නැතත් නංගි කියන විදියට අහිංසකයෙක්. හොඳ මිනිස්සු. මම හමුදාවට වෛර කරන කෙනෙක් විදියට ඇතැම්මු අඳුනගන්නවා ඇති. ඒත් මම වෛර කරන්නෙ හමුදාවට නෙවෙයි. හමුදාවට කරන්න වෙන යුද්ධ වලට. යුද්ධ වලට ප්‍රේම කරන්න තරම් උන්මත්තකභාවයක් මට නැහැ. මම ප්‍රේම කරන්නෙ සාමයට. යුද්ධය ආදරණීය, වීරත්වයෙන් පිරුණු දෙයක් විදියට වර්ණනා කරන්නත් මට ඕනෑ නැහැ. මම වර්ණනා කරන්නෙ සාමය. සාමය ගැන කතාකරන්නෙ යුද්ධවල කෙරෙන්නෙ මිනිස්සු මරාදැමීමක් වන නිසා. මිනිස්සු මරනවාට කවුද එකඟ??? හැබැයි යුද්ධවලට යන්නෙත් මිනිස්සු. මොන යුනිෆෝම් එක ඇතුලෙත් ඉන්නෙ මිනිස්සු. 









ඒක තේරුම් ගැනීමට පුලුවන් වීමයි සාමයට ඕනෑ වෙන්නෙ. අපි හැමෝටම ආදරයෙන් බැඳෙන්න ඕනෑ වෙන්නෙ. ඕනෑම යුනිෆෝම් එකක් ඇතුලෙ ඉන්නෙ මිනිස්සු කියලා තේරුම් ගැනීම. 

තුන්වැනියට මතක් වුණේ අතුරුදන්වූවන්ට සිද්ධවුණේ කුමක්දැයි සොයාදෙන්න කියා ඉල්ලමින් අඛණ්ඩ සත්‍යග්‍රහයක යෙදෙන අම්මලා, සහෝදරියන් ඇතුලේ පවුලේ අයව. දැනට දින කීයක් තිස්සේ ඒ අඛණ්ඩ සත්‍යග්‍රහය කිලිනොච්චියේ දින කීයක් තිස්සේ තියෙනවා කියලා අනුමාන කරන්න පුලුවන්ද. 

ඒ අම්මලාට ඕනෑ හමුදාව එළවන්න නෙවෙයි. හමුදාව නැති කරන්න නෙවෙයි. ඒ අම්මලාට ඕනෑ තමන්ගේ දරුවන්ට සිද්ධ වුණ දේ දැනගන්න. එපමණයි. එච්චරමයි. එතැනින් එහාට හමුදාවේ කිසිවෙක්ව විදුලි පුටුවට හෝ එල්ලුම්ගහට යවන්න ඒ කිසි අම්මෙක්ට ඕනෑ නැහැ. ඒ අම්මලා මේ මා එක්ක වචනයෙන්ම ඒ බව කියනවා. හමුදාව කොහොමද කියා ඇහුවාම ඔවුන් හමුදාවට විරුද්ධව එක වචනයක්වත් කියන්නෙ නැහැ. 'එයාලගෙන් කරදරයක් නෑ.' ඔවුන් එහෙම කියනවා. සමහරවිට ඒ හමුදාවට බයේ වෙන්නත් ඇති. 

දෙවැනියට මතක් වුණේ කේප්පාපිලවු ජනතාව. ඔවුන්ගේ ගම උඩ හමුදා කඳවුරක්. තමන්ගෙ පාරම්පරික කෝවිල්, ඉඩකඩම්, ගෙවල්, කුඹුරු තිබුණු බිම හමුදා කඳවුරකට අරගෙන ඔවුන්ට වෙනත් ඉඩමක පර්චස් ගාණට ඉඩම් කෑලි දීලා කෘත්‍රිම ගමක් නිර්මාණය කරලා දීලා. ඔවුන් ඉල්ලන්නේ තමන්ගෙ ඉඩම්. ඔවුන්ට හමුදාව සමඟ වෛරයක් නැහැ. ඔවුන්ට ඕනෑ තමන්ගෙ ඉඩම් විතරමයි. 

පළවැනියටම මතක් වුණේ භාරතීපුරම්. කිලිනොච්චි නගරයේත් තියෙන දුෂ්කරම ගම්මානයක්. එතැන අපට හමුවුණා යුද්ධය එක්කම ඉන්දියාවට ගිහින් නැවතත් ආපු පවුල් කිහිපයක්. ඉන්දියාවෙන් ලංකාවට එද්දී ඔවුන්ගේ සමහර ඉඩම් මිනිස්සු අල්ලගෙන. තවත් ඉඩම් හමුදා කඳවුරුවල. එහෙම ඉඩමක් පෙන්වන්නට අපව එක මිනිසෙක් එක්කාගෙන ගියා. ඒ ඉඩමේ තිබුණෙ හමුදා කෑම්ප් එකක ක්‍රීඩා පිටියක්. ඒ පිට්ටනියේ සෙබලෙක් හිටියා.  ඒ සෙබලා අපව එක්කාගෙන ගියා මනුස්සයාගේ නම කියලා 'ආ මාමේ කොහොමද?' කියලා කතාකළා. අර මනුස්සයාත් 'ආ, පුතා අපි ආවා මගේ ඉඩම පෙන්වලා යන්න.' කියලා සෙබලාට කිව්වා. 'ගමේ ගිහින් ආවාද?' වගේ එදිනෙදා කතාත් කතාකළා.

අර සෙබලා භාරතීපුරම් වල දෙමළ මිනිසාගේ පුතාගේ වයසේ. අපටත් තමන්ගේම දරුවන්ට වගේ කන්න බොන්න දීලා සලකලා කොළඹ එවන්නට ඒ මිනිසා පසුබට වුණේ නෑ. මම කියන්නට උත්සාහ කරන්නෙ ඒ මිනිස්සුන්ට මේ තැන්වල ඉන්න මිනිසුන් සමඟ ප්‍රශ්ණයක් නැහැ. ඔවුන් ඉල්ලන්නෙ තමන් විඳින පීඩනයෙන් නිදහස් කරලා දෙන්න කියලා. ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳලා දෙන්න කියලා. මෙතැන කෙටියෙන් විස්තර කරන්න බැරි තරම් ප්‍රශ්ණවලට ඔවුන් මුහුණදෙනවා. 




තේරුම්  ගන්න.... 

මාස ගාණකට කලින් දෙමළ මිනිස්සුන්ට සමරන්නට එපායැයි කීවෙත් යුනිෆෝම් එකක් ඇඳගත්ත මිනිස්සුන්ව. බන්දු මහත්තයාව කරේ තියාගෙන ගිය ප්‍රජාවම තමයි තමන්ගෙ ඥාතීන්ව සමරන්න උත්සාහ කළේත්. ඒකට ඉඩ නොදුන්න සමාජයක් දැන් රත්නප්‍රිය බන්දු වෙනුවෙන් වැළපෙන දෙමළ ජනතාව කරේ තියාගන්න උත්සාහ කරනවා. 

රත්නප්‍රිය බන්දුට මිනිස්සු ආදරය කළාද, නැත්නම් ඒක මාධ්‍යවලින් මවා පෑ දෙයක්ද කියන එක ගැන මම දන්නෙ නෑ. ඒක ගැන වැඩිපුර මම හොයන්න උත්සාහ කරන්නෙත් නෑ. එහෙම ආදරය කළත් නැතත් ඔය ප්‍රවෘත්තිය ෆැක්ට් එකක් විදියට පැවතුණාවේ. හමුදා සෙබළෙක්ට දෙමළ ජනතාව ආදරය කරනවාය කියන කාරණය සමාජගත වීම අපරාධයක් නෙවෙයි. ඒ වෙනුවට ඒක හරි රෝමෑන්තික, ආදරණීය ෆැක්ට් එකක්. උඩින් කිව්වා වගේ මම එහෙම අවස්ථා දැකලාත් තියෙනවා. මිනිස්සු ආදරය කරපුවාවේ. අනෙකා වෙනුවෙන් අඬපුවාවේ. 

ඕනෑම නිල ඇඳුමක් අැන්ද මිනිස්සු අතරේ ඉන්නවා හොඳ අය, නරක අය. ඒක එල්.ටී.ටී.ඊ. නිල ඇඳුමටත් පොදුයි. නිල ඇඳුම ඇන්ද පමණින් කුරිරු වෙන්නෙ නෑ. අපට එල්.ටී.ටී.ඊ.ය කුරිරුයි. දෙමළ මිනිස්සුන්ට හමුදා නිල ඇඳුම කුරිරුයි. ඒත් මේ වෙද්දී ඇතැම් දෙමළ මිනිස්සු ඒ නිල ඇඳුම් ඇතුලෙ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ව අඳුනාගෙන වෙන්න පුලුවන්. භාරතීපුරම්වලදී සෙබලා සහ වැඩිහිටි මනුස්සයා අතරෙ මම ඇස්දෙකෙන් දැක්කෙ ඒ සම්බන්ධය. දැන් රත්නප්‍රිය බන්දු සිදුවීමෙන් මාධ්‍ය හරහා දකින්නෙත් ඒ සම්බන්ධය ගැන කතාවක්.

( මේ සම්පූර්ණ සටහනෙන් සිවිල් මිනිස්සු අතරේ හමුදාව රඳවා තැබීම අනුමත කරන්න උත්සාහ කරන්නෙ නෑ. හමුදා සෙබලු, ඕනෑම වෙලාවක පත්තුවිය හැකි අවි සමඟ සිවිල් මිනිස්සු අතරේ නොතබන්නට හේතු ගොඩක් තියෙනවා. ආයුධ සහ අවි පුහුණුවක් එක්ක ඉන්නේ මිනිස්සු. කලින් කිව්වා වගේම මිනිස්සු අතරේ දෙවිවරුන් ඉන්නවා. ඒ වගේම මිනිස්සු අතර තිරිසනුන් ඉන්නවා. හොඳ මිනිස්සු අතරින් නරක දේවල් වගේම නරක මිනිස්සු අතින් හොඳ දේවල් වෙන්නත් පුලුවන්. එහෙම නරක දෙයක් වෙන වෙලාවක අවියක්, යුධ පුහුණුවක් උදව් වෙන්නෙ තත්වය තව තවත් නරක කරන්න. වැරැද්ද තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ නෙවෙයි. ආයුධ වල. ඒ නිසා හමුදාව වෙනුවට පොලීසිය වගේ සිවිල් ආයතන මිනිස්සුන් අතරට යැවීම වැදගත්. )





-  උඩුවා

10 comments:

  1. මමත් යුද්දෙට කැමති නෑ.දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු වගේම සිංහල මිනිස්සුත් එක්ක තමයි රස්සාව කරන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු අතරෙ නෙමෙයි. පාලකයො අතරේ. මේ දකුණු ආසියාතික මිනිස්සු උපතින්ම ආවේගශීලීයි. උසිගන්වන්න ලේසියි. කවුරු මොන නිර්වචන දෙන්න හැදුවත් හමුදාව යුද්ධ කළේ ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක. ඒ ත්‍රස්තවාදියෝ මරපු අහිංසක මිනිස්සු ගැන කාටවත් මතක නෑ. ඒ මිනිස්සු වෙනුවෙන් සැමරුම් නෑ. අඩුම තරමේ හමුදාවේ මැරිච්ච මිනිස්සුන්වවත් ජාතික මට්ටමෙන් සමරන්න දුන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ නෑ 'කාටවත් මතක නෑ' කියලා. ඕක ඇත්තටම ලංකාවෙ සිංහල ජනතාව ගැන කුහක කතාවක්. ඒ මිනිස්සු මතක තියාගන්නෙම ඒ ගැන. ඇත්තටම ඒක ටිකක් ඕවර්......

      දෙමළ මිනිස්සු කතාකරන්නෙත් 'අහිංසක මිනිස්සු' ගැන තමයි.

      මම පෙන්වන්න යන්නෙ සිංහල මිනිස්සු කතාකරන්න 'අකැමති' ඒ පැත්ත ගැන.

      මම ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ අහිංසක සිංහල ජනතාව මැරුණු බව. ඒත් මම පෙන්වලා දෙනවා අහිංසක දෙමළ මිනිස්සු මැරුණු බව.

      Delete
    2. ‍යුද්ධය නිසා දුක් විඳපු සිංහල මිනිස්සු ගැන දෙමළෙන් ලියවුනු ලිපියක් හොයලා පරිවර්තනයක් එක්ක දාන්න. ඊට පස්සෙ අපි ඔය කුහක කම ගැන කතා කරමු. ප්‍රශ්නෙ තියෙන්නෙ මහ ජාතියට බණින්න ලේසි උනු පලියට බැණලා වැඩක් නෑ

      Delete
  2. කර්නල් රත්නප්‍රිය බන්දු ව එහෙන් යවන්න එපා කියන ඉල්ලිමෙම තියනවනේ කට ඇරලා නොකියන ඔහු පමණයි එවැනි සේවාවක් සැපයුවේ කියන කතාවත්.

    ReplyDelete
  3. අපේ ගමේ ඉන්නවා සාගරිකා කියලා ගෑණු ලමයෙක් එයාගේ තාත්තා කරවල වෙලෙන්දෙක්.
    1985 දී මන්නාරමේදී එයා වෙලඳාමට යද්දී දෙමළ පිරිසක් එයයි තව 4 දෙනෙකුයි කැලෑවකට ගෙන ගිහින් ඉන්පසු ඒ පස්දෙනා ගැන කිසිම ආරංචියක් ලැබිලා නෑ.
    ඒ පවුල තාත්තා නැතුව ගොඩක් දුක් වින්දා.

    උඩුවෝ උඹ තාම රාවය පත්තරේ වැඩ කරනවා නම් රාවය පත්තරේ‍ට දෙමළ පිටුවක් එක්කරලා ඔයවගේ දේවල් ගැනත් ලියපන්.

    ReplyDelete
  4. මමත් යුද්ධ කරන එකට ( ඇත්ත යුද්ධ වලට ) කැමති නෑ...

    ඒත් මතක් කර ගන්ටකෝ මොන පදනමකින් වුණත් යුද්ධය පටන් ගත්තේ කවුද කියන එක...

    ReplyDelete
  5. උඩුවෝ උඹ කේප්පාපිලවු,භාරතීපුරම් වගේ පැත්තක ප්‍රාදේශීය සභාවක චන්දේ ඉල්ලපන්.
    සල්ලි නැත්නම් ගම්මන්පිල මහතත්යා වගේ දෙමළ අයගෙන් රුපියල් 100 බැගින් සල්ලි ඉල්පන්.
    දෙමෙල්ලු ඔයාට චන්දේ දෙයි.
    ඊට පස්සේ ජනතා නියෝජිතයෙක් හැටියට ඒ මිනිස්සු වෙනුවෙන් අරගල කරපන්.

    ReplyDelete
  6. //රත්නප්‍රිය බන්දුට මිනිස්සු ආදරය කළාද, නැත්නම් ඒක මාධ්‍යවලින් මවා පෑ දෙයක්ද කියන එක ගැන මම දන්නෙ නෑ. ඒක ගැන වැඩිපුර මම හොයන්න උත්සාහ කරන්නෙත් නෑ//

    මේකට නේද කුහක කම කියන්නේ ?

    ReplyDelete
  7. යුද්ධය අපි හැමෝටම අනවශ්‍ය දෙයක්. නමුත් යුද්ධය කියන්නෙම් පැවතීම සඳහා අතකොලුවක්.

    ReplyDelete
  8. I’d have to test with you here. Which is not something I usually do! I get pleasure from studying a put up that may make individuals think. Also, thanks for allowing me to comment! casino blackjack

    ReplyDelete