Monday, June 25, 2018

තායිලන්තයේ ළමා ලිංගික ශ්‍රමිකයන්

තායිලන්තය. බොහෝ දේවල්වලට යහපත් නාමය දිනාගනිද්දී ලෝකයේ වැඩිම ළමා ලිිංගික ශ්‍රමිකයන් සිටින රටක් ලෙස නරක නාමය දිනාගත් රට. ලිංගික සේවාවන් සැපයීම සඳහා දරුවන්ව ජාවාරම් කිරිම පිළිබඳව මෙන්ම ළමා ලිංගික ශ්‍රමිකයන් සඳහා සංචාරක ආකර්ශණයක්ද තායිලන්තයට තියෙනවා. තායිලන්තයට සමීප රටවල් කිහිපයකින්ම තායිලන්තයට දරුවන්ව රැගෙන එන්නෙ මේ ව්‍යාපාරය සඳහා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින් ලෙස සලකන්නේ වයස අවුරුදු 18ට අඩු පුරවැසියන්ව. ළමයෙක්ව ලිංගික ශ්‍රමිකයෙකු ලෙස යොදාගැනීමෙන් මානසික සංකූලතා, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, සමාජ රෝග වැළඳීම, දරුවන් අපරාධවලට යොමුවීම, ළමා ගැබිණියන් මෙන්ම මරණය වැනි භයානක ප්‍රථිපල රැසකට මඟ විවෘත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙනවා. මේ සටහනින් අප කතාකරන්නේ එවැනි භයානක මාතෘකාවක් ගැනයි.



තායිලන්තය




එක් කළෙක ළමා ලිංගික ශ්‍රමිකයන් 80 000කට වඩා තායිලන්තයේ ක්‍රියාකාරීව සිටි බව නිල වාර්තා කියද්දී ඇතැම් මාධ්‍ය පවසන ආකාරයට නොනිල දත්ත අනුව මේ සංඛ්‍යාව ලක්ෂ ගණනක් දක්වා වැඩි වෙනවා. කොහොම වුණත් මේ වෙද්දී ලෝකයම තායිලන්තයේ මේ සමාජ ප්‍රශ්ණය ගැන කතාකරන නිසා වසර ගණනාවකට පෙර සිටියාට වඩා ලිංගික ශ්‍රමික දරුවන් ප්‍රමාණය අඩු වී ඇති බව කියනවා. එසේ වුණත් මේ මොහොතේ පවා එක් තැනක් වැසෙද්දි තවත් තැනක් විවෘත වෙන තරමට මේ සේවාව තායිලන්තයේ ශක්තිමත් ලෙස පවතිනවා. 1993 දී පමණ කරන ලද සංගණනයකින් හෙළිවී ඇත්තේ මේ ළමා ලිංගික ශ්‍රමිකයන් අතරින් තුනෙන් එකකට ඒඩ්ස් වැනි සමාජ රෝග ඇති බවයි.


තායිලන්තයේ සම්ප්‍රදායිකව ලිංගික සේවාවන් පැවත එනවා. ක්‍රිස්තු වර්ෂ 14 වැනි සියවස පමණ අතීතයේ පටන් පැමිණි මේ සම්ප්‍රදාය රජයේ පිළිගැනීම ලත් බදු අයකෙරෙන සේවාවක් වුණා. එවැනි පසුබිමක තායිලන්තයට එදිනෙදා ළමා ලිංගික ශ්‍රමිකයන් සාමාන්‍ය දෙයක් වුණා. පසුකාලීනව එයට එරෙහිව නීති පැමිණියත්, වියට්නාම් යුධ සමය වගේ කාලයක තායිලන්තයට පැමිණි විදේශිකයන් වෙනුවෙන් පුළුල් ලිිංගික සේවා ලබාදෙන තැනක් බවට තායිලන්තය පත්ව තිබුණු බව කියනවා. එහි ප්‍රථිපලයක් ලෙස අද දක්වා සමාජයෙන් තුරන් කළ නොහැකි පිළිලයක් ලෙස ළමා ලිංගික වහල් සේවය පවතිනවා.

ජාවාරම

කිසිම දරුවෙක් ලිංගික ශ්‍රමිකයෙක් බවට කැමැත්තෙන් පත්වෙන්නේ නැහැ. ඇතැම් අය ළමා අපචාරයන්ගේ ප්‍රථිපලයන්. තවත් අය මාපියන් විසින් අලෙවි කළ දරුවන්. නැතිනම් පැහැරගත් අය හෝ අනාථ වූ අය. ඇතැම් පුද්ගලයන් දරුවන්ව ලබාගැනීම වෙනුවෙන් මාපියන්ට නිවාස තනා දෙනවා.

බොහෝ දැරියන්ව මාපියන් විසින් අලෙවි කරන්නේ මුදල් සඳහා. එසේ අලෙවි කිරීම නිසා ලිංගික අපචාර චෝදනා මත දඬුවමට ලක්වූ මව්වරුන් බොහොමයක් හිටියත් මේ තත්වය අඩු වෙන්නේ නැහැ. තවත් තැන්වල ණය ලබාගන්නා මාපියන්ට ණය ගෙවාගත නොහැකි වූ විට දරුවන්ව රැගෙන ගිය අවස්ථාද තියෙනවා.





තායිලන්තයේ ළමා ශ්‍රමිකයන් අතර වාර්ගික සුළුතරයන්ට අයත් බොහෝ දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම ගෝත්‍රික සම්භවයක් ඇති දිළිඳු, ගැමි ජනකොටස්වලට අයිති දැරියන් මේ ඛේදවාචකයට මුහුණදෙනවා. ඇතැම් සිදුවීම්වලදී එවැනි මාපියන් දරුවන්ව විකුණා ඇත්තේ ඩොලර් 40 වැනි ඉතා පුංචි මිලකට. ඇතැම් අය කියන්නේ රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගත හැකි මිලට දරුවන්ව අලෙවි කළ අවස්ථා ඇතැයි කියනවා. වොෂින්ටන් පෝස්ට් වරක් වාර්තා කළේ රූපවාහිනී යන්ත්‍රයක් ගෙවන ක්‍රමයට මිලදී ගත් මාපිය යුවළකට ණය ගෙවාගත නොහැකි වූ විට ළමා ශ්‍රමිකයන්ව මිලට ගන්නා අයෙක් පැමිණ ටෙලිවිෂනයේ මිල මෙන් තෙගුණයක් පමණ ගෙවා දියණියව මිලට ගන්නට සූදානම් වූ බවයි. ණය ලබාදෙන්නන් හරහා ණයකරුවන්ගේ තොරතුරු ලබාගෙන, ඒ අතරින් දරුවන් සිටින මාපියන් සොයා යන්නට මේ ජාවාරම්කරුවන් දක්ෂ බව මෙවැනි සිදුවීම් රැසකින් තහවුරු වෙනවා.

මී චූ 1993 දී 12 හැවිරිදි දැරියක්. ඇගේ සුළු පියා මත්ද්‍රව්‍ය ඇබ්බැහියට ලක් වූ අයෙක්. ඔහු ඇයව ඩොලර් 192කට අලෙවි කරනවා. ගෝත්‍රික සම්භවයක් ඇති පවුලකට අයත් මේ කුඩා දැරිය චියනග් රායි නම් නගරයෙහි ලිංගික සේවා සපයන ස්ථානයකට බඳවා ගන්නවා. ඇයට පළමු දිනයේම පිරිමින් තුන්දෙනෙක්ට අලෙවි කර ඇතැයි වොෂින්ටන් පෝස්ට් වාර්තා කරනවා.

එසේ ගෙන එන දරු දැරියන් ලිංගික සේවා සපයන මධ්‍යස්ථානවල වැඩිහිටි ලිංගික ශ්‍රමිකයන් අතර තබනවා. ඔවුන්ව දිනකට කිහිප වතාවක් මිලදී ගැනෙන බව කියනවා. එලෙස මිලදී ගන්නා දරු දැරියන්ව බරපතල අපචාරයන්ට ලක් කෙරෙනවා. නැවත නැවතත් අපචාරයට ලක්වෙන මේ දරුවන්ට එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. වතාවක් තායිලන්තයේ එක් ලිංගික ශ්‍රමික දැරියන් සිටින ස්ථානයක් පොලීසිය වටලද්දී දැරියක් සිටි කාමරයකට පොලිස් නිලධාරියෙක් ඇතුළුවෙනවා. වෙනසක් නොපෙන්වූ දැරිය ලිංගික සේවය ලබාදීමට සූදානම් වී ඇත්තේ ‘තව කෙනෙක් ඇවිත්’ යැයි කියමින්.


Phuket නගරයෙහි එක් 15 හැවිරිදි දැරියක්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයට වඩා බාල තවත් දැරියන් දෙදෙනෙක්ව ලිංගික සේවයේ යෙදවීමේ චෝදනාව පිට. තායිලන්තයේ ළමා ලිංගික ශ්‍රමිකයන්ගේ කතාව බොහොවිට සිටි ඔෆ් ගෝඩ්ස්හි ළමා පාතාල නායකයන්ගේ කතාවට සමාන බව එවැනි සිදුවීම්වලින් පෙනෙනවා.

සංචාරකයන්

සියල්ලන්ගේ චෝදනා තායිලන්තය දෙසට එල්ලවුණත් තායිලන්තයේ ළමා ලිංගික ශ්‍රමිකයන් මේ තරම් සිටින්නට ප්‍රධාන හේතුවක් වන්නේ එරටට පැමිණෙන සංචාරකයන්. තායිලන්තයට මේ අවශ්‍යතාවය සඳහාම පැමිණෙන, ඒ වෙනුවෙන් ඉහළ මිලක් ගෙවීමට සූදානම් සංචාරකයන් බොහෝයි. ඒ හරහා සමාජ පිළිලයක් වූ මේ කර්මාන්තයට විශාල ආදායමක් පැමිණෙනවා. ඒ ආදායම නිසා මේ කර්මාන්තය වක්‍රාකාරව ආරක්ෂා කරන්නට රටේ බලය හිමි පුද්ගලයන් පවා පෙළඹෙන බව මානව හිමිකම් ඇස සංවිධානය පවා චෝදනා කර තියෙනවා. මෙය මහා පරිමාණ ජාවාරමක් බවට පත්වෙද්දී එය මර්ධනය කිරීම ඉතා අපහසු කටයුත්තක් වෙනවා. ඉතින්, බොහෝ දරුවන්ගේ ඛේදාන්ත කතාන්දර අනාගතයටත් පවතීවි.


සුඛාන්ත කිහිපයක්

ඛේදාන්ත බොහොමයක් මැද සුඛාන්ත කිහිපයක් පෙන්වාදීම හිතට සහනයක් එක් කරනු ඇති.

සැමී කියන්නේ 17 හැවිරිදි තරුණියක්. ඇය අවන්හලක රැකියාවක යෙදෙනවා. ඇය මේ වෙද්දී සතුටින් ජීවත්වෙනවා. නටායා කියන්නේ හිසකෙස් සකසන්නියක්. ෆොන් කියන්නේ නූඩ්ල්ස් අවන්හලක හිමිකාරියක්. මේ තිදෙනාම කලෙක ළමා ලිංගික ශ්‍රමිකයන් ලෙස පීඩාකාරී ජීවිතයක් ගත කළා. Destiny Rescue නම් ළමා ලිංගික ශ්‍රමික සේවයට එරෙහි සංවිධානය හරහා ඔවුන්ව ගලවාගෙන සාමාන්‍ය ජීවිත අත්පත් කරදෙන්නට මැදිහත් වුණා. දුක්බර කතා බොහොමයක් මැද සතුටුදායක කතා දහස් ගණන් ලියන්නට මෙවැනි සංවිධාන සමත් වෙලා තියෙනවා.




Destiny Rescue සංවිධානය ටෝනි කිර්වාන් විසින් ආරම්භ කළ එකක්. ඔහු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන්නෙක්. තායිලන්තයේ කළක් සේවය කරන ඔහුට දැනගන්නට ලැබෙන්නේ ඇමෙරිකානු සංචාරකයෙක්ට බැංකොක් වලදී ඩොලර් 400කට දරුවෙක්ව අලෙවි කරන්නට යෝජනා කළ කතාවක්. එසේ මිලදී ගන්නා දරුවාට ඕනෑම දෙයක් කිරීමේ අයිතිය මිලදී ගන්නා කෙනාට ලැබෙන බව ඔහු දැනගන්නවා. ඒ කතාව ඔහුව දැඩි ලෙස කම්පනය කරනවා. තමන් කුමක් හෝ කළ යුතු බව සිතන ඔහු ලාභ නොලබන සංවිධානයක් වන Destiny Rescue සංවිධානය ආරම්භ කරනවා. මේ වෙද්දී පූර්ණකාලීනයන් 200ක් පමණ සේවය කරන මේ සංවිධානය විසින් තායිලන්තය, කොලම්බියාව, ලාඕස්, පිලිපීනය, ඉන්දියාව සහ ඩොමීනියන් ජනරජයේ ළමා ශ්‍රමිකයන්ව ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

අපි රැම්බෝ වගේ ළමා ශ්‍රමිකයන් සිටින තැන්වලට ගිහින් දොරවල්වලට පයින් ගහලා, බිත්ති කඩලා, ඉන්න අයට පහරදීලා ළමයින්ව අරගෙන එන්නේ නැහැ. අපි ඉතාම සියුම් ලෙස ඒ තැන්වල සිටින දරුවන්ට සමීප වී ඔවුන්ගේ කැමැත්ත මත ඔවුන්ව රැගෙන එනවා. එසේ නොවුණොත් අපිත් කරන්නේ පැහැරගැනීමක්. එසේ නිදහස් කරගන්නා දරුවන්ව සමාජයට සූදානම් කිරීම ඉතාම හෙමින් කෙරෙන, ඉතා සියුම් කටයුත්තක්. මේ දරුවන්ගේ මනස ක්‍රමයෙන් සාමාන්‍ය ජීවිත සඳහා සූදානම් කරනවා.

මෙවැනි සංවිධාන මෙන්ම අවංකව නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන්ද මේ සමාජ පිළිලයෙන් තායිලන්තය මුදාගන්නට උත්සාහ කරනවා. එහෙත් මේ තරම් දියුණු ලෝකයක වුව ‘අපාය’ ඇති බව පෙන්වන තවත් ජීවමාන සාක්ෂියක් ලෙස තායිලන්තයේ ‘ළමා ලිංගික ශ්‍රමික සේවය’ පවතිනවා.

6 comments:

  1. වටිනා සටහනක්.....බොහොම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ගොඩවැදුණාට ස්දූදී

      Delete
  2. අපේ රටෙත් තැතුවාම නෙමෙයි බං.

    ReplyDelete
    Replies
    1. බරපතල විදියට තියෙනවා. ඒ ගැන ඉස්සරහට ලියන්න ඕනෑ.

      Delete
  3. අද මම කතා කළා අවුරුදු 15ක දැරියක් එක්ක.ඇය දැන් ගැබිණියක්. මාමගේ පුතා අතින් අපයෝජනය වෙච්ච ඇය ළමයෙක් බිහි කිරීම ගැන කිසිඳු අවබෝධයකින් නෙමෙයි ඉන්නේ. ළමයින් ගැන මේ වගේ කතා අහද්දි සමාජය ගැන පුදුම කළකිරීමක් ඇති වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අසහනය පිට කරගන්න ඉඩක් නැති සමාජයක්නෙ

      Delete