Sunday, May 31, 2015

විජයකලාගෙන් නෙවෙයි මහින්දලාගෙන් ඇත්ත අහන්න

දෙමළ දේශපාලඥයන් ගැන අපුලක් මටද ඇත. ඒ යම් තරමකට හෝ උතුරේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටින නිසා දකුණෙන් එන විරෝධය වැන්නක් නොවේ. ප්‍රශ්ණවලට පෙනී සිටින ව්‍යාජ ස්වභාවය නිසා දෙමළ ඡන්දදායකයන්ගෙන් එන විරෝධය වැන්නකි.
 

විජයකලා මහේෂ්වරන් පිළිබඳවද ඒ විවේචනය මට ඇත. එහෙත් සිරසට ඇයව ගෙන්වා ප්‍රශ්ණ කර දකුණේ සමාජය ගත් ආතල් එක නම් අප්සට් ය.
 

විජයකලා මහේෂ්වරන් එල්ටීටීඊය යටතේ තිබූ ආරක්ෂාව ගැන කතා කළ මුත් එහි ප්‍රචණ්ඩකාරී කෘර ස්වභාවය ප්‍රතික්ෂේප කිරීම ගැටලුවක් බව හැබෑ ය. එහෙත් එල්ටීටීඊය යනු යම්කිසි විමුක්තිකාමී අරමුණක් වෙනුවෙන් කැරලි ගැසූ සංවිධානයකි. ඒ තුළ ආරක්ෂා කළ දැඩි විනය මෙන්ම ආරක්ෂා කළ සංස්කෘතික වටිනාකම් හේතුවෙන් ස්ත්‍රී දූෂනය බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් වන්නට ඇත. (ස්ත්‍රී දූෂණ එකක්වත් නොවූ බව එයින් නොකියැවේ. ස්ත්‍රී දූෂණයට බරපතල වැටකඩොලු තිබෙන්නට ඇත)
 

විජයකලාගේ අදහස් සියල්ල සමඟ එකඟ නැති මුත් සිංහල සමාජය විසින් ඇයව චූදිතයා කිරීමට නම් එකඟ වන්නට බැරිය. උතුරේ මිනිසුන් දකුණේ හමුදාව ගෙනයන පාලනයට වඩා එල්ටීටීඊ පාලනයට සාපේක්ෂ කැමැත්තක් ඇක්වූ බව පිළිගත යුතුමය. උතුරේ දේශපාලඥයන්ගෙන් කියැවෙන්නේ එයයි.  

සිංහල වැඩසටහනක විජයකලාගේ හෘදය සාක්ෂිය ප්‍රශ්ණ කොට ඇත්ත කතා කරන්න ඇමතිතුමිය ඇත්ත පිළිගන්න කියමින් බලකරද්දී මට සිතෙන්නේ සිංහල දේශපාලඥයන්ගේ හෘදය සාක්ෂිය කොයිතරම් බරපතල ලෙස ප්‍රශ්ණ කරන්නට දෙමළ මිනිසුන්ට අයිතියක් තිබෙන්නේද යන්නයි.

සිංහල දේශපාලන නායකත්වය යුද්ධය සහ දෙමළ මිනිසුන්ගේ අයිතීන් සම්බන්ධයෙන් කෙතරම් බොරු කියන්නේද? ඇත්ත කතාකරන්න යැයි කිව යුත්තේ කාටද? විජයකලාටද? ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි බොරු කියන මහින්ද, මෛත්‍රීපාල වැනි දේශපාලන නායකයන්ටද?

චන්දන ඉන්පසුව කියන්නට හදන බයිලාව නම් කොහෙත්ම පිලීගත නොහැකිය. යුද්ධයේ මානසික බලපෑම නිසා උතුරේ ස්ත්‍රීදූෂණ සිදුවන බව පිළිගන්නේදැයි ඔහු අසයි. යුද්ධයපැවති කාලයට වඩා යුද්ධයෙන් පසුව ස්ත්‍රී දූෂණ වැඩි විය. කහවත්තේ ස්ත්‍රී දූෂණ සිදුවුණද යුද්ධය තිබුණේ නැත. යුද්ධයේ බලපෑමක් ස්ත්‍රී දූෂණ වලට තිබුණද එයට වගකිවයුත්තේ කැරලිගැසූ දෙමළ මිනිසුන් නොවේ. ඒ මිනිසුන්ව කැරලි ගසන තත්වයට පත්කල අවස්ථාවාදීන්ය.


 

දේශපාලඥයන් ගැන කිව යුත්තේ හැමදාම කියන කතාවය. මේ දෙපැත්තේම දේශපාලඥයන්ගෙන් ගැලවුණු දාට අපට ජාතියක් ලෙස එක්සත් විය හැකි බවය.
ළමා සොල්දාදුවන් ගැන අසන්නට ලැබුණු තවත් මෙතැන කතාවක් ලියා තබමි. ඒ පසුගිය සෙනසුරාදා ඇසුණු දෙයකි. ඉදිරියේ තවත් පැහැදිලිව මේ ගැන කියන්නට හැකිවනු ඇත.
 

'සිංහල හමුදා වලත් ළමා සොල්දාදුවන් හිටියා..'

Thursday, May 28, 2015

මනෝ ගනේෂන්ගේ රින්ගින් ටෝන් එක




මනෝ ගනේෂන් මහතාගේ නම ගෑවුණද මේ ලියන්නට සූදානම් වන්නේ දේශපාලනය ගැන සටහනක් නොවේ. දේශපාලනය අතරතුර ආ වෙනත් අදහසක් ගැන සටහනකි. ඒ ඊයේ මනෝ ගනේෂන් මහතාට දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවක ඔහුගේ කෝලර් ටියුන් එක ඇසෙද්දී ආ අදහස් පෙලකි.
උත්තරා උනික්‍රිෂ්ණන්

ඔහු ටෝන් එකලෙස යොදා ගෙන තිබුණේ උත්තරා උනික්‍රිෂ්ණන්ගේ (Uthara Unnikrishnan) අලග (Azhagu - Beautiful) නමැති ගීතයේ සංගීතයයි. එය පසුගිය වසරේ තිරගත වූ සෛවම් චිත්‍රපටියේ එන ගීතයකි.

සත්‍යජිත් මාඉටිපේ පසුගිය දිනෙක මෙම ගීතය සහ උත්තරා ගැන ලියැවුණු ලිපි කිහිපයක්ම ෆේස්බුක් වෙත හුවමාරු කර තිබුණි. මේ ගීතය වෙත මගේ වැඩි අවධානයක් යොමු වුණේ එතැනින්ය.
ගීතය ගයන උත්තරා අවුරුදු දහයක දැරියකි. ඈ මෙම ගීතය වෙනුවෙන් ඉන්දියාවේ ගෞරවණීයම සිනමා සම්මාන උළෙල වන ඉන්දීය ජාතික සම්මාන උළෙලේ හොඳම ගායනය සඳහා සම්මානය දිනා ගත්තාය. ඒ එම සම්මානය දිනාගත් ළාබාලතමයා ලෙසය. ඒ ශ්‍රෙයා ගෝෂාල් වැනි දක්ෂ ගායිකාවන් රැසක් පසු කරමින් ය. 
ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි අතින් සම්මානය ගත් මොහොත
උත්තරා යනු ගායක පී. උනික්‍රිෂ්ණන්ගේ දියණියයි. ඔහුද ගායනය වෙනුවෙන් ඉන්දීය ජාතික සිනමා සම්මානය දිනූ පුද්ගලයෙකි.
අලගු ගීතයේ සංගීතය ප්‍රකාශ් කුමාර්ගෙන් ය. පද රචනය මුත්තුකුමාර්ගෙනි. ඔහු මෙම සම්මාන උළෙලේම හොඳම පද රචනය වෙනුවෙන් සම්මානය දිනා ගත්තේ ය.
සටහන ලීවේ ඒවා කියන්නට නොවේ. උත්තරා නමැති පුංචි දිව්‍යාංගනාවගේ ගායනය ගැන කියන්නටය. එය සැබැවින්ම දිව්‍ය ගායනාවක් වැනිය.  සෛවම් චිත්‍රපටියද බලන්නට වටින රසවත් චිත්‍රපටියකි.
සිංදුව තනිව නිහඬව අසන්න. කුඩා දැරිය දකින සුන්දරත්වය භාෂාව දන්නා අයටද නොදන්නා අයටද දැනෙන්නට ගයන ආකාරය. (අලග කියන්නේ සුන්දරත්වයට, ගීතය කියන්නේ සුන්දරත්වය ගැන) දැන් ලංකාවේ බිහිවන තරුණ ගායක ගායිකාවන්ටවත් මේතරම් පරිණත විදියට ගයන්න බැරි බව සිතේ. ලංකාවේ ළමා ගීත සාහිත්‍යය බිංදුවටම වැටී ඇති නිසා ඒ ගැන නම් කතා කර පලක් නැත.
කොරන්නට දෙයක් නැති නිසා අප ඉන්දීය නිර්මාණ වත් රස විඳිමු.

ගීතය මෙතනින් අහන්න

Wednesday, May 27, 2015

රනිලුත් ගාණට වැඩියි...


ජනවාරි අට මහින්දව පරදවන්න වුණේ මහින්ද හොඳ නැති නිසා ය. එදා මහින්ද පැරදවූයේ යූඇන්පීය හෝ රනිල් විසින් නොවේ. මහජනතාව විසින් ය. හැබැයි එදා දින්නේ මහජනතාව නොවේ රනිල් ප්‍රමුඛ එජාපයයි. මහජනතාවගේ ජයග්‍රහණය තියෙන්නේ ගොඩක් ඈතින් ය.
මහින්ද නරක වූ පමණින් රනිල් හොඳ වන්නේ නැත. සාපේක්ෂ ය. යහපාලනයෙන් පසු කේතුමතිය පහළ නොවන බව අපි දැන සිටියෙමු. සරලව කිව්වොත් රාජපක්ෂ රෙජීමය ඉතා නරක වන අතර එජාප ආණ්ඩුව නරක ය.
අපි ඉතා නරක තැනින් නරක තැනට පැමිණ ඇති අතර අපට දැන් තියෙන අභියෝගය ඉතා නරක අය නැවතත් බලයට ඒමට ගන්නා උත්සාහයයි.

වාසුගේ පකයා සිද්ධියෙන් මේ තත්වය කියැවිය හැකිය.

පාර්ලිමේන්තුවේදී වචන භාවිතයේදී සහ හැසිරීමේදී ගෞරවණීය තත්වයෙන් හැසිරිය යුතු ය්‍වාසු කුණුහරුප කියමින් පාර්ලිමේන්තුව පහත් තත්වයට දමමින් ඉතා නරක ලෙස හැසිරුණේය. ආයේ සාහිත්‍ය පොත් පෙරලමින් කෙස් පැලෙන තර්ක ගෙනෙන්නට අවශ්‍ය නැත. වාසු කීවේ කුණුහරුපයකි. කුණුහරුප කීම ඉතා නරකයි.

හැබැයි එතැනදී රනිල් කළේ නරක වැඩකි.

අගමැතිකම ඔළුවට ගත්ත රනිල්ගේ පසුගිය දිනවල ඇතැම් හැසිරීම් නරක ය. පාර්ලිමේන්තුවේ පොයින්ට් ඔෆ් ඕඩර් මතනැඟී සිටිමින් පාර්ලමේන්තු මන්ත්‍රීවරයෙකු කතා කරන්නට නැඟිටන විට ඉඳගන්නවා අයිසේ කියමින් නියෝග කරන්නට රනිල්ට අයිතියක් නැත. (වට්ටක්කා ගෙඩියක් වගේ, රැවුළ කපලා එන්න වගේ කතා කෝට් ඇඳලා තමන් මහත්මා දේශපාලඥයෝ කියාගන්න රනිල්ලාට ගැලපෙන්නේ නෑ) මීට පෙරද විපක්ෂ නායකවරයාටද ඉඳගන්නවා ඕයි, ජනාධිපතිට කියලා ටොක්කක් දෙනවා කියා තිබුණි.
රනිල්ගේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඕනෑතරම් අපි අසා ඇත්තෙමු. රනිල් මහ බැංකු අධිපතිවරයාව ආරක්ෂා කරන්නට ගන්නා අසාමාන්‍ය උත්සාහය ද සුදුසු නැත. විසිවෙනි සංශෝධනය පරක්කු වෙන්නේත් රනිල්ලාගේ වුවමනාව නිසා ය. (හරිනම් ජනවාරි අටවෙනිදා ඉඳන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කරන වැඩේ පටන් ගන්න තිබුණා)
මේ කතා මහින්ද වෙනුවෙන් කියන කතා නොවේ. මහින්දට වඩා නම් මේ ආණ්ඩුව හොඳ ය. අපි ඉතා නරක අයට ප්‍රතික්ෂේප කරමින්ම දැන් කේතුමතිය පහල වී නැතැයි අවබෝධයෙන් යුතුව ඉදිරියට ගමන් කළ යුතුය. දැන් ආණ්ඩුවේ වැරදි විවේචනය කළ යුත්තේ ඒ පදනමින් ය.

Monday, May 25, 2015

තාම බැලුවෙ නැද්ද? නෝ ෆයර් සෝන්.....




පාසල් දැරිය දූෂණය කොට ඝාතනය වීමත් එක්කම ඇතිවූ මනුෂ්‍යත්වය පිළිබඳ වරදකාරී හැඟීමක් සමඟ යුධ මුක්ත කලාපය (නෝ ෆයර් සෝන්) වාර්තා චිත්‍රපටය මට සිහිවිය. ටික කලකට පෙර මනස කැලඹවූ... මනස වරදකාරී හැඟීම් වලින් පුරවාලූ රූප පෙළ නැවත නැරඹීමට සිත්විය. (මේ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. )


නෝ ෆයර් සෝන් වාර්තා චිත්‍රපටය හෙවත් කැලම් මැක්රේගේ චැනල් ෆෝ වීඩියෝව ගැන හැමෝම දන්නවා ඇතැයි සිතමි. රාජපක්ෂලාවද ඒ නිසා ලංකාවද අන්තර්ජාතිකව වඩාත් අපකීර්තියට පත් වූයේ මේ වීඩියෝව නිසා ය. මේ නිසාම කැලම් මැක්රේ බොහෝ සිංහලයන්ගේ වෛරයට බඳුන් විය.

 

කැලම් මැක්රේලා නෝ ෆයර් සෝන් කළේ හිතේ වෛරය පුරවා ගෙන සිංහලයෝ සිතති. බොහෝ දෙනා එසේ සිතන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව රාජපක්ෂලා විසින් පතුරන ලද මතවාදයන් නිසාය.


යුධ මුක්ත කලාපය - ශ්‍රී ලංකාවේ ඝාතක භූමි වාර්තා චිත්‍රපටිය නැරඹීම අපට අකැපද? තහනම්ද? ( එහෙම වෙන්නේ කොහොමද? ) චිත්‍රපටය නොබලා කැලම් මැක්රේටත් චිත්‍රපටයටත් උප්පැන්න දෙන්නේ කෙසේද? තවමත් බැලුවේ නැත්නම් බලන්නට ඇරයුම් කරමි. දැන් එය සිංහලට හඬකවා ඇත.

මෙම වාර්තා චිත්‍රපටිය කොටින්ට පක්ෂව නිර්මාණය කර ඇතැයි රාජපක්ෂලා තීරණය කළහ. එය එසේදැයි සොයා බැලීමට අපට අවස්ථාව අහිමි කර කළේය. ( ඉතින් කොටින්ට පක්ෂ වුණත් බලන්න තහනම් කරන්නේ ඇයි? අපි බැලුවොත් මොකක්හරි හෙළිදරව් වෙයි කියල බය නිසාද? කවුරුත් කියන නිසා නොබල ඉන්නේ මොකද? ) එය නැරඹූ අප දකින සත්‍යය නම් එය කොටින්ට වත් හමුදාවට වත් නොව මිනිසුන්ට පක්ෂව නිර්මාණය කළ එකක් බවය. යුද්ධයකට මැදි වූ අහිංසක මිනිසුන්ටත් ඔවුන්ගේ අයිතීන් වලටත් පක්ෂව නිර්මාණය කළ එකක් බවය.

වාර්තා චිත්‍රපටියේ තැනෙක එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිත බෙන්ජමින් ඩික්ස් මහතා යුද්ධයේදී දූෂණයට ලක්වූ ද්‍රවිඩ තරුණිය ඉසිප්‍රියා ගැන මෙසේ පවසයි. ඇය මට පෙන්නුවේ දෙමළ ජනයා සහ කොටි සංවිධානය අතර වූ පරස්පරයයි. එක් පැත්තකින් මේ ආදරණීය මෘදු ගරුසරු ඇති යුවතිය සහ අනෙක් පැත්තෙන් දරුණු සහ කෘර දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් වෙන්වූ ව්‍යාපාරය. ( මේ කොටින්ට පක්ෂව කියූ කතාවක්ද)

වාර්තා චිත්‍රපටියේ හමුවන චරිතයක් වන්නේ යුධ අපරාධ දෑසින් දුටු වානි විජයි නම් තරුණියයි. ඇය අවසන් අවස්ථාවේ කුඩා දරුවෙක් ගැන කියන කතාව ඉතා අනුවේදනීය ය. ( මේ කොටස බලද්දී මට තවත් ඉවසා ඉන්න බැරිවුණා. මම තනිවම ඇඬුවා.) ඇය මොහොතකට කලින් මාස තුනක දරුවෙක් සමඟ සිටි මවක් සමඟ කතා කරමින් සිට ඇත. ඉන් මොහොතකට පසු ෂෙල් ප්‍රහාරයකින් ඒ මව සහ දියණිය මිය ගොස් ඇත.

කුඩා දරුවා කැබලි වලට කැඩී ගොස් තිබුණා. බයවෙච්ච මිනිස්සු ළමයාව පාගාගෙන දුවනවා. මම ඒ ළමයාගේ හිස රෙදි කැබැල්ලකින් ඔතලා ගත්තා. මට දැණුනේ ඒ ළමයා මගේ දිහා බලාගෙන අහනවා වගේ ඇයි මට මෙහෙම දෙයක් උරුම වුණේ කියලා. ඇය හඬවැටෙමින් කියන්නීය.

රාජපක්ෂලා සහ ඔවුන්ගේ ආණ්ඩුව කියන තරමක් බොරු කී බව ඔප්පු වී ඇත. අනෙක් හැම දෙයක් ගැනම මෙන් යුද්ධය ගැනද ඔවුන් බොරු නොකී බව හිතන්නේ කෙසේද?  

දැන් රාජපක්ෂ යකඩ හස්තය නැත .

ඕනම දෙයක් ගැන නිදහසේ හිතන්නටත් කතා කරන්නටත් අවස්ථාවක් ඇත. තවමත් බැලුවේ නැත්නම් බලන්න චැනල් ෆෝ වීඩියෝව යැයි ඇරයුම් කරන්නට හැකියාවක් ඇත. කනින් ඇසුවත් ඇසින් දුටුවත් අතට අසුවන තුරු විශ්වාස කරන්නට එපා යන්න සිහිතබාගෙන නෝ ෆයර් සොන් නරඹා කැමති ඕනම මතයක් දැරීමේ අයිතියක් නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදී රටක පුුරවැසියන් වන අපට තිබේ.