Tuesday, November 29, 2016
ලොකුමාමා
මරණයක් වෙලා අවසන් කටයුතු වලදී මියගිය කෙනාගේ ගුණකථන කරන හැම මොහොතේම මට මතක් වෙන්නේ අපේ ලොකු මාමා.
ඔහුව පණපිටින් මට මතක දෙතුන් වතාවයි.
අම්මා තාත්තා සමග විවාහ වුණත් හිටියේ මහගෙදර. අම්මාගේ අම්මා එක්ක.
ඒත් මාව ලැබෙන්න අම්මා ගෙදර ඉන්නකොට ලොකු මාමා හෙවත් අම්මාගේ ලොකු මල්ලී අම්මාට තර්ජනය කරලා මහගෙදරින් එළවලා තිබුණා.
ලොකු මාමා කැප්පෙටිපොල ඩිපෝවේ වැඩකළේ. නිතරම බොන කෙනෙක්. බිව්වාම කේන්ති යන කෙනෙක්. කාටවත් බය නැති කෙනෙක්.
ගෙදරින් එළියේ අවුරුදු පහක් අම්මා මාව හැදුවේ ඈත ඉස්කෝලෙක ක්වාටස් එකේ ඉඳන්. තාත්තා මාසෙකට දෙතුන්වතාවක් අපව බලන්න ආවා ලාවට මතකයි. ඔය කාලේම අම්මාට නංගිත් ලැබුණා.
මම එකවසරට දාන්න තමයි අම්මා ආපහු මහගෙදරට ආවේ. ඒ වෙද්දී ලොකුමාමාගේ ඩිපෝවේ රස්සාව නැතිවෙලා. එයාව ගෙදරින් පිට නෑදෑයෙකුගේ ගෙදර නවත්වලා තිබුණේ. ඒ ලොකු මාමාව රට යවන්න ලෑස්ති කරලයි.
ටික කාලෙකින් එයා කුවෙට් ගියා. අවුරුදු දාහතක් විතර ගතවුණා.
ඔය කාලේ ලොකුමාමා ආච්චීට එකපාරක් කෝල් කරලා තිබුණා. අම්මාට, ආච්චීට එකවතාවක් සාරියක්ද කොහෙද ගෙනත් තිබුණා.
අතරින් පතර විශ්වාස නැති ආරංචි ආවා. බැන්දාලු. ළමයි ඉන්නවාලු. දැන් ලංකාවේලු. ආයේ කුවෙට්ලු. සවුදි ගියාලු. ආදී වශයෙන්.
මෙහෙම අවුරුදු දාහත අපේ ජීවිත කොහේදෝ ගියාට පස්සේ අපේ ගෙදරට කෝල් එකක් ආවා. ඒ කොළඹ ඉස්පිරිතාලේ ඉන්න අසාධ්‍ය රෝගියෙක් අපේ ගෙදර ලිපිනයයි ෆෝන් නම්බර් එකයි දුන්න බව දැනුම් දෙන්න.
ගිහින් බලද්දී ඒ ලොකුමාමා.
එයාට ආහාර මාර්ගයේ දරුණු රෝගයක් ඇවිත්. පිළිකාවක් විය හැකියි. හොඳටම අමාරුයි. කේඬෑරි වෙලා. කතාකරගන්න විදියක් නැහැ. තනියම කටුනායක එයාපෝට් එකට කුවෙට් වල ඉඳන් ප්ලේන් එකකින් ඇවිත්. අමාරුවෙන් ඇවිත් ටැක්සියක් අරගෙන හොස්පිට්ල් එකකට ගිහින් දාන්න කියලා. ටැක්සි රියැදුරා රෝහලට ගිහින්. පවුලේ කවුරුත් නැති නිසා රියැදුරාගේ නමින් ඇඩ්මිට් කරලා.
ලොකු මාමාගේ බෑග් එකේ තිබුණේ පුංචි ෆෝන් එකකුයි රෝගය ගැන වාර්තා ටිකකුයි රුපියල් කිහිපයක් තියෙන පරණ පර්ස් එකකුයි. රිපෝට් වල හැටියට සෑහෙන කාලයක් තිස්සේ ලෙඩින් ඉඳලා තියෙන්නේ.
ඒ අස්සේ කුවේට් වල හිටපු ලොකුමාමාගේ යාළුවෙක් කියලා කියාගත්ත කාන්තාවක් ඇවිත් තිබුණා එයාව බලන්න. ඒ කෙනා කිව්වේ එයා වැඩකරපු තැනින් පැනලා ඇවිත් ඉන්නකොට ලංකාවට එන්න ලොකුමාමා ගොඩක් උදව් කළා කියලයි. එයා වුණත් මාමාගේ පෞද්ගලික විස්තර කීවේ නැහැ. එක්කෝ දැනගෙන හිටියේ නැහැ. නැත්නම් දැනගෙන ඉඳලා කීවේ නැහැ.
ගෙදර අය තීරණය කළා අවසාන කාලයේ ලොකුමාමාව ගෙදර ගෙනත් බලාගන්න. මුලින්ම බදුල්ල ඉස්පිරිතාලෙට අරගෙන එන්න. කොළඹ ඉඳන්.
හවස් වරුවක අම්මා, ආච්චි, පුංචි, චූටිමාමා, එයාගේ නෝනා ඇතුළු පවුලේ අය ගෙදරට රැස්වුනේ මේ ගැන කතාකරන්න.
ඒ කතාබහ යන අතරේ ආපු කෝල් එකක් ආන්සර් කළේ මම. ඩන්කන් ජයසිංහ ටිකකට කලින් මියගියා.
ඇමතුමෙන් කියැවුණේ එහෙම.
ලොකුමාමාව ගෙදර ගේන්න සැලසුම් කරන්න එකතුවුණ කට්ටිය අන්තිමේ එයාගේ මළගෙදර සැලසුම් කරන හැටි ගැන කතාකළා.
මිනිය ගෙදර ගේන එක මෝඩකමක්. කොළඹදීම අවසාන කටයුතු කරන්න කතාවුණා.
වෑන් එකක් ගත්ත පවුලේ අය කොළඹ ආවා. හැමෝම ඇඬුවා. මෝචරියට ගිහින් මිනිය අඳුනාගත්තා. අවශ්‍ය ලියකියවිලි අත්සන් කරලා ළඟ තිබුණ අඩු වියදම් මල් ශාලාවකින් එම්බාම් එක කරගත්තා.
මැදලාවත් නැති ලාභම මිනී පෙට්ටියක් ගත්තා.
පවුලේ උදවිය බොරැල්ල කනත්තට එකතුවුණා. පහළොවක් විතර ඇති. රුපියල් එකසිය පණහකට අහල පන්සලකින් පොඩි හාමුදුරුනමක් ගෙන්වාගෙන පාංශුකූලෙ කළා.
එහිමියන් ලොකුමාමා ගැන ගුණ වයන්නවත් කිසිදෙයක් දැනගෙන හිටියේ නැහැ. අවමංගල්‍ය සභාවක් නැහැ. කවුරුත් ගුණ වයලා කතාවක් කළේ නැහැ.
ආච්චී සහ පුංචි ඇඬුවා. ලොකුමාමාගෙන් පීඩාවන්ම වින්ද අම්මාගේ ඇස් පිරෙන්න කඳුලු තිබුණා. කවදාවත් නොඅඬා තමන්ගේ පීඩනයන් හංගගෙන ඉන්න පුරුදුවුණ අම්මාට ඉකිගැහුණා.
මට කිසිගාණක් තිබුණේ නැහැ. මං පළවෙනි වතාවට මෝචරියකට ගියා, බොරැල්ල කනත්ත ඇතුලේ ප්‍රසිද්ධ අයගේ සොහොන්කොත් ගොඩක් දැක්කා. එම්බාම් කරන හැටි දැක්කා. එම්බාම් කරන කෙනෙක් එක්ක දිග කතාබහක යෙදෙන්න ලැබුණා.
මේ අවසන් කටයුතු වලදී ලොකුමාමාගේ මිනීපෙට්ටියට කරගහන්න පවුලේ හතරදෙනෙක් හිටියේ නැහැ. මාත් චූටිමාමාත් එයාගේ පුතාත් හැර. අන්තිමේ හතරවෙනි පැත්ත කරගැහුවේ හර්ස් එකේ ඩ්‍රැයිවර්.
අපි පස් දැම්මේ නැහැ. වළ වහන කෙනාම උදැල්ලෙන් පස් දාලා මිනිය යටකළා.
ඔය මිනිය දවස් කිහිපයයි තියෙන්නේ පුතා. පෙට්ටිය ආයේ ගොඩගන්නවා. මිනී අැටකටු විකුණනවා. හර්ස් එකේ රියැදුරා කීවේ විහිළුවටද දන්නේ නැහැ.
ගමේ ආ පසු බොහෝ දෙනෙක්ට ලොකුමාමාගේ මරණය ආරංචි වුණා.
ඩන්කන් මැරුනාලු නේද?
බොහෝ දෙනෙක් යුතුකමට වගේ අපේ පවුලේ කෙනෙක් හමුවුණාම ඇහුවා.
ආච්චී විතරක් ඒ දවස්වල ගෙදරට යන එන අය එක්ක එකතුවෙලා ලොකුමාමාව මතක් කරමින් ඇඬුවා.
මිනිසුන් උපදින්නේ සමානව නෙවෙයි. මියයන්නේත් සමානව නෙවෙයි.
තමන්ගේ ගුණ වයන්න ගෝලබාලයන් ටිකක් හදාගත්තානම් හරි.
Subscribe to:
Post Comments (Atom)
නියමයි තරිඳු....
ReplyDeleteඒත් බං උඹලටත් තිබ්බෙ ඉඩමක් උගස් තියල හරි ලොකු මාමගෙ මිනිය ගමට ගෙනල්ල ලොකුවට මරණෙ ගන්න. බැනර් ටිකක් එහෙම දාල.
"විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් උදාර මෙහෙවරක් කල ඩන්කන් ඔබ සදා අමරණීයයි"
තමන්ගෙ එවුන්ට කොහොම සැලකුවම මොකද රටේ ලෝකෙ එවුං වෙනුවෙන් වැඩ කලානම් ..ඒ ඇතිනෙ . හාද?
මම නම් හිතන්නෙ මෙතන මොකක් හරි නොදන්න දෙයක් තියෙනවා. CIA එක කීපපාරක් නැතිකරන්න උත්සාහ කරන්න ඇති. ඊට පස්සෙ එක අර KGB එක ලිට්විනෙන්කෝට වස දුන්න විදිහට වස දෙන්න ඇති. ඔය බඩේ ප්‍රශ්ණයක් විදිහට එන ඇත්තෙ ඒක. RAW ඔත්තු සේවයත් කොහෙන් හරි ගෑවිලා ඇති.
Deleteරටේ ලෝකෙ එවුන්ට කළාම සීඅයිඒ කුමන්ත්‍රණ වලට අසුවණු ඇත.!!!
Deleteඇයි ලමයො...අර රවි කිව්ව දේත් කරලා...හොද වාහන තියන් උන් හත් අට දෙනෙකුට එන්ඩ කියලා ගේ ඉස්සරහ නවත්තලා..මාමාගෙ බොඩි එකත් පේන්ඩ ෆොටෝ කෑල්ලක් ගහලා එෆ්බී එකේ දාලා එලෝකෝටියක් ලයික්ස් ගන්ඩ තිබ්බනේ...මේ වගේ නැතුව අඩලා දෙන්ඩ තිබ්බනේ මාමාගෙ ගුන වයලා...එහෙමනේ මලේ පෝස්ට දාන්නේ....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ, මේ ඩිංගෙ දී ඇයි කෝලම් නටන්නේ?
ReplyDeleteනටපංකො හොඳ නාඩගමක්
Deleteමාත් මැරුනොත් ඔහොම වෙයි කියල වෙලාවකට මට හිතෙනෝ. එහෙම වෙනේකත් හොදයි.මටයි කියලත් කවුරුවත් නැහැනේ. මගෙන් ඉගෙන ගත්ත ළමයින්ට වුනත් මගේ මළගම ආරංචි වෙනේකක් නැහැ. මටමයි කියල පවුලෙ සහෝදරියන් හිටියත් එයාලට එයාලගෙ වැඩ තියනවා.
ReplyDeleteඅපි කසාඳ බදින්නෙ අපි නාකි උනාම අපිට බැරි උනාම අපිව බලා ගන්න කෙනෙක් හදා ගන්න. ඒත් එහෙම හදන අයටත් එයාලගෙම වැඩ තියනවා.ඊට හොදා මේ විදිහට ඉන්නෙක.
අනේ ඉතින් උඩුවො මේ වගේ ඒවුවා ලියල අපිව මූඩ් ගස්සන්න හදන්නෙපා...
“ඩන්කන් උපාසක මහතාට නිවන් සැප ලැබේවා“
බයවෙන්න එපා.
Deleteමැරුණම සෙනඟ පිරුණට වැඩක් නෑ. ඉගෙනගත්ත ළමයෙක් කොහේහරි ඉඳන් ලෝකෙට ආලෝකය පතුරුවයි
නාකිවුනාම අපිව බලාගන්න කියල ළමයෙක් හදාගන් කසාද බැඳපුකාලේ දැන් ඉවරයි. ඊට වැඩිය හොඳා කීයක් හරි ඉතිරි කරන එක සහ ආයෝජනයක් කරන එක.
Deleteඋඩුවගේ ලිපිය කියවද්දී මතක්වුණේ මාත් ඔයවගේම අවමගුල් උත්සවයකට ගියා මාස හයකට විතර කලින්. පිළිකාවක් නිසා නැතිවෙච්ච ඒ අක්කාගේ අවසන් කැමැත්ත වෙලා තිබ්බේ අවසන් කටයුතු සරලව කරන්න. මල් ශාලාවෙන් කෙලින්ම කනත්තට. ඒ සරල බවට මාත් කැමතියි.
ReplyDeleteජයවේවා!!!
මගෙත් කැමැත්තක් නෑ ඔයවගේ අවස්ථා මහලොකුවට සමරන්න
Deleteමල්ලි උඹේ වයසෙදි මෙන්න මේ කෑල්ල තේරුම් ගත්ත එක ග්‍රේට්. අපට ඕක තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා.
ReplyDelete//තමන්ගේ ගුණ වයන්න ගෝලබාලයන් ටිකක් හදාගත්තානම් හරි. //
අනුන්ගේ සාක්කුවල ඉන්නෙත් නැතිව, අනුන්ට සාක්කු මහන්නෙත් නැතිව අමාරුවෙන් හරි ඉන්න එක මේ කාලෙ දේශපාලනික වැඩක්.
අපිත් ඉතින් ඒ ජාතියේම තමයි
Delete////අන්තිමේ හතරවෙනි පැත්ත කරගැහුවේ හර්ස් එකේ ඩ්‍රැයිවර්.///////
ReplyDeleteමරු උඩුවෝ...
ඉතින් මොකෝ බං මලාට පස්සේ. පුකෙන් ගියත් මොකෝ..
මලාට පස්සේ!!!
DeleteWhen you were born, you were crying and everyone else was smiling.....
ReplyDeleteLive your life so at the end, you are the one who is smiling and everyone else is crying.”
මම දන්න විදියට මේ ඇමරිකානු ආදිවාසීන්ගේ කියමනක්.....
හැබැයි කවුරු කීවත් මමනම් එකෙන්ම මේදේ පිළිගන්නවා.
මරු.. තෑන්ක්ස්
Deleteමැරුනට පස්සෙ මොනා උනාම මොකෝ බං.
ReplyDeleteඒකනෙ
Delete//ඔය මිනිය දවස් කිහිපයයි තියෙන්නේ පුතා. පෙට්ටිය ආයේ ගොඩගන්නවා. මිනී අැටකටු විකුණනවා. හර්ස් එකේ රියැදුරා කීවේ විහිළුවටද දන්නේ නැහැ. //
ReplyDeleteගන්නවා නේන්නං මලේ සුද්දා ගිය දවසෙ ඉදල ඉලෙක්සන් ලන් උනාම. මොකො ඩන්කන්ගේ උනාට ඌ මෙහෙ හිටියෙ නැතිඋනාට ඇටකටුනෙ බන්...
තාජුඩීන් වගේද?
Deleteනියමයි බං...
ReplyDeleteතෑන්ක්ස්
Deleteතුන්මාසේ දානෙවත් හරියට නුදුන්නොත් පෙරේතයෙක් වෙලා පස්සෙන් එයි.
ReplyDeleteඒක ජයට ගත්තා... අහල ගං හතකට කියල
Deleteඋන්න හැටියට මළා මදෑ කියලා මලගේ සමරන්නයි තිබුණේ........
ReplyDeleteපස්සේ තුන්මාසෙට සැමරුවා
Deleteදාන දෙන එකත් පනයන වැඩක් !
Deleteබොරු කියන්නේ මක්කටැයි. හිතට පොඩි දුකක් දැනුනා. සමහරවිට මම ගැනමද දන්නේ නෑ. එහෙමත් නැත්නම් උඩුවා ලියලා තියෙන විදිහට වෙන්නත් බැරි නෑ,
ReplyDeleteදෙවැනි එකට වැඩි බරක් තියපං.. නැත්තං ලියපු එකටත් පාඩුයි
Deleteසමහර මිනිස්සු ජීවත් වෙන්නේ මැරෙන්නේ නෑ කියලා හිතාගෙන.
ReplyDeleteඅද මැරෙයි හෙට මැරෙයි කියලා හිතාගෙන සතුටින් ඉන්න මිනිස්සු නොමැරී ඉන්නවා බොහෝ කාලයක් - සමහර විට මැරිලත් කාලයක් යන තුරු.
මැරුනට පස්සේ නම් ගුණ වයලා මක්කටෙයි බන්ස්.
අහ් ඒක නෙමේ ඒ ලොකු මාමගේ පෝස්ට් එකට අර ලොකු මාමගේ පින්තූරයක් දැම්මේ ඇයි?
හේතුවක් ඇතුවද?
ඒ මාමා ගැන කතාවක් වෙනස් කරලා ලිව්වා වත්ද?
ඒ මාමා නිසා තමයි මට මේ මාමාව මතක් වුණේ
Deleteදුප්පත් මිනිස්සු මගුල් අවමගුල් වලට කරන වියදම්වලින් ලෝකයේ ඉහලම තැනක් සිරි ලංකාව ගන්නවා
ReplyDeleteඅම්මටසිරි
Delete