Monday, May 11, 2015

විල්පත්තු සටන හොඳයි... ඒත්...




විල්පත්තු සටන ගැන විස්තර කළ යුතු නැත. වල්පත්තු රැකගැනීමේ සැබෑ වුවමනාවෙන් කතා කළ පිරිසක් සහ ජාතිවාදී අරමුණින් විල්පත්තු ගැන කතා කළ පිරිසක් වූහ. කොහොම වුණත් මේ වන විට සාධනීය ලෙස වර්ධනය වෙමින් පවතන ෆේස්බුක් දේශපාලනයට විල්පත්තු මාතෘකාවක් විය.පසුගිය සතියේ ආකර්ශණීය සටන් පාඨය විය. එහි ප්‍රතිඵල මේ වන විට යහපත්ය.
එහෙත් බස්රියේ, කඩමණ්ඩියේ ඇසෙන කතා එතරම් හොඳ නැත. මුස්ලිම් විරෝධයක් ඒ කතාබස් තුල සැඟව ඇත. ඒ ගැන වෙනම කතාවකි. පරිසරයට සැබෑ ආදරයෙන් විල්පත්තු ගැන කතා කළ අය පැහැදිලිව ජාතිවාදය සහ පරිසරය රැක ගැනීමේ සටන ඉරකින් බෙදා වෙන්කළ යුතුය. පහුගිය දවසක නාමල් රාජපක්ෂත් විල්පත්තු ගැන කියා විහිළුවක් වී තිබුණි. විල්පත්තුවෙන්, කූරගලින් මතුවෙන ජාතිවාදය මරා දැමිය යුතුය. පරිසරය වෙනුවෙන් කරන සටන ඉදිරියට යා යුතුය. ඒ වෙනුවෙන් අපි කතා කරන්නෙමු.

දැන් මට කියන්නට ඇත්තේ එය නොවේ ය.

විල්පත්තුව වෙනුවෙන් සටන් කරපු අයට උතුරේ මිනිස්සුන්ගෙ ඉඩම් අයිතිය වෙනුවෙන් සටන් කරන්නත් පුලුවන්ද....?’ රොෂාන් චතුරංග අයියා ෆේස්බුක් පෝස්ට් එකකින් අසා තිබුණි. බහුතරයට එසේ කරන්නට බැරි බව හැඟීමය. අනෙක් අතට මා දන්නා ආකාරයට විල්පත්තු බිම්වල පදිංචි කර තිබුණේ යුද්ධයෙන් අවතැන් වූ අය විය යුතුය. එසේනම් ඒ මිනිසුන්ට ඉඩම් ලබාදීම වෙනුවෙන්ද අප කතා කළ යුතුය.
ෆේස්බුක් හි ඇරඹුනු සටන පසුව ජේවීපියද, සජිත්ද මැදිහත් වීමටත් රිෂාද්ටද උත්තර බඳින්නට සිදුවීමටත් අවසානයේ ජනාධිපතිවරයාටද මැදිහත් වීමටත් බලපෑම් සහගත වී තිබුණි. පසුගිය ජනාධිපතිවරණයේ වැදගත්ම ප්‍රතිඵලය වන්නේ මේ සයිබර් දේශපාලන අවකාශයයි.
විල්පත්තු වෙනුවෙන් කතා කළේ පරිසරයට ආදරය කරන නිසාද? එසේනම් අපට කරන්නට සටන් ඉදිරියට තිබේ. සමහර ඒවා විල්පත්තුවට වඩා බරපතලය. අමාරු ය. පෝට් සිටි ගැන තොරතුරු නැත. ඒ නිසා වෙන්නට යන පරිසර විනාසය මනින්නටද බැරිය. උමා ඔය ගැන වාර්තාවක් දෙන්නට කමිටුවක් පත්කර ඇත. එහෙත් කමිටුව හොයන්නට නැත. මධ්‍යම කඳුකරයේ සුන්දරම කොටස ගිලා බැසීමේ අවදානමකය. කැලණි ගඟේ ජලය අපවිත්‍ර බවට තොරතුරු ලැබී ඇත. බොහෝ අය දන්නේවත් නැත. යාපනය පුරා ජලයේ බොරතෙල් ය. එය දෙමළුන්ගේ ප්‍රශ්ණයක් යැයි අප කටවසාගෙන සිටින්නෙමුද? උතුරුමැද වකුගඩු ප්‍රශ්ණය පිළිකාවක් මෙන් ඔඩුදුවා ඇත.
විල්පත්තුවට වඩා බරපතල සටන් කරන්නට තිබේ. බොහෝ අය දන්නේවත් නැත. සේව් විල්පත්තු වෙනුවට සේව් නේචර් යැයි සටන් කළ යුතුය. මේ පරිසර විනාසයන් පසුපස සිටින්නේ දේශපාලනයයි. විල්පත්තු සටන හොඳය. ඒත් ඊට වඩා බරපතල සටන් වලට ජාතිවාදයෙන් තොරව අවංක සටන්කරුවන් ඉදිරියට ආ යුතුය. ෆේස්බුක්හි ලියන්නන්, මාධ්‍යෙව්දීන්, බ්ලොග්කරුවන්, උනන්දුමත් පුරවැසියන් සිටින්නේ නම් අපහසුවෙන් හො ඒ සටන් ජයගත හැකිවනු ඇත.
                                                                                                             2015-05-11


1 comment:

  1. බොර දියේ මාලු බාන්නට හදන අයද ඇත.

    ඒත් පරිසරය රැකීම නමැති යුද්ධයේ එක් සටනක් විල්පත්තුව රැකගැනීමයි.

    වනන්තර නොකෙලසා, වානන්තර නොවන බිම්වලට ටයිතල පහසුකම් සපයා ජනයා පදිංචි කළ යුතුයි. මේ අය උතුරින් අවතැන් වූවන් නම් එහි ඉඩම් ලබා දිය යුූතුයි!

    ReplyDelete