Tuesday, January 31, 2017

උපාධි හීනයක්


මගේ අම්මා ගුරුවරියක්. පළමු පන්තියේ (එක වසරෙ නෙවෙයි ග්‍රේඩ් වන්) ගුරුවරියක්.

පළමු පන්තියේ ගුරුවරියක් කියන්නේ ඉහළ තත්වයේ රැකියාවක්. මම වැටුපක් ගන්නා නිසා ඇගේ වැටුප වෙන්වෙලා තියෙන්නේ ගෙදර පවත්වාගෙන යන්න සහ නංගිගේ අධ්‍යාපනයට.

නංගි උසස්පෙළ කළා. මැත්ස් කලේ.


ඇයට ලොකු හීනයක් තිබුණා ඉංජිනේරුවරියක් වෙන්න. ඇගේ හීනයට ඇයව යවන්න අම්මා ලොකු වියදමක් දැරුවා. මාසයකට පංතිවලටම ලොකු වියදමක්. ඉංජිනේරු පීඨයට ලොකු තරඟයක් තිබුණා. ඒ නිසයි නංගිට උගන්වන්න මහන්සි වුණේ. ඉස්කෝලෙන් නොමිලේ දෙන අධ්‍යාපනය තරඟය දිනන්න උදව්වක් නොවෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා ඇයව පෞද්ගලික අංශයේ ටියුෂන් යැව්වා.

අන්තිමේ උසස්පෙළ විභාගය ඇය පළවෙනි වතාවට ලිව්වා. ඇය එක් විෂයක් අසමත් වුණා.

දෙවැනි වතාවටත් ලිව්වා. මෙවර වැඩියෙන් ටියුෂන් ගියා.

දෙවැනි වතාවේ ඇය සමත්. විශ්වවිද්‍යාලයට යන්නත් පුළුවන්. හැබැයි ඉංජිනේරු පීඨයට ඇයට ලැබුණු ලකුණු ප්‍රමාණවත් නැහැ. 

ඇයට ඉංජිනේරුවරියක් වන්නට ලංකාවේ බුද්ධිමතුන් විවෘත කරදුන් අපූරු පාරක් තිබුණා. අධ්‍යාපනයට ඇති නිදහස වෙනුවෙන් කියලයි ඒ අපූරු පාර විවෘත කරලා තිබුණේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල වරම් නැති කෙනෙකුට නිදහසේ විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාවක් විවෘත කරලා දෙන්නයි. පෞද්ගලික විශ්ව විද්‍යාල.
සල්ලි නැති කෙනෙක්ට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්නනම් ණය පහසුකම් ගන්නත් පුළුවන්ලු.

එහෙත් හොඳ තත්වයේ (ලාබෙට කරන්න පුළුවන් ඒවාත් තියෙනවා.) උපාධි පාඨමාලාවක් කරන්න ඇයට අඩුගානේ ලක්ෂ දාහතක්වත් ඕන. 

ලක්ෂ දාහතක්. ණයක් අරන් උපාධිය කළත් මේ ලක්ෂ දාහත ගෙවන්න ඕන.

ඔව්. මේක කියවන ඔබ අතරින් ඇතැම් අය හිතනවා ඇති ලක්ෂ දාහත මොකක්ද කියලා. ඒත් මට හමුවන බහුතරයක් දෙනාට ලක්ෂ දාහතක් කියන්නේ හීනයක්. හීනයක්. 

මෝටර් සයිකලයක් ගන්න, ත්‍රීවීලරයක් ගන්න ලක්ෂ හතරක් පහක් කියන්නෙත් හීනයක්. ලොකු ඇචීව්මන්ට් එකක්. එහෙම පසුබිමක ලක්ෂ දාහත කියන්නේ ළං වෙන්න බැරි තැනක්.

හොඳ වෙලාවට නංගිට වෛද්‍යවරියක් වෙන්න හීනයක් නොතිබුණේ. 

එහෙම හීනයක් තිබුණානම් අම්මාට ලක්ෂ අනූහයක් හොයන්නට වෙනවා. 
**********************************************************************************

මම සයිටම් විරෝධී සටන වෙනුවෙන් පෙනී හිටියේ අඩුවෙන්. මට හෙන යාන්ත්‍රික ගතියක් ඒ සටනේ දැනුනා. සයිටම් අහෝසි කරනු. මෝඩ සටන්පාඨයක් කියලා හිතුණා. ඒ නිසා මම එතැනින් ඈත්ව හිටියා. අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකරණු කිව්වාම මට හිනා ගියා. 

ටියුෂන්වලට දාස් ගණන් මාසෙකට වියදම් කරලා කැම්පස් ගිහින් අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකරනු කියලා කියන්නේ කොහොමද?

හැබැයි මම සයිටම් වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. ඒක ඊටත් වඩා මෝඩයි. 

මගේ යාළුවෝ සයිටම් වෙනුවෙන් උනන්දුවෙන් කතා කළා. අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකරණු කියලා පාරේ වේලෙන අනෙක් යාළුවන්ව කින්ඩි කළා.

මට වගේම එහෙම කතාකරපු බොහෝ දෙනෙක්ට ලක්ෂ අනූහයක් කියන්නේ  කොහොමත් ළං වෙන්න බැරි තැනක්. මං දන්නවා මගේ ජීවිත කාලය ඇතුලේ මම එතරම් මුදලක් හොයාගන්න තරම් ධනවතෙක් වෙන එකක් නැහැ. ඉතින් මම අරවගේ සයිටම්වාදී සටනකට සෙට් වෙන්නේ කොහොමද?

ටියුෂන්වලින් කැම්පස් ගියපු අය අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකරනු කියනවාට වඩා ජීවිතේට ලක්ෂ අනූහයක් හොයන්න බැරි අය සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න එක මෝඩයි වගේ.
********************************************************************************

අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය උපරිම කොලිටියෙන්, හැමෝටම සමානව, කාර්යක්ෂමව ලබාදෙන එකයි මේ රට දියුණු කිරීමේ රහස. වෙන රොකට් විජ්ජා වලින් මේ රට දියුණු කරන්න පුළුවන් කියලා මට හිතෙන්නේ නැහැ. (නැත්නම් මට තේරෙන තරම ඒ.)

එයාපෝට්, වරාය, ආයෝජන වගේ එව්වා ගැන කතාකරන වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ගෙ හැකියාවන්, ශ්‍රමය කාර්යක්ෂම කරන්නට පුළුවන් විදියට අර සේවාවන් හරියට හදාදෙන්න. රට දියුණු වේවි.

21 comments:

  1. ඔබ කියන්නේ අපි පෙනී හිටින්න ඕනේ අපිට මිලදී ගන්න පුළුවන් දේවල් වෙනුවෙන් මිසක්; අපිට තේරුම්ගත හැකි තරමින් හරිය කියල හිතෙන දේ වෙනුවෙන් නොවෙන බවක් ද ?

    මේ කියන විදයට සල්ලි නැති දක්ෂයෝ පුද්ගලික විශ්විද්‍යාල වලට වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ නෑ, වගේම උසස් පෙළ පාස් වෙලා ආණ්ඩුවේ විශ්විද්යාලයකට යාගන්න බැරි බව හිතෙන අය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී හිටන්න ඕනේ නෑ වගේ.

    මම නම් හිතන්නේ මේ දෙකම තියෙන්න ඕනේ. දැන් තියෙනවා වගේ එකිනෙක ගැටෙමින් නෙවෙයි. එකිනෙකට උදව් කරගනිමින්. එහෙම තියෙන ආයතන වලින් දෙගොල්ලටම උදව් ලැබෙනවා.

    ReplyDelete
  2. // ජීවිතේට ලක්ෂ අනූහයක් හොයන්න බැරි අය සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න එක මෝඩයි වගේ. //


    ප්‍රොගතිසීලී ටොයියෝ කියලා පෙන්නන් ඉන්න හාදයන් ට කෝචොක් දාන්න එපා හරිය?

    ReplyDelete
  3. උඩුවා: මිනිස්සු තම තමන්ගේ පෞද්ගලික අත්දැකීම් අනුව හොඳ නරක තීරණය කිරීමේ වැරැද්දක් නැහැ. සියල්ලන්ම තමන්ට වාසිදායක දෙය වෙනුවෙන් පෙනී සිටීම තුළ ලැබෙන අවසන් ප්‍රතිඵලය නරක එකක් නෙමෙයි. මෙහි ඔබේ සොහොයුරිය වැනි කෙනෙකුට සෘජුවම වාසියක් තියෙනවා. අපි හිතමු, ඇයට පෞද්ගලික සරසවියකින් ඉංජිනේරු උපාධියක් ගන්න ලක්ෂ 19ක් නැහැ. රජයේ සරසවියක ඉංජිනේරු පීඨයට ඇතුළු වෙන්නත් ලකුණක් මදි. ඒ නිසා ඇයට ඉංජිනේරු උපාධියක් හැදෑරීමේ අවස්ථාව අහිමි වෙනවා. දැන් මෙවැනිම තවත් පෞද්ගලික සරසවියක් ඇරෙනවා. උපාධියේ තත්ත්වය පවත්වා ගත යුතු නිසා පෞද්ගලික සරසවි අතර තරඟයක් ඇති වී මිල අඩුවෙයි කියන එකත් අපි අමතක කරමු. යම් හෙයකින් එසේ වී මේ මිල ලක්ෂ 18ට අඩු වුනොත් ඇතැම් විට ඒ අඩුවීම නිසා ඇයට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එසේ නැත්නම්, වෙන්නේ ලක්ෂ 19ක් ගෙවා පෞද්ගලික උපාධි ගන්න තියෙන අවස්ථා ගණන වැඩි වීමයි. මෙය සිදු වන විට රජයේ සරසවියකට යන්න සිටින එක් අයෙක් හෝ එසේ නොකර පෞද්ගලික සරසවියකට ගියොත් සරසවි ප්‍රවේශ වැට අද්දර ඉන්න උඩුවගේ නංගිට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම, උඩුවගේ නංගි වැනි බොහෝ දෙනෙකුට ලක්ෂ 19 ලොකු මුදලක් බව ඇත්ත වුනත් එවැනි මුදලක් වියදම් කළ හැකි සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මෙවැනි අය වෙනුවෙන් පුද්ගලික සරසවි ඉඩ ප්‍රස්තා වැඩි වන තරමට පුද්ගලික සරසවියක පුරප්පාඩුවක් සොයා ගැනීම පහසු වන නිසා උසස් පෙළ තරඟය හා ටියුෂන් වෙනුවෙන් වියදම් කිරීමේ අවශ්‍යතාවය අඩුවෙනවා. කෙටිකාලීනව කෙසේවුවත් දිගුකාලීනව ප්‍රමාණවත් මුදල් නැති අයෙකුට රජයේ සරසවියක සුබසාධිත මිලකට ඉගෙනීම ලැබීමේ ඉඩප්‍රස්ථා වැඩිවෙනවා. දැනටත් රජයේ සරසවියකට යන අයෙක් සැලකිය යුතු පිරිවැයක් දැරිය යුතු නිසයි 'නොමිලේ' වචනය පාවිච්චි නොකළේ. (මෙය සෘජුව සයිටම් වෙනුවෙන් හෝ සයිටම් විරෝධීව ලියූවක් නෙමෙයි.) කොහොම වුනත්, පෙනෙන්නට තියෙන පරිදි අවසාන වශයෙන් මුදල් ඇති අයෙකුට වැඩි ඉඩප්‍රස්තාවක් ලැබෙනවා තමයි. නමුත්, ඒ නිසා මුදල් නැති අයෙකුට පාඩුවක් වෙනවා කියන්න බැහැ. ශිෂ්‍ය ණය ක්‍රම හරහා මේ අසමානතාවන් අවම කරගත හැකියි.

    ReplyDelete
  4. 120000 හොයාගන්න බැරිව බාහිර උපාධිය කරන එක අතෑරිය යාලුවෙක් ව මං දන්නව ඌ දැං ජොබ් එකක් කරනව. එච්චරයි

    ReplyDelete
  5. පුද්ගලික අධ්‍යාපන ආයතන වැඩි වැඩියෙන් ආරම්භ වියයුතුය.... එවිට නිදහස් අධ්‍යාපනය සඳහා තවත් සිසු සිසුවියන්ට ඉඩක් නිර්මාණය වනු ඇත....

    ReplyDelete
  6. සල්ලි නැතිනම් හැමදේම හීනයක් විතරයි. මෙතනදි ඔයාගේ නංගිගෙ අම්ම , ඒ කියන්නෙ ඔයාගේ අම්ම රැකියාවක් නොකරන්නියක් වුනානම් මේ කතාව ගොඩාක් වෙනස් වෙනවා. එහෙනම් නංගි බොහෝ විට දෙන වර පෙනී සිටීමකට නොයන්න ඉඩ තියෙනවා. ඔයාගේ නැගණියට එහෙම නොවුනට එහෙම වෙච්චි, එහෙම වෙමින් පවතින , ඉදිරියටත් එහෙම වෙන නංගිලා මල්ලිලා , දුලා පුතාලා ඉන්නවා.
    හැමෝටම බෙන්ස් ගන්න බෑ. එහෙමයි කියලා බෙන්ස් එකේ යන්න පුලුවන් එකාලව ඇදල අරන් පයින් පලයන් කියන්නත් අපට බෑ.
    මට නම් තියෙන්නේ හීනයක්....හරියට මේ වගේ..
    සල්ලි තියන මිනිස්සුත් ඉගෙන ගන්න ඕනි, හොඳට වියදම් කරල , හරියට , කොලිටියට ඉගෙන ගන්න ඕනි. ඊට පස්සේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නෝනි. මේ රටේ දුප්පත් මනුස්සය බොහොම අමාරුවෙන් , දුප්පත් මිනිහගෙම බදු සල්ලි වලින් ඉගෙන ගෙන පෝසතෙක් වෙලා දුප්පතුන් නාදුනන්නෙක් වෙද්දි මම පතන්නෙ එච්චරයි. හැබැයි ඉතින් පෝසත් උගතත් අර ගොඩටම එක්කාසු වෙනවා නම් ඒ “දුප්පතාගේ කරුමේ“

    තරඟය අඩු වෙලා මේ මාෆීයාව නැති වෙන්න කියලත් පතනවා. මොකද දුප්පත් රට වල “දොස්තර “ දෙයියෙක්. හැම දෙයියම වගේ ඒ දෙයියත් දුප්පතාව සූරා කනවා.පෙලනවා.

    ඒත් ඉතින් මේවා හැමදාමත් හීනමද මන්දා

    ReplyDelete
  7. සයිටම් විරෝධය මතු කල යුත්තේ සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සඳහා මිස පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කල යුතුයි කියන ස්ථාවරේ සිට නොවේ. සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සමගම බොහෝ අඩු ලුහුඞුතා තිබෙන දේශීය වෛද්‍ය ආයතන වලද කොලිටිය උසස් කර ගැනීමට සටන් කල යුතුය​.
    සයිටම් අායතනයෙන් පිටවන දොස්තරලා රෝගීන් මරා දමාවිද යන්න ගැන අනාවැකි කීම නම් තවමත් වේලපහ වැඩිය​. නමුත් පසුගිය දශක තුන ඇතුලත ලංකාවේ රෝහල් වල නොසැලකිල්ල නිසා රෝගීන් ගනනාවක් මිය ගියා පමණක් නොව වරක් රෝගී තරුණියක දූෂණය කොටද මරා දමන ලදි.
    පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ නව ප්‍රවණතාවක් නොවේ. අපගේ සෞඛ්‍ය සේවාවන්ට වඩා පසුපස සිටි බංග්ලාදේශය නේපාලය පවා පුද්ගලික විශ්ව විද්‍යාල මගින් තම රට වලට විදේශ විනිමය අද්දවා ගනිති. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීමේදී පසුපස සිටි මේ බංග්ලාදේශය නේපාල විශ්ව විද්‍යාල දැන් වාර්ශිකවම ඉදිරියට එති. එහෙත් අපි තවම ලෝකයේ මුල් 2000 අතරවත් නැත​.
    පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සටන් වල පසුපස සිටින වාමාංශික නායකයන් ගෙන් බොහෝ දෙනෙකු ඔවුන් ගේ දුවා දරුවන් නම් යවා ඇත්තේ බටහිර රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලටය​.
    එහෙත් මේ සත්‍ය තේරුම් ගැනීමට අප බොහෝ දෙනෙකු අකමැතිය​. හේතුව අපේ මිනිසුන් විරෝධතා වල ජීවත් වීමට කැමතිය​. එහෙත් දෑස් ඇර බලන විට ලෝකය අප පසු කරගෙන ගොස්‍ ය​.

    ReplyDelete
  8. ඉංජිනේරුවෙකු වීම කියන්නේ මහ ලොකු දෙයක් නොවෙයි. ලංකාවේ ඉල්ලුම සහ සැපයුම අනුව වැඩි ලකුණු අවශ්‍ය වී තිබුණත්, හැම රටකම තත්වය එලෙස නොවෙයි.

    අනික විද්‍යා පීඨයට ගිහින් භෞතික විද්‍යා විශේෂ උපාධියක් කර, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ක්‍ෂේත්‍රයට පිවිසෙන්න පුළුවනි.

    ReplyDelete
  9. මේ ලිපියේ පදනම, අප කතා කළ යුත්තේ අපට ඇති වාසි/අවාසි අනුවය, අප පෙනී සිටිය යුත්තේ අපට වාසි සහගත දේ සඳහා ය යන්න නම්, එය ඉතා ගොං, මෝඩ, තකතීරු, සිතුවිල්ලකි.

    ReplyDelete
  10. /ටියුෂන්වලින් කැම්පස් ගියපු අය අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකරනු කියනවාට වඩා ජීවිතේට ලක්ෂ අනූහයක් හොයන්න බැරි අය සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න එක මෝඩයි වගේ./

    ඒකනෙ බං..අපරාදෙ අපි අර මරාව පැරැද්දුවෙ. අපිට ජීවිතේට ජනාධිපති වෙන්නත් බෑ..අනික මෛත්‍රිපාල දිනෙව්ව කියල අපිට හම්බවෙන ලබ්බකුත් නෑ.

    /Trust me. I am a Journalist/....:)

    ReplyDelete
  11. ලංකාවේ ඉංජිනේරුවෙක් වෙන්න විශ්ව විද්‍යාලයකට යන්නම ඕනනෑ. කාර්මික විද්‍යාලයකට එහෙම නැත්නම් විවෘත විශ්ව ව්ද්‍යාලයට ගිහිල්ල ඩිප්ලෝමා එකක් අරගන්න පුළුවන් ඊට පස්සේ රස්සාවක් කරන ගමන් ශ්‍රීලංකා ඉංජිනේරු ආයතනයේ ශිෂ්‍යයෙක් ලෙස පියා පදිංවි වෙන්න පුළුවන් ඒකෙන් පවත්වන විභාග සමත්වීමනේ උපාධිදාරී ඉංජිනේරුවෙක් ගේ සම සුදුසුකමත් පසුව වරලත් ඉංජිනේරුවෙක් දක්වාත් යන්න පුළුවන්

    ReplyDelete
  12. ගෙනාවට මක් වෙන වද මචං සල්ලි තියන ලමයි එව්වට යයි , ඔය ගාන තව හත් අට ගුනයක් පිටරට විසිකරන එක අපරාදයක්

    ReplyDelete
  13. අධ්‍යාපණය නිකන් දෙන්න හොද නෑ ඒත් සාධාරණ වෙන්න ඕන

    ReplyDelete
  14. සයිටම් යන්න සල්ලි නැති උන් මේ වෙනුවෙන් පෙනි ඉන්නවා කියලා උන්ට හිනා වෙනවා නම් එක වැරදියි මචං.දේශපාලනය ගැන කතා කරන අපි හැමෝටම පාර්ලිමේන්තුවට යන්න බැහැනේ අද තියෙන මනාප බලු පොරයත් එක්ක.(අද සයිටම් යනවාට වඩා සල්ලියක් ඕනේ වේවි අද පාර්ලිමේන්තු යන්න.)එහෙම කියලා පුරවසියෙක්ට දේශපාලන මතයක් දරන්න තියෙන අයිතියට හිනා වෙන්නේ නැහැනේ මචං.
    මෙව්වා අහෝසි කිරීම හෝ රජයට පවරාගෙන නැතිකර දැමීමම නෙමේ වෙන්න ඕනේ.විය යුත්තේ රජය මැදිහත්ව මෙව්වා නියාමනය කිරීමයි.මගේ අදහස නම් එක.

    ReplyDelete
  15. දෙමළ අය මේකට විරුද්ධ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. විරුද්ධයි වගේ. අර යාපනේ පෙළපාලි ගියේ ජගත්.

      Delete
  16. මේවා ප්‍රමිතියක් ඇතිව දියුනු කරන්න ඕන. එතකොට සුදුසුකම් තියෙන සල්ලි තියෙන අය මේවට යයි. අපි වගේ දුප්පත් එකෙකුට තවත් චාන්ස් එකක් එනවා රජයේ විශ්වවිද්‍යාලයට යන්න.

    ReplyDelete
    Replies
    1. මට පේන විසියට පැහැදිලි වගේම සාධාරණ විසඳුම මේක. මෙතනදි තව පැත්තක් බලන්න වෙනවා. ඒ අපේ රටේ දේශපාලකයො. පෞද්ගලික වි.වි. වල අයගෙ උවමනා එපාකම් වලට නීති හදන එකයි කුට්ටිය ගන්න එකයි නතර කරලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙනවා නම් දියුණුව ගැන හිනවා නම්, එහෙම නැත්තං එහෙම පිරිසක් අදාල තනතුරු වලට එනවා නම් තත්වෙ මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා..

      Delete
  17. උඩුවා මෙන්න මම ලියපු එක.
    සයිටම් පිලිබඳ මධස්ථ සිතින්
    දැන් මෙහම හිතමු. රජයේ බැංකුවකින් ඔයාගේ නංගිට දෙනවා ණයක්. ඉතාමත් අඩු පොලියට. ඉගෙන ගෙන ඉවර වෙලා තමා ගෙවන්නේ. ඒත් රස්සාවක් ලැබුනොත් විතරයි. මේ එංගලන්තේ ක්‍රමය.
    මම නම් ඒකට විරුද්ධව සටන් කරනවා. මම කියන්නේ ගාන වැඩියි කියල. වැඩි කලේ අර රතු කම්කරු යයි කියු බ්ලෙයාර්. තව අඩු කරන්න ඕනේ එංගලන්තේ ගාන. මොකද අවුරුද්දකට පවුම් 9000. බ්ලොග් ලිපියක් වෙනම ලියන්න ඕනේ ඇයි එහෙම වුනේ කියල.
    ඒ කෙසේ වෙතත් ඒ ක්‍රමය සාධාරණ යයි හිතෙන්නේ නැත්ද?
    රජයෙන් කොච්චර ණය දෙනවද ගැත්තන්ට, වන්දිභට්ටයන්ට . ළමයින්ට දුන්නහම මොකද වෙන්නේ.
    අනික ඇයි ලංකාවේ හැම වැඩකරන ගැහැණිම මිනිහම ගෙවන්න ඕනේ ටික දෙනෙකුට උපාධි ගන්න. (මේකේ මේ එංගලන්තයේ නිතර අහන ප්‍රශ්නයක්. ඇයි හැමෝම ගෙවන්න ඕනේ ටික දෙනෙකුට ඉගෙන ගන්න කියල - ඒ ප්‍රශ්නෙට හේතුවකුත් තියනවා ). වමේ (එංගලන්ත වම) තර්කය තමා සමාජය විසින් අධ්‍යපනයේ බර දැරියයුතුයි කියල, මොකද උගත් මිනිසුන් සේවය කරන්නේ එම සමාජයටම නිසා කියල. එනිස මුලික අධ්‍යාපනය තවමත් නොමිලේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ගෙවන්න ඕනේ.

    ReplyDelete
  18. ඕං මාත් ආවා අයියේ...!
    දිගටම ලියමු...
    ජය වේවා!!!!

    ReplyDelete