Thursday, April 27, 2017

කීර්තිරත්න පෙරේරා - මීතොටමුල්ලේ හෘදය සාක්ෂිය 2

මම කලින් පෝස්ටුවකින් කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නුවන් බෝපගේ කියූ කතාවක් ලීවෙමි.

එතැනදී බෝපෙ මළමිනීත් විකුණන් කන බව කියන්නට ඇතැම්හු පෙළඹුනහ. හැබැයි නුවන් බෝපගේට විකුණන්නට දෙයක් තිබුනේ නැත. මීතොටමුල්ල අරගලය නුවන් බෝපගේ විකුණුවේ නැත. මීතොටමුල්ල බෝපෙ සහෝදරයාගේ ගමය. ඔහු සටන්කලේ ගම වෙනුවෙන්ය. ඔහුගේ මැදිහත්වීම අවංක නොවන ප්‍රශ්ණය වවාගෙන කන එකක්යැයි ඇතැම්හු කියති. එහෙත් කුඩා දරුවෙක් සිටින පියෙකු වන බෝපගේ තමන්ගේ නිවස ළඟ තියෙන කුණුකන්දෙන් හම්බ කරන්න හිතාවියැයි කීම පලක් නැති කතාවක්යැයි මට සිතේ.

මා කලින් ලීවේ මීතොටමුල්ල ජනතා වාර්තාවේ වැඩ පටන්ගත් මොහොතේ බෝපගේ කළ කතාවයි. මේ එම අවස්ථාවේ කීර්තිරත්න පෙරේරා මහතා කී කතාවයි. කීර්තිරත්න පෙරේරා කවුදැයි හඳුන්වාදිය යුතු නැතැයි සිතමි. ඔහුට ඒ තරම් මීතොටමුල්ල අපරාධයෙන් පසුව මාධ්‍යවල ඉඩ ලැබුණි.



කීර්ති අයියාගේ පවුලේ සිව්දෙනෙක් ඝාතනයට ලක්විය. බිරිඳ පණපිටින් එදිනම ගොඩගෙන තිබුණු අතර රෝහලේදී ඇය මියගියාය. ඔහුගේ මිණිපිරියගේ සහ බෑණාගේ මළමිනී දෙවැනි දිනයේ ගොඩගනු ලැබුණි. එහෙත් ඔහුගේ ආදරණීය දියණියගේ මිනිය සොයාගන්නට නොහැකි විය. එය මුණගැහුනේ දින හයකට පසුවයි. සිරුරු ගොඩගැනීමේ මෙහෙයුම් අවසන්ව පස් සමතලා කරන්නට පටන්ගත් පසුව විය යුතුය.

ඩෝසරයකට පැටලී ඇගේ හිස නැති සිරුර ගොඩට පැමිණියේය. එය කාගේ හෝ කැමරාවක සටහන් වී තිබුණි. හිත් පිත් නැතිව ඒ ඡායාරූපය හුවමාරු විය. ඒ හුවමාරු වුනේ කුණුකන්ද කඩාවැටේවියැයි දන්නා කාලයක සිට කී කීර්තිරත්න පෙරේරා මහතාගේ දියණියගේ ඡායාරූපයයි.

කීර්තිරත්න පෙරේරා


‘‘අපි හිතුවේ කන්ද කඩාගෙන වැටෙයි කියලා. හැබැයි නොහිතපු විදියට පොළොව ඉරිතලලා ගොඩනැඟිලි ඉහලට එසවුණු එක වුණේ. ඔය සිද්ධිය වෙද්දී ගෙවල්වල පිපිරීම් සලකුණු එක්ක අනතුරක සේයා අපි දැක්ක නිසා යන්න ලෑස්තිවෙමින් හිටියේ. කුනුකන්ද කඩාවැටුණානම් දුවල බේරෙන්න තිබුණා. බිරිඳ රෑට අඳින ඇඳුම ඇඳගෙන හිටිය නිසා ගෙට ගිහිල්ලා රාත්‍රියට අඳින ඇඳුම ඇඳගත්තා. අපි ගෙදරින් එළියට ගිය ගමන්ම ගෙදර පිටිපස්සේ තාප්පය කඩාගෙන වැටුණා. බාගයකට වඩා යද්දී එකපාරම පාර ඉස්සරහින් ඉරිතලලා පාර පිපුරුවා. අපට දුවන්න තැනක් හිතාගන්න බැරිවුණා. හැම පැත්තෙන්ම පුපුරනවා. ගෙවල් කිහිපයක් එකපාරම අඩි හතළිහක් විතර උඩට ගියා. හැමතැනම දූවිල්ලෙන් වැහුණා. ඉන්පස්සේ මම දැක්කා කුණුකන්දේ විශාල කොටසක් පහලට ගියා. දූවිල්ල පහවෙද්දී මම දැක්කා බිරිඳගේ ඉනෙන් පහල කොන්ක්‍රීට් ගොඩක්. ඒ වෙලාවේ තරුණ පිරිසක් දුවගෙන ආවා. බිරිඳගේ ඇඟට යටින් මිණිපිරිය යටවෙලා හිටියා. 

දුවගේ කට වැහෙන විදියට පස්, වතුර තිබුණේ. දෙකයි ගාණකට මේක වුණේ. රෑ නවයහමාරට තමයි හමුදාව ඇවිල්ලා මගේ බිරිඳගේ සිරුර බේරාගත්තේ. මිණිපිරීගෙයි, බෑණාගෙයි ශරීර විතරයි දෙවැනි දවස වෙද්දී ගත්තේ. දවස් හයකට පස්සේ බැකෝ එකකට පැටලිලා මගේ එකම දුවගේ සිරුර ගොඩ ආවා. හිස නැති කඳක්. මම ඇඳ හිටපු ඇඳුමෙන් දුවව හඳුනාගත්තා.

....................................................................................................................................................

‘මම 1986 දී ගෙදර හැදුවේ ලස්සන වෙල් යායක. කොළඹට මාරුවීමක් ලැබිලා තමයි කොළඹට ආවේ. බිරිඳගේ තාත්තා හරක් බැන්ද ඉසව්වේ තමයි ගෙදර හැදුණේ. ලෑලි වලින්. අනූ ගණන්වල ප්‍රේමදාස මහත්තයාගේ ගම් උදාවෙන් ලැබුණු රුපියල් පහළොස්දාහකින් තමයි ගල්වලින් ගේ හදාගන්න පුළුවන් වුණේ. ඉන් පස්සේ ටිකෙන් ටික ණය වෙවී ගේ හැදුවා. ණය නිසාම අපි කට්ටිය ගෙදරට කිව්වේ ණයවාසේ කියලා. 

අන්තිමටත් ඉඩමෙ ඔප්පුව තියලා ණයක් අරගෙන ඒ ණය පියවලා මම හිටියේ. කුණු කන්ද කඩාවැටෙන්න ටික දවසකට කලින්. මට ඉඩමේ ඔප්පුව මගේ නමට හදාගන්නවත් බැරිවුණා. මේ අපරාධය සිද්ධවුණා.

.....................................................................................................................................................

කොළඹ නගර සභාවේ කුණු දාන්න අරන් ටික කාලෙකට පස්සේ තමයි කුණුකන්දට ආසන්නයේ අපේ නිවෙස්වලට එහායින් තිබුණු නිවාස මුලින් පිපිරුවේ. මේක දැක්කාම තමයි අපට හිතුනේ මේකට එරෙහිවෙන්න ඕන කියලා. එතකොට නීතීඥ නුවන් බෝපගේ එක්ක මම කැඳවුම්කරු විදියට සියළුදෙනාම එකතුවෙලා කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය බිහිකළා. දිගටම උද්ඝෝෂණ කළා විසඳුම් ලැබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ බලය නිසා කොහොමත් ඔවුන් කුණු දැම්මා. 

ආණ්ඩු වෙනස්වීමක් කරන්න රටේ ජනතාවට අවස්ථාව ලැබුණාම අපිත් ලොකු විශ්වාසයක් තියාගත්තා ආණ්ඩු වෙනසකින් කුණු කන්ද ඉවත් කරගන්න පුලුවන් වෙයි කියලා. දේශපාලඥයෝ අපට පොරොන්දු දුන්නා. බලයට ආ ගමන් කුණු ඉවත් කරනවා කියලා කිව්වා. අපි දිවි පරදුවට තියලා 2015 වෙනස කරන්න කැපවුණා. දින සීයේ වැඩසටහන පටන්ගත්තා. දින සීයේ වැඩසටහන කීවාම අපට ඉතින් ලොකු උනන්දුවක් තිබුණේ. දින සීයෙන් අලුත් රටක් කියලානෙ කිව්වෙ. 

දින සීය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා එක්ක සාකච්ඡාවකට ගියා. අපි ඒ වෙලාවේ එතුමාට කිව්වා කුණු දැමීම දැන්ම නතර කරන්න කියලා. ඒ වෙලාවේ අපට පොරොන්දුවක් වුණා හය මාසයක් යනකොට ඉවත් කරනවා කියලා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුවත්පත් නිවේදනයක් දැම්මා. කුණුවලින් බලශක්තිය නිපදවන ව්‍යාපෘති වලට යෝජනා බාරගන්න. අපි දන්නා තරමින් ව්‍යාපෘති හැටක් විතර ආවා. ඒ යෝජනා හැටෙන් එකක්වත් ආරම්භ කරන්න කලින් නැවත මහ ඡන්දය ආවා. අපට විශ්වාසයක් තිබුණා ටෙන්ඩර් කෝල් කරලා තියෙන එකේ යමක් කරයි කියලා. අපි සෑහෙන්න කැපවෙලා එජාපයට වැඩකරා. පෝලිම් බූත්වලත් වැඩකළා. අපේ අයගෙන් සීයට හැත්තෑවක් විතර ඔවුන්ට වැඩකළා. ආණ්ඩුව පිහිටෙව්වා. ඒකෙන් පස්සේ මොකක්ද වුණේ? අර ටෙන්ඩර් හැට අතරේ කඹ ඇදිල්ලක් ආවා. විවිධ අය තමන්ගේ හිතවතුන්ට ටෙන්ඩර් දෙන්න උත්සාහ කළා. විසඳුම් කල් ගියා. අපි දන්නා විදියට ඒ යෝජනා හැට අතරේ හොඳ යෝජනා තිබුණා ඇතැම් සමාගම් කීවා ඒ වෙනකොටත් කුණුකන්ද සම්බන්ධයෙන් තිබුණු නඩුවලටත් මැදිහත් වෙනවා කියලා. ඔවුන් ඉල්ලුවේ ඉඩමක්, විදුලි බලය විදුලි බල මණ්ඩලයෙන් ගන්නා බවට සහතිකයක් හා ප්‍රමාණවත් කුණු විතරයි. ඔවුන් ආයෝජනය කරන බව කීවා. හැබැයි ඒ හැටම නැතිවුණා. හේතුව හංගන්න දෙයක් නෑ. දූෂණය හා වංචාව.

මෙහෙම වෙද්දී අපි නැවත වතාවක් 2015 දෙසැම්බර් 27 වැනිදා කුණු කන්දට එරෙහිව කළා. කොලොන්නාවේ නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත බස් එකක හෙංචයියෝ දාගෙන ආවා. බස් එකෙන් බැහැලා මම නැතිව තොපි කොහොමද මෙතැන උද්ඝෝෂනය කරන්නේ කියලා කෑගැහුවා. ඊටපස්සේ අපට ගැහුවා. මගේ ඔළුවට ඇණ ගහපු ලීයකින් ගැහුවා. ගුටි කාලා මගේ ඇඟිල්ල අදටත් ඇදයි. නුවන් බෝපගේ සහෝදරයාට මරන්න වගේ ගැහුවේ. මෙතැනට පොලීසිය කලින් ඇවිල්ලා හිටියත් පහරදීම වෙද්දී පොලීසිය යන්න ගිහින් හිටියේ. සිදුවීම ඉවරවුණ ගමන් ආයේ ආවා. මම එළියට බැහැලා යද්දී මට ගහපු අය එක්ක පොලීසියේ ලොක්කා සාකච්ඡාවක්. ටික වෙලාවක් යද්දී මම දැක්කා නගරාධිපතිගේ ගෝලයෝ දෙන්නෙක්ව අරගෙන හොස්පිට්ල් එකට ගමේම පිරිසක් ආවා. පස්සේ බලද්දී ගමේම අය දාලා අපි නගරාධිපතිගේ පිරිසට ගැහුවා කියලා පැමිණිල්ලක් දාන්න උත්සාහ කරලා තියෙන්නේ. 

දවස් තුනක් හොස්පිට්ල් එකේ ඉඳලා මම ප්‍රවෘත්ති සාකච්ඡාවකට ගියේ. කිව්වා කුණුකන්දේ ස්වභාවය. කුණු දිරාපත්වෙද්දී මීතේන් වායුව හැදෙන බව කීවා. වායු ප්‍රතික්‍රියා කළාම ලොකු පිපිරීමක් ඇතිවෙනවා කියලා අපි කීවා. අපි විද්‍යාඥයෝ නෙවෙයි. හැබැයි අපි මේ ගැන දන්නා අය එක්ක සාකච්ඡා කරලා, සමීක්ෂණ කරලා ලබාගත්ත පුළුල් දැනුමක් තිබුණා. මම කිව්වා මේක කඩාගෙන වැටෙයි කියලා. 

මේ අවුරුද්දේ සිද්ධිය වෙන්න දින කිහිපයකට කලින් ඉඳන් පොළොවේ පස් පුපුරනවා වගේ පෙණුනා. යම් එසවීමක් වගේ පොළොවේ වුණා. හැබැයි එකපාර වෙන විනාශයක් පෙනුනේ නෑ. කොහොමද වෙන්නේ කියලා තේරුණෙත් නැහැ. හැබැයි අපි බලධාරීන් කතාව කීවා. ඉන්පස්සේ හරියට අප්‍රේල් එකොළොස්වෙනිදා නිවාස හිමි අයට සාකච්ඡාවකට එන්න කියලා මන්ත්‍රී මරික්කාර් දැනුම්දීලා තිබුණා. එකොළොස්වෙනිදා දොළහට නාගරික කොමසාරිස් එක්ක සාකච්ඡාවකට ගියා. අපට දැනගන්න ලැබුණා ඒ අතරේ අපේ ගෙවල්වලට කණ්ඩායමක් යවලා තිබුණා කියලා අපේ ගෙවල්වල අංක ගහන්න. අපි කිව්වා මේක එන්න එන්න වැඩිවෙනවා. අපේ ගෙවල්වල වටිනාකම ලැබුණොත් අපි ගෙවල්වලින් යනවා කියලා. 

නාගරික කොමසාරිස්වරයා කීවේ 15 000ක මාස කුලී මාස හයක එකවර දෙනවා කියලා. අපි ඒකට එකඟවුණේ නැහැ. අපි කීවේ අපට ඔප්පු තියෙනවා ගෙවල්වල ගාණ දෙන්න කියලා. ඒ වෙලාවෙ මරික්කාර් මන්ත්‍රීවරයා මැදිහත්වෙලා කිව්වා විසිපන්දාහකට වැඩි මුදලක් දෙන්න ඔහු කටයුතු කරන්නම්, හැබැයි අවුරුදු නිවාඩුවෙන් පස්සේ කැබිනට් මණ්ඩලය රැස්වෙනවා, එතකොට සාකච්ඡා කරලා දෙන්නම් කියලා. ඒ වෙද්දීත් ගෙවල් දෙකක් පුපුරලා තිබුණා. අපි කිව්වා ඒ දෙන්නාව නම්කරලා කිව්වා එයාලාට විතරක් හරි වහාම දෙන්න කියලා. හෙට එන්න, දෙන්නම් කිව්වා. හැබැයි මේ ව්‍යවසනය වෙනකන් ඒ දෙන්නාටවත් මොනාවත් දුන්නේ නැහැ. හැබැයි දැන් ප්‍රචාරයක් යවනවා එයාලා හැට දෙනෙකුට මුදල් ලෑස්ති කරලා චෙක් ලියලා තිබුණත් අපේ අය ගියේ නැහැ කියලා. ඒ බොරු.‘

ප.ලි.


මාතලන් ේස්බුක් එෝපේ කතාවට මෙහෙම කමෙන්ට් එකක් දැම්මා. ෝපපෙරටුගාමී සමාජවාදී පක්ෂය එක්ක සම්බන්ධ නිසා වෙන්න ඇති.
 
‘ඔය මරණ වලට ඔක්කෝටම වඩා මුන් වග කිව යුතුයි. මුන් ඒ මිනිස්සුන්ගෙන් බැබලෙන්න ගියා.‘ - මාතලන්   
මේ මම ඔහුට දුන් පිළිතුර
 
‘අන්තිම පට්ටපල් බොරු කතාවක්. බෝපෙ කුණුකන්දට එරෙහිව වැඩ කලේ බැබලෙන්න නෙවෙයි. බෝපෙගෙ ගෙදර තියෙන්නෙත් කුණුකන්ද ළඟ.... බෝපෙගෙ පුංචි දුවත් මේ විස වායුවෙන් හුස්ම ගන්නවා. එයාට මේක විකුණන් කන්න වුවමනාවක් තිබුණෙ නෑ...‘

9 comments:

  1. මෙම ඛේදවාචකය සම්බන්දව මුලින්ම කණගාටුව පලකරමි.....කෙසේ නමුත් කීර්තිරත්න පෙරේරා මහතාගේම අදහස් වලින් පෙනෙන්නේ අනතුරක පෙරනිමිති හොඳින්ම අවබෝද වී තිබියදීත් මුදල් තන්හාව මත තමන්ගේ නිවෙස් වලින් ඉවත්වී ආරක්‍ෂිත ස්ථානයකට පිටව නොයාම තුල මෙම ජීවිත හානී සිදුව ඇති බවයි....ලංකාවේ කඳුකරයේ බොහෝ පෙදෙස් වලට නායයාමේ අවදානම තිබේ...මා ජීවත් වන ප්‍රදේශයේද සමහර පවුල් තම නිවෙස් වලින් ඉවත්වී වෙනත් ස්ථාන වල පදිංචි වුවේ කැමැත්තෙන් නොව තම ජීවිත සෑම දෙයකටම වඩා වටිනා නිසාය...මේ විපතේ වගකීමෙන් වැඩි කොටස රජය සහ රජයේ බලධාරීන් පිට පැටවෙන අතරම ඉතිරි කොටස අනතුර දැක එය නොතකා හල පදිංචි කරුවන්ටද පැවරේ....

    ReplyDelete
    Replies
    1. නමුත් තමන් ගෙවල හදාගත්ත ගෙයකින් යන්න කවුද කැමති වෙන්නේ. ඒ මනුස්සයට වරදක් කියන්න බැහැ. හැබැයි ඒ මම නම් ඔය කියන එක හරි. මම ජිවිතේ බේරා ගන්න ඔය ඔක්කොම දාල යනවා. මොකද දරුවන්ගේ ජීවිතය වඩා වටින නිසා. ගෙයක් නැත්නම් කුලියට හරි හිටිය හැකි.

      Delete
    2. අතේ තියන අන්තිම සතයම වියදං කරගන ගෙවල් හදාගත්ත , එදාවේල ජිවත්වෙන මිනිස්සු කොහේ යන්ඩද

      Delete
    3. කුණු සල්ලි නැතත් කීර්ති අයියල යන්න හිටියෙ.
      යමින් හිටියෙ.
      හැබැයි කුණුකන්ද පිපිරීමක් දෙකක් එක්ක අවදානමේ ස්වභාවය දැනෙන්නෙ නෑ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //ගෝඨාභය රාජපක්ෂගේ බලය නිසා කොහොමත් ඔවුන් කුණු දැම්මා. // මෙතනත් කලින් ලිපියෙත් ගෝඨාභය රාජපක්ෂ බලපෑම් කලා කියනවා. ඒක ඇත්ත තමයි. ඔහුගේ සපෝටර්ස් ල කියන්නේ ඔහු වැඩ පිළිවෙලක් සකස් කරලා තිබ්බේ පුත්තලමට ගෙනියන්න. එවෙලේ ආණ්ඩුව පැරදුන කියල. මේ ආණ්ඩුව අවුරුදු 2 තිබ්බ. මේ ආණ්ඩුවේ එවුන්ට යමක් කරන්න ඒ අවුරුදු දෙක ඇති. දැන් ගෝඨාභය රාජපක්ෂ ට වත් ගිය ආණ්ඩුවටත් බැනල වැඩක් නැහැ. වෙන ආණ්ඩු පත් කරන්නේ ප්‍රශ්න විසඳන්න මිසක් අනන්න නෙමේ. මේ ආණ්ඩුව ඇනුව මේක. මිනිසුන්ට සෑහෙන වන්දියක් ගෙවල දැන්වත් කුණු ප්‍රශ්නය විසඳන්න ඕනේ. නැත්නම් මේ ගොල්ලගෙන් වැඩක් නැහැ.

      Delete
  3. මේ ලිපිය වෙනුවෙන් ස්තුතියි !!!

    ReplyDelete
  4. අඩෝ. උබ නිර්වාණ ගැන කිව්වනේ. කර්ට් කොබෙන් ගැනත් කිව්වනේ. දැන් ලියපන්කො Chris Cornell ගැනත්..!! පුලුවන්නම් ලියපන්කො. එතකොට උබ ලොක්ක.. :D

    ReplyDelete