Monday, July 17, 2017

ඩ්‍රිෂ්‍යම් කතාවට විකල්ප වීරයෝ අටක්




ඩ්‍රිෂ්‍යම් කතාව කියලා කිව්වම ලේසියි. මේ කියන්නේ ධර්මයුද්ධය සහ පාපනාසම් කියන නම්වලිනුත් හඳුන්වපු ඩෘෂ්‍යම් කියා කන්නඩ වලිනුත් ඩ්‍රිෂ්‍යා කියා තෙළිඟු වලිනුත් ඩ්‍රිෂ්‍යම් කියන නමින් හින්දි සහ මලයාලම් භාෂාවලිනුත් නිර්මාණය කෙරුණු කාගේ හෝ ජීනියස් ප්ලොට් එක ගැනයි. භාෂා හයකින් යළි නිර්මාණය වෙන්නට කතාවක් කොච්චර ජීනියස් වෙන්න ඕනද? මේක මීට කලින් දැකලා තියෙන්නේ නිර්මාණ කිහිපයක විතරයි. දෙදාහ දශකෙ මුලින් ප්‍රභූ සහ ප්‍රභූදේවා එකට රඟපු ‘චාලි චැප්ලින්‘ හොඳම උදාහරණයක්. කවුද මේ පසුපස ඉන්න ජීනියස්? ජේතු ජෝසෆ්.


විවිධ අය විවිධ ඒවා කියනවා. සමහරුන්ට හොඳම ඔරිජිනල් එක. මටනම් හොඳ ඔරිජිනල් එකේ  ඩිරෙක්ටර්ම අවුරුදු දෙකකට පස්සේ කරපු පාපනාසම් කියන දෙමළ වර්ෂන් එක. අනෙක් වර්ෂන් කළේ වෙනස් අධ්‍යක්ෂවරුන්. මුල් අධ්‍යක්ෂවරයාටම නැවත කරන්න ලැබීමත්, කමල් හසන් නම් උගත් සහ බුද්ධිමත්, ජීනියස් රංගන ශිල්පියා ප්‍රධාන චරිතය කිරීමත් නිසා දෙමළ වර්ෂන් එක හොඳයි කියලයි මම හිතන්නෙ.
ඒත් ඒක එකිනෙකාට සාපේක්ෂයි.

මේ සටහන මේ නිර්මාණයේ ප්‍රධාන චරිතය ගැනයි. මං කමල් හසන් හොඳයි කියද්දී සමහරු මෝහන්ලාල් හොඳයි කියනවා. තවත් සමහරු අජේ දේව්ගන් හොඳයි කියද්දී කන්නඩ සිනමාවේ ෂෝ මෑන් කියලා හඳුන්වන මට නම මතක නැති නළුවා හොඳයි කියලා තවත් සමහරු කියනවා. මගේ මේ සටහන ඒ එක්කෙනෙක් ගැනවත් නෙවෙයි. මේ චරිත කරපු නළුවෝ හැර චිත්‍රපටියේ වර්ෂන් හයට යොදාගන්න තිබුණු විකල්ප නළුවන් ගැනයි. 

කමල්, අජේ, මෝහන්ලාල්, ජැක්සන් වගේ අය මේ චරිතය කරපු හැටි රසවින්දා. හැමෝම තමන්ගේම සලකුණක් තැබූ විශිෂ්ඨයෝ. ඒ අයට අමතරව මේ ලස්සන චරිතය කරන්නට සුදුසු වෙන අය කවුද. මේ ලැයිස්තුවෙන් කන්නඩ සිනමාව ඈත් වෙන්නේ මම ඒ ගැන වැඩිපුර දන්නේ නැති නිසයි. (තෙළිඟු සහ මලයාලම් සිනමා සාගරයන් දෙකේත් තවම මම පිහිනා ඇත්තෙ ටිකක් බව කියන්න ඕන.)

අමීර් ඛාන්
අමීර්ට කරන්නට බැරි චරිතයක් තියේවිද. සාමාන්‍ය මිනිහෙක්. ඒත් ජීනියස් පොරක්. අවංක කෙනෙක්. තීක්ෂණ බුද්ධියක් සහිත සැලසුම්කරුවෙක්. මේවා අමීර්ටම ගැලපෙන ලක්ෂණ. ත්‍රී ඉඩියට්ස්, තාරේ සමීෆර්, දංගල් වගේ අමීර්ගේ නිර්මාණවලත් දකින්න ලැබුණු සමහර තැන්. බොළඳ ඇක්ෂන් ෆිල්ම්, විහිළු ෆිල්ම්වලින් සීමාකරපු අජේ දේව්ගන්ට වඩා දෙයක් අමීර් කරන්න වුණත් ඉඩ තිබුනා. ඒ විතරක් නෙවෙයි. අමීර් මේ චරිතය කළානම් මීට වඩා ලොකු මුදලක් උපයන්නත් නිෂ්පාදකවරුන්ට තිබුණා. මේ චරිතයේ පෙර නුදුටු පැති කිහිපයක් කමල් හසන් දෙමළ නිර්මාණයේදී ගෙනාවා. අමීර්ට කමල්ට වඩා වෙනස් අපූරු පැත්තක් මතු කරන්න හැකිවෙන්න තිබුණා. 



    විජේ සේදුපති
මම සාමාන්‍ය ගැමියෙක්. අහිංසක මිනිහෙක්. මේවා මේ චරිතයේ නිතර කියැවෙන දේවල්. ඉතින් දෙමළ සිනමාවේ මක්කල් සෙල්වන් (පොදු මිනිහා) වන විජේ සේදුපතිට මේ චරිතය නොගැලපෙන්නෙ කොහොමද. කමල් හසන් අතිවිශිෂ්ඨ බව ඇත්ත. ඒත් හදිසියේවත් කමල්ට කරන්න බැරිවුණානම් මේ චරිතයෙන් විජේ සේදුපතිට බොහෝ දේවල් කරන්න තිබුණා. විශේෂයෙන් මේ චරිතයට දෙබස් පැත්තෙන් ලොකු වැඩකොටසක් තියෙනවා. ඉතින් විජේ සේදුපති තරම් ඒ ඩයලොග් ඩිලිවර් කරන්න තව සුදුස්සෙක් නෑ. අනෙක සමහර දර්ශණ වලදී ප්‍රධාන චරිතය හැරිලා ගමන් කරන හැටි ස්ලෝ මෝෂන් පෙන්වද්දී මට මැවිලා පෙනෙනවා විජේ සේදුපති මේ දර්ශණ කරන විදිය.



 මම්මුති
මලයාලම් චිත්‍රපටියේදී මම්මුතිව තෝරාගත්තානම්. බොහෝවිට ඔහු සම්මාන පිට සම්මාන දිනන්නට තිබුණා. මේ චරිතයට කමල් හසන් හැර මට මවාගන්න පුළුවන් හොඳම රංගන ශිල්පියන් දෙදෙනා තමයි මුලින් කියපු අමීර් සහ දැන් කියන මම්මුති. තෙවරක් ඉන්දීය ජාතික සම්මානය දිනපු විශිෂ්ඨයාට එය සිව්වැනි වතාවට කරන්න වුණත් මේ චරිතයෙන් ඉඩ තිබුණා. විශේෂයෙන් මෝහන්ලාල් මලයාලම් සිනමාව තුළ ගොඩනඟාගෙන හිටපු ප්‍රතිරූපයටත් වඩා මේ චරිතය ගැලපෙන්නේ මම්මුති ගොඩනඟාගත්ත ප්‍රතිරූපයට. 



 රැජිණිකාන්ත්
බොහෝදෙනෙක් තිල්ලුමුල්ලු බලලා ඇති. මම බලලා නැහැ. ඇත්තටම කිව්වොත් සම්පූර්ණයෙන් බලලා නෑ. තුන්කාලක් විතර බැලුවා. රැජිණිගේ ඉදිරිපත් කිරීම ගැන අවබෝධයක් ලබාගන්න තරම්. රැජිණිකාන්ත්ව සහ කමල් හසන්ව සිනමාවට ගෙනාපු අධ්‍යක්ෂවරයා වන බාලචන්දර් මහත්තයා රැජිණිට ජනප්‍රිය සිනමාවේත් කමල්ට සම්භාව්‍ය සිනමාවේත් ඉදිරියට යන්න කිව්වා. ඒත් රැජිණි චිත්‍රපටි කිහිපයක් කළාට පස්සේ අතිශය ජනප්‍රිය රැජිණිගේ උඩුරැවුල කප්පවලා තිල්ලුමුල්ලු චිත්‍රපටිය බාලචන්දර් මහත්තා කළා. ජනප්‍රිය තරුණ වීරයා වන රැජිණිව ඊට සම්පූර්ණයෙන් වෙනස් ගැඹුරු කොමඩියකට ගෙනාවා. පහුගිය අවුරුද්දේ වාර්තා පිට වාර්තා තිබ්බ කබාලි චිත්‍රපටියෙන් රංජිත් අධ්‍යක්ෂවරයා කළෙත් රැජිණිව රීඩිසයින් කිරීම.  ඉතින් පාපනාසම් චිත්‍රපටිය රැජිණිට දුන්නානම් රැජිණිව රීඩිසයින් කරන්නට තිබුණා. රැජිණි කියන්නේ විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. ඉතින් සියල්ලන් මවිත කරවන රංගනයක් කරන්නට රැජිණිට අවස්ථාව ලැබෙන්න තිබුණා. ඒත් රැජිණිගේ ප්‍රාණසම මිත්‍රයා ඒ අවස්ථාව ඩැහැගත්තේ ඔහු හැමදාම කරපු විදියේ චරිතයක් නැවත වරක් කරමින්. විශේෂයෙන් රැජිණිව ගේන එකෙන් ජේතු ජෝසෆ්ට පුළුවන් වෙනවා මේන් කැරැක්ටර් එකේ කළු ගති තවත් වැඩි කරන්න. තව ටිකක් කතාවේ ගැඹුර වැඩි කරන්න කොච්චර කළු වුණත් රැජිණි පසුපස දෙමළ රසිකයන් ඉන්නවා.
රැජිණිට ේ චරිතය කිරීම අමාරුත් නැහැ. සැබෑ ජීවිතේ රැජිනිව දන්නා අය ඉන්නවානම් දන්නවා රෙස්පෙක්ට්ෆුල් අහිංසක පුද්ගලයා රැජිණි ඇතුේ ඉන්නා බව.


චියාන් වික්‍රම්
වික්‍රම්. ඔහු කමල් හසන්ව වරක් පැරැද්දූ බව මට හිතෙනවා. 2003 දී කමල් තමන්ගේ විශිෂ්ඨම රංගනයක් ඉදිරිපත් කළේ අන්බේ සිවම් චිත්‍රපටියෙන්. ඒත් ඒ අවුරුද්දේ ප්‍රේක්ෂක සහ විචාරක සම්මාන දිනන්නේ ඊටත් වඩා විශිෂ්ඨ රංගනයක් පිදාමගන් චිත්‍රපටියෙන් කරපු වික්‍රම්. චරිතයකට සියුම්ව සමවැදීම පැත්තෙන් කමල්ට නොදෙවනි රංගන ශිල්පියෙක් තමයි වික්‍රම්. ඉතින් ඔහු පාපනාසම් චිත්‍රපටියෙදී හෙඩ්ලයින් එකට ගත්තානම් විශිෂ්ඨ චිත්‍රපටියක් දැකගන්න තිබුණා.
 
චිරන්ජීවි
තෙළිඟු සිනමාවේ මෙගාස්ටා වෙච්ච ඔහුට ඩ්‍රිෂ්‍යා චිත්‍රපටිය වෙනම තලයකට ඔසවා තබන්නට හැකිවෙන්න තිබුණා. තෙළිඟු නිර්මාණය මම හිතන විදියට මේ චිත්‍රපටි අතරින් දෙවැනියට නිර්මාණය වුණ චිත්‍රපටිය. ඉතින් චිරන්ජීවි සමඟ මේ චිත්‍රපටිය කළානම් විශිෂ්ඨ නිර්මාණයක් දැකගන්න ඉඩ තිබුණා. මම රැජිණි එක්ක කිව්ව ප්‍රේක්ෂකයාගේ බැක් කිරීම චිරන්ජීවිටත් තියෙනවා.



නාගර්ජුන
නාගර්ජුන හෙවත් කිංග්ට තෙළිඟු චිත්‍රපටියේදී ගෙනෙන්නට තිබුණේ තවත් ඔහුටම ආවේණික රංගනයක්. 2016 තිරගත වුණු තොල නම් දෙමළ චිත්‍රපටියේදී නාගර්ජුනව රෝද පුටුවකට සිර කරලා තිබුණා. එය සිහිවෙද්දී තමයි මේ චරිතයේ නාගර්ජුනටත් විශේෂ යමක් කළ හැකි බව හිතෙන්නේ.
  
 රන්ජන්
පොඩ්ඩක් ඉන්න. මේ කියන්නේ කන්නඩ, තෙළිඟු සිනමාවක ඉන්න නළුවෙක් ගැන නෙවෙයි. අපේ රන්ජන් ගැනම තමයි. රන්ජන්ගෙන් සියුම් රංගනයක් ගන්න බැරිද. රන්ජන්ගේ සියුම් රංගනයන් දුටු කෙනෙක්ට එහෙම හිතෙන එකක් නෑ. අපි මෑත කාලයේ රන්ජන්ගෙන් ගත්තේ හෙණකඳයන්ගෙ චරිත විතරයි. රන්ජන් හොඳ අධ්‍යක්ෂවරයෙක් නොවන බව ඇත්ත. ඒත් රන්ජන්ට මහන්සිවෙලා හොඳ නිර්මාණයක් සාර්ථක කරන්න පුලුවන්. මායා චිත්‍රපටියේදී රන්ජන්ගෙන් දකින්න ලැබුණේ විශිෂ්ඨත්වය. මටනම් රන්ජන් මාව රසයෙන් පුරවන්න හැකියාවක් ඇති රංගන ශිල්පියෙක්. ඒත් රන්ජන් හොඳම සිතන්නා නෙවෙයි. රැජිණි බාබා කළාම ඒක කුණුගොඩක් කියලා හිතෙනවා තමයි. මොකද රැජිණිකාන්ත් හොඳම හිතන්නා නෙවෙයි. රන්ජනුත් ඒ වගේ. මම හැමදාම හිතන්නේ රන්ජන්ගෙන් සිංහල සිනමාවට මීට වඩා ගොඩක් වැඩ ගන්න තිබුණා. ඔහු අවංක මිනිහෙක්. හොඳ මිනිහෙක්. කැපකිරීම් කරන්න සූදානම් කෙනෙක්. දැන් වුණත් පරක්කු නැහැ. රන්ජන් නමැති සුපිරි ප්‍රතිරූපයෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. පාපනාසම් මිස් වුණත් ඔහුව එවැනි නිර්මාණයකට දායක කරගන්න පුලුවන්. රන්ජන් දේශපාලනය තුළ බිල්ඩ්අප් කරන්න කැමති කැරැක්ටර් එකත් එක්ක යම් තරමකින් ධර්මයුද්ධයෙ කැරැක්ටර් එක තියන්න පුළුවන්. හැබැයි රන්ජන්ව කැමති කරවාගන්න වෙනවා ඩිරෙක්ටර් කැමති දේවල් විතරක් චරිතය ඇතුලේ කරන්න.

15 comments:

  1. මම මේ හින්දියෙන් බලපු මේ චිත්‍රපටය ගැන විචාරයක් ලියන්න පොර කකා හිටියේ. කොහෙම උඩුවා වැඩේ කාලා නේ!

    හින්දි එකේ මට අමීර්ට වඩා අජේ හොඳයි හිතෙන්නේ පෙනුමෙන්. රංගනයෙන් දෙන්නා කරට කර වගේ.

    විජේ සේදුපති - හම්මේ... මාර නළුවෝ නේද? මම ඒ දාල තියෙන ෆිල්ම් කොටසේ මුළු ෆිල්ම් එකම බැලුව... මාර ඇක්ටින්!! ඒ වගේම ඔහුගේ පෞර්ෂය නම් කියල වැඩක් නැහැ. මම කොහොමත් එයාට මාර ආසයි.

    චිරන්ජීවි, නාගර්ජුන - එකඟයි
    රැජිණිකාන්ත් - ඔහුත් අපේ ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ මට. ඕවර් ඇක්ටින්. මේ චරිතයේ ඕවර් ඇක්ටින් හරියන්නේ නැහැ.

    රන්ජන් - එකඟයි. දැනට ඉන්නේ ඔහු පමණයි වගේ. ඔහුගෙන් යමක් 'කරවගන්න' සමත් අධ්‍යක්ෂක කෙනෙක් ලංකාවේ නැහැ වගේ.

    හම්මේ.... මාර ෆිල්ම් එක නේද?

    ReplyDelete
    Replies
    1. මේක සිංහලෙන් ගහන්න යනවා කියලා ආරංචි උනා. ජැක්සන් නේද ඉන්නේ?

      Delete
    2. දැන් ෆිල්ම්හෝල් වල තියෙනවා

      Delete
  2. ඩ්‍රිෂ්‍යම් හින්දි dvd එක ගෙදර තියෙනවා ඒත් බලන්න ලැබුනේ නෑ. මේ ලිපිය කියෙව්වම බලන්න හිතුනා. එතකොට දැන් තිරගතවෙන ධර්මයුද්ධය කියන්නේ මේකේ සිංහල එකද?

    විජේ සේදුපති, රැජිණිකාන්ත් සහ වික්‍රම් ගැන අදහසට එකඟයි. ඔවුන් ඉතාම දක්ෂ නළුවෝ. රන්ජන් ගැනත් බොහෝ දුරට එකඟයි. රන්ජන්ගේ පිම්බුණ තඩි ඇඟ ඇතුලේ දක්ෂ නළුවෙක් ඉන්නවා.

    අවසාන වශයෙන් බ්ලොග් එක නැවත ලියවෙන එකට සතුටුයි. ඉඳලා හිටලා හරි චිත්‍රපටයක් ගැන දැනගන්නේ මේකෙන්නේ.

    ReplyDelete
    Replies
    1. @Udaya: ඔව්.. ධර්ම යුද්ධය කියන්නේ ඒක තමයි

      Delete
  3. මම බලල තියෙන්නෙ හින්දි වර්ෂන් එක විතරයි, හැබැයි ඉතින් ජීවිතේටම අමතක නොවෙන ෆිල්ම් එකක්. අමීර් ඛාන්ට මේ චරිතය දුන්නානම් ඔහු එය බොහෝ හොඳින් කරයි ( මගේ මතයනම් අසාර්ථක නිර්මාණයක් වෙන්න තිබුණ ඩූම් 3 ගොඩදැම්මෙ අමීර්ගෙ සුපිරි ද්විත්ව චරිත රංගනය) ඒ වුණත් මම හිතන්නෙ පෙනුමෙන් මේ චරිතෙට ගැලපෙන්නෙ අජේ දෙව්ගන්. හැබැයි ඔහුගේ බිරිඳගේ චරිතය රඟපාපු ශ්‍රියා සරන් රංගනයෙන් අජේටත් වඩා ඉදිරියෙන් හිටිය මට දැණුන විදියට.

    ReplyDelete
  4. කියෙව්වා.. මට හින්දි තමා හොඳ...

    ReplyDelete
  5. ඉන්දියානු චිත්‍රපටි බලන්නෙ නැති නිසා ඔබගේ විචාරය ගැන මට අදහසක් නෑ. හැබැයි රන්ජන්ගෙ චිත්‍රපටි බලලා තියෙනවා. මිනිහට මොකක් හරි අවුලක් තියෙනවා, එක්කො තවත් විජේ කෙනෙක් වෙන්න ට්‍රයි කරනවා, නැත්නම් චිත්‍රපටිවල මං පොර වෙන්න හදනවා. ඒකෙන් වෙන්නෙ නිකන් සීනි බෝල කතාවල ඉන්න කාඩ්බෝඩ් වීරයෙක්වීම. ඔබ කියනවා වගේ හොඳ අධ්‍යක්ෂකයෙක් ලවා හොඳින් මෙහයවා වැඩක් ගත යුතුයි.

    ReplyDelete
  6. මං කැමති විජේ සෙතුපාදි ගත්ත නං.

    ReplyDelete