Thursday, February 08, 2018

විජයකලා මෛත්‍රී ප්‍රේමය සහ කාන්තා දේශපාලනය


රේඛා / උඩුවා


ලංකාවේ දේශපාලන සංස්කෘතික අවකාශයේ ඉන්න කාන්තාවන්ට විඳින්නට වෙන අත්දැකීම් මොනවගේද. බොහෝවිට මාධ්‍යවේදිනියන්, සිවිල් ක්‍රියාකාරිනියන්, ෆේස්බුක්හි දේශපාලන අදහස් පළකරන්නියන් වගේම දේශපාලනයේ නිරතවෙන කාන්තාවන්ට මුහුණදෙන්නට සිදුවෙන අත්දැකීම් මොනවගේද. 

ඡායාරූපය උපුටා ගත්තේ නිරූපණය සඳහා පමණි. මේ අදහස් අනුමත කරන්නට නොවේ



ලංකාවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් දැවැන්ත ජයග්‍රහණයක් වෙච්ච මැතිවරණයක් අත ළඟ තබාගෙන ඒ ගැන කතා කරන්නට අපට හිතුණා. හැබැයි මේ මාතෘකාව හදිසියේ ලියන බ්ලොග් ලිපියකදී පිළිවෙලකට අදහස් දක්වන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. ඉතින් මේ සටහන අපිළිවෙල බව කියවද්දී ඔබට දැනේවි. 

කාන්තාවගේ දේශපාලනය

කාන්තාවන් කියන්නේ දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන පිරිසක්. කාන්තාවන් දේශපාලනය ගැන උනන්දුවක් දැක්විය යුතු නැහැ වගේ අදහස් අප අතර තියෙන්න පුළුවන්. 

අපි බොහොම ආසාවෙන් නරඹන සහෝදරයා වැනි ටෙලිනාට්‍යයක් සැලකිල්ලට ගමු. මේක ලංකාවේ දේශපාලනය ගැන කතාකරන ටෙලිනාට්‍යයක්නේ. ජනමාධ්‍ය කියන වැදගත් තැනින් දේශපාලනය අල්ලාගත් ටෙලිනාට්‍යයක්. සහෝදරයා ටෙලිනාට්‍ය යේ පෙන්වන පුවත්පත් ආයතනයේදී හෝ සිටින දේශපාලනය ගැන උනන්දු කාන්තා චරිතයක් සිහිපත් වෙනවද. දේශපාලනය ගැන උනන්දු එකම කාන්තා චරිතය තමයි රජීවගේ අක්කා. ඇය සාමය සම්බන්ධ සිවිල් සංවිධානයක වැඩකරන කාන්තාවක්. ඇය ගැන විශේෂම ලක්ෂණය ඇය පවුල් ජීවිතයක් ගත කරන්නෙ නෑ. ඇය තනිකඩයි. ඒ වගේම ඇගේ චරිතයක් ගැඹුරු දේශපාලන කාරණා ගැන සංවාද කරන දර්ශණ ටෙලිනාට්‍යයේ දකින්න නැහැ.

අනෙක් චරිත මොනවද? සම්පූර්ණ ටෙලිනාට්‍යයේ ගුවන් කාලයෙන් වැඩි කොටස බොලඳ විදියට අඬන හිනාවෙන රජීවගේ බිරිඳ. ඇය ලංකාවේ දෙමළ තරුණියක්. ලංකාවේ දෙමළ තරුණියක් වීම සහ රජීව වැන්නෙකුගේ බිරිඳ වීම විසින් ඇයට ලැබිය යුතු දේශපාලන අවබෝධයවත් ඇයට නැහැ.  

අජන්තගේ පෙම්වතියත් එවැනි බොළඳ පෙම්වතියක් පමණයි. ඇයටත් කිසිම දේශපාලන අවබෝධයක් නෑ. ‘මට ඕවා තේරෙන්නෙ නෑ මහත්තයෝ’ වැනි සරල වචනයකින් මහත්තයාගේ දේශපාලනයට ඉඩ දි පැත්තකට වෙන කාන්තාවන් තමයි ඉන්නේ. 


ඇත්තටම මේක ලංකාවේ දේශපාලනය කරන පිරිමි අයගේ ආසාවක්ද කියලා හිතෙනවා. තමන් කරන මාර දේශපාලනය ගැන පෙම්වතියට හෝ බිරිඳට ලොකු කතා කියමින් තමන් මොනතරම් ගැඹුරු දේශපාලනයක් කරනවාදැයි තමන්ටම ඒත්තු ගන්වාගන්නට දේශපාලනය කරන පිරිමි කැමතියි. ( මේක කියන්නේ යම් අත්දැකීම් එක්කයි. ) 

ඇමෙරිකාව

වටේ යන්නේ නැතිව අපි කියන්නට සූදානම් වූ කතාවට එන්න ඕනෙ. එහෙත් ඊට කලින් මතක් කරගන්න ඕනෙ පහුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණය ඇමෙරිකන් ඉතිහාසයේ ස්ත්‍රී විරෝධීම මැතිවරණයක් වූ බව. ට්‍රම්ප් පාක්ෂිකයන් බොහෝවිට අතාර්කික අන්තවාදී අදහස් එක්ක හිලරි ක්ලින්ටන්ව ඉවර කරන්නට උත්සාහ ගත් බව ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන උනන්දු වූ අයට මතක ඇති. 

එක් වතාවක් ඇමෙරිකානු දේශපාලනික කොමඩි වැඩසටහනකින් ට්‍රම්ප්ට සහාය දෙන අයගෙන් ප්‍රශ්ණ කිහිපයක් විමසා තිබුණා. එහි එක් ප්‍රශ්ණයක් වුණේ කාන්තාවන්ට රාජ්‍ය නායකත්වය දිය යුතුද කියායි. එක් කාන්තාවක් මෙහෙම කියනවා.

‘නැහැ. කාන්තාවන්ගේ හෝමෝන ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් කාන්තාවෝ නායකත්වයට ආවොත් යුද්ධ ඇතිවෙන්න පුළුවන්.’

එතකොට මාධ්‍ය වේදියා අහනවා, ‘ඒත් ලෝකයේ ඇතිවුණ හැම ලොකු යුද්ධයක්ම වගේ පිරිමි නායකයන් ඉන්නකොට ඇතිවුණ ඒවා නේද?’ කියලා. 

‘ඔව්.’ කාන්තාව උත්තර දෙනවා. ඇය කටඋත්තරයක් නැතිව ඒ මොහොතේ හිරවෙනවා. ඒත් කාන්තාවන් දේශපාලන නායකත්වයට නුසුදුසු බවට ඇගේ තියෙන අදහස වෙනස් වෙන්නෙ නෑ. ' 

රෝසි

මෑත දිනයක කවුරුන් හෝ රෝසි සේනානායකගේ ලස්සන ගැන කතාකර තිබුණු හැටිත් සිහිවෙනවා. කවුරුන් හෝ දේශපාලන රැස්වීමකදී හෝ රූපවාහිනී වැඩසටහනකදී ‘රෝසි ලස්සනයි’ යැයි පවසා තිබුණා. ( යම් කෙනෙක් මේකට විරෝධය පළකරලා ෆේස්බුක් පෝස්ටුවක් දාලා තිබුණා. )

එහෙත් ඇය ඒ ප්‍රකාශයට විරෝධය පළකරලා තිබුණා. රෝසිට පමණක් නෙවෙයි, ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවල සහ වැඩසටහන්වලදී මෙන්ම දේශපාලනයේ තිරය පිටුපස කතා ගැන ආරංචිවලදීත් අහන්නට ලැබෙන දේවල් කාන්තාවකට ගෞරවණීය ලෙස දේශපාලනය කරන්නට පසුබිමක් නැති බව පෙන්වන අවස්ථා.  

ඇත්තටම ඉදිරියේදී කාන්තාවන් දේශපාලන ආයතනවල සීයට විසිපහකට වැඩි ප්‍රතිශතයක් නියෝජනය කිරීම අනිවාර්ය වෙන්නේ ඒ වගේ පසුබිමක් තිබියදීයි.
ඉතින් යළිත් සිහිපත් කරන්න ඕනෙ අනෙක් අවකාශවලටත් එහා ගිහින් සමාජ දේශපාලන අවකාශයට ස්ත්‍රිය ආපු ගමන් අනෙක් දේවල් පසෙකලා කට්ටිය උනන්දු වෙන්නේ ඇගේ රූපය, ඇය ස්ත්‍රියක් වීම වැනි කාරණා ගොඩක් ගැන. ඇත්තටම සමහර කාන්තාවන් තමන්ගෙ ස්ත්‍රිත්වය පාවිච්චි කරනවා සමාජ දේශපාලන අවකාශයේ තමන්ගේ තැන සලකුණු කරගන්නට. හැබැයි සමහර ස්ත්‍රීන් මේ කාරණය ගැන හොඳට සවිඥාණිකයි. ඉතින් ඔවුන් තමන්ගෙ දේශපාලන අදහස් වෙනුවට ස්ත්‍රිත්වය ඉදිරියට ගන්න උත්සාහ කළොත් දැඩිව ඒකට විරුද්ධ වෙනවා. 

සමහර වෙලාවට කාන්තාවක් එක්ක මොකක්හරි ෆේස්බුක් වාදයක් ඇතිවුණොත් කතාව ඉවරවෙන්නේ ඇය ලිංගික ශ්‍රමිකාවක් වෙමින්. ඇගේ චරිතය ගැන දැඩි විවේචන එල්ලවෙමින්. 

විජයකලා

මේ සියල්ල මැද අපි එන්නේ ලංකාවේ මෑතකාලීන දේශපාලනය තුළ ස්ත්‍රියක් වීම සහ ප්‍රමාණයෙන් සුළුතර ජනවර්ගයකට අයිති කාන්තාවක් වීම නිසාම දරුණු වාචික හිංසනයන්ට ලක්වුණ විජයකලා මහේෂ්වරන් නියෝජ්‍ය අමාත්‍යවරිය වෙතට. 

ඇත්ත, විද්‍යා ඝාතන නඩුවේදී මෙන්ම වෙනත් කාරණා බොහොමයක් ගැන ඇයට එල්ලවෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් වෙනම කතාකළ යුතුයි. ඇය ප්‍රභාකරන් ගැන කළ ප්‍රකාශය ගැන අදහස් ගැන විවේචන ඇතිවිය හැකියි. එ්ත් ඇගේ ගැහැණුකම පාවිච්චි කරමින් දරුණු වාග් හිංසනයන් කිරීම කොහොමත් පිළිගත නොහැකියි. 

සිංහල ජාතිකවාදී දේශපාලන අදහස් තියෙන දේශපාලනය ගැන ලොකු අවබෝධයක් තියෙන සහ කිසි අවබෝධයක් නැති බොහෝදෙනෙක්ගේ දැඩි වෛරයට ලක්වෙන උතුරේ කාන්තාවක් තමයි නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්. 

ලංකාවේ බොහෝ කාන්තා දේශපාලන පෞරුෂයන් මෙන්ම ඇයත් දේශපාලනයට එන්නේත් සැමියාගේ පසුබිම නිසා. විජයකලා මහේෂ්වරන් ඝාතනයට ලක්වූ ත්‍යාගරාජා මහේෂ්වරන් මහතාගේ බිරිඳ. මහේෂ්වරන් මහතා ව්‍යාපාරිකයෙක් වගේම උතුරේ පක්ෂ වෙනුවට දකුණේ ජාතික දේශපාලන පක්ෂයකට එකතුවී ජාතික තළයේ දේශපාලනය කළ දේශපාලඥයෙක්. ඔහුව 2008 දී ඝාතනය වෙනවා. ඝාතනයට වගකිවයුත්තේ එල්ටීටීඊයයැයි කියනවා. එහෙත් ඒ ගැන ප්‍රමාණවත් පරීක්ෂණ සිදුවී නැහැ. විජයකලා මහේෂ්වරන් දේශපාලනයට එන්නේ ඒ අයුරෙන්. සැමියාගේ ඝාතනයෙන් පසුව.

මේ සියල්ල මැද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සමාජ මාධ්‍යවල විහිළුවට ගන්නා අය විසින් ඔහු සහ විජයකලා මහේෂ්වරන් නියෝජ්‍ය ඇමතිවරිය අතර ප්‍රේම සම්බන්ධයක් ගැන කතාකරනවා. මේක අහිංසක විහිළුවක් නෙවෙයි. මේක බොහොම දරුණු, ඉතාම පහත් වැඩක්. 

මෛත්‍රීපාල සිරිසේන කොටි හිතවාදියෙක්ය යන අදහස දැඩිව ජාතිකවාදී අදහස්වලට සහාය පළකරන තරුණයන් අතර පොම්ප කළ එකක්. ඒ අතරිනුත් අනෙක් දෙමළ දේශපාලඥයන්ට එහා ගිහින් විජයකලා මහේෂ්වරන් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අනියම් සම්බන්ධයක් ගැන කතාවක් දක්වා මේ චෝදනාව එන්නේ ඇය කාන්තාවක් වීම නිසා. මේ පහත් විහිළුවම පවිත්‍රා වන්නිආරච්චි සහ මහින්ද රාජපක්ෂ මහතාව සම්බන්ධ කරමින් මහින්ද විරෝධීනුත් කරනවා. 

ඇත්තටම ජනාධිපතිවරයාව සමාජ මාධ්‍යවල විහිළුවට ගැනීම, ඔහුගේම වචන ඔහු විසින් පාවාදුන් අවස්ථා හාස්‍යමුසුව ඉස්මතු කිරීම හොඳ දෙයක්. දේශපාලනයේදී කොමඩිය හොඳම දේශපාලන උපක්‍රමයක්. ලංකාවෙ තිබුණු හැම දේශපාලන කොලමකටම වඩා අපි විමලෙගෙ කොලමට කැමතිවෙන්නෙ ඒ හින්දා. ඇමෙරිකාවෙ ඕනම දේශපාලන වැඩසටහනකට වඩා දේශපාලන හාස්‍යමය වැඩසටහන්වලට අපි කැමතියි. අවන්ත ආටිගලගේ කාටූන් හොය හොයා රසවිඳින්නෙ ඒ නිසා. 

දේශපාලනඥයන්ගේ නින්දිත කතා සහ ක්‍රියා හොඳින්ම සහ ප්‍රබලවම ඉස්මතු කරන්න පුළුවන් හාස්‍ය තුළින්. 

එහෙත් ඒ හාස්‍යය දේශපාලනිකව නිවැරදි වෙන්න ඕනෙ. ඒ හාස්‍ය ස්ත්‍රී විරෝධී නම් ඒකේ ඇති ඵලය මොකක්ද? නැත්නම් හිංසනයෙන් පිරුණු එකක් නම් ඒකේ ඇති යහපත මොකක්ද. 

ගැහැණුන් දේශපාලනය තුළ වැඩි වැඩියෙන් වැඩ කරද්දී එක් අතකින් ඇය ස්ත්‍රියක් කියන එක අමතක කරන්න වෙනවා. ඇයට සමාන අවස්ථාවක් ලබාදෙනු පිණිස. අනෙක් අතට ඇය ස්ත්‍රියක් කියන එක සැමවිටම මතක තබාගන්න වෙනවා. ඒ නිසා ඇයට සමාන තැන ලබාදීම කියන්නේ පිරිමින්ට දෙන තැන එලෙසම ඇයට ලබාදීම නෙවෙයි. ඒ කාරණය ඒ තරම් සරල නැහැ. ඒ නිසාම ඒ ගැන වැඩිපුර කතාකරන්න මෙතැන බැහැ.
 
ඒත් අපි කියන්නේ සරල කාරණයක්. කාන්තාවන් ගැන පුළුල් විදියට කල්පනා කරමු. ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරමු. මේ කාරණය සිහිතබාගත යුත්තේ පිරිමි පමණක් නෙවෙයි. කාන්තාවන්ටත් එය වැදගත්.

හැකිනම් කාන්තාවකට ඡන්දය පාවිච්චි කරමු. ඔවුන්ව දිරිමත් කරමු. 


ඡායාරූප උපුටා ගත්තේ නිරූපණය සඳහා පමණි. මේ අදහස් අනුමත කරන්නට නොවේ...








5 comments:

  1. මෙහෙමයි උඩුවෝ,

    මට අහන්න තියනවා අති සරල ප්‍රශ්නයක්, මෙච්චර කල් පත්වෙලා අපු කාන්තාවෝ රටවෙනුවෙන් මොනවද කරලා තියන්නේ, පසුගිය වතාවේ පාර්ලිමේන්තු ගිය පබා'ල බබාලා, වැඩිය ඕනේ නෑ කාන්තාවෝ වෙනුවෙන් මොනවද කරලා තියන්නේ ? අඩුගානේ පාර්ලිමේන්තුවේ කාන්තාවෝ කොච්චර වෙලා කතා කරලා තියනවද වසර 5ට ?

    //ඇත්ත, විද්‍යා ඝාතන නඩුවේදී මෙන්ම වෙනත් කාරණා බොහොමයක් ගැන ඇයට එල්ලවෙලා තියෙන චෝදනා //
    එක තමයි කාරණාව කාන්තාවන් පිඩනයට වැඩියෙන්ම පත්කරන්නේ කාන්තාවන් තමයි මෙනිසයි 50% වැඩි කාන්තා චන්ද දායකයන් සිටින මේ රටේ කාන්තාවන්ට චන්දය නොදෙන්නේ.

    බොලාට මතක නැද්ද මේ කාන්තාව කිව්වා පිරපාහරන් ඉන්නකාලේ කාන්තාවනට වැඩි ආරක්ෂාවක් තිබුන කියල ?
    https://www.youtube.com/watch?v=HrHj-cExW2c

    මේවගේ ගෑනු දේසපාලනය කරන්නේ රටට සේවයටවත් කාන්තාවන්ට සේවයටවත් නෙමෙයි තමන්ගේ මඩිය තරකරගන්න..
    ඔයකියන අපහාස පිරිමි රනිල්ට ලැබිල නැද්ද පිරිමි වයසක ජෝන් ට ලැබිල නැද්ද ? නිකන් පිස්සු කියවන්න එපා උඩුවෝ.

    පුලුවන්නම් පෙන්වල දීපන් කාන්තාවන්ට බලය ලැබීම නිසා දියුණු වුනු කාන්තා සමාජයක්, දේසපාලනය කරන කාන්තාවන් දියුණු වීම නෙමෙයි මම කින්නේ.

    ඇමරිකාව අර පචහලන හිලරිට වඩා පිස්සු කෙලින ට්‍රම්ප් හොද උනේ ඒ රටේ මිනිසුන්ගේ අවබෝදය නිසයි, තොට අමතකඋනාට මේ අම්මට සිරි ලංකාවේ තමයි බොල ලෝකේ ප්‍රථම අගමැති වරිය බිහි උනේ උන්දගේ දොනියන්ද රටේ ජනාධිපති කම කල බව බොට මතක නැද්ද? ජේ ආර් පප්පට අවුරුදු 17කට බලය මිනිසුන් දුන්නේ කාන්තාව ගේ බුද්ධියේ ඉහල මට්ටම දැනිල තමයි.

    ReplyDelete
  2. දෙමළ ගෑණියෙක්ට අනං මනං කීවා කියලා උඩුවට ඩෝං ගිහිං.
    මේක සිරාවට අහන්නේ, උඩුවෝ ඔයාට පුළුවන්ද දෙමළ ගෑණියෙක් එක්ක සෙක්ස් කරන්න?
    ඔට්ටුයි බැරුවට.

    මම අනාවැකියක් කියන්නම්.
    උඩුවා දැන් ලොකු හපන්කමක් කරනවා කියලා හිතාගෙන දෙමළ ජාතිවාදයට කඩේ යනවා.
    හැබැයි තව ටික කාලයක් ගියාම දෙමෙල්ලු අවංක නෑ කියලා තේරිලා එයාට ඕක එපා වෙනවා. ඊට පස්යේ එයා ජිහාඩ් සංවිධානයකට බැඳෙයි.

    ReplyDelete
  3. මට ආපු අහස් කීපයක් හා ඊට වඩා ෙබාහෝ කරුනු ඉහත කොමෙන්ටුවේ දාල.
    1. ලෝකයේ ප්‍රථම අගමැතිනිය.?
    2.විජය කලා නෝනා කියපු ප්‍රභාකරන්ගෙන් ලැබුන ආරක්ෂාව?
    3. ෙදවරක්ම ගැහැනියක්ව ජනාධිපති ලසෙ පත්කර ගැනීම.?

    ReplyDelete
  4. කාන්තාවකට (හෝ පිරිමියෙකුට) තම ඡන්දය පාවිච්චි කල යුත්තේ දේශපාලන හැකියාව, අවංක බව ආදී කරුණු සලකා බලා මිසක් කාන්තාවක් වීම නිසාම පමණක් ඡන්දය පාවිච්චි කිරීම නම් විහිළුවක්.

    ReplyDelete
  5. කාන්තාවෝ දෙන්නෙක්ම රටේ ප්‍රධාන තනතුරට පත් වෙලා.. කාන්තාවෝ මැද පෙරදිග යවලා ජීවත් වෙන රටක්... ඒකයි රටේ ප්‍රධාන ආදායම..

    අනික මම හිතන්නේ උඩුවට මේ ඡන්ද ක්‍රමය ගැන වැටහීමක් නෑ...

    මේකෙදි පුද්ගලයකුට ඡන්දය දෙන්න බෑ... පක්ෂයකට ඉතරයි ඡන්දය දෙන්න පුළුවන්...

    ReplyDelete