Wednesday, April 11, 2018

කම්මැලියි බන්සාලි!


සංජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටියක් නම් විශිෂ්ඨ වැඩක් කියන එකයි සමාජයෙ මතය. උතුරු ඉන්දියාවටත් ඒ අදහස තියෙනවා. දකුණු ඉන්දියාවටත් මේ අදහස තියෙනවා. ඒත් කුමන හෝ හේතුවක් නිසා බ්ලැක් සහ හම් දිල් දේ චුකේ සනම් හැර සංජේ ලීලා බන්සාලිගේ හැම චිත්‍රපටියක්ම මහා කම්මැලි ටෙලිනාට්‍ය එපිසෝඩ් වගෙයි අපට දැනෙන්නෙ. පද්මාවත් බැලුවාම ඒ අදහස තවත් කොන්ක්‍රීට් වුණා. 




සමහර ෆිල්ම් පිටවෙන්නටත් කලින් ඉඳන්ම බලන්නේ කවදාදැයි මඟ බලාගෙන ඉන්න හිතෙනවා. ටේලර් එක ඇතුළු මුල් ප්‍රචාරණ වලින්ම හිතට වදිනවා. එහෙම ෆිල්ම් අපි දුවගෙන ගිහින් පළවැනි දවසේම හෝල් එකේ බලනවා. මොන ආර්ථික අවුල තිබුණත්. හැබැයි පද්මාවත් හෝල් එකේ බලන්න හිතුණේම නැහැ. අන්තිමේදී ඊයේ ලැබුණු පොඩි වෙලාවක් අරන් අමාරුවෙන් වගෙ ෆිල්ම් එක බැලුවා. 

ඇත්ත. බන්සාලි තමන්ගේ චිත්‍රපටිය ඇතුලේ ලස්සන රූපරාමු මවන්න උත්සාහ කරනවා. හැබැයි ඒවා සාම්ප්‍රදායික උතුරු ඉන්දියානු වටිනාකම් එක්ක දුවන රූපරාමු. සමහර වෙලාවට ඒ සාම්ප්‍රදායික වටිනාකම් කිසිවක් අභියෝගයට ලක් කරන්නේ නැහැ. අනෙක් අතින් මේ චිත්‍රපටිවල තේමාවන් එක්ක මීට වඩා ලස්සන පිටපතක් නිර්මාණය කරගත හැකිව තිබුණා. එහෙත් බන්සාලිගේ පිටපත් මහා ට්විස්ට් හෝ ටර්න්ස් නැති, අඩු තරමේ කුතුහලයක්වත් බිල්ඩ් කරන්නේ නැති ඒවා. 

පද්මාවත් චිත්‍රපටියේ කියන්නට උත්සාහ කරන්නේ මොකක්ද? තේරුමක් නැති රාජ්පුත් වටිනාකම ගැනද? අන්තිමේදී ගින්නට පනින අය අතර ගැබිණි දරුවන් සහ මවුවරුන්ද ඉන්න බව පෙන්වනවා. මේ දරුවන් සහ මව්වරුන් ගින්නට පනින්නේ මොකක් ආරක්ෂා කරගන්නටද? ඛල්ජි රජාට ඕනේ පද්මාවතීව නම් ඇය විතරක් ගින්නට පැන්නාම ප්‍රමාණවත් නේ. අනෙක් ජීවිත විනාශ කරගන්නෙ මොකද? ඇත්තටම රාජ්පුත්වරු දැං මේ චිත්‍රපටියට විරුද්ධව උද්ඝෝෂණය කිරීමත් විහිළුවක්. පද්මාවත් සහ ඛල්ජි මුහුණට මුහුණ හමුවෙන දර්ශණයක් තියෙන නිසාද ඒ? ඒ මොන විකාරයක්ද? උං දෙන්නා මුහුණට මුහුණ හමුවීම කෙසේ වෙතත් මේ චිත්‍රපටිියේ තියෙන්නෙ රාජ්පුත්වරුන්ගේ විකාර සම්ප්‍රදාය වර්ණනාවට ලක් කිරීමක්ම තමයි. පද්මාවත් කාව්‍යයේ තියෙන පරණ කතාව ආපහු රිපීට් කිරීමක් හැර ඒ කතාව අලුත් මානයකට අරගෙන එන එක පද්මාවත් චිත්‍රපටියේ එන්නේ නැහැ.

සම්පූර්ණයෙන්ම නරක රජෙක් සහ සම්පූර්ණයෙන්ම හොඳ රජෙක් අතර කතාවකුයි චිත්‍රපටියේ තියෙන්නේ. අඩුම තරමේ ඛල්ජි රජතුමාගේ චරිතය තවත් ගැඹුරෙන් නිර්මාණය කළානම්. සම්පූර්ණ නපුර වෙනුවට හොඳ නරක මිශ්‍ර දියුණු කැරැක්ටර් එකක් නිර්මාණය කළානම්.



ඓශ්චර්යා රායිට සහ ඇය වයසට යද්දී දීපිකා පදුකෝනිට ආදරය කරපු මේ අධ්‍යක්ෂවරයා රංගන ශිල්පීන්ගේ උපරිමය ගන්නට නම් සමත් බව පැහැදිළියි. මේ කිව්ව රංගන ශිල්පිනියන් දෙදෙනාට අමතරව සල්මන්, ෂාරුක්, රන්වීර්, ෂාහිඩ්, රිතික් වගේ රංගන ශිල්පීන්ගෙ දුර්ලභ රංගනයන් එළියට ගන්නට නම් සමත් වුණා. 

එහෙත් නූතන බොලිවුඩ් ඉතිහාසයේ රාජ්කුමාර් හිරාණි (මුන්නාභායි, පීකේ, ත්‍රී ඉඩියට්ස් ) , විශාල් භාරද්වාජ් ( ඕම්කාරා, හේඩර්, රන්ගූන්, මක්බූල් ) වගේ අධ්‍යක්ෂවරු ඉදිරියෙන් ඉන්නා බවයි අපේ අදහස.

1 comment:

  1. මාත් බැලුව මේ ලඟදි. ඇත්ත, බෝරිං තමයි. ට්විස්ට් ඇත්තෙම නැති ගාණයි.අඩුගාණෙ රාම් ලීලා එකේනං එන්ඩින් එකවත් හොඳයි.

    ReplyDelete