Thursday, July 05, 2018

විජයකලාගේ කතාව

'දැන් හරි විජයකලාව ඇමතිකමෙනුත් එළෙව්වා. දැන් තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් එළවන්න. ආයෙමත් ඔයවගේ කතා නොකියන්නම දෙමළු පාඩමක් ඉගෙනගනීවි......' කෙනෙක් එහෙම හිතනවා ඇති.

විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය උතුරේ බහුතර මතය කියලා අපි පෝස්ට් එකක් දැම්මාම බොහෝ දෙනෙක් ඒක දැඩිව විවේචනය කළා. ඒක වැරදියි. ඒක බොරුවක්. උතුරේ ගියේ කවදාද? සමීක්ෂණය කළාද වගේ නොයෙකුත් ප්‍රශ්ණ ඇහුවා. අපිත් කල්පනා කළා ඒ ප්‍රශ්ණ ඇසීම සාධාරණයි නේද? කියලා.




අපි කිසිවෙක් සමඟ කතාකිරීමෙන් ලද අත්දැකීම කී පළියට කවුරුන් හෝ එය විශ්වාස කළ යුතු නැහැ. උතුරේ ජනතාවගේ විශ්වාසය ගැන හැමෝටම තමන්ගේ හිතේ අනුමානයක් තියෙනවා. 

අපටත් කාලයක ඒ වගෙ අනුමානයන් තිබුණා. ඒ අනුමානයන් එක්ක  දේවල් ලියූ හැටි මතකයි. උතුරේ මිනිස්සු ඒ අඳුරු යුගය අමතක කරන්නට උත්සාහ කළ හැටි අපි අනුමානයෙන් ලීවා. ඒත් අපට නොවැටහුණේ ඒ අඳුර තවමත් පහව ගොස් නැති බව. ඒ වෙනුවට තවත් අඳුරු වී ඇති බව. අලුත් අඳුරට වඩා තිබුනු අඳුර හොඳ බව ජනතාව විශ්වාස කළ බව. 

දවසක් සත්‍යජිත් මාඉටිපේ තදින් බැණවැදුණා. 'උඹලා උතුරෙ මිනිස්සු හිතන දේවල් කියලා ලියන්නෙ උඹලා කැමති දේවල්. මුලින්ම උඹලා උතුරේ මිනිස්සු කියන දේවල්වලට ඇහුම්කන් දීලා හිටපන්.' ඔහු එහෙම කිව්වා.

ඇත්ත. බහුතරයද සුළුතරයද කියා ගණන් කර නැතිවා විය හැකියි. එහෙත් අපි උතුරේ මිනිසුන්ට ඇහුම්කන් දි ඇති හැටියට නම් සැලකිය යුතු පිරිසක් මේ මතය සමඟ සිටිනවා. මෙය පැහැදිළි කර ලියන්නේ කොහොමද? ඔයගැන කල්පනා කරන අතරේ රෝහිත භාෂණ මේ සතියේ 'අනිද්දා' පත්තරය  ලියූ කොලම කියෙව්වා. ඔහු සරල ප්‍රශ්ණයක් අහනවා. ඒකේ හරය මෙහෙමයි.

'විජයකලා මහේෂ්වරන්ගේ කතාව ප්‍රතික්ෂේප කළ උතුරේ ජනතාව වීරසිංහම් ශාලාවෙන් නැඟිට පිටව නොගියේ ඇයි? ඒ කතාවෙන් පසුව විරෝධයක් මතු නොවුණේ ඇයි? 

සමාජ මාධ්‍යවල දෙමළෙන් මීම්ස් නොහැදුණේ ඇයි? ජනප්‍රිය දෙමළ ෆේස්බුක් පිටුවලින් විජයකලාව විවේචනය කරමින් පෝස්ට් නොහැදුණේ ඇයි? දෙමළ ජනතාව අතරින් 'නැවත කොටි එපා' යැයි දැවැන්ත උද්ඝෝෂණ පැන නොනැඟුණේ ඇයි? දෙමළ ජනතාව කොටින්ව අප්‍රිය කරනවානම්, ඒ අප්‍රියජනක බව පෙන්වන්නට තරම් සිදුවීම් නැත්තේ ඇයි? ඒ සියල්ල දකුණෙන් පමණක් ආවේ ඇයි?'

විජයකලා මහේෂ්වරන් ඇතුළු කිසිදු  දේශපාලන නායකයෙක් ගැන අපට විශ්වාසයක් හෝ ගෞරවයක් නැහැ. එවැනි ගෞරවයක් දිනාගන්න සමත් අය ඇත්තේත් නැහැ. එහෙත් අපි කතාකරන්නෙ නිශ්චිතව විජයකලා මතුකරපු මාතෘකාව ගැන. 

සරල කාරණයක්. අපි කියන්නේ එල්.ටී.ටී.ඊ.ය යළි ක්‍රියාත්මක විය යුතු බව නෙවෙයි. ඒක අපේ මතය නොවෙන බව ඇත්ත. එල්.ටී.ටී.ඊ.ය උතුරේ ජනතාවට නායකත්වය දෙන හොඳම කණ්ඩායම නෙවෙයි. දැඩි දඬුවම් හරහා අපරාධකරුවන් බිය ගන්වා තබාගැනීම එල්.ටී.ටී.ඊ.යේ උපක්‍රමය වෙන්න ඇති. සාමාන්‍යයෙන් මෙවැනි ගරිල්ලා සංවිධානයක් එවැනි දැඩි නීතිරීති ක්‍රියාත්මක කරමින්, ස්ත්‍රී දූෂණ සහ මත්ද්‍රව්‍ය වලට ඉඩ නොදී සිටීම විශ්වාස කළ හැකි තත්වයක්. ;

අපි හිතාගෙන ඉන්නෙ එල්.ටී.ටී.ඊ.ය දැඩි සංකේන්ද්‍රගත පාලනයක් තිබුණු, පුළුල් හමුදාවක් තිබුණු සංවිධානයක් වුණ පළියට මිනිස්සුන්ව මර්ධනය කළා කියලාද? එල්.ටී.ටී.ඊ.ය කළේ මිනිස්සුන්ගෙන් කප්පම් අරගෙන යුද්ධ කළ බව පමණක්ද? 

නැහැ. එල්.ටී.ටී.ඊ.ය කළේ යුද්ධ කිරීම පමණක් නෙවෙයි. ඔවුන් ආණ්ඩු කළා. එල්.ටී.ටී.ඊ. පාලන සමයේ මිනිස්සු යුද්ධය සමඟ පමණක් හිටියේ නැහැ. ඔවුන් උත්සව පැවැත්වුවා. විවාහ පැවැත්වුවා. විනෝද වුණා. ඔවුන්ට යුද්ධය පෙනුණේ එල්.ටී.ටී.ඊ.ය හමුදාව ඇතිකළ දෙයක් ලෙස. ඔවුන්ගේ දෘෂ්ඨිය අනුව එල්.ටී.ටී.ඊ.ය යුද්ධ කළේ හමුදාවෙන් තමන්ව ගලවාගන්නට. 

දැඩි මර්ධනය හෝ මරණ දඬුවම අප විශ්වාස කරන අපරාධ විසඳීමේ ක්‍රමයක් නෙවෙයි. ( එහෙත් දකුණේ සිංහල ජනතාවත් විශ්වාස කරන්නේ එල්.ටී.ටී.ඊ.ය සමයේ එල්.ටී.ටී.ඊ.ය මෙවැනි අපරාධවලට දඬුවම් දුන් ක්‍රමවේදයමයි. )

 එහෙත් උතුරේ අපරාධ සිද්ධවෙද්දී ජනතාව අතර එවැනි මතයක් ඇතිවන බව අපට ෆැක්ට් එකක් හැටියට පිළිගන්න සිද්ධවෙනවා. අවශ්‍ය නම් පිළිනොගෙන ඉන්න පුලුවන්. ඒකට කමක් නැහැ. ඒත් අපි කුමක් විශ්වාස කළත් නැතත් යථාර්තයේ වෙනසක් නැහැ. 

දකුණෙන් උදාහරණයක් ගමු. අපි පිළිගත යුතු ෆැක්ට් එකක් තියෙනවා. දකුණේ සිංහල ජනතාව අතර සැලකිය යුතු පිරිසක් මේ වෙද්දී 'එ්කාධිපති' ලක්ෂණයක් ඇති පාලනයක් ඉල්ලමින් සිටිනවා. ඒ වගේම විශාල පිරිසක් නිශ්චිතවම ගෝඨාභය රාජපක්ෂ බලාපොරොත්තු වෙනවා. අපි ඒකට එකඟ නැහැ. එහෙත් එය ෆැක්ට් එකක් විදියට පිළිගන්න සිද්ධවෙනවා.

අප දන්නා හඳුනන බොහෝ අය ගෝඨාභය රාජපක්ෂ බලයට ආ යුතු යැයි විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මිනීමැරුම්වලට මැදිහත්ව ඇති බව නොදැන නෙවෙයි. ගෝඨාභය බලයට ඇවිත් හොඳින්ම කරන්නේ විරුද්ධවාදීන්ව මර්ධනය කිරිම බව නොදැන නෙවෙයි. ඇතැම් අය නිශ්චිතව බලාපොරොත්තු වෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ ඇවිත් පිස්සු කෙලින අයව මර්ධනය කරලා රට ගොඩදායි කියලා.(අපේ මාතලන් වගෙ අය. ) ඕක අපට ෆැක්ට් එකක් විදියට පිළිගන්න වෙනවා. 

ඒ වගේමයි උතුර එල්.ටී.ටී.ඊ.ය සහ ප්‍රභාකරන් ගැන ඇති කරගෙන තිබෙන විශ්වාසයන් අප තේරුම් ගත යුතුයි. ඒ ගැන සංවාද විවාද වෙනයි. එහෙත් මුලින් එය යථාර්තයක් ලෙස පිළිගත යුතුයි. 

********************************

විජයකලා මහේෂ්වරන්ව හෝ මෙවැනි අදහස් දැරීම නිසා දෙමළ ජනතාව මර්ධනය කිරීම ප්‍රශ්ණයට විසඳුමක් වේවිද? මර්දනය ප්‍රශ්ණවලට විසඳුමක් වේදැයි අපි විමසද්දී උත්තර දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිපයෙ අයමයි.

'මර්දනයෙන් වෙන්නෙ අපව තව තවත් පක්ෂෙන් ඈත් වෙන එක. අපේ ආසන සංවිධායක ධූර නැතිකළා. අපව මධ්‍යම කාරක සභාවෙන් එළෙව්වා. පක්ෂයේ ශාඛා සමිතිවලින් එළෙව්වා. තනතුරුවලින් එළෙව්වා. විනය පියවර ගත්තා. ඉතින් අපි ටිකෙන් ටික ශ්‍රීලනිපයෙන් ඈත් වෙලා පොහොට්ටුවට ළං වෙනවා. මර්දනය විසඳුමක් නෙවෙයි. මර්දනය කරන්න කරන්න අපි යන්නෙ ඈතට.....' 

ඕකෙ ශ්‍රීලනිපය වෙනුවට ශ්‍රීි ලංකාවයි, පොහොට්ටුව වෙනුවට වෙනම රටක් කියන එකයි ආසන සංවිධායක ධූර, මධ්‍යම කාරක සභාව වගේ ඒවා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර, ඇමතිකම් කියන වචන දාගත්තොත් අපට සම්පූර්ණ වෙනස් කතාවක් අහන්න ලැබෙයි.

10 comments:

  1. Agreed Malli Agreed 100%.....

    ReplyDelete
  2. //රත්නප්‍රිය බන්දුට මිනිස්සු ආදරය කළාද, නැත්නම් ඒක මාධ්‍යවලින් මවා පෑ දෙයක්ද කියන එක ගැන මම දන්නෙ නෑ. ඒක ගැන වැඩිපුර මම හොයන්න උත්සාහ කරන්නෙත් නෑ//


    '//විජයකලා මහේෂ්වරන්ගේ කතාව ප්‍රතික්ෂේප කළ උතුරේ ජනතාව වීරසිංහම් ශාලාවෙන් නැඟිට පිටව නොගියේ ඇයි? ඒ කතාවෙන් පසුව විරෝධයක් මතු නොවුණේ ඇයි? //
    මම දන්නෙ නෑ. ඒක ගැන වැඩිපුර මම හොයන්න උත්සාහ කරන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. රත්නප්‍රිය බන්දු ගැන මම හෙව්වේ නැත්තෙ බන්දුට ඇත්තටම මිනිස්සු ආදරය කරපු නිසා නෙවෙයි. ඇත්තටම මිනිස්සු ආදරය නොකරපු බව හෙළිවෙන්න ඉඩ තියෙන නිසා. එහෙම වුණොත් කැඩෙන්නෙ ඔයාලගෙ ආතල් එක. මම ඒ පොස්ට් එකෙන් කිව්වෙ ඔයාලට ආතල් ගන්ඩ දෙන්ඩ කියලා.

      Delete
  3. උගුඩුවො, 89/90 දී එකියන්නේ උඹ කලිසමේ චූ දාගන්න කාලේ ජෙවිපිත් (ඒ කාලේ කිව්වේ දේශප්‍රේමියෝ කියල) ගම්වල කස්සිප්පු පෙරන්න, හරක් හොරකම් කරන්න කොටින්ම බීල ඇවිත් ගෙදර මිනිහට ගැනිට ගහන්නත් දුන්නේ නැහැ.

    හැබැයි ආණ්ඩුව ජේවීපිය අතුගාල දැම්මට පස්සේ සිංහල මිනිස්සු ජේවීපී ඉල්ලුවේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නෙ ඉල්ලන්නෙ නෑ කියලා? සිංහල මිනිස්සු ජේවීපියත් ඉල්ලනවා. රංජන් විජේරත්නලාවත් ඉල්ලනවා. දැන් ගෝඨාභයලාවත් ඉල්ලනවා.

      Delete
  4. දෙවන ලෝක යුද්දෙදි ජර්මන් වැසියොත් ජපාන වැසියොත් ඉතාලි වැසියොත් බහුතරයක් තමුන්ගේ නායකයන් හමුදාවන් නිවැරිදියි, ඔවුන් තමන්ගේ ගැලවුම්කරුවන්යන්න අවංකව විශ්වාස කළා. නමුත් දෙවන ලෝක යුද්ධ පරාජයෙන් පසු ඔවුන් තම නායකයන්ගේ හා හමුදාවන්ගේ වැරදි අවංකව පිළිගෙන තම ආකල්ප වෙන්ස්කරගත්ත්තා. ඔවුන් දෙමල ජනතාවමෙන් ම්ලේච්ච්ත්වය නැවත ගෙන්න උත්සහ කාලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැබැයි ජර්මනියෙ වගෙ නෙවෙයි. ලංකාවෙ සිංහල ජනතාවත් හමුදාවෙ වැරදි අවංකව පිළිගත්තෙ නැ

      Delete