Tuesday, September 18, 2018

මගේ සන්නා වර්ණනාව

උසස්පෙළ ඉවරවෙලා මම ගමේ ගියා. මාසයක් දෙකක් ගමේ කොල්ලො එක්ක රවුම් ගහන්න පටන්ගත්තා. රවුම් කියන්නෙ යාලුවො සෙට් එක එක්ක පිස්සුම කෙළින්න පටන්ගත්තා. ඒත් හිත ඇතුලෙන් අවුලක් තිබුණා. ගමේ ඇවිත් රවුම් ගහලා මමත් සාමාන්‍ය කොල්ලෙක් වෙයිද? පොඩිකාලෙ ඉදන්ම මට සාමාන්‍ය එකෙක් වෙන්න ඕනවුණේ නැහැ. ගමේ එකෙක් වෙන්න ඕනවුණේත් නෑ. ටික දවසකින් පස්සෙ එක් දවසක මම ආයෙමත් වහාම කොළඹ එන්න පිටත්වුණා.





කොළඹ ආවාට පහුවදාම මම ගියෙ රොටරියට. එතකොට මට කොළඹ ඇවිත් කරන දේ ගැන තේරුමක් තිබුණෙ නැහැ. මට ලියන්න පුලුවන් කියන එක විතරක් දැනගෙන හිටියා. මං සජීවීව දැකලා තියෙන ලියන්නා ළඟට යන්න පුලුවන්නම්. මම හිතුවෙ ඒක. ඒ හින්ද මම ඒ ලියන්නාව හොයාගෙන තමයි රොටරියට ගියෙ. සන්නස්ගල සර්. එයා ලඟ වැටුපක් නැතිව හරි වැඩ කරන්න ලැබුණොත් ගොඩ. එතැනින් එහා ගොඩ යන හැටි මං දන්නවා. ( මම අහලා තියෙන විදියට එතකොට සන්නස්ගල සර් ලඟ උසස්පෙළින් අවසන් කරපු හොඳම ශිෂ්‍යයෙ වැඩ කළා. එයා නැතිවෙලාවට ක්ලාස් කරන්න, ටියුට් හදන්න, සෝදුපත් කියවන්න වගේ වැඩවලට. )
සර් රොටරියෙ ඔෆිස් එක ඇතුලෙ හිටියෙ. ඇතුලට ගිහින් කතා නොකර, එළියට එද්දී කතාකරන්න මම හිතුවා. ඔන්න සර් එළියට එනවා. මමත් ගුරු භක්තිය දෝතින්ම අරගෙන වැඳලා කතාකරනවා කියලා හිතුවා. ඉස්සරහට ගිහින් ‘සර්’ කියලා, දණගහලා වැන්දා.
හෙණගහපං. මං වැඳලා ඔලුව උස්සද්දී මේ සර් කාරයා මාව මඟහැරලා ක්ලාස් එක පැත්තට යනවා. ‘බුදුසරණයි’ කියල කිව්වෙවත් නෑ. වටේ පිටේ හිටපු ළමයි, අම්මලා ඔක්කොම මගේ දිහා බලාගෙන. යකෝ මම ආවෙ අනාගතේ හොයාගෙන. මේ සර් කාරයාට මේක සෙල්ලමක්. ඒත් අම්මප ඒ වෙලාවෙ මට හිනා ගියා. කේන්තිය එකපාර නිවුණා. ‘මට ගෝලයො නැහැ.’ සන්නා නිතර කියපු බව මතක් වුණා. ශිෂ්‍යයො. උං මාව පාස් කරන්න ඕන. සන්නා කියපු හැටි සිහිවුණා. සන්නා ගුත්තිලය උගන්වද්දී මොන තරම් ආසාවෙන් ඉගැන්වුවාද කියලා මතක් වුණා. ‘තහනම් උත්තේජක’ වලින් ගුත්තිල හොරකරලා වීණා තරඟය දිනපු බව සන්නා අපට උගන්වපු හැටි මතක් වුණා. හරි. උඹ වඳිනවට කැමති නෑනෙ සර්. ඉඳපං. මාත් උඹව අතික්‍රමණය කරන්නං. ඒ මොහොතෙ හිනාවෙවීම මම හිතාගත්තා…
ටික දවසකට පස්සෙ රාවයට යන්න අවස්ථාව ලැබුණා. මට කියලා පාරක් ලැබුණා. මම මගේ දෛවය වෙන විදියකට ලියාගත්තා. ප්‍රබන්ධ ලේඛකයෙක් වෙනුවට මාධ්‍යවේදියෙක් වෙන්න උණක් මට හැදුණා.
********************************
මම සන්නා ගැන මුලින්ම දැනගත්තෙ ශ්‍රී සඟරාවෙන්. පොඩි කාලෙ. එයා වසන්තය එනවා සත්තයි ලියපු කාලෙ. අදත් මං සන්නස්ගලගෙ ආසම පොත වසන්තය එනවා සත්තයි. නොස්තැල්ජියානු මතකය නිසා වෙන්න ඇති. මං පුංචි කාලයේ අපේ අම්මයි, නැන්දයි දෙන්නා ශ්‍රී සඟරාව ගෙනල්ලා හුවමාරු කරගෙන කියවනවා. ඒකෙ පොතක් විදියට හදන්න පුලුවන් අතිරේකයක් විදියට තමයි වසන්තය එනවා සත්තයි ආවෙ. මමත් කොළ එකතුකරලා පොත හැදුවා. අම්මප. ඒකෙ තිබුණු වෙන මොනවහරි වල්පල් කතා ගොඩක් අතරින් වසන්තය එනවා සත්තයි තෝරගෙන මම කියෙව්ව. ඒ සන්නස්ගලයෙක්ව දැනගෙන නෙවෙයි. අර තිබුණ එව්ව එකක්වත් රහක් නැති එව්ව නිසා. වසන්තය එනවා සත්තයි විතරක් රහට තිබුණු හින්දා.
*********************
ඊළඟට සන්නස්ගලගෙ වස්සානය ඇතුළු මෙකී නොකී පොත්පත් හොස්ටල් එකේ ඇඳ යට හංගගෙන කියෙව්වා. දැං බලද්දී කරුණාසේන ජයලත්ගෙ ආදර කතා ටිකයි, දිනේෂ් කොළඹගේ ලියපු පොතයි හැරුණාම මම කියවලා තියෙන සිංහල ආදර කතා ඔක්කෝම සන්නස්ගල ලියපුවා. මට දැන් මතකයේ තියෙන්නෙත් ඒවා.
සන්නස්ගල අපේ පැත්තෙන් ආපු කෙනෙක් බව දැනගත්තා. සමහර පොත්වල බණ්ඩාරවෙල, හපුතලේ ගැන විස්තර කරලා තිබුණා.
ගමෙන් ඇවිත් කොළඹ දිනන හැටි මම ඉගෙනගත්තා.
*****************
උසස්පෙළ කරද්දී සිංහල තෝරාගත්තෙ අහම්බයෙන්. අම්මා මට උසස්පෙළ ආට් කරන්න ඉඩ දුන්නෙ එකම දැඩි කොන්දේසියක් මත. ‘ඉංග්‍රීසි සාහිත්‍ය කරන්න ඕන’. කොන්දේසිය ඒකයි. ඉතිහාසය, දේ. විද්‍යාව සහ ඉංග්‍රීසි සාහිත්‍ය මම තෝරාගත්තා. පොඩි කාලෙ ඉඳන්ම අපේ ඔලු හදලා තිබුණෙ සිංහල සාහිත්‍යය වගේ විෂයන් උසස්පෙළට කිරීම මදිකමක් කියලා. අඩු තරමේ ආට් කරන එකම මදිකමක්. ඒත් මම ආට් කරන්න තරම් කැරළිකාරයෙක් වුණා. සිංහල කරන්න හිතුවෙ නැහැ. ඒත් ඉස්කෝලෙ ඉංග්‍රීසි සාහිත්‍ය කරන්න හිටියෙ ළමයි හතරදෙනයි. ඉස්කෝලෙන් ඉල්ලුවා පුලුවන් නම් ඒ හතරදෙනාට වෙන විෂයන් තෝරගන්න කියලා. හ්ම්…. අන්තිමේදී සිංහල වගේ ‘පල්’ විෂයක් තෝරගන්න වුණා. ( සිංහල පල් විෂයක් යැයි සටහන් කළාට මගේ යටිහිතේ සිංහල කරන්න ලොකු ආසාවක් තිබුණා. )
අම්මප.. මම ඉතිහාසයයි, දේ. විද්‍යාවටයි ටියුෂන් ගියෙ නැහැ. මම කරපු විෂයන් තුනටම මම ආදරය කළා. විෂයකට ආදරය කරද්දී ඒ විෂයෙන් උසස්පෙළ සමත්වෙන එක කොච්චර ලේසිද කියලා මම දැනගෙන හිටියා. සිංහල වලට විතරක් ක්ලාස් ගියා. ඒ සන්නා නිසා.
හැම බදාදාම තිබුණු සිංහල ක්ලාස් එකෙන් පස්සෙ බ්‍රහස්පතින්දා ඉස්කෝලෙදී සන්නස්ගල කියපු විහිළු, අර්ථ දෙකේ කතන්දර, කොල්ලො බයිට් කරපු හැටි ඇක්ට් කරලා ක්ලාස් නොආ අයට පෙන්නන එක මා ඇතුළු සෙට් එකකගෙ වැඩක් වෙලා තිබුණා. ඒ ඇක්ටින් එකේදී අපි අතිනුත් කෑලි දාපු හැටි මතකයි.
අරෝෂ් කියලා මගෙ යාලුවෙක් හිටියා. පොර හැමදාම ‘ගල් ඉබ්බා’ කියල බයිට් වෙනවා. කොහොමත් පොරට තිබුණෙ ගුටිකන ටයිප් එකේ පැණි මූණක්. හැමදාම වගෙ පොර සන්නස්ගලගෙන් කින්ඩියක් කරනවා.
සයන්ස්, මැත්ස් කරපු ළඟම යාලුවන්ව කාඩ් නැතිව ක්ලාස් එක ඇතුලට ස්මගල් කරලාත් තියෙනවා. සයන්ස් කරපු උනුත් එහෙම හොරෙන් ක්ලාස් ආවෙ ඉගෙනගැනීමේ ආශාවටම නෙවෙයි. සන්නස්ගලගෙ රසවත් ක්ලාස් එක විඳින්න.
මෙච්චර අපි ආසාවෙන් විඳපු සන්නස්ගල කියන්නෙ නිකන්ම ස්ටෑන්ඩ්අප් කොමඩියන් කෙනෙක් නෙවෙයි. සන්නස්ගල කරපු ජෝක් ඇහෙද්දීම මට තේරුණා ගොඩක් වෙලාවට මේ ජෝක් වලින් අපට ‘සම්මතය’ ප්‍රශ්ණ කරන්න උගන්වනවා කියලා. උදාහරණයක් විදියට උඩිනුත් කිව්ව ගුත්තිල - මූසිල ගැන කතාකරද්දී. ඒක ගැන ජෝක් කරද්දී. මට මතකයි තොටගමුවේ රාහුල හිමි ගැන කියපු දේවල්. ඒවා නිකන්ම හිමිනමකට කරන අපහාසයක් නෙවෙයි. රාහුල හිමිගෙ කවි ඇතුලෙන්, රාහුල හිමි සහ හයවැනි පරාගේ දියණිය අතර තිබුණු ආදර කතාව මතු කරලා ගත්තා.
‘සකා #කා.’ තව කතාවක් මට මතකයි. සන්නස්ගල මතක් කළා ශක්‍රයාගේ පඬුපුල් ආසනය උණුවෙන්නේ එක්කෝ ගැහැණු කේස්වලට, නැත්නම් සල්ලි තියෙන ඉහළ පන්තියෙ අයගෙ කේස්වලට බව. සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ගෙ කේස් වලට ශක්‍රයාගේ පඬුපුල් ආසනය උණුවෙලා නැති බව කිව්වා.
තවත් වෙලාවක කිව්වා ළමයි හම්බවෙන්න එක එක දෙවිවරු වටේ කැරකෙන අය ගැන. ‘දෙවියො වටේ කැරකෙන වෙලාවෙ මා වටේ කැරකුණානම්…’ සන්නස්ගල කිව්වා. ඒවා කිව්වෙ නිකන්ම කින්ඩියට නෙවෙයි. ඔහු සමාජයේ ආකල්ප ප්‍රශ්ණ කළා. ජාතික ප්‍රශ්ණය, ඉතිහාසයේ තියෙන විහිළු කොටස් විතරක් නෙවෙයි වල්මත් වෙන ඒලෙවල් ළමයි ගැනත් සන්නස්ගල කිව්වා.
සමාජය සහ සම්මතය ප්‍රශ්ණ කිරීම මම සන්නස්ගලගෙන් ඉගෙනගත්තා.
****************************
ලේඛකයෙක් වෙලා හිඟා කාපං. අම්මා මට නිතර කිව්වා. ඒත් මං දැක්කා සන්නස්ගල කියන ලේඛකයා කාගෙන්වත් හිඟාකන කෙනෙක් නොවන විත්තිය. ලිවීම පැත්තෙන් ඉස්සරහට යනවාද කියන දෙගිඩියාවෙන් හිටපු මම ස්ථීරවම ලියන්න තීරණය කළේ සන්නස්ගල නිසා.
****************************
නොස්තැල්ජියාව නිසා වස්සානයට කැමතිවුණත්, සන්නස්ගලගෙ අනෙක් කැමතිම පොත ‘අම්මා.’ ඒකේ තියෙන කතා ඇත්තද? අතිශයෝක්තියද? වගේ ප්‍රශ්ණ මට අදාලම නැහැ. මේ වගේ ඇත්ත කතා මහපොළොවෙ තියෙන බව මම දැං ඇස්වලින් දකිනවා. අම්මා පොතේ තියෙන්නෙත් අපේ ගම. මගේ මතකෙට දැන් නොආවත්, සන්නස්ගලගෙ අම්මා පොත ගැන ලංකා පත්තරේට කවියකුත් යවපු බව මට මතකයි. ‘ මගේ අම්මා කඳුලු අම්මා, ඔබේ අම්මා සිනහ අම්මා.’ ඒකෙ දෙපදයක් විතරක් දැන් මතකයේ තියෙනවා.
*******************************************
මේ ඔක්කොම පහුකරලා සන්නස්ගලව මට මුණගැහුණෙ 2015 මහමැතිවරණයෙන් පස්සෙ. එතකොට හිටියෙ වෙනස්ම සන්නස්ගල කෙනෙක්. අපි වගේ එකෙක්ට ආශ්‍රය කරන්න සුදුසුම සන්නස්ගල ඒ සන්නස්ගල. කලින් ඇසූ දේවල් සියල්ල වෙන විදියකට අහන්න ලැබුණා…..
දැන් ආයෙමත් සන්නස්ගල කියන්නෙ ට්‍රෙන්ඩ් එකක්.. තැප්‍රොබේනියන් කියන්නෙ අලුත් කල්ට් එකක්.
තැප්‍රොබේනියන් හදන කාලෙ ගිහින්, වැඩවලට උදව් වෙන්නම් කියලා කිව්වාට ඒ සපෝට් එකට ඒ පැත්තෙ යන්න බැරිවුණා. සන්නස්ගල තැප්‍රොබේනියන් හදනකොට අපට අලුත් පත්තරයක් හදන්න මහන්සි වෙන්න වුණා. ඒ කොහොමවුණත් සන්නස්ගල වටේට බොහෝදෙනෙක් සිටි නිසා අපි නොගිය එකෙන් අවුලකුත් නැහැ. තැප්‍රොබේනියන් එකේ එක පොත් එළිදැක්වීමකටවත් යන්න වුණේ නැහැ. නුදුරේදී යන්න වෙන එකකුත් නැහැ…..
ඒත් මගේ ගමෙන් ආපු සන්නස්ගල මගේ ජීවිතේට බලපෑම් කරන එක නවතින එකක් නැහැ.
සතියේ පත්තර හැටහුරහමාර කියෙව්වාම ආයෙමත් අපට කියවන්න වෙලාවක් ඉතිරිවෙන්නෙ නැහැ. සතියේ කියවීම් කෝටා එක පත්තර කියෙව්වාම ඉවරවෙනවා. ඉතින්, කාලයකින් පොතක් කියවලා නැහැ. කලා රසවින්දනය සඳහා වූ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නෙ චිත්‍රපටි නැරඹීමෙන් සහ සිංදු ඇසීමෙන්. යුද්ධය ගැන ලියැවුණු පොත් කිහිපයක්, සන්ස්ගලගේ ලලනායනය, ඉන්දික ගුණවර්ධනගේ පොත, ප්‍රියාන් ආර්. විජේබණ්ඩාරගේ පොත විතරයි පහුගිය අවුරුදු දෙකකට විතර කියෙව්වෙ. ඒත් සන්නස්ගලගේ කොළඹ කතාව කියවන්නට නුදුරේ වෙලාවක් හොයාගන්නා බව විශ්වාසයි……

1 comment:

  1. //ගමේ ඇවිත් රවුම් ගහලා මමත් සාමාන්‍ය කොල්ලෙක් වෙයිද? පොඩිකාලෙ ඉදන්ම මට සාමාන්‍ය එකෙක් වෙන්න ඕනවුණේ නැහැ. ගමේ එකෙක් වෙන්න ඕනවුණේත් නෑ. //

    // සන්නස්ගල අපේ පැත්තෙන් ආපු කෙනෙක් බව දැනගත්තා. සමහර පොත්වල බණ්ඩාරවෙල, හපුතලේ ගැන විස්තර කරලා තිබුණා.
    ගමෙන් ඇවිත් කොළඹ දිනන හැටි මම ඉගෙනගත්තා. //

    :D

    ReplyDelete