Friday, September 14, 2018

විශ්වරූපම් 2



ජානුස් කියන්නේ රෝමානු විශ්වාසයන්හි එන ඔලු දෙකේ දෙවිකෙනෙක්.
අතීතය සහ අනාගතය එකවර දැකිය හැකි බව කියනවා.
ජනවාරි මාසයට ඒ නම ලැබෙන්නට හේතුව ජානුස් බවත් කියනවා.
ජානුස් දෙවියන් නියෝජනය කරන බොහෝ දේ අතර ‘ද්වීමාන’ බව තියනවා.
ද්විත්ව බව, ද්විඝට්ටනය, දෙපත් නයා, ද්විරූප බව හෝ ඕනෑම වචනයකින් අපේ
හිසට එන හැඟීම් ජානුස් නියෝජනය කරනවා. හොඳ - නරක යන්න නිරූපණය
කරන්නේත් ජානුස්.




කමල් හසන්ගේ විශ්වරූපම් 2 චිත්‍රපටියේ තැනකදී ජානුස් දෙවියන්ගේ පිළිරුවක්
පෙන්වනවා. පිළිරුවෙහි මුහුණු දෙක හොඳින්ම පෙන්වනවා. මේ පිළිරුව කමල්ගේම ද්වීරූපී
සිනමාව මනාව සංකේතවත් කරනවා. මොකක්ද මේ ද්වීරූපී සිනමාව?



හොඳ - නරක


නායගන් චිත්‍රපටියේ ක්ලයිමැක්ස් එකේදී කමල් හසන්ගේ අතිශය ජනප්‍රිය දෙබසක් තියෙනවා. වේලු නායගර්ගේ මුණුපුරා අහනවා ‘ඔයා හොඳ කෙනෙක්ද? නරක කෙනෙක්ද?’ කියලා. චිත්‍රපටියේ ඊට බෙර 'හතරදෙනෙක්ට කන්න දෙන්න කරන කිසිදෙයක් වැරදි නැහැ' කියන මතයෙ හිටපු වේලු නායකර් හෙවත් කමල් තමන්ගෙ මුණුපුරාට උත්තර දෙනවා ‘දන්නෙ නැහැ’ කියලා.  කමල්ගේ හැමවිටම හොඳ - නරක අතර ගැටුම තමන්ගේ සිනමාව මැද්දේ සියුම් සාකච්ඡාවකට නඟනවා.


විශ්වරූපම් මුල් චිත්‍රපටියේදීත් කමල්ගෙන් ඔහුගේ බිරිඳ අහනවා ‘ඔයා හොඳ කෙනෙක්ද?
නරක කෙනෙක්ද?’ කියලා. ඔහු උත්තර දෙන්නේ ඔහු හොඳ සහ නරක කියන දෙකම බව.
කමල්ගේ චිත්‍රපටිවල කමල් ලියූ ප්‍රධාන චරිත කිසිවක් රැජිණි, විජේ වැනි නළු නිළියන් රඟපෑ චරිත
මෙන් තමන් කරන කියන දේවල් සම්පූර්ණයෙන් නිවැරදි බව විශ්වාස කළේ නැහැ.


මේක කමල්ට සම්බන්ධයක් නැති වෙන චිත්‍රපටියක විහිළු දර්ශණයක ලස්සනට එනවා.
ඒ සිවකාර්තිකේයන් රඟපෑ රැජිනි මුරුගන් චිත්‍රපටියෙ. ඒ චිත්‍රපටියෙ රැජිණි මුරුගන්ගෙ
තේ කඩය විවෘත කරගන්න කමල්, රැජිණි, එම්.ජී.ආර්. කියන නළුවො තුන්දෙනාට ඇඳගත්
තුන්දෙනෙක් එනවා. ඒ තුන්දෙනා අතරින් එම්.ජී.ආර්. සහ රැජිණි යන දෙන්නාම කඩේ ගැන
ස්ථීර කතාවක් කියනවා. කමල් ‘හ්ම්….. අ….. ම්……’ කියමින් කල්පනා කරනවා. එතකොට
රැජිණි මුරුගන් ‘ඕන නෑ සර්. හරි හරි. ඔය රිබන් එක කපන්න’ කියලා කඩේ විවෘත කරනවා.
ගොඩක් දෙමළ චිත්‍රපටිවල කවුරුහරි නොතේරෙන දෙයක් කීවොත් ‘ඔයා කමල් සර් වගේ
නොතේරෙන දේවල් කියනවා’ කියල දෙබසක් එන අවස්ථා තියෙනවා.




කමල්ගේ චරිත හොඳ - නරක අතර දෝලනය වෙනවා. ඒ දෝලනය විසින් කමල්ගේ චිත්‍රපටිවල
කතාව ගලායනවා. ඒ නිසා රැජිණිට, විජේට වගේ දුෂ්ඨයාට විරුද්ධව සටන් කිරීමෙන් එහා ගිහින්
කමල් රඟපාන චරිතවලට තමන් සමඟම සටනක් තියෙනවා.


දෙවියන් සහ යක්ෂයා






‘මමයි දෙවියන්…’ කමල්ගේ චිත්‍රපටි බොහොමයක දෙබස්, ගීත අතර තියෙනවා.
තමන් දෙවියන් යැයි කියන දෙබස් බොහොමයක් කමල්ගේ චිත්‍රපටිවල තියෙනවා.
දෙවියන්ද මනුෂ්‍යයෙක් බව බව කියන්නට කමල් උත්සාහ කරන බව ඒ දෙබස්වලින් පේනවා.


කමල්ගේම ආලවන්දන් චිත්‍රපටිය ගත්තොත් එහි සිටින නිවුන් සහෝදරයන් දෙදෙනාගෙන්
එක් අයෙක් දෙවියන්ද, අනෙකා යක්ෂයාද නියෝජනය කරනවා. ඒත් හැමවිටම දෙවියන්ගේ
චරිතය ඇතුලෙන් යක්ෂයාගේ ලක්ෂණත්, යක්ෂයාගේ චරිතයෙන් දේව ලක්ෂණත් පෙන්වනවා.
ඒ සියල්ල තුළ මනුෂ්‍යත්වය කමල් පෙන්වනවා. ලෝකය පවතින්නේ මනුෂ්‍යත්වය මතම නොවේද.


කමල්ගේ පෑනෙන් ලියැවෙන චරිත දෙවියන්ගේ කතාව ගේන හැමවිටම ඒ කතාව කියැවෙන්නේ
ස්ථීරසාරව, නිශ්චිතව නෙවෙයි. මම දෙවියන් කියන එක නිශ්චිතව කියන්නෙ නැහැ. ඒ වෙනුවට
අතුරු ක්‍රම පාවිච්චි කෙරෙනවා. බොහෝ අවස්ථාවල 'අනේ දෙවියනේ්' කියලා චරිතයක් කෑගහද්දී
කමල් 'ඇයි?' කියලා අහනවා. මේ වගේ දෙවියන්ව සිහිකරද්දී කමල් කොහෙන් හෝ එන අවස්ථා,
දෙවියන්ව සිහිකරද්දී කමල් උත්තර දෙන අවස්ථා, දෙවියන් නැතැයි කියද්දී 'දෙවියන් නැතැයි මා
කීවේ නැහැ' කියලා කමල් උත්තර දෙන අවස්ථා තියෙනවා. දෙවියන් නැතැයි මා කීවේ නෑ වගේ
උත්තරයක් කමල් දෙන මොහොතක කමල් උත්තරය දෙන්නේ දෙවියන් විසින්ම ඒ උත්තරය
දෙනවා වගේ. ඔබ දිනෙක මනුෂ්‍ය වේශයෙන් ඉන්න දෙවියන්ටම 'දෙවියන් නැහැ' කීවොත් දෙවියන්
නැවත ඔබ දිහා බලන බැල්ම කමල්ගෙන් එනවා. එහෙම නැත්නම් කොමඩි දර්ශණවලදී කමල්
දෙවියන් කරනවා. කමල් විසින් අපේ කලාපයේ මිනිසුන් තුළ තියෙන දේව විශ්වාසය එහෙම

තිබියදී තමන් විශ්වාස කරන අනාගමික දර්ශණය සමාජගත කරන්න උත්සාහ කරනවා.
මිනිසුන් දෙවියන්ව විශ්වාස කරපුවාවේ. කමල් එක් ආගමක් විශ්වාස කරන්නෙ නැහැ.
'මට ආගමක් නැහැ. ඒත් මම කිසිම ආගමක හතුරෙක් නෙවෙයි.' දේශපාලනයට ආ පසුවත්
කමල් නිර්භීතව ඒ බව කියනවා.

විශ්වරූපම් 2


විශ්වරූපම් චිත්‍රපටිය තමන් ලිව්වේ බොහෝ කාලයට කලින් බව කමල් කියනවා.
ඒත් කමල් ලියූ පිටපත් ඇසුරෙන් චිත්‍රපටි කළ සංගීත් ශ්‍රීනිවාස රාඕ වැනි අධ්‍යක්ෂවරුන්
බොහෝ දෙනෙක්ව මුණගැහුණත් ඔවුන් ඒ විශ්වරූපම් කරන්න කැමැත්ත පළකරලා තිබුණේ
නැහැ. ඒ නිසා කමල්ටම තමන්ගේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නටත් නිෂ්පාදනය කරන්නටත්
සිදුව තිබුණා. චිත්‍රපටිය ලියද්දීම කමල් චිත්‍රපටි දෙකකට කතාව ලියා තිබුණා.


විශ්වරූපම් 2 චිත්‍රපටිය නරඹන්නට නම් අනිවාර්යයෙන්ම විශ්වරූපම් පළවැනි චිත්‍රපටිය
නරඹා සිටිය යුතුයි. දෙවැනි චිත්‍රපටියේදී කමල් කරන්නේ පළමු චිත්‍රපටියේදී ඇතිවූ ප්‍රශ්ණ
කිහිපයකට පිළිතුරු ලබාදීම වැනි යමක්.


කමල් රඟපාන්නේ මුස්ලිම් ජාතික ඉන්දීය රෝ ඒජන්තයෙකුගේ චරිතයක්. ‘මුස්ලිම්’ ලේබලය
රැගෙන ලොවපුරා අපරාධකාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන්ට විරුද්ධව මේ සෙබලා සටන්
කරනවා. ඒ ‘අල්ලාහ්’ දෙවියන්ව විශ්වාස කරමින්.


මසාලා - සම්භාව්‍ය


කමල්ගේ අනෙක් ද්විත්වභාවය තමයි ජනප්‍රිය මසාලා සිනමාවේ ලක්ෂණ සහ තමන්ගේ අත්හදා
බැලීම් එක මුසු කිරීම. කමල් එය අතිශය සියුම්ව කරන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
විශ්වරූපම් 2 චිත්‍රපටියේදීත් සාමාන්‍ය හොලිවුඩ් ඇක්ෂන් චිත්‍රපටිවලින් වෙනස් වෙච්ච
රෝමාන්තික සිදුවීම්, ‘අම්මා’ සෙන්ටිමෙන්ට් සිදුවීම් එනවා. හීරෝ ඉන්ට්‍රඩක්ෂන්වලත් වීරයා
ආයෙත් ආවා කියන අර්ථය දෙන ගීත එනවා.


ඒත් කමල් මේ සරල මසාලා ලක්ෂණ ඇතුලෙන් අලුත් අත්හදා බැලීමක් කරන්න උත්සාහ කරනවා.
විශ්වරූපම් චිත්‍රපටියේත් හීරෝ ඉන්ට්‍රො සිංදුව, අම්මා සෙන්ටිමෙන්ට් දර්ශණය වගේ කොටස්
ඇතුලෙ සියුම් සංකේත සඟවනවා‍.


සෙබලාගේ මව ඉන්නේ දිල්ලි වල. කමල් ඇයව බලන්නට යනවා. ඇගේ චරිතය රඟපාන්නේ
විශිෂ්ඨ හින්දි නිලියක් වන වහීදා රෙහ්මාන්. එයද අපූරු තෝරාගැනීමක්. අම්මාට අමතකවීමේ
රෝගය තියෙනවා. පුතාවත් ඇය හඳුනගන්නෙ නැහැ.


චිත්‍රපටිය ආරම්භයේදී ඇහෙන ගීතයෙහි වචනවලින් අහන්නෙ ප්‍රශ්ණයක්. ‘ඔහුව මතකද?’
කියන එක. ඒ ගීතයට පාවිච්චි කරලා තියෙන රාගය ‘දේශ්’ රාගය. දේශ් යන වචනයේ තේරුම
දේශය. දේශ් රාගය පාවිච්චි කරමින් ඔහුව මතකද? කියන පැනය ඇසීමත්, අමතකවෙන සුළු
මවගේ චරිතයත් විසින් ඉන්දියාව නම් මව විසින් තමන්ගේ මුස්ලිම් දරුවන්ව අමතක කර ඇති
ආකාරය සංකේතවත් වෙනවා. මෑතකදී ලංකාවටත් පැමිණි සුබ්‍රමනියම් ස්වාමි වැනි අන්ත
හින්දුත්වවාදීන් මුස්ලිම් වූ පමණින්ම තමන්ගේ ජාතියෙහි කොටසක් අමතක කරනවා.  


සිනමාව - දේශපාලනය


විශ්වරූපම් පළමු චිත්‍රපටිය මෙන් කුතුහලය දනවන ආකර්ශණීය අවස්ථා දෙවැනි චිත්‍රපටියේ
නැහැ. ශාරීරිකව දුර්වල බියපත් පිරිමියෙකු මෙන් වෙස්වළාගෙන සිටි සෙබලා එක්වරම පහරදුන්
අවස්ථාව, ක්ලයිමැක්ස් එක වගේ අවස්ථා පළමු චිත්‍රපටියේ හරිම තියුණුයි. චිත්‍රපටිය පරිපූර්ණ
කරන්නේ ඒ දර්ශණ වලින්. ඒත් දෙවැනි චිත්‍රපටියේ එවැනි දර්ශණ නැහැ. ඇත්තටම කුතුහලයෙන්
පිරුණු කතාවක් විශ්වරූපම් දෙවැනි චිත්‍රපටියේ නැහැ. ඒ නිසා කුතුහලයෙන් පිරුණු සිනමා
කතාවක් බලන්නට එන ප්‍රේක්ෂකයන්ට යම් තරමක් බලාපොරොත්තු සුන් කරගන්නට වෙනවා.
ඒ වෙනුවට මඳක් මන්දගාමී කතාවක් හමුවෙනවා.


පළමු චිත්‍රපටිය තිරගත වෙද්දී කමල් හොඳ සිනමාකරුවෙක්. හොඳ තිර රචකයෙක්.
අධ්‍යක්ෂවරයෙක්. පළමු චිත්‍රපටිය කමල්ගේ සිනමා නිර්මාණයක් ලෙස බාරගත් දකුණු ඉන්දීය
සමාජය දෙවැනි චිත්‍රපටිය බාරගනිද්දී කමල්ගේ දේශපාලනය ගැනත් සැලකිල්ලට ගත්තා.
බොහෝ අය ලියා තිබුණා කමල්ගේ දේශපාලන අරමුණු චිත්‍රපටියට ඔබ්බවන්නට ගොස් චිත්‍රපටිය
විනාශ කරගත් බව සමහරු ලියා තිබුණා.


විශ්වරූපම් පළමු චිත්‍රපටිය කමල්ගේ සිනමාව ලෙසත් විශ්වරූපම් 2 චිත්‍රපටිය කමල්ගේ
දේශපාලනය ලෙසත් හඳුන්වන්න අපි කැමතියි.


ඉහත කී ආකාරයට කමල් තමන්ගේ සිනමා ජීවිතය පුරාවටම ප්‍රශ්ණ නැගුවා.
හොඳ නරක අතර, දෙවියන් - යක්ෂයා අතර ප්‍රශ්ණ නැඟුවා. අවිනිශ්චිතභාවය,
ද්වීඝට්ටනය, අභ්‍යන්තර ගැටුම කමල්ගේ ප්‍රශ්ණ වුණා. විශ්වරූපම් පළවැනි චිත්‍රපටියේදීත්
කමල් හොඳ කෙනෙක්ද? නරක කෙනෙක්ද? යන ප්‍රශ්ණය නැඟෙන්නේ ඒ නිසා.


දෙවැනි චිත්‍රපටිය වෙද්දී මේ අවිනිශ්චිතභාවය, ද්විරූපී ගැටුම එක්තරා අවසානයකට
ගමන් කරනවා. දේශපාලඥ කමල් හසන්ට සිනමාවේදී කමල් හසන් මෙන් උත්තරයක්
නොදී ‘හ්ම්….. අ….. ම්……’ කියමින් ඉන්නට බැහැ. මම හොඳ කෙනෙක්ද නරක
කෙනෙක්දැයි නොදන්නා බව කියන්න බැහැ. විහිළුවට හෝ කේන්තියෙන් තමන්
දෙවියන් බව කියන්න බැහැ.  

ඔහුගේ චරිතයට නිශ්චිත යමක් කියන්නට සිදුවෙනවා.
තමන් කරන දේ තමන් දන්නා බව කියන්න වෙනවා. ජීවිත කාලයක් පුරාවට දේවත්වය
ගැන විශ්වාසය පැත්තකින් තබා මනුෂ්‍යත්වය ප්‍රවර්ධනය කළ කමල් හසන්ට
දේශපාලනයේදී ඡන්ද ලබාගනු පිණිස දෙවියන් වෙන්නට සිදුවෙනවා.  


විශ්වරූපම් පළමු චිත්‍රපටියේදී වසීම්ගේ අතීත කතාව පෙන්වනවා.
එහි ගැඹුරු චරිතයක් මුණගැහෙනවා. උදාහරණයක් විදියට පළමු චිත්‍රපටිය අවසාන
වෙද්දී අප දන්නා විදියට ඕමාර් නමැති දුෂ්ඨයාගේ බිරිඳ සහ දරුවන් මියයන්නේ වසීම්
ඕමාර්ලා සිටින තැන පිළිබඳව ඔත්තුව හමුදාවට දෙන නිසා. එල්ලවන ප්‍රහාරයකින්.


තවත් උදාහරණයක් ගත්තොත් පළමු චිත්‍රපටියේදී වසීම් අමෙරිකාවේ වෙස්වලාගෙන
‘විශ්වනාත්’ නම් නැටුම් ගුරුවරයෙක් ලෙස ජීවත්වෙනවා. එසේ ජීවත්වෙන්නෙ නිරූපමා
නම් කාන්තාව එක්ක. ඒ කාන්තාව දන්නේ නැහැ විශ්වනාත් යනු විසාම් අහමඩ්
කාශ්මීරි බව. ඇය වෙනත් පිරිමියෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනවා.
නිරූපමා වසීම් පිළිබඳ ඇත්ත දැනගන්නවා. තමන් සමඟ විසාම් ඉන්නේ රඟපෑමක්
ලෙස බව දැනගන්නවා. විසාම් සමඟම තව කාන්තාවක් ඉන්නවා. අෂ්මිතා. ඇය
විසාම්ට සමීපවම ඉන්නවා. විසාම් මේ කාන්තාවන් දෙදෙනාටම සමීප බව පෙන්වනවා.
චිත්‍රපටිය නරඹන අපටත් විශ්වාස නැහැ මේ කාන්තාවන් දෙදෙනා සමඟ විසාම්ට
ඇති සම්බන්ධය. ඔහු දෙදෙනාටම පෙම් කරනවාද? එක් අයෙක්ට පෙම් කරනවාද?
නිරූපමාව මෙහෙයුමක් වෙනුවෙන් වසීම් රැවැට්ටුවාද? යන ද්විරූපී ප්‍රශ්ණය අපට
හමුවෙනවා. ඒ නිසාම ඒ කතාව ඉතා හොඳ සිනමා කෘතියක් වෙනවා. මෙවැනි
ප්‍රශ්ණ විසඳා නොදී, කතාවේ නොවිසඳුණු රහස් තිබියදී එය ප්‍රේක්ෂකයා සමඟ
විශිෂ්ඨ ගණුදෙනුවක් කළ චිත්‍රපටියක් වෙනවා. ප්‍රධාන චරිතය පිළිබඳවත්
ප්‍රේක්ෂකයාට ගැටුමක් ඉතිරි කෙරෙනවා. එය විශිෂ්ඨ සිනමා ලක්ෂණයක්.


මෙවැනි ප්‍රශ්ණ ගොඩක් මැද පළමු කතාවේදී අපට විසාම් අහමඩ් කාෂ්මීරි හෙවත්
කමල් රඟපාන චරිතයෙහි ද්විරූපී ලක්ෂණ පෙනෙනවා. එහෙත් දෙවැනි චිත්‍රපටිය
අවසාන වෙද්දී මේ හොඳ - නරක ගැටුමින් විසාම්ව හෙවත් කමල්ව නිදහස් කෙරෙනවා.


දෙවැනි චිත්‍රපටියේදී කියනවා ඔමාර්ගේ බිරිඳව සහ දරුවන් සිටින ගොඩනැඟිල්ල
පුපුරා යන්නට මොහොතකට කලින් වසීම් ඔවුන්ව ගොඩනැඟිල්ලෙන් ඉවත් කළ බව.
ඕමාර් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය වෙනුවට තුවක්කුව දෙන්නට සූදානමින් සිටි
නිසා විසාම් ඒ දරුවන්ව හොරෙන්ම අධ්‍යාපනය ලැබීම සඳහා වෙනත් ප්‍රදේශයකට
යවා ඇති බව හෙලිකරනවා. එතැනින් නොනැවතී වසීම්ගේ වැරැද්දෙන් සිදුවුණ
මරණ අතරින් සමහර ඒවා මරණ නොවෙන බව දෙවැන්නේදී හෙළි කරනවා.
අනෙක් ඒවා විසාම් වගකිව යුතු මරණ නොවෙන බව කියනවා.


දෙවැන්නේදී අපිත් නිරූපමාත් දැනගන්නවා විසාම් නිරූපමාට දැඩි සේ
ආදරය කරන බව. අෂ්මිතා වෘත්තිය සගයෙක් සහ මිතුරියක් පමණක් බව.


දෙවැන්නේ අවසානයේදී ඕමාර්ගේ දෙවැනියා වන සලීම්ට නිරූපමා කියනවා
‘දෙවියන් ඔබට දඬුවම් දේවි’ කියලා. සලීම් අහනවා මොන දෙවියන්ද? කියා.
හින්දු ජාතික නිරූපමාට දෙවිවරුන් බොහොමයක් ඉන්නවා. ‘ඔබ විශ්වාස කරන
දෙවියන්’ යැයි නිරූපමා කියනවා. ඒ සමඟම වීදුරු බිඳගෙන ගොඩනැඟිල්ල ඇතුලට
කඩාවැදෙන විසාම් කෙළින්ම සලීම්ගේ ඇඟට පනිනවා. අවසාන සටන වන එතැනට
කමල් ඇතුළුවන්නේ 'අල්ලාහ් දෙවියන්’ ලෙස.

කමල්ට සිනමාවේදී තරම් අවංකව කතාකරන්නට දේශපාලනයේදී හැකිවෙන්නේ නැහැ.
දේශපාලනය කරද්දී අවංකව සිනමාව කරන්නට හැකිවෙන්නේත් නැහැ. ඒත් දේශපාලනය
වෙනුවෙන් අාගම, ජාතිය කරෙහි සාටකයක් ලෙස පැළඳගත් දේශපාලුවන් සිටින
කලාපයක කමල් නිර්භීතව තමන්ගේ අදහස් දේශපාලන වේදිකාවේ තියෙනවා.
කමල්ගේ සිනමාව කමල්ව අන්තවාදියෙක් නොකිරීමට වගබලාගන්නවා.

තමන් දේශපාලනය කරද්දී සිනමාව නවත්වන බව කමල් මුලින්ම කියන්නට
ඇත්තේ දෙකම එකට කරන්න බැරි නිසා වෙන්න ඇති. ඔහු දේශපාලනයට පැමිණි
පසුව පැමිණි පළමු චිත්‍රපටිය විශ්වරූපම්. ඉදිරියට එන්නට නියමිතව ඇත්තේ චිත්‍රපටි
දෙකක් පමණයි.

කමල් දේශපාලනය තෝරාගත්තා. දැන් ඔහු නිර්මාණය කළ සිනමා ලෝකය විඳින්නට
අපට ඉඩ දී ඔහු තමිල්නාඩුවේ දේශපාලය කළ යුතුයි. ඔහුට ඒකට සුභ පැතුම්.


ප.ලි. - චිත්‍රපටියේ ඇන්ඩ්‍රියාගේ රංගනය අති විශිෂ්ඨයි. එහෙත් ජිබ්රාන්ගේ සංගීතය
තව ශක්තිමත් විය යුතුව තිබුණා.


2 comments:

  1. කමල් හසන් මුස්ලි්ම් කෙනෙක්ද?

    ReplyDelete
  2. ටෙක්ස්ට් එක එලියට පැනලා තියෙන එක හදන්න බැරිද බං? මොබයිල් එකෙන් කියවන්න කට්ටක් කන්න වෙනවා.

    ReplyDelete