Friday, May 22, 2015

උතුරේ මිනිසුන් ගැන ආඩම්බරයි.... ජාතිවාදී නාකි ගැන බයයි....


යාපනයේ දූෂණයට ලක්වූ ගැහැණු ළමයා ගැන සටහනක් ලිවීමට අවැසි වුණත් තත්වය ගැන ප්‍රවේශමින් ලියන්නට කල්පනා කළෙමි. මේ සිදුවීම සිදුවූ ප්‍රදේශය ඩග්ලස් දේවානන්දාගේ බලය තිබෙන ප්‍රදේශයකි. දූෂණ ක්‍රියාව කළ පිරිස ඔහු සමඟ සම්බන්ධයක් පවතින බව සැලවිය. (ඇත්ත හරියටම දන්නෙ නැහැ) එමෙන්ම යාපනයේ විරෝධතා සංවිධානය කළේ ඔහුගේ පාර්ශ්වයෙන් බවද සැලවිය. (අනිවාර්යයෙන්ම යම්කිසි දේශපාලනික බලවේගයක් පිටිපස්සෙ ඉන්නවා.) මේවා පැහැදිලි කරගන්නට උත්සාහ කළෙමි. 

සිදුවීම ගැන මට කිව යුතු කරුණු කිහිපයකි.

 සටහනට මම දූෂණයට ලක්වූ ගැහැණු ළමයාගේ නම හෝ ඡායාරූප පාවිච්චි නොකරමි. ඒ මෙම කරුණ අවධාරණය කරමිනි. (රාවය කර්තෘ ජනරංජන මේ කාරණය සිහිපත් කළේ. ඇත්තටම රාවය සාමාන්‍යෙයන් නොකෙරුවත් අපි අතිනුත් වැරැද්දක් වුණා. මේ සිදුවීම ගැන ලියද්දී ගැහැණු ළමයාගේ නම සහ ඡායාරූපය පළ කළා.) ඉන්දියාවේ පසුගිය දිනෙක ගැහැණු ළමයෙක්ව දූෂණය වෙලා මේ වගේ ආන්දෝලනයක් ඇති විය. එතැනදී බොහෝ මාධ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ගැහැණු ළමයාගේ නම සඳහන් නොකර අන්වර්ථ නමකින් හඳුන්වන්නත් ඇගේ ඡායාරූප පළ නොකරන්නත් පියවර අරන් තිබුණි. (දැනගන්න ලැබුණු විදියට එහෙමයි. එහෙම නොවුණත් මාධ්‍ය සදාචාරයට අනුව එහෙම තමයි වෙන්න ඕන) මෙවන් සංවේදී සිදුවීමකදී මාධ්‍ය සතුව බරපතල වගකීමක් තිබේ.(අදූරදර්ශී වුණොත් තව තිස් අවුරුදු යුද්ධෙකට මේක ඇති.)

ජාතිවාදී නාකියන්ට කියන්නට දෙයක් තිබේ. (වයසින් තරුණ අය වුණත් ජාතිවාදී නම් නාකියෝ තමයි)

ජාතිවාදී නාකියන් තමන්ගේ කාලය දෙකට බෙදී යුද්ධ කරමින් අනෙකාව සැක කරමින් විනාස කරගත්හ. ඉදිරියට එන්නේ අපේ කාලයයි. අසූව පැනපු ගුණදාස අමරසේකරත්, නාකි නලින්ද සිල්වාත්, බෙංගමුවේ නාලකත්, මහින්ද රාජපක්ෂත් පෙරටුකොටගත් ජාතිවාදී නාකි පරපුරෙන් ඉල්ලන්නේ මෙවන් සිදුවීම් අල්ලාගෙන අපට හිමි අනාගතය නම් විනාස කරන්න එපා කියාය. (කොටි කොඩි උස්සන කතාත් කියන්න පටං අරන්) අපේ අනාගතය රට දෙකට බෙදී එකිනෙකා සැක කරමින් විනාස කරගන්න බැරිය. කැම්පස් කොල්ලෝ යූජීසියට පැන්නම අපි රට විනාස වෙනව කියලා කෑගැහන්නේ නැත. යුක්තිය ඉල්ලා යාපනයේ හර්තාල් කළාම කොටි ආවායැයි ඒ මිනිසුන්ව සැක කරන්නට අපට මානසික ලෙඩ නැත.

විමල් ගොනාට දෙන්නට උත්තරයක් තිබේ.

මහින්දගේ කාලයේ මෙවන් ස්ත්‍රී දූෂණ ගැන අහන්න නොතිබුණු බව ඔහු කියා තිබුණි. නැදුන්කානි වල දහසය හැවිරිදි දැරියක් දූෂණය කෙරුණේ මහින්දගේ කාලයේ අගය. කරෙයිනගර් නාවික හමුදා කඳවුරේදී පාසල් දැරියක් දූෂණය විය. (ඉසිප්‍රියා යුද්ධයේදී දූෂණය කළා) විමල්ගේ කතාවේ ඇත්ත කොටසකුත් තිබේ. මෙහේ මිනිසුන්ට අහන්නට නොලැබුනු තවත් සිදුවීම් රැසකි. මහින්ද යුගයේ මිනිසුන් මෙසේ කලබල නොකළ බව ඔහු කියා තිබුණි. ඇත්තය. මහින්ද කාලයේ කළානම් හමුදාව ඇවිත් දහපහලොස් දෙනෙක් බාවා තත්වය සමනය කරනු ඇත. මෙහේ නාකියන් විසින් මැරුණේ ත්‍රස්තවාදීන් යැයි හමුදාවට පින් අනුමෝදන් කරනු ඇත. ගොන් හරකුනි!! මිනිසුන් කැරලි ගැසීමට හැම විටම බියවිය යුතු නැත. සමහර විට මේ පිට වෙන්නේ මහින්ද යුගයේ පීඩනය විය හැකිය. රබර් බෝල කෙතරම් කල් ජලයේ ඔබා සිටින්නද? මේ පීඩනය ටී පනස් හය දෙසට නොව ඡන්ද පත්‍රිකාව දෙසට යොමු කරන්නට ආණ්ඩුව පියවර ගත යුතුය.

උතුරේ මිනිසුන් ගැන ආඩම්බර වෙමි. පහතින් තිබෙන්නේ මා ෆේස්බුක්හි තැබූ සටහනකි.

සිංහල ගෑණු ළමයෙක් දූෂණය කළාම මිනිස්සු කලබල වෙනවද මේ වගේ....... (දවසකට කීයක් දූෂණය වෙනවද?) මේ මිනිස්සු කුපිත කරවලා වගේ තමයි, ඇත්ත... ඒත් දකුණෙ මිනිස්සුන්ව මේ වගේ හේතුවක් මත ෆෝම් කරන්න පුළුවන්ද? ස්ත්‍රී දූෂණය මෙතරම් ප්‍රතික්ෂේප කරන උතුරෙ මිනිස්සු ගැන බයවෙන්න නෙවෙයි පුදුමයක් එක්ක ආඩම්බර වෙන්න ඕන.

වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් කරන්නට ඉඩ නොදී උසාවි පොලීසි වලට ගල් ගැසීම ආඩම්බරයට කාරණයක්දැයි මිතුරෙක් අසා තිබුණි. මා උසාවියට ගල් ගහන අයව වීරයන් කරීම වැරදියයි කියා තිබුණි. මේ මා තැබූ පිළිතුරු සටහනයි. නීතිය ගැනත් නීතිය රකින ආයතන ගැනත් උතුරේ තිබෙන ආකල්පය වෙනස් බව මට කියන්නට අවැසි විය.

උතුරේ නීතිය රකිනවට වඩා පොලීසිය තියෙන්නෙ මිනිස්සුන්ට තග දාන්න... උතුරෙ නීතිය තියෙන්නෙ එහේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි මෙහේ මිනිස්සු වෙනුවෙන්..... ඒක වෙනස් වෙන්න ඕන. තමන් වෙනුවෙන් නීතිය තියෙන බව ඒ මිනිස්සුන්ට ඒත්තු යන්න ඕන. ඒකට එහේ මිනිස්සුන්ට අරගල කරන්න හයියක් නැහැ දැන්. මේහේ අපි තමා අරගල කරන්න ඕන.
නීතිය නීතිය වෙන්නෙ හිතෙන තරම් ලේසියට නෙවෙයි. පළවෙනි කාරණය නීතිය ගැන විස්වාසයක් තියෙන්න ඕන. මිනිස්සු උසාවියට ගල් ගහන්නේ ගෑණු ළමයව මැරුව කියල නෙවෙයි එහෙම කරපු අපරාධකාරයන්ට දඬුවම් කරන්න නැත්නම් බාරදෙන්න අපි දඬුවම් කරන්නම් කියල. ඒ මිනිස්සුන්ව වීරයො කරන්න මට ඕන නැහැ. (වීරයො කියල ජාතියක් කොහෙවත් නෑ) ඒ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතන ගැන විස්වාසය නැති වෙලා තියෙන නිසා. ඉස්සර සුද්දන්ගේ උසාවි වලට ස්වදේශිකයො ගල් ගැහුවෙත් ඔය හේතුව නිසා. 71දී පොලීසි වලට පහර දුන්නෙත් ඒ නිසා. රුසියානු කැරැල්ලෙත් ඒක වුනා. තවත්ගොඩක් විප්ලව වල එහෙම වුණා. පස්සෙ කාලවල ඒවා කරපු මිනිස්සු ගැන ආඩම්බර වුණේ නැද්ද? මේව කෙස් පැලෙන තර්ක. ගිහින් උතුරේ ජීවත් වෙන්න. රාජපක්ෂලා හදපු සීමා වලට පිටින් ගිහින් ඒ මිනිස්සු හිතන විදිය හොයන්න.

5 comments:

  1. මෙතන බොරදියේ මාලු බාන්න හදනවා ම.රා. සහ ඔහු ගේ ගෝලබාලයෝ රොත්තම.

    පොලීසිවලට පහරදීම් පසුගයි කාළේ අඟුලානේ සහ තවත් තැන්වල සිදුවුණා.

    මෙතැනදී මට හදතෙන භායනක තත්වය තමයි, උද්ඝෝෂකයින් ඉල්ලන්නේ සැකකරුවන්ව මරන්නට තමන්ට බාර දෙන්න කියා වීමයි. අර ග්‍රීස් යකා තත්වය!

    ReplyDelete
  2. Superb analysis. Can i share this article on social media.

    ReplyDelete
  3. Thankz... I'll try to translate this to tamil and english

    ReplyDelete
  4. උසාවිවලට ගල් ගහන එක හොද වැඩක්. දෙමළු කොහොමත් සිරා පොරවල් . ඒකෙනෙ ඔයා ලියන ඒවට සල්ලි දෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මම ලියන ඒවට සල්ලි ලැබෙනවනම් මම සතුටින් බාරගන්නව. ඒත් අපේ ආර්ථික තත්වය දන්නෝ දන්නව...
      මම ලියන්නේ දෙමළු සිරා පොරවල්ය කියල කියන්න නෙවෙයි. දෙමළ සිංහල මුස්ලිම් මොකක්හරි ජාතියකට ආගමකට අයත්වුණ පළියට කවුරුත්සිරා පොරක් වෙන්නෙ නැහැ කියල

      Delete