Monday, May 25, 2015

තාම බැලුවෙ නැද්ද? නෝ ෆයර් සෝන්.....




පාසල් දැරිය දූෂණය කොට ඝාතනය වීමත් එක්කම ඇතිවූ මනුෂ්‍යත්වය පිළිබඳ වරදකාරී හැඟීමක් සමඟ යුධ මුක්ත කලාපය (නෝ ෆයර් සෝන්) වාර්තා චිත්‍රපටය මට සිහිවිය. ටික කලකට පෙර මනස කැලඹවූ... මනස වරදකාරී හැඟීම් වලින් පුරවාලූ රූප පෙළ නැවත නැරඹීමට සිත්විය. (මේ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. )


නෝ ෆයර් සෝන් වාර්තා චිත්‍රපටය හෙවත් කැලම් මැක්රේගේ චැනල් ෆෝ වීඩියෝව ගැන හැමෝම දන්නවා ඇතැයි සිතමි. රාජපක්ෂලාවද ඒ නිසා ලංකාවද අන්තර්ජාතිකව වඩාත් අපකීර්තියට පත් වූයේ මේ වීඩියෝව නිසා ය. මේ නිසාම කැලම් මැක්රේ බොහෝ සිංහලයන්ගේ වෛරයට බඳුන් විය.

 

කැලම් මැක්රේලා නෝ ෆයර් සෝන් කළේ හිතේ වෛරය පුරවා ගෙන සිංහලයෝ සිතති. බොහෝ දෙනා එසේ සිතන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව රාජපක්ෂලා විසින් පතුරන ලද මතවාදයන් නිසාය.


යුධ මුක්ත කලාපය - ශ්‍රී ලංකාවේ ඝාතක භූමි වාර්තා චිත්‍රපටිය නැරඹීම අපට අකැපද? තහනම්ද? ( එහෙම වෙන්නේ කොහොමද? ) චිත්‍රපටය නොබලා කැලම් මැක්රේටත් චිත්‍රපටයටත් උප්පැන්න දෙන්නේ කෙසේද? තවමත් බැලුවේ නැත්නම් බලන්නට ඇරයුම් කරමි. දැන් එය සිංහලට හඬකවා ඇත.

මෙම වාර්තා චිත්‍රපටිය කොටින්ට පක්ෂව නිර්මාණය කර ඇතැයි රාජපක්ෂලා තීරණය කළහ. එය එසේදැයි සොයා බැලීමට අපට අවස්ථාව අහිමි කර කළේය. ( ඉතින් කොටින්ට පක්ෂ වුණත් බලන්න තහනම් කරන්නේ ඇයි? අපි බැලුවොත් මොකක්හරි හෙළිදරව් වෙයි කියල බය නිසාද? කවුරුත් කියන නිසා නොබල ඉන්නේ මොකද? ) එය නැරඹූ අප දකින සත්‍යය නම් එය කොටින්ට වත් හමුදාවට වත් නොව මිනිසුන්ට පක්ෂව නිර්මාණය කළ එකක් බවය. යුද්ධයකට මැදි වූ අහිංසක මිනිසුන්ටත් ඔවුන්ගේ අයිතීන් වලටත් පක්ෂව නිර්මාණය කළ එකක් බවය.

වාර්තා චිත්‍රපටියේ තැනෙක එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිත බෙන්ජමින් ඩික්ස් මහතා යුද්ධයේදී දූෂණයට ලක්වූ ද්‍රවිඩ තරුණිය ඉසිප්‍රියා ගැන මෙසේ පවසයි. ඇය මට පෙන්නුවේ දෙමළ ජනයා සහ කොටි සංවිධානය අතර වූ පරස්පරයයි. එක් පැත්තකින් මේ ආදරණීය මෘදු ගරුසරු ඇති යුවතිය සහ අනෙක් පැත්තෙන් දරුණු සහ කෘර දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් වෙන්වූ ව්‍යාපාරය. ( මේ කොටින්ට පක්ෂව කියූ කතාවක්ද)

වාර්තා චිත්‍රපටියේ හමුවන චරිතයක් වන්නේ යුධ අපරාධ දෑසින් දුටු වානි විජයි නම් තරුණියයි. ඇය අවසන් අවස්ථාවේ කුඩා දරුවෙක් ගැන කියන කතාව ඉතා අනුවේදනීය ය. ( මේ කොටස බලද්දී මට තවත් ඉවසා ඉන්න බැරිවුණා. මම තනිවම ඇඬුවා.) ඇය මොහොතකට කලින් මාස තුනක දරුවෙක් සමඟ සිටි මවක් සමඟ කතා කරමින් සිට ඇත. ඉන් මොහොතකට පසු ෂෙල් ප්‍රහාරයකින් ඒ මව සහ දියණිය මිය ගොස් ඇත.

කුඩා දරුවා කැබලි වලට කැඩී ගොස් තිබුණා. බයවෙච්ච මිනිස්සු ළමයාව පාගාගෙන දුවනවා. මම ඒ ළමයාගේ හිස රෙදි කැබැල්ලකින් ඔතලා ගත්තා. මට දැණුනේ ඒ ළමයා මගේ දිහා බලාගෙන අහනවා වගේ ඇයි මට මෙහෙම දෙයක් උරුම වුණේ කියලා. ඇය හඬවැටෙමින් කියන්නීය.

රාජපක්ෂලා සහ ඔවුන්ගේ ආණ්ඩුව කියන තරමක් බොරු කී බව ඔප්පු වී ඇත. අනෙක් හැම දෙයක් ගැනම මෙන් යුද්ධය ගැනද ඔවුන් බොරු නොකී බව හිතන්නේ කෙසේද?  

දැන් රාජපක්ෂ යකඩ හස්තය නැත .

ඕනම දෙයක් ගැන නිදහසේ හිතන්නටත් කතා කරන්නටත් අවස්ථාවක් ඇත. තවමත් බැලුවේ නැත්නම් බලන්න චැනල් ෆෝ වීඩියෝව යැයි ඇරයුම් කරන්නට හැකියාවක් ඇත. කනින් ඇසුවත් ඇසින් දුටුවත් අතට අසුවන තුරු විශ්වාස කරන්නට එපා යන්න සිහිතබාගෙන නෝ ෆයර් සොන් නරඹා කැමති ඕනම මතයක් දැරීමේ අයිතියක් නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදී රටක පුුරවැසියන් වන අපට තිබේ.

3 comments:

  1. මා නම් මුල් පිටපත ඒ දිනවලම නැරඹුවා. ස්තුතියි මේ ලින්ක් එක වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. බොහෝ අය බලලා තියෙනවා... නමුත් ඊට වඩා බලන්නේ නැතිව අනුන් කියන දෙවල් මත උප්පැන්න දෙනඅය වැඩියි

      Delete
  2. මමත් ඕක බැලුවා කලිනුත් බැලුවා සින්හලෙන් හඩ කවපු එකත් බැලුවා මටත් හිතුන දෙයක් තමා මේක තනිකරම රාජපක්ෂලා කියාපු තරම් අපිට විරුද්දවනම් නෙම් හැබැයි වැඩිපුර කියවෙන්නෙ අපේ හමුදාව අතින් උනා කියන අපරාදයි

    ReplyDelete