Wednesday, July 22, 2015

භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස හා මාධ්‍ය උන්නතිය පිළිබද දේශපාලන පක්ෂවල සැබෑ කැපවීම පෙන්වන තෙක් ඡන්දදායක රටවැසියන් මහත් අපේක්ෂාවෙන් පසු වේ.

  • ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI)
  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)
  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය
  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානය
  • ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුව
  • තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • යාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club)
එක්ව කරන ප්‍රකාශනයකි.
Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව භාෂණයේ හා මාධ්‍ය නිදහස පිළිබඳව යම් මට්ටමක සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් වූ බව පෙනෙන්නට තිබේ.
මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත එල්ල වූ බලපෑම් හා තර්ජන වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ග, පදනම් විරහිත ලෙස අවහිර කරන ලද දේශපාලනික වෙබ් අඩවි නැවත නිදහස් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මුලික අයිතිවාසිකමක් ලෙස පිළි ගැනීම, දේශපාලනික හේතුන් මත රට හැර ගොස් සිටින ජනමාධ්‍යවේදීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට රජය විසින් කරනු ලබන විවෘත ආරාධනා, වැනි පියවර මේ බවට මූලික නිමිති සපයයි.
කෙසේ වෙතත් භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සඳහා තවත් කටයුතු රාශියක් ඉතිරි වී ඇති බව අපගේ අදහසයි. ඉදිරි මහ මැතිවරණයෙන් පසු තේරී පත් වන නව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මෙම ප්‍රතිපත්තිමය, නීතිමය, ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අවශ්‍ය වන දේශපාලනික කැපවීම ප්‍රදර්ශනය කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් ජනමාධ්‍ය නිදහස වර්ධනය කිරීමට හා එහි සාධනීය ව්‍යුහාත්මක වෙනසක් ඇති කීරීම පිළිබඳ පහත සඳහන් නිශ්චිත නිර්දේශ කෙරෙහි සිය කැපවීම ප්‍රකාශ කරන මෙන් 2015 අගෝස්තු 17 වන දින මහා මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටිමු.
(මෙම කරුණු පෙළගැස්වීම එහි ප්‍රමුඛතාවය අනුව නොවන බව සලකන්න)
1. තොරතුරු දැනගැනීමේ අයිතිය: පුරවැසියන්ට රජය හා රජයේ ආයතන සතු තොරතුරු ලබා ගැනීමේ අයිතිය නීතියෙන් සම්මත කළ යුතුය. සියලුම මාධ්‍ය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිතව 2015 මැයි මස සකස් කොට අවසන් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත නව පාර්ලිමේන්තුව විසින් හැකි තාක් ඉක්මනින් හා දියාරු නොකොට සම්මත කර ගත යුතුය.
2. මාධ්‍ය ස්වයං නියාමනය: 1973 අංක 5 දරණ පුවත්පත් කොමිසම පනත ඉවත් කළ යුතු අතර රජය විසින් පාලනය කරන පුවත්පත් මණ්ඩලය මුළුමනින්ම අහෝසි කළ යුතුය. ඒ වෙනුවට මාධ්‍ය කර්මාන්තය විසින්ම 2003 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කොට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් කිරීමෙන් වඩාත් සවිමත් හා සක්‍රිය ස්වයං නියාමන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුය.
3. නීති විමර්ශනය හා සංශෝධනය: මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන සිවිල් හා අපරාධ නීති තවමත් මෙරට නීති පොත්වල ඉතිරිව පවතී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති මෙයට ඇතුලත්ය. මේවා විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කළ යුතුය.
4. ජනමාධ්‍යවේදීන්ට එරහි අපරාධ විමර්ශනය: ඝාතනය කරන ලද, පහරදීම්වලට ලක් වූ, තර්ජනයට ලක් කරන ලද, අතුරුදන් කරන ලද හෝ වෙනත් අයුරකින් හිරිහැරයට ලක් වූ මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනය කොට, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීමටත් වගකීම දරන ඉහළ මට්ටමේ ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය.
Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015

5. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය: භාෂණයේ නිදහස තහවුරු කරන ජාත්‍යන්තර නීති රීති වලට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කළ යුතුය. එසේ කිරීම මගින් රේඩියෝ සහ ටෙලිවිෂන් සඳහා විකාශන සංඛ්‍යාත වෙන් කිරීම විධිමත් ලෙස සැලසුම්කරණය කළ යුතුය. එසේම මහජන සේවා, වාණිජ හා ප්‍රජා යන තල තුන තුළම සේවා සැපයීම සඳහා අවස්ථා සැලසිය යුතුය. එමගින් දේශපාලනික හා වෙනත් පොදු උන්නතියට අදාල තොරතුරු ආවරණය වඩාත් සමබරව හා අපක්ෂපාතීව ගෙන ඒමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ඇති වගකීම ඉටු කිරීමට නියාමන බලපෑමක් කළ හැකි වනු ඇත. මහජන අභිලාෂයන් මුදුන්පත් වන අයුරුන් සමස්ත නියාමනය සිදු කළ හැකි පරිදි ස්වාධීන විකාශන අධිකාරියක් ස්ථාපනය කළ යුතුය.
6. ප්‍රජා විද්‍යුත් මාධ්‍ය: විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය මගින් ප්‍රජා විකාශන සේවා (community broadcasting) උනන්දු කල යුතුය. ජාත්‍යන්තර අර්ථ දැක්වීම් වලට අනුව ප්‍රජා විකාශනයන්හි හිමිකාරිත්වය හා මෙහෙයවීම ප්‍රජාව සතු විය යුතු අතර ඒවාට වඩාත් උචිත හා දරාගත හැකි ලෙස සකස් කරන ලද බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.
7. රාජ්‍ය මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය: මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා අශීලාචාර සම්ප්‍රදායෙන් දැන්වත් අත්මිදිය යුතුය. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) ස්වාධීන රුපවාහිනී සේවය (ITN) ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කළ යුතුය. එමගින් කර්තෘ නිදහස ආරක්ෂා කරන මහජන සේවා සපයන්නෙකු බවට මේ ආයතන කෙමෙන් පරිවර්තනය කළ යුතුය. මෙම ආයතනවලට දේශපාලන බලපෑම් කිරීමට ඉඩක් නැති පරිදි ස්වාධීන ලෙස මුදල් ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එම ක්‍රියාමාර්ග මගින් එම ආයතනයන්හි මෙතෙක් කිසිදා නොපැවති ස්වාධීනත්වය ටිකෙන් ටික තහවුරු කර ගත හැකිය. ලේක්හවුස් ආයතනයටද (Associated Newspapers Ceylon Limited, ANCL) රාජ්‍ය බලපෑමෙන් ස්වාධීනව කර්තෘ නිදහස භුක්ති විඳීම සඳහා ක්‍රියාදාමයක් සකස් කල යුතුය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ මහජන අදහස් විමසීමක් කළ යුතුය.
Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015

8. මාධ්‍ය වාරණය වැලැක්වීම: කිසිදු මාධ්‍යයක් කිසිවක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර පතන වාරණ ක්‍රම සියල්ල ඉවත් කළ යුතුය. ප්‍රකාශනයෙන් හෝ විකාශයෙන් පසුව කිසිවකුට අගතියක් වේ නම් උසාවියක් මගින් මාධ්‍ය අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. (ප්‍රසිද්ධ රැගුම් පාලන පනතද ඇතුළු) වාරණ නීති හා රෙකුලාසි නැවත සලක බැලිය යුතු අතර භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංස්කරණය කළ යුතුය.
9. දේශපාලන වෙබ් අඩවි සඳහා සීමා ඉවත් කිරීම: ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සම්මුතීන් මගින් සහතික කරන ලද භාෂණයේ නිදහස උල්ලංගනය කරන පරිදි සමාජ ජාල හා අන්තර්ජාල අන්තර්ගතය පාලනය නොකළ යුතුය. රට තුළ සිට කියැවීමට නොහැකි වන සේ දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. රටේ නීතියට නිශ්චිතවම එරෙහි වන (අසැබි රූප ආදිය ඇතුළත්) වෙබ් අඩවි පාලනය කිරීම පිළිබඳ සීමා පැන වීමේදී එය සැම විටම අධිකරණ අධීක්ෂළය යටතේ පමණක් කළ යුතු අතර එමගින් මහජනයාගේ තොරතුරු ලබා ගැනීමේ නිදහසට හා භාෂණයේ නිදහස සඳහා වන මූලික මානව අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුය.
10. අවේක්ෂණය වැලැක්වීම: තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂනයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන අවේක්ෂණය කිරීම (surveillance) රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි අවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.

Wednesday, July 15, 2015

මයුරන් සහ මම மயூரன் மற்றும் நான்

බ්ලොග් අඩවිය පටන් ගන්නට පෙර ලියූ සටහනකි...
මයුරන් සහ මම  மயூரன் மற்றும் நான்
ඔහු,
සිංහල ඉගෙනගන්න දමිළයෙක්
මම දෙමළ ඉගෙනගන්න සිංගලයෙක්
අපි,
අතීතයට අකමැති තරුණයන් දෙදෙනෙක්.
වරහන් ඇතුලෙ
අපි මාධ්‍යවේදීන්........
යාපනයේ රා තැබෑරුමක
ඔහු දල්වන්නේ සහෝදරත්වයේ සුරුට්ටුව
දවාලන්නට නොව
නිවාලන්නට
අතීතයේ ගිණි
(හුදු හීනයක් නොවේවා එය)
ඔහුත් මමත් සුරුට්ටුවත්
අපේ මිතුරු කැලත්
ගොඩනැඟෙන මිතුදමත් විතරමයි.
වෙන කිසිවක්ම නැහැ.
අපෙ මිතුදම
වේදනා දෙයි
සුරුට්ටුව නොව
අපේ අනාගතය දවාලන්නට
කැසකවන උන්ට

මයුරන් மயூரன்
அவன்,
சிங்களம் படிக்கின்ற
தமிழன்
நான் தமிழ் படிக்கின்ற
சிங்களவன்
நாங்கள் இருவரும் இறந்த
காலத்தை விரும்பாத
இளைஞர்கள்.
ஒரு வட்டத்தின் உள்
நாங்கள் இருவரும்
ஊடகவியலாளர்கள்.............
யாழ்ப்பாணத்தில்
மதுபானசாலையொன்றில்
வைத்து
அவன் ஏற்றுவது
சகோதரத்துவத்திற்கான
சுருட்டு
ஏரிப்பதற்கு அல்ல
அணைப்பதற்கு இறந்த கால தீயினை.
எங்களுக்கும் அவனுக்கும்
இடையில்
நல்ல நட்பை தவிர வேறு
எதுவும் இல்லை.
எங்களுடைய நட்பு
வேதனையை
தரக்கூடியது தான்
ஒரு சுருட்டுக்காக அல்ல
எங்களுடைய எதிர்
காலத்தை எரிப்பதற்கு
காத்திருப்பவர்க்கு

දෙමළ පරිවර්තනය - ඌෂා
ඡායාරූප අයිතිය - අමිල ගමගේ

මම - நான்


මෛත්‍රී ෂුවර්ද? රනිල් ගොඩද? වැඩ්ඩා කවුද?



නිවී හැනහිල්ලේ මෛත්‍රීගේ කතාව බැලුවේ දැන් ය. මෛත්‍රීගේ කතාවෙන් පසු හිතෙන දේවල් ටිකක් ලියන්නට සිතුණි. මෛත්‍රී කළ කතාවෙහි ගතයුතු දේවල් තිබුණි. ඔහු වැදගත් කතාවක් කර තිබුණි. ඔහුට පහර දෙන්නටත් අගය කරන්නටත් කට්ටිය ඉන්නා නිසා කතාවේ තැන් කිහිපයක් ගැන සිතට ආ වෙනස් අදහසක් ලියන්නට සිතුණි.
 
මම දුන්නු නිදහස වල් බූරු නිදහසක් කරගන්න එපා යැයි මෛත්‍රී කතාව අවසාන හරියේ කීවේය. සටහන් පටන් ගන්නට හිතෙන්නේ ඒ ගැන පශ්චාත්ශාගයෙන් සිනාසෙමින්ය.

ජනවාරි අටවෙනිදා සිදුවූයේ කුමක්ද? ජනාධිපතිවරයා එය නිවැරදිව කියවාගත යුතුය. මෛත්‍රීපාල සිරිසේන අපට නිදහසක් දුන්නායැයි අපි කිසිසේත්ම නොසිතන්නෙමු. මෛත්‍රී ඒ මොහොතේ වඩා වාසිදායක ඩීල් එකකට එක්වෙමින් ඒ වන විටත් ගොඩනැඟී තිබූ මහින්ද විරෝධී සටනට එක්වූවා පමණකි. (එතැනදී ඔහු ගත්ත පියවර හැමදාම අගය කරනවා. ඒක නෙවෙයි අවුල) 

ජනවාරි අටවැනිදාට පෙර මහින්දට විරුද්ධව මෙලෙස කතා කරන්න නිදහසක් තිබුණේ නැතැයි යන්නද අර්ධ සත්‍යයකි. අවශ්‍ය නිර්භීතභාවය තිබුණේ නම් ජනවාරි අටට පෙර වුව මහින්දට විරුද්ධව කතා කරන්නට තිබුණි. එසේ කතා කළ මාධ්‍ය සහ පුද්ගලයන් සිටියේය. ගෞරවය හිමිවිය යුත්තේ මෛත්‍රී ශ්‍රීලනිප ලේකම් ලෙස මහින්ද රජෙක් යැයි කියද්දී, මහින්දව වැළඳගනද්දී ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන බලාපොරොත්තු තබාගෙන මහින්ද පරදින්නේයැයි සේයාවක් වත් නැති කාලයක සිට සටන් කළ අයටයි.

මෛත්‍රීගේ කතාව දෙස උපේක්ෂාවෙන් බැලිය යුතුය. (වෙනද වගේ නැතිව හැකිතරම්  සැර බාල කරල ලියන්න බලන්නේ) මෛත්‍රී මැන්ඩෙලා හෝ ගාන්ධි නොවන බවත් අප සිහිතබාගත යුතුය. එය දේශපාලන උපාය උපක්‍රම වැරදුණු පසු ඔහුට බැණවදින පිරිසට පිළිතුරු දීම සඳහා අටවාගත් හොඳ පිළිතුරක් ලෙස සිතිය හැකිය.

මෛත්‍රී පිළිබඳ කතාබහෙන් රනිල් සහ එජාපය ගොඩ යයිද? 

මේ වන විට  එජාපය ගැන එළියේ කතාබහක් නැතිය. සියල්ලම මෛත්‍රි සහ මහින්ද ගැනය. එජාපය දින සීයේ පොරොන්දු නිවැරදිව ඉටු කළාද? මහබැංකු බැඳුම්කර සිද්ධියේදී සහ එජාපයට ආ චෝදනා වලින් එජාපය නිදහස්ද? එජාපයේ ලැයිස්තු කන්‍යාභාවයෙන් යුතුද? රනිල් මෛත්‍රීගේ ඉල්ලීමද නොතකා අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ෂා කර තිබේ. ජනතාව මේවා ගැන කල්පනා කළ යුතුය.

මහින්ද මාර ගේමක් ගැහුවා යැයි සතියකට කලින් කීය. මෛත්‍රීගේ කතාවෙන් පසු මෛත්‍රී මාර ගේමක් ගැහුවා යයි කියති. පැත්තක ඉඳන් රනිල් මාර ගේමක් ගැහුවා කියාද කිව හැකිය. මේ අතරින් වැඩ්ඩා කවුදැයි අපි විමසන්නෙමු. වැඩ්ඩා කවුරු වුණත් වැඩ දාන්නේ මහජනතාව වෙනුවෙන් නොවේ. හැම මොහොතකම සිහතබාගත යුත්තේ එයයි. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේ ගැලවුම්කාරයා ඇතැයි සිතා සිටීම අමු ගොන් කමකි. ඒ ගොන්කම 94දීද කළෙමු.

මෛත්‍රීගේ කතාවෙන් පසුවද කියන්නට තියෙන්නේ පරණ කතාවමය. දේශපාලනය කරන්න. දේශපාලඥයන් විස්වාස නොකරන්න.

Monday, July 13, 2015

මෛත්‍රීගේ නාමයෝජනා ජෝක්ස් එක...

මෛත්‍රී අමද්‍යප මාසයක් නිසා බාර් වහපු සිද්ධියේදී ෆේස්බුක්හි කවුරුන් හෝ මරු කතාවක් ලියා තිබුණි. මත්ද්‍රව්‍ය තුරන් කොරනවාය කියමින් මලු ගණන් නැව් ටෝක් දී විවිධ වැඩසටහන් සංවිධානය කොට අන්තිමේදී මත්පැන් හා මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ව පාර්ලිමේන්තු යවන්නේ ඇයිදැයි ඒ සටහනින් ප්‍රශ්ණ කොට තිබුණි. ඒ මෛත්‍රීගේ නාමයෝජනා ජෝක් එකකි. 
 
සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද ගහන්න මෛත්‍රී මාරාන්තික සටනක සිටියේය. මෛත්‍රී මීඩියා වලට නොව අවංකවම සටන් කළේ නම් පහළින් නොවේ ඉහළින් මතට තිත තියන්නට උත්සාහ ගන්නට තිබුණි. බණ දෙසීමෙන් මිනිස්සු හැදෙනවානම් ලංකාවේ හාමුදුවරුන් බණ කියන හැටියට මේක මාරම රටක් විය යුතුය.


(මතට තිත සීන් එක මහින්දගේනේ. මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ හුරතල් කරන ගමන් බයිලා මත් විරෝධයක් දුව දුව ගෙනිච්චෙ මහින්ද. මහින්දමත් නෙවෙයි ඕක ලංකාවේ කාලයක් තිස්සේ තිබුණනේ.)


අනිත් ජෝක් එක මහින්දට නාමයෝජනා දී චෝදනා තියෙන අයට නාමයෝජනා නොදෙන්නේ යැයි කියන කතාවයි. ඒක හොඳම ජෝක් එකකි. මෛත්‍රී ගහන්නේ බයිලා බව වැටහෙන්නේ මේ ජෝක් වලින්ය. මහින්දටයි, මිනිහා ළඟම හිටපු සෙට් එකටයි නාමයෝජනා දුන් පසු දූෂිතයන්ට නාම යෝජනා නොදෙමි කියන එක අමුම අමු කුපාඩි කතාවකි. පහුගිය කාලයේ දූෂණයේ කේන්ද්‍රය වූයේ රාජපක්ෂවරුන්ය. ඒ බව මෛත්‍රීම කියා තිබේ. මහින්දට දුන් පසු අනිත් දූෂිතයන්ට නාම යෝජනා නොදී පළක් නැත.


(දුමින්ද මහත්තයටයි හිරු එකටයි කියන්න තියෙන්නේ ඔය කියන තරං ඡන්ද තියෙනවනං, මිනිස්සු ඉන්නවනං බොරු බයිල ගගහ ඉන්නෙ නැතුව ස්වාධීනව ඉල්ලලා දිනන්නකො. දුමින්ද නැතිව සන්ධානෙට ඡන්ද නෑ කියලනෙ කියන්නේ)


මහින්දලාටත් ඔහු වටේ ඉන්න අයටත් තිබුණු චෝදනා දැන් අඩපණ වී ඇති බව දැනගන්නට ලැබෙන තත්වයයි. දැන් මුල්‍ය විමර්ශණ කොට්ඨාශය පරීක්ෂණ කරන්නට බිය වී ඇත. ඩීවී උපුල්ලාගේ තර්ජන ද මෛත්‍රීපාලලා ඒ තර්ජනය කළ අයට නාමයෝජනා දීම ද නිසා ඒ නිලධාරීන්ට තමන්ගේ ආරක්ෂාව ගැන විශ්වාසයක් නැත. මහින්දලාට මෛත්‍රී නාමයෝජනා දුන් පසු ඔවුන් සම්බන්ධව පරීක්ෂණ කරන්නේ කෙසේද? අවසානයේ මහින්දලා බලයට ආවොත් තමන්ට ඇරලා යන බවත්. එදාට දැන් පොර ටෝක් දෙන මෛත්‍රීලා ළඟ නැති බවත් ඒ නිලධාරීහු දනිති.


(අවුරුදු හතළිහක් ලංකාවේ ප්‍රධාන පක්ෂයක පක්ෂ දේශපාලනය කරපු මිනිහෙක්ගෙන් මැන්ඩෙලා, ගාන්ධි බලාපොරොත්තු වෙන්න එපා. ඒ හැම එකක්ම බලය සහ කීර්තිය වෙනුවෙන් කරන දේවල් විතරයි. ජනවරම පාවලා දුන්න කතාවත් එච්චර පරල වෙන්න ඕන එකක් නෙවෙයි. කොයිවෙලාවෙ හරි පාවලා දෙන්න නියමිතව තිබුණා.)


මෛත්‍රී බලයට වඩා කීර්තියට කෑදර පුද්ගලයෙකි. 

ඒ නිසා ඉදිරියේදී යම් ප්‍රකාශයක් කොට ස්වාධීනව ඉන්නවා වගේ බයිලයක් ගසන්නට ඉඩ තිබේ. එහෙත් දැන් ස්වාධීන වී ඇති ඵලය කිම?

උපාලි-ජින්නා-වික්‍රමසිංහ වැනසූ මඩොල් දූව....




මඩොල්දූවට පහුගිය දිනෙක ගියෙමු.. 
 
කොළඹ සිරවී තිබෙන ඔලුගෙඩි ටිකක් සැහැල්ලු කරගන්නට ගාල්ල පැත්තේ ගියෙමු. මඩොල්දූවට අප ගියේ ඒ අනුවය. මේ සටහන මඩොල්දූවේ සුන්දරත්වය හෝ එහි වැදගත්කම වනන්නට නොවේ. මඩොල්දූව ගැන අමුතු විස්තර අවැසි නැත. වික්‍රමසිංහයන් මඩොල්දූව විස්තර කර ඇත. 

පුංචි දූපතක් වන මඩොල්දූව  වික්‍රමසිංහයන් සාහිත්‍යයට නැඟුවේ සත්‍ය සිදුවීම් පාදක කරගෙන බවක් කියැවේ. ගින්නක් නැතිව දුමක් නොනඟින නිසා මඩොල් දූව ගැන එකල ගුප්ත විස්වාස තිබූ බවත් සැඟවී සිටින්නන් මෙම දූපතේ සිටින්නට ඇති බවත් විස්වාස කළ හැකිය. දැන්නම් මඩොල් දූව වටේට තිබෙන්නේ හෝටල්ය.


(ගාල්ල පැත්තේ යන වෙලාවක බොට්ටුවෙන් ඒ පැත්තට ගිහින් ආවට පාඩුවක් නැහැ. විසේස දේවල්නං නෑ ඉතිං. පුංචි දූපතක්.) 


කියන්නට ආවේ ඕවා නොවේ. මඩොල් දූව දැං කුණුගොඩක් බවයි.


මඩොල්දූව බලන්නට එන අය බිම දැමූ ඉටිකොල, බීම බෝතල්, බිස්කට් පැකට් දැන් මඩොල් දූවේ තැනින් තැනය. සැරින් සැරේ දැමූ කුණු නිසා ඒවා දැන් විශාල කුණු ගොඩවල් බවට පත්ව තිබේ. 

(එක් තැනක පැරණි වටිනාකමකිනුත් යුතු ළිඳක් තිබුණා. ඒ ළිඳ ඇතුලටත් ගොන් හරක් කුණු දාලා. දැන් ඒක පරණ ළිඳක් නෙවේ කුණුවලක්)


(එතැන බෝට් සර්විස් එක කරන මහත්තුරු සැරින් සැරේ ගිහින් සුද්ධ කරනවලු. ඒත් ආයෙ ආයෙත් කුණු හලනවලු. එයාලට කන්ට්‍රෝල් එකක් නැහැ)


අප පරිසරය ගැන හිතන පොරවල් නොවේ. පරිසරය ආරක්ෂා කිරීමට තරම් විනයක් අපේ මිනිසුන්ට (මාත් ඇතුළුව) නැත. එහෙත් අඩු තරමේ මඩොල් දූව වැනි තැනකවත් කුණු නොදැමිය යුතු බව අපේ මිනිසුන්ට නොතේරෙන්නේද? ඉටිකොලය, බියර් ටින් එක දූපතෙන් එළියට යනතුරුවත් රැගෙන යන්නට බැරිද?

කතාව එතැනය. සංචාරක කර්මාන්තයෙන් ආදායමක් උපයන ලංකාවේ මිනිසුන්ට ඒ ඒ තැන් ආරක්ෂා කරගන්නට තරං විනයක් නැත. (කාර්ය මණ්ඩලයක් දාලා සුද්ධ පවිත්‍ර කරලා ආරක්ෂා කරන්න තරං බජට් නැති මඩොල් දූවේ විතරක් නෙවෙයි. ගොඩක් මිනිස්සු බලන්න යන තැන්වල ඉරණම ඕක තමයි.)


මේ ලංකාවේ විකෘති සංස්කෘතියේ අවුලක් බව මගේ අදහසයි. අපේ සංක්කෘතිය තරං විනය ගැන, පරිසරය ගැන ( තව අමද්‍යප වීම ගැන, බඹසර රැකීම ගැන, සමානාත්මතාවය ගැන, දානය ගැන......)  කතාකරන සංස්කෘතියක් ලොවෙත් නැත. ඒ කියවන කිසි බයිලයක් ක්‍රියාත්මක කරන්නේත් නැත. මේ කියවිල්ල වෙනුවට ක්‍රියාත්මක කිරිල්ල අපේ සංස්කෘතියට හුරුපුරුදු කරගන්නා තෙක් අවුල එතැනමය.


හැම මඟුලටම සංස්කෘතිය ගාවගන්නවා. සංස්කෘතියටම ගහන්න යනවා. ඩොලර් කාක්කා, දේශද්‍රෝහියා වැනි කතාවලින් පහර කෑ පසුව කියන්නට තියෙන්නේ උඩින් කියූ දෙයයි.

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා බං වැරැද්ද කොරල තියෙන්නේ. මිනිහ මඩොල් දූව ලිව්වේ නැත්තන් එහේට කවුරුත් එන්නේ නැහැනේ. මිනිස්සු ආවෙ නැත්තන් කවුරුත් කුණු දාන්නේ නැහැනේ.


හෝ


ජින්නයි උපාලියි කරල තියෙන අපරාධයක් බලහංකෝ. මුන් දෙන්න බිස්කට් කාල පැකට් මේකේ දාලා ගිහිල්ලනේ. මුන් බීලා බෝතල් දාල ගිහල්ලනේ... මුන්ට හෙනගහන්න ඕන.