Friday, December 11, 2015

මිනිස්සු මැරෙනව..

ගිය සතියෙ සෙනසුරද හිටියෙ මඩකලපුවේ කාන්තන්කුඩි වෙරළේ.
කාන්තන්කුඩි වෙරලේ! ෆර්හාන්, ශිහාන්, ජයසූරියන්, උඩූ

කාන්තන්කුඩි ප්‍රසිද්ධයි මාළු වලට. ඒ වගේම මෑත කාලේ කාන්තන්කුඩි ගැන ගෙතුව කතා බොහොමයි.. 

ඒ ගමනේදී උණුසුම් ආගන්තුක සත්කාර. සහෝදරත්වය. රසවත්ම කෑමබීම මුණගැහුණා.. නිසංසල මඩකලපුව තමයි දැන් බාහිරව ගත්තම මගේ ප්‍රියතම නගරය!!! (අභ්‍යන්තරව මේ නගරයෙත් තියෙන්නෙ වේදනාව)


( සටහනේ ඡායාරූප තියෙන්නේ නගරය එක්ක ඇතිවුණු ඒ ප්‍රහර්ෂය එක්ක ගත්තුවා.. කියන්න යන කතාවට ඡායාරූප සම්බන්ධ නොවෙන්නත් පුලුවන්.. )

ජිහාඩ්, අල්කයිඩා, තාලිබාන් නම් එක්ක සිංහල බෞද්ධ වෙබ් අඩවි වල කාන්තන්කුඩි ගැන කියැවුනේ අවි තියාගෙන මිනිස්සු ප්‍රසිද්ධියේ ගමන් කරන සිංහල දෙමල මිනිස්සුන්ට පහර දෙන්න බලා ඉන්න මුස්ලිම් අන්තවාදීන් රොත්තක් ඉන්න පැත්තක් විදියට.

බෞද්ධ අන්තවාදය, හින්දු අන්තවාදය, කතෝලික අන්තවාදය ඇතුළු පිටුදැකිය යුතු අනෙකුත් අන්තවාදයන් වගේම මුස්ලිම් අන්තවාදයත් තියෙන බව ඇත්තයි.  ඒත් කාන්තන්කුඩිය හෝ ලංකාවේ මුස්ලිම් බහුතරයක් ඉන්න පැති ගැන මවල තියෙන චිත්‍රය මේ අන්තවාදයන් තවත් වැඩි කරන බවයි මට හිතෙන්නේ.

(මද්‍යස්ථ සිතිවිලි එක්ක මුස්ලිම් සහෝදරවරු විරුද්ධ වෙන්නෙ නැහැ. අපි සම්පූර්ණ මුස්ලිම් ප්‍රජාවට විරෝධය දැම්මොත් ඒ අතරේ ඉන්න හිතන්න පුළුවන් අයත් අන්තවාදී ගොඩට එකතු වීමයි වෙන්නේ.) 
මඩකලපුව රදගුරු පොන්නයියා බිෂොප් ජාතිභේදයෙන් තොරව සමාජසේවාවල නියැලෙයි

හිටපු තැනට එන්නම් . මම හිටියේ කාන්තන්කුඩි වෙරලේ. 

අපි අටදෙනෙක් මඩකළපු යන්න කොළඹින් රෑ පිටත් වුණ නිසා පාන්දර පහ වෙද්දී තමයි කාන්තන්කුඩි මුහුද අයිනේ අපට නවතින්න ලෑස්ති කරලා තිබුණු තැනට ගියේ. 

අනිත් අය නිදාගත්තත් මාත් මං එක්ක දිගුකාලීන මිත්‍රතත්වයක් වගා කරගෙන යමින් සිටින එදා හමුවුණ දමිළ මිත්‍රයා සතීෂ් වෙරල දිගේ ඇවිදගෙන ගියේ ටිකක් ඈතින් තියෙන තොටුපලෙන් පාන්දරම ඔරු එකදෙක මුහුද පැත්තට යනව දැකපු නිසා. හිරු උදාවත් දැකලා හිටපු අපට නින්දක් දානව වෙනුවට කාන්තන්කුඩි පාන්දර දකින්නයි ඕන වුනේ.

අපිත් එක්ක බොහොම උන්දුවෙන් එතැන හිටපු සහෝදරවරු කතා කළා.. කබීර් එයාලගේ ජීවිතේ ගොඩක් විස්තර කළා..

අපි කතා කරමින් ඉන්නකොට එතැනට කබීර්ගේ මුණුපුරෝ දෙන්නා ආව..

 ළමයි උදේ දැකල කල්ලඩි පාලමෙන් පැනල සියදිවි නසාගන්න හදපු තරුණයෙක්ව..

පොර පාලම මුදුනින් කලපුවට පනින්න හැදුවත් කකුල පැටලිලා එයාව හිරවෙලා... මැරනේන බැරිවෙලා කට්ටිය බේරගෙන..

ළමයි බොහොම සැහැල්ලුවෙන් ඒ සිද්ධිය කිව්වා.. කබීර් සහ ඔහුගේ මිත්‍රෙයාත් ඒ කතාව අහලා හිනාවුණා.

සියදිවි නසාගන්න උත්සාහ කිරීම ඔවුන්ට කිසිසේත්ම ප්‍රවෘත්තියක් වුනේ නැහැ. ඒ ගැන අහල බලන්නවත් ඕන වුනේ නෑ. ඇයි එයා සියදිවි නසාගන්න ට්‍රයි කරලා තියෙන්නේ කියලා කම්පනයට පත්වුණ මං ඇහුවත් උත්තර දෙන්න මහන්සි වුණෙත් නෑ. රස්සාවක් නැතිව වෙන්න ඇති. සැහැල්ලු පිළිතුරක් ලැබුණා.

අතුරුදන්වූ සිය සැමියාව සොයන බිරිඳක්
මඩකලපුවේ සියදිවි නසාගන්න එක සාමාන්‍ය දෙයක්. මෙහේ ගොඩක් පවුල්වල පිරිමි අය යුද්ධයෙන් නැතිවෙලා. ගැහැණු අයට රැකියා නැහැ. විරැකියාව හා යුද්ධයෙන් අහිමිවූවන්ගේ ප්‍රශ්ණය මඩකලපුවේ ප්‍රධානයි. එක්දිනක් හෝ රැකියාවකට නොගිය අය එක්ලක්ෂ අසූදාහක් ඉන්නවා. මිනිස්සු බොහොම දුප්පත්. මිනිස්සු නිතර සියදිවි නසාගන්නවා. දවසකට සියදිවි නසාගැනීම් කිහිපයක් අහන්න ලැබෙන අවස්ථා බොහොමයි. බොහෝ අය සියැසින්ම සියැසින් කිහිප වතාවක්ම දැකලා තියෙනවා. 

අපට කාන්තන්කුඩි වෙරළෙන් අර විදියේ පිළිතුරක් ලැබුනේ ඇයිදැයි පැහැදිළි කරමින් මඩකළපුව දිස්ත්‍රික් ලේකම් පී.එම්. එස්. චාල්ස් මහත්මිය කියනවා.

මඩකලපුවේ ගමන අපට ගොඩක් අත්දැකීම් ගෙනාවා. ඉස්සරහට ඒවා ලියැවේවි. 

ගී හඬ නෑසෙන කල්ලඩි පාලමේ හින්දු කතෝලික බර්ගර් හින්දු සිංහල ලෙස ඉපදුණු මුත් සහෝදරත්වය අගය කරන අපි
කල්ලඩි පාලමේ සිංදු කියන මාළුන් ඉන්න බව කීවත් දැන් ඒ මාළුන් ජීවිත සටනේ පොරකනවා. සිංහල, මුස්ලිම්, දෙමළ, කතෝලික භේදයක් ඔවුන්ට නෑ. ඕවා ඕන දේශපාලක පරයන්ට... ඥාණසාර වගේ යක්කුන්ට ( සමහරුන්ට අනුව ගරුතර සංඝ රත්නයට) 

මිනිස්සු දුක්විඳිනවා. නෑ!!  දුක දරාගන්න බැරිව මිනිස්සු මැරෙනවා. මොන ජිහාද් කල්ලිද?

අපි සටන් කරන්න ඕන ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න. ඒත් අපේ මිනිසුන්ව සූක්ෂම ලෙස කොටවලා ඇත්ත සටන වෙනුවට වෙනත් සටන් වෙත යොමු කරවලා..

අපි ජාතියට පයින් ගහලා සහෝදරත්වයේ ආදරයේ දෑත දිගු කළ යුතුයි!! පහක් කෙළගහද්දී එකක් ඒ අත අල්ලගනීවි. එ් අල්ලගත්ත දෑත් තවත් දෑත් එකතු කරවාවි!!

15 comments:

  1. උඹ එහෙනම් බීච් එකේ ඇවිදලා විතරයි.. අපි ඔහේ ටුවර් ගියාම දවස් ගනන් ඉන්නේ.. ටික දවසක් ඉඳලා බලපන්.. වැඩියේ හොයන්න ගියොත්, කොන නෙමෙයි බිජ්ජත් නැතිව එන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...
      බීච් විතරක් නෙවෙයි ගොඩක් කරක් ගැහුවා! 

      ටවුන් එකේ කඩවලින් කෑවා...

      ත්‍රීවීල් වල බයික් වල ගියා...

      අපි එක්ක ගිය මිතුරියක් ආම්කට් ස්කිනියක් ඇඳගෙනත් ගියා..

      සමහරු අපහසුතාවයට පත් වුණත් අවුලක් වුණේ නෑ..

      බෞද්ධ ජාතිවාදය වගේම මුස්ලිම් ජාතිවාදයකුත් තියෙන බව ඇත්ත වුණත් ඒක මවා පෙන්වන්නේ වැරදි විදියට

      Delete
  2. මගේ ගම්පලාතේ බහුතරය දෙමළ.මුස්ලිම් අඩුයි.සිංහල දෙමළ අය සහයෝගයෙන් ජීවත්වෙනවා.බගවන්තලාවේ දෙමළ පවුල් 40000 (හතලිස්දහසක්) ජීවත්වෙනකොට සිංහල පවුල් 200ක් වගේ තියෙන්නේ.බහුතරය දෙමළ වුනාට සිංහල අයට මේ වෙනකම් කිසිම ප්‍රශ්නයක් නෑ.වෙනකක් තියා පන්සල් වල දායක සභාවෙත් දෙමළ අය ඉන්නවා.

    මම කල්පිටියේ ගිහින් සති දෙකක් විතර හිටියා.එහේ තිබුන පරිසරය මීට වඩා සම්පූර්ණ වෙනස්.මුස්ලිම් පවුල් 20000 වැඩියි.සිංහල 1000 ක් වගේ.පිටට සෘජුව නොපෙනුනත් ගැටලු තියනවා.ඒහේ හිටියම තමයි ඒක තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මං දන්නවා අවුල් තියෙන බව..

      මට අත්දැකීමුත් තියෙනවා..

      ඒත් අපි ප්‍රවර්ධනය කරන්න ඕන ඒක නෙවෙයි සහෝදරත්වය!! අපට එහේදී සහෝදරත්වය තමය අත්විඳින්න ලැබුණේ

      Delete
    2. උඩුවා උඹ අහලා තියනවද මචං සිංහල වාසගම් තියන මුස්ලිම් අය ඉන්නවා.

      Delete
    3. ඔව්.. රාවයේ ළඟදී ආටිකල් එකකුත් ගියා

      Delete
  3. ඔය වගේ දූත ගමනක් වැදගත් විදියට යන්ඩ එපැයි?? තෝ ෂෝටක් ගහගෙන ගියාම හරිද??
    මේ කොළඹ මුස්ලිම් අය ගැන නම් දන්නේ නෑ...ඒත් නාවලපිටියේ මුස්ලිම් මිනිස්සු ගැන මට කියන්ඩ පුළුවන්! අපේ සමහරු හිතන තරම් උන් ජාතීවාදී නෑ...ගොඩක් වෙලාවට අපිට වඩා ඒ මිනිස්සු සහෝදරත්වයෙන් ඉන්නවා....සෙට් උනාම හරි ෆිට් මිනිස්සු!

    ReplyDelete
    Replies
    1. අන්න ඒ සීන් එකයි වෙන්න ඕනේ!!
      ඒ වෙනුවෙන් ඉස්සරහට වැඩ කරන්න ඉන්නේ!! 

      Delete
  4. මිනිස්සු විවිධාකාරයි ඥානසාර වගේ යක්කුත් ඉන්නවා. වටරැක විජිත වගේ දෙවිවරුත් ඉන්නවා. ඔව්වා ඔහොම තමයි.
    මඩකලපුවෙ සිංහලයන්ටත් සහෝදරත්වය දක්වන්න.
    කාත්තන්කුඩියේ හමුදාවෙන් මරලා එල්ටීටීඊ එකෙන් මැරුවයි කියලා සිංහල ආණ්ඩුවෙන් ප්‍රචාරය කල මුස්ලිම් අයගේ නෑයො හමුවුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වටරැක වෙනුවෙන් මං පෙනී ඉන්නවා කියන්න ඔයා උත්සාහ කළත් මම ඒක පිළිගන්න සූදානම් නෑ.. මං කවුරුත් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ..

      හමුදාවෙන් අතුරුදන් කරවපු අය ගොඩක් මුණගැහුණා.. ඔබ දන්නවා මුස්ලිම් සහෝදරවරුන්ට එල්ටීටීඊ එකෙන් තමයි ආමි එකට වඩා කරදර වුණු බව පෙනෙන්න තියෙන්නේ.

      Delete
  5. මිනිසුන් සාමයෙන් ජීවත්වන දිනක් උදා වේවා

    ReplyDelete
  6. බ්ලොග් අවකාශයෙ වචන එහෙමෙහෙ වුනාට මම උඩුවට කැමතියි. ඇත්තටම උඩුවල නිසා තමා මේ රට දෙකඩ නොවී තියෙන්නෙ. මම එල් ටී ටී ඊ එකට විරුද්ධ වුනාට දෙමළ ජනතාව ගැන කිසිම විරෝධයක් නෑ. ඇත්තටම ජාතිවාදය කියන එක කවදාවත් මගෙ හිතට ඇතුළු වෙලා නැහැ.
    ඇයි මම ජාතිවාදියෙක් වෙන්නෙ. සිංහල දෙමල මුස්ලිම් ඔය හැමෝගෙන්ම මට වාසි අවාසි දෙකම වෙලා තියනව. මට කිසිම ජාතියක් හොඳ හෝ නරක නැහැ.
    මුස්ලිම්වරුන්ට සමහරු චෝදනා කළාට ඒක ඔවුන්ගෙ වරද නොවෙයි. ඔවුන්ගෙ ආගමේ වරද විය හැකියි.

    මේ සංචාරෙ පට්ට. මේ වගෙ ඒ පලාත්වල අයත් අපේ ගම්වලට ඇවිත් වැරදි අවබෝධ එහෙම තියනවානම් ඒව නැතිකරගෙන යනවනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපි මිත්‍රත්වයේ දෑත දිගු කරන්න ඕන... අපි තුවක්කුව ඉස්සරහට දැම්මොත් ඔවුන් තුවක්කුව ඉස්සරහට ගෙනෙයි.. අපි මල් පොකුරක් දිගු කළොත් ඔවුනුත් මල් පොකුරක් දිගු කරයි

      Delete
  7. රට ඉන්න අපිට ජාති බේද නැ,
    හැමෝම ජාති බේද අමතක කර මම ලාංකිකයෙක් කියල හිතනවානම්.....

    ReplyDelete