ගොඩවදින්නෝ

Friday, June 26, 2015

ප්‍රවේගයෙ අවුලක් තියෙනව බං....


ප්‍රවේගය චිත්‍රපටයේ හොඳ කියලා ගොඩක් අය කතා කරනවා, ලියනවා. ඒ නිසා මාත් ගියා ප්‍රවේගය බලන්න. එකපාරක් නෙවෙයි දෙපාරක්. පොලදාවන් චිත්‍රපටියේ රීමේක් එකනේ ප්‍රවේගය කියන්නේ. පොලිටිකල් කෑලි කොච්චරවත් ලියන එකේ තියෙන දැනුම අටවගෙන චිත්‍රපටිය ගැන කෙටි සටහනක් ලියන්න හිතුවා. (විචාරයක් නෙවෙයි)

ප්‍රවේගය මාරම වැඩක් කියලයි ගොඩක් අය ලිව්වේ. ඒ අතරින් චින්තන සහෝදරයා ලිව්ව සටහනට මම කැමතියි. (මාරම වැඩක් කියලා නෙවෙයි එයා කියන්නේ. කියවන්නකෝ ) ඔහු වෙට්ට්‍රිමාරන් ගැනත් ධනුෂ් ගැනත් කතා කරනවා. බණකතාවෙන් ඈත් වෙලා රීමෙක් හරි සිනමාවක් හිට් වෙන එක හොඳයි.  පොලතාවන් බලලා මට දැනුණු ඒත් ප්‍රවේගයේ මට නොදැණුනු කෑල්ල. ප්‍රවේගයේ අඩුව මොකක්ද කියලා තේරුම් ගන්න ඒක උදව් වුණා.

ඔහු කියන එක් ඇත්ත. පොලදාවන් එකට වඩා ප්‍රවේගයේ සහාය නළුවෝ ප්‍රබලයි. අමුතුවෙන් තර්ක කරන්න දෙයක් නැහැ. හේමාල්ට නං ධනුෂ් ළඟට ළං වෙන්නවත් බැහැ. (හේමාල් පට්ට.. ඉන්දියාවේ ධනුෂ් එක්ක නෙවෙයි ලංකාව එක්ක එපැයි සසඳන්න.)

ප්‍රවේගය ජනප්‍රියම බයිස්කෝප් එක වෙන්නේ කොහොමද? පොලදාවන්ට වත් ඒ කාලයේ ජනප්‍රියම එක වෙන්න බැරි වුණා. ලංකාවේ බයිස්කෝප් අඩු වීමත් තියෙන ඒවයේ තියෙන පට්ටම අවුලත් තමයි ඒකෙන් තේරෙන්නේ. ප්‍රවේගයේ විශේෂ හොඳක් නෙවෙයි. (පොලදාවන් ආපු 2007 දී ලිස්ට් එකේ උඩින්ම තිබුණ පෝක්කිරි, මෝසි, ක්‍රීඩම්, බිල්ලා, සිවාජි වගේ චිත්‍රපටි. පොලදාවන් තිබුණේ සෑහෙන පහල. හැබැයි ධනුෂ් ඒ කාලේ දැන් වගේ ෆියුචර් තලයිවා නෙවෙයි. ෆිල්ම් එකක් හිට් වෙන්න තිබුණු ඉඩ අඩුයි.)

ප්‍රවේගය ස්ක්‍රිප්ට් එකේ කරන්න මහ ලොකු වැඩක් තිබුණේ නැහැ. ගෙඩි පිටින් සිංහලට දාන එකයි කරන්න තිබුණේ. ස්වාධිනව කරන්න තිබුණු මියුසික් වගේ තැන් වලදී වැඩේ ෆේල්. හැබැයි මේක රීමෙක් එක නිසා සමහර වෙට්‍රිගේ වැඩේ දුර්වල තැන් ප්‍රවේගයේ ප්‍රබලව කරලත් තියෙනව.
කොහොම වුණත් ඒව අවුලක් නැහැ.

ඒත් අවුලක් තියෙනවා.

ප්‍රවේගය හොඳට රස විඳින්න පුළුවන්. ඇත්තටම මට දැනුණේ වෙන අවුලක්. අඩුවක්. සරලව කෙටියෙන් කිව්වොත් සුදු පෘෂ්ඨිමත් හේමාල්ගේ කහපාට අපාචියයි කළු කේඩෑරි ධනුෂ්ගේ කළුපාට පල්සර් එකයි තමා මට දැනුණ අවුල.

ඒ කියන්නේ මෙහෙමයි. වෙට්‍රිරාමන් පොලදාවන් ෆිල්ම් ඒකේදී ටච් කරපු සාමාන්‍ය අපට සමීප කොල්ලා හේමාල් තුලින් දකින්න ලැබුණේ නැහැ. ඒක හේමාල්ගේ පෙනුමේ අවුලක්මත් නෙවෙයි. පොලදාවන් එකේ ධනුෂ් අඳින ඇඳුම්, කොණ්ඩය සහ පෙනුම වගේ දේවල් වලින් බයිලා පෞරුෂයක් වෙනුවට හෙනම නෝමල් ගතියක් දකන්න ලැබෙන්නේ. හේමාල් අඳින පොෂ් ඇඳුම්, ඩීසන්ට් ඔෆිස් කිට් එක තුලින් වෙට්‍රිරාමන් ධනුෂ්ගෙන් මවපු නෝමල් කොල්ලා මතු වෙලා නැහැ.


ධනුෂ් දෙමළ සිනමාවේ අනාගතය වෙන්නේ එයාගේ රංගනයේ තියෙන වෙනස් පෞරුෂය නිසා. පොලතාවන් එකේ එයාගේ පෞරුෂය තමයි එහෙම එකක් නැතිකම. ආදුකාලම්, කාදල් කොන්දන් වගේ තැන්වලත් එහෙමයි. 
(ධනුෂ්ගේ රංගන හැකියාව ඒක. ධනුෂ්ගේ පර්සනැලිටි බලන්න ඕනනං මරියාන් වගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්. නැත්තන් ජුලි 17 එන්න තියෙන මාරි ෆිල්ම්එකේ පූර්ව පටය බලනන පුළුවන්)
වාසනා අක්කා ලියලා තිබුණා හේමාල්ගේ චරිතයෙන් ආවේ වීරයා නෙවෙයි කියලා. එයා කියන්නේ ප්‍රවේගයේ හේමාල් ෆයිට් කරන්නේ තමන්ගේ බයික් එක හොයාගන්න විතරයි. එයාගේ ෆයිට් එක ආත්ම මූලිකයි. ඒත්ඇත්ත වීරයා සටන් කරන්න ඕන සමාජ අසාධාරණයට එරෙහිව කියලා. (ඒ ලිපිය හොඳ රසවත් ලිපියක්. කියවන්න

ඇත්තටම ඒක ප්‍රවේගයට නෙවෙයි වෙට්‍රිමාරන්ගේ ඔරිජිනල් ස්ක්‍රිප්ට් එකට ආපු විවේචනයක්. (පොලදාවන් කියන්නෙත් ඔරිජිනල්ම නෙවෙයි. ඒක 1948 ආපු බයිසිකල් තීව්ස් කියන ඉතාලි චිත්‍රපටිය ඇසුරින් ලියපු එකක්.) 
ඒත් ඇත්තටම අපි කලාවෙන් වීරයෝ හොයන්න ඕන නැහැ. බයිස්කෝප් සිනමාවෙන් වුණත් සිහින කුමාරයෝ හොයන්න ඕන නැහැ. ෆ්ලැට් එකක ඉන්න පහල මධ්‍යම පාන්තික කොල්ලෙක්ගේ චරිතයෙන් අර ක්ලීන් එකට අඳින පට්ට කොල්ලා මවන්න යන්න බැහැ. හේමාල්ගෙන් කරන්න හදල තියෙන්නෙත් ඒක. ( ඒ කාලේ ගාමිණීල සරම ඇඳගත්ත ලංකාවේ නෝමල් තරුණයාව සිනමාවේ මැවුවා.)
ලංකාවේ ජනප්‍රිය සිනමාවේ හැදෙන්න ඕන අවුලක් ඒක. රන්ජන්ගේ අවුලත් චරිතෙට ගැලපෙන් ඉදිරිපත් කිරීම කරන එක වෙනුවට හැම චරිතෙන්ම පෞරුෂය පෙන්නන්න යන එක. අපේ කොල්ලෝ හෙනම පරමාදර්ශී ප්‍රතිපත්තිගරුක කොල්ලොත් නෙවෙයි. හෙනම ලස්සන හැන්ඩ්සම් කොල්ලොත් නෙවෙයි.

(ධනුෂ් ගැනත්  ධනුෂ්-වෙට්‍රිමාරන් සුසංයෝගය ගැන වෙනම ලියන්න ඕන. මේ සුසංයෝගය සිනමා සම්මාන උළෙලවල් හෙල්ලුවා. ළඟදී නැෂනල් ෆිල්ම් අවෝඩ් එකත් ලැබුණා මේ දෙන්නා නිෂ්පාදනය කරපු කාක මුට්ටෙයි ෆිල්ම් එකට. ඊට කලින් ආදුකාලම් ෆිල්ම් එකට ධනුෂ් හොඳම නළුවා ගත්තා. නැෂනල් ෆිල්ම් අවෝඩ් එකේ හොඳම නළුවා ගත්ත ලාබාලතමයා විදියට. මේ දෙන්නා ආයෙමත් එකට ෆිල්ම් එකක් කරන්නලු ලෑස්තිය.)

Wednesday, June 24, 2015

රාජපක්ෂගෙ ගමේ මීඩියා හොල්මන්....



තඹුත්තේගම රාජපක්ෂගම නම් ගම්මානයට හොල්මන් පවුලක් පැමිණ ඇතැයි පහුගිය සතියේ කතාබහට ලක් විය. ඇත්තටම එය කතාබහක් පමණක් නොව ඉන් එහාට ගොස් රටේම අවධානය දිනාගත් පුවතක් බවට පත් විය. රාජපක්ෂගමේ හොල්මන් කතාවට තටු දුන්නේ අපේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් ය.

රාජපක්ෂගමේ කතාව පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවතක් වූවා පමණක් නොව ඉරිදා පුවත්පත් වල විශේෂාංග ලිපි ලෙසින්ද මේ හොල්මන් කතාව වාර්තා කොට තිබුණි.

ඉන් දින කිහිපයකට පසු විද්‍යාකුලපති මහතා ඇතුළු පිරිසක් රාජපක්ෂගමට ගොස් පෙන්වා දී තිබුණේ කිසිදු හොල්මනක් රාජපක්ෂගමට පැමණ නැති බවත් මෙය මාස් හිස්ටීරියා නමැති මනෝ විද්‍යාත්මක තත්වය බවත්ය. එනම්, යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයක් පිළිබඳව මිත්‍යා මතයක් යම්කිසි ප්‍රෙද්ශයක පැතිරුණු පසු ඒ අදෘෂ්‍යමාන බලවේගය ඇත්තෙන්ම තිබෙන්නාක් මෙන් තවත් පුද්ගලයන්ට දර්ශණය වීමයි.

කලින් හොල්මන් කතා වාර්තා කළ මාධ්‍ය විසින්ම මේ මනෝවිද්‍යාත්මක කතාවද වාර්තා කොට තිබුණි. දැන් සියල්ල අවසන්ය. මාධ්‍ය අතපසදාගත්හ. කිසිදු ලජ්ජාවක් නැත. මේ පදනමක් නැති කතා සත්‍ය ලෙස වාර්තා කරන මාධ්‍ය වලට ජනතා විරෝධයක් එල්ල වන්නේද නැත. ජනතාවද රස විඳින්නේ මේ මෝඩ කතන්දර නිසාය.

ජනතාව කුමක් ඉල්ලුවද ජනමාධ්‍ය කිසියම් විද්‍යාත්මක පදනමක සිට කටයුතු කළ යුතුය. ජනමාධ්‍යෙව්දීන් ලෙස අප ඉගෙනගන්නේ මූලාශ්‍ර දෙකකින් තහවුරු කරගන්නා තුරු මාධ්‍ය වාර්තාවක් පළ කළ නොහැකි බවය. අපේ කට්ටිය හොල්මන් කතා ළඟ හිටියාක් මෙන් ලියන්නේ මේ මූලධර්ම කඩ කරමින් අවිද්‍යාත්මක පදනමක සිටය.

රාජපක්ෂගමේ සිදුවීම විද්‍යාකුලපති ඇතුළු පිරිස ඉක්මනින්ම ඒ ගමට ගිය නිසා අවසන් විය. එසේ නොවීනම් මේ අවිද්‍යාත්මක වාර්තාකරණය නිසා මේ කතාව අවසන් වන්නේ ලංකාවේම තැනින් තැන මෙවන් අද්භූත පවුල් මතු වීමෙනි. ලංකාවටම හොල්මන් දැක මාස් හිස්ටීරියා තත්වයට පත් වීමෙනි. මිත්‍යා කතාවක් නොවුණත් ලංකාවේම ග්‍රීස් යකුන් මතුවූයේ  මාධ්‍ය හරහා ලංකාව පුරා මේ කතාව ලිවීම නිසාය.

සංවේදී සිදුවීම් වාර්තාකරණයේදී මාධ්‍ය වලට විශේෂ වගකීමක් පැවරේ. විද්‍යාත්මක නොවන විශ්වාසයන් සම්බන්ධ වාර්තාරණයන් සම්බන්ධයෙන්ද එසේමය. විද්‍යාත්මක නොවන මිත්‍යා කතාන්දර මාධ්‍ය විසින් වාර්තා කිරීම කළක් තිස්සේ සිදු වන්නේය. ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල රසවත්ම කොටසක් වන්නේ මේ හොල්මන්, භූත කතන්දර සහ ලග්න පලාපලයන්ය. ජාතික පත්තර පසුගිය සමයේදී ඉරහඳ පත්තර බවට පත්වී තිබුණි. 



එක් ඉරිදා පත්තරයක් පසුගිය මැතිවරණයට පෙර දේහ ලක්ෂණ බලා දේශපාලනයේ අනාවැකි කීය. සතිපතා කේන්දරකාරයන් හතරපස් දෙනෙකුගෙන් දේශපාලනය ගැන අදහස් විමසීම් පළ කළේය. මේ පලාපල විශ්වාස වලට ජනවාරි අටවැනිදා විශාල පරාජයක් අත්විය. ඇත්තටම විය යුත්ත නම් හොල්මන් කතන්දර රාජපක්ෂගමෙන්ද ලග්න පලාපල ජනවාරි අට රාජපක්ෂ පරාජයෙන්ද අවසාන වීමයි.

ගයන්ත ඇමතිතුමෝ කයිවාරු නැතිව බයික් එක ගහගනින් @$#^%$


මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරුපැදි ලබාදෙන බවට පසුගිය දිනෙක පුවතක් පළ වෙද්දී වඩාත් සතුටට පත්වූයේ තරුණ ජනමාධ්‍යවේදීන්ය. ඒ අපගේ වෘත්තියේ ස්වභාවය නිසාම යතුරුපැදියක් තිබීම පහසුවක් නමුත් යතුරුපැදියක් මිලදී ගැනීමට තැන්පත් වත්කමක් බොහෝ තරුණ මාධ්‍යෙව්දීන් සතුව නොතිබීම නිසාය. සහන මිලට යතුරුපැදි ලබාදෙන පුවත කණ වැකුණු විගස අප සමඟ සිටින මිතුරු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම මුදල් එකතු කරන්නට පටන් ගත්හ. සහන මිලට නම් ආසන්න වශයෙන් රුපියල් පනස් දහසක පමණ ගෙවන්නට සිදුවනු ඇත. ඉතා අමාරුවෙන් රුපියල් පනස් දහසක් එකතු කරගැනීමට අපි උත්සාහ කලෙමු.
එහෙත් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් යතුරුපැදි ලබාදීම සඳහා තිබිය යුතු කොන්දේසි එළිදැක්වූ පසු තරුණ ජනමාධ්‍යවේදීන්ට සිදුවූයේ මෝටර්සයිකල් බලාපොරොත්තුව අත්හැර දමන්නටය. ඒ ජනමාධ්‍යවේදීන්ට නොමිලේ බයික් දෙන්නාක් මෙන් සද්දය දමා ආණ්ඩුව ලබා දුන්නේ පුස්සක් වන නිසාය. මොටර් සයිකල් ලබා ගන්නට අයදුම්පත් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටි බොහෝ මාධ්‍යෙව්දීන් අයදුම්පත් යොමු කළේ නැත. අවසාන දිනය වූ 22දා තෙක් අපට සිදුවූයේ නිකම් බලා සිටින්නටය. දැන් අවසාන දිනය පසුවී ඇත. 

මෝටර් සයිකල් අවශ්‍ය නමුත් මිලෙහි සහනයක් නැති නිසා බොහෝ දෙනෙක්ට මෝටර් සයිකල් බලාපොරොත්තුව අත්හරින්නට සිදුවිය.


මොටර් සයිකල් ලබාගැනීම සඳහා මුලින්ම සම්පූර්ණ කළ යුතු වූයේ වසර පහක සේවා කාලයකි. මාධ්‍ය ආයතන වල විශාල වැඩ කොටසක් කරන තරුණ මාධ්‍යවේදීන් බොහොමයකට බලාපොරොත්තු අත්හරින්නට වූයේ ඒ කොන්දේසිය නිසාය. ඇතැමුන්ගේ සේවා කාලය වසර තුනහතරක් විය හැකිය. වසර පහක සීමාවක් දමන්නට ඇත්තේ මෝටර් සයිකල් ලබාගන්නා අය ස්ථාවරව මේ වෘත්තියේ නියැලෙන අය බවට සහතිකයක් ලබාගැනීමට විය යුතුය. එහෙත් ඒ සහතිකය තිබෙන නමුත් වසර පහ සම්පූර්ණ නොකර සහන මිලට මෝටර් සයිකල් ලැබිය යුතු දක්ෂ තරුණ මාධ්‍යෙව්දීන්ට අවස්ථාව අහිමි විය.

තීරුබදු රහිතව මෝටර් සයිකලයේ වටිනාකම එකවර ගෙවීමට සිදුවීම අනෙක් හෙණයයි. අප විසින් සොයා බැලූ විට දැනගන්නට ලැබුණු පරිදි තෝරාගන්නට තිබෙන මෝටර් සයිකල් දෙකම ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුතු ඉන්දීය මෝටර් සයිකල්ය. ඉන්දීය මෝටර් සයිකල් වලට ලංකාවේ අයකරන බද්ද සාපේක්ෂව අඩු වන අතර තීරු බදු ඉවත් කළද මෝටර සයිකලය ලබාගන්නේ නම් අපට ලක්ෂයකට වැඩි මිලක් ගෙවීමට සිදුවේ. ඊට අමතරව ලියාපදිංචි වියදම්, රක්ෂණ ගාස්තු ආදියද දැරිය යුත්තේ අප විසින් වන නිසා දරන්නට බැරි වියදමක් අපටම දැරීමට සිදුවේ.

මාධ්‍යෙව්දීන් විශාල වැටුප් ලබන බව බාහිර සමාජය සිතුවද අප ලබන්නේ කම්කරු වැටුපට ආසන්න අඩු වැටුපකි. විශේෂයෙන් තරුණ මාධ්‍යෙව්දීන් ලබන්නේ මාසය ගෙවාගන්නට අමාරු තරමේ දිළිඳු වැටුපකි. ලක්ෂයක් ගෙවා බයික් ගන්නට අපට කොහොමත් බැරිය. එසේ හැකියාවක් තිබේනම් ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් හිඟා කන්නේ නැත. එසේ තිබේනම් දැනටමත් මෝටර් සයිකලයක් අරගෙනය. අවසානය යහපාලන ආණ්ඩුවේ බයික් එකද ලැබෙන්නේ මාධ්‍ය වෘත්තියට අමතරව අනෙක් හැම දෙයක්ම කරන වැඩි වැටුප් තිබෙන (දැනටමත් වාහන ඇති) මාධ්‍ය වෘත්තිකයන්ට ය. තරුණ මාධ්‍යෙව්දියෙක් නම් දෙමාපියන්ට මුදල් ඇති තැන්පත් ධනයක් තිබෙන මාධ්‍යෙව්දීන්ටය. අපට සැමදා සිදුවන්නේ බස්වල කට්ට කා මාධ්‍ය වෘත්තීය කරන්නටය.

ආණ්ඩුව මෝටර් සයිකල් වල තීරු බද්ද පමණක් ගෙවීමේ කිසිදු ප්‍රශ්ණයක් නැත එහෙත් ගැටලුව වන්නේ මාධ්‍යෙව්දීන්ට නොමිලේ බයික් දෙන්නාක් මෙන් ආණ්ඩුව ගසන පම්පෝරියයි. අනෙක් අතට අපට එක්වර ගෙවන්නට සිදුවන විශාල මුදලයි. අඩුම තරමේ එය කොටස් වශයෙන් ගෙවන්නට වත් අනස්ථාවක් දෙන්නේ නම්...

ඉදිරියේ ආණ්ඩුව විසින් නිවාස ව්‍යාපෘතියක්ද ආරම්භ කරන බව කියා ඇත. මේ නිවාසද අවසානයේ අපට නොව මාධ්‍ය ලෝකයේ පැරණි අයියලා ටිකටම නිවාස හිමවනු ඇත. බැංකු ණයක් වත් ගත නොහැකිව හිඟන වැටුපක් ලබන අපේ මාධ්‍යෙව්දී පරපුරට  මාස හයක ගෙවල් කුලී කී මනී ලෙස අය නොකරන තැනකින් රුපියල් දහදාහේ කුලී නිවාසයක් සොයන්නට සිදුවනු ඇත.   

ඒ මදිවාට ආණ්ඩුවෙන් මාර සැලකිලි නේදැයි සමාජයෙන් අසන්නට සිදුවනු ඇත. මාර වෘත්තියක් නේදැයි රෙද්ද පල්ලෙන් බේරෙන වංසය කබල් ගාන්නට සිදුවනු ඇත. මාධ්‍යෙව්දීන්ගේ වෘත්තිය වෙනුවෙන් හඬගාන සංවිධාන වලට මේ තරුණ ප්‍රශ්ණ අදාල නැත.

ආණ්ඩුවට අප කියන්නේ දෙනවානම් දෙන්න. නැත්නම් ඉඩ තිබෙන තැනක ගසාගන්න කියාය.

Search This Blog