Tuesday, December 25, 2018

රත්නම්ගේ වේදනාව





‘ඒ වෙලාවෙ ඇතිවුණු වේදනාවට මම කල්පනා කළා මේ අයව මරන්නේ කොහොමද කියලා. මම කාලයක් හමුදාවේත් හිටපු කෙනෙක්. ඒත් මම හිංසනයට ආසක්ත වුණ කෙනෙක් නෙවෙයි. ඒත් මම ඔවුන්ව මැරුවා.’ මේ කතාව කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ය.


ඔහු විස්තර කරන්නේ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු සිව්දෙනෙකු පිළිබඳවය. චන්ද්‍රන් රත්නම් ගොඩනැගූ ‘ඒෂියන් ෆිල්ම් ලොකේෂන් සර්විසස්’ සමාගමේ සේවය කළ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු සිව්දෙනෙකු ඔහුගෙන් වෙන්ව ‘ද ෆිල්ම් ටීම්’ නමින් සමාගමක් ආරම්භ කර තිබුණි. චන්ද්‍රන් රත්නම් කියන්නේ තවත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමක් නොවී, තමන්ගේ සම්බන්ධතා, ශ්‍රමයට දැඩි අසාධාරණයක් රවීන්ද්‍ර රන්දෙණියලා සිදුකළ බවය.
‘මම ඒ කාලේ මේ ප්‍රශ්නය ගැන විවෘතව කතාකළේ නැහැ. එතකොට රවීන්ද්‍ර රන්දෙණියලාට ආණ්ඩුවේ බලය තිබුණා. ඒත් දැන් කතාකරන්න පුළුවන්.’
ඔහුට කියන්නට තිබෙන කතාව ලියා තැබිය හැකිනම් තමන් ඉතා සතුටු වෙන බව ඔහු කීය. මේ සටහන ඒ වෙනුවෙනි.


අපූරු මිනිසෙක්


සියල්ලට පෙර කිව යුතුය. චන්ද්‍රන් රත්නම් ලංකාවේ චිත්‍රපටි පසුබිම්තල සැපයීමේ ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ආ බවය. විදේශීය චිත්‍රපටි ශ්‍රී ලංකාවේ රූගත කිරීම් සඳහා සේවා සැපයීම මේ ව්‍යාපාරයේ අරමුණයි. අද වන විට ලංකාවේ පසුබිම්තල සැපයීමේ ව්‍යාපාරය ඉහළම මට්ටමකට පැමිණ ඇත. එම සේවාව සපයන ආයතන කිහිපයක්ම ඇත. ඔහු ඒ ව්‍යාපාරයෙන් ලංකාවට දැවැන්ත ආදායමක් ගෙන ආ පුද්ගලයෙකි.

‘මගේ තාත්තා හරි පෝසත්. ඒත් මම තාත්තාගෙන් සතයක්වත් ගත්තේ නැහැ. මම ඇමෙරිකා ගිහින් මගේ වැඩක් පටන්ගත්තා. මගේම බිස්නස් එකක් පටන්ගත්තා. මම වෙන විදියකට ජීවත්වුණ මිනිහෙක්. තුන්පාරක් විවාහ වුණා. ළමයි පස්දෙනෙක් ඉන්නවා. මට වාසනාව තියෙන්න ඇති. ඒත් වාසනාව නිසාම නෙවෙයි මම මෙතැනට ආවේ. මම සෑහෙන මහන්සි වුණා. අවදානම් තීන්දු ගත්තා. මේක මම එහෙම පටන්ගත්ත වැඩක්.’ 
රත්නම් අපූරු මිනිසෙකි. අප ඔහු හමුවුණේ ඒෂියන් ෆිල්ම් ලෝකේෂන් සර්විසස් කාර්යාලයේදීය. කාර්යාලයට යද්දී ඔහුගේ සමාගම සේවා සැපයූ අන්තර්ජාතික චිත්‍රපටි රැසක පෝස්ටර් දකින්නට ඇත. ඉන්දියානා ජෝන්ස්‍‍, ටාර්සන්, වෝටර්, ස්ලීපින් ඩික්ෂනරි ඇතුළු ගෞරවනීය චිත්‍රපටි රැසක පෝස්ටර් එම බිත්ති සරසා ඇත. ඔහු ධනවතෙකු බව අපි දැනසිටියෙමු. එහෙත් ඔහු කෙබඳු මිනිසෙක්දැයි අපි දැන නොසිටියෙමු. ක්‍රීඩාශීලී තරුණයෙකු මෙන් රතු පැහැ බෙන්ස් ස්පෝර්ට් මෝටර් රථයකින් බැස එන අයුරු දකිද්දීම ඔහු වෙනස් මිනිසෙක් යැයි සිතේ සනිටුහන් කරගත්තෙමු. 
ඔහු දැවැන්ත ධනවතෙකි. ගුවන් නියමුවන් පුහුණු කිරීමේ පාසලක් සහ ඉංජිනේරු විද්‍යාලයක් ඔහු සතුව ඇත. එක් කලෙක ලංකාවේ පැවති ‘ලයන් එයාර්’ නම් සමාගමද ඔහුගේය.
ඔහු ජීවිතය උපරිමයෙන් විඳින්නට කැමැත්තක් දැක්වූ පුද්ගලයෙකි. ඔහුගේ මර්සීඩීස් බෙන්ස් රිය කියාපෑවේත් එයයි. රත්නම් කියන අන්දමට විවාහ තුනේම බිරින්දෑවරුන් සමග යහපත් සම්බන්ධතාවක් අදත් ඔහුට ඇත. ඔහුගේ තෙවැනි බිරිඳ අද සිටින්නේ ලංකාවේය. ඔහු ඇමෙරිකාවට යද්දී, පළමු බිරිඳ සහ දරුවන් සමග ඇමෙරිකාවේ එකම නිවෙසක වාසය කරන්නේය. තමා පෙම්වතියන් රැසක් ආශ්‍රය කර ඇති බවත් ඔහු විවෘතවම පැවසීය.
ඇමෙරිකන් මිතුරෝ

‘චන්ද්‍රන්, ඈත නැගෙනහිර සිටින අපගේ වටිනාම මිත්‍රයා’ චන්ද්‍රන් රත්නම් වෙත ස්ටීවන් ස්පිල්බර්ග් ලබාදුන් සමරුවක එසේ සඳහන් වෙයි. චන්ද්‍රන් දැන හඳුනන එකම සිනමා දැවැන්තයා ස්පිල්බර්ග් පමණක් නොවේ. ඔහු අදටත් ලෝක සිනමාවේ දැවැන්තයන් බොහෝ දෙනෙකු සමීපව හඳුනන්නෙකි. බොහෝ අය සමඟ ගෙන ඇති ඡායාරූප ඔහුගේ කාර්යාලයේ බිත්තිය සරසයි.

ඔහු අපෙන් වෙන්වෙන්නට මොහොතකට පෙර විස්මය ගෙන දෙන කතාවක් කීය. ඒ කතාව මුලින්ම සටහන් කරන්නෙමු.

‘ෆ්‍රැන්සිස් ෆෝඞ් කොපොලා මගේ මිත්‍රයෙක්.’ රත්නම් මහතා ඒ කතාව පටන්ගත්තේ එසේය. ඉන්පසුව ඔහු තමන් සතු පැරණි ඡායාරූප අතර කොපොලා සිටින අයුරු පෙන්වයි.
‘මේ ෆොටෝ එක මගේ උපන්දින උත්සවයක ෆොටෝ එකක්.’ ඔහු විස්තර කරයි. ‘ඒ දවස්වල මම ආර්.ඇල්. ස්පිට්ල්ගේ කතා ඇසුරෙන් ෆිල්ම් එකක පිටපතක් ලියමින් හිටියා. ඒක දැකලා කොපොලා මගෙන් ඇහුවා එයා ඒක ඇසුරෙන් ෆිල්ම් එකක් අධ්‍යක්ෂණය කරන්නද කියලා. ඒ වෙලාවේ මම හිනාවුණා. ඔහු ඒ වෙද්දී එක ෆිල්ම් එකක්වත් කරලා තිබුණේ නැහැ. මම එයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ඔහු ගෝඞ්ෆාදර්, ඇපකලිප්ස් නව් වගේ ෆිල්ම් කරලා ලෝක ඉතිහාසයේ හොඳම අධ්‍යක්ෂවරයෙක් වුණා.’ ඔහු එය පවසා සැහැල්ලු‍වෙන් සිනහ වුවද, ෆ්‍රැන්සිස්කෝ ඩි කොපොලා ගැන අසා ඇති අපට එය විස්මයජනක කතාවක්ම විය.
ලංකාවෙන් ඇමෙරිකාවට

‘මට හැමදාම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඕනෑවෙලා තිබුණා. මම ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසිවලට හොඳයි. ලියන්න පුළුවන්. ඉතින් මම ෆිල්ම් එකක් හදන්න හිතුවා. ඒ අවුරුදු දහඅටේදී විතර. කලින් කිව්වා වගේ මගේ තාත්තා හරි පෝසත්. එයා කැමතිවුණේ නැහැ මම ෆිල්ම් කරනවාට. තාත්තා කිව්වා පිස්සු කෙළින්න එපා, දොස්තර කෙනෙක් වෙන්න කියලා. ඉතින්, මට ෆිල්ම් කරන්න සල්ලි නැහැ.’

ඔහු පියාගෙන් මුදල් ඉල්ලා කරදර කළේ නැත. ඒ වනවිට ලංකාවේ රූගත කරමින් සිටි හොලිවුඞ් චිත්‍රපටියක සහාය ශිල්පියෙකු ලෙස රැකියාවකට ගියේය. ‘බි්‍රජ් ඔන් ද රිවර් ක්වායි’ එම චිත්‍රපටියයි.
‘ඒ වැඩෙන් මම සල්ලි ටිකක් හම්බකළා. ඒ සල්ලි අරගෙන ඇමෙරිකාවට පැනලා ගියා. ඇත්තටම කිව්වොත් එංගලන්තයට ගිහින්, එහෙන් තමයි ඇමෙරිකාවට පැනලා ගියේ. එහේ ඉඳන් මම ෆිල්ම් ස්ටුඩියෝවල වැඩකළා. ඒ අතරේ පාට් ටයිම් ෆිල්ම් ස්කූල් එකක ඉගෙනගත්තා.’ අද සිනමාවේ දැවැන්තයන් බවට පත්ව සිටින රත්නම්ගේ මිත්‍රයන් වන්නේ එදා ඔහු සමඟ සිනමා පාසලේ ඉගෙනගත් තරුණ තරුණියෝය. සිනමා දර්ශනතලවලදී මුණගැසුණු පුද්ගලයෝය.

‘මම හොඳ වැඩකාරයා. වැඩකාරයෙක් කියන්නේ හොඳට වැඩ කළ නිසාම නෙවෙයි. උනන්දුවෙන් වැඩ කළ නිසා. ඒ නිසා හැමෝම මට ආදරේ කළා. මුලින්ම මම කැමරා වැඩවලට ගියා. ඇසිස්ටන්ට් කැමරාමන් දක්වා ගියා. ඊට පස්සෙ එයාලා මට කිව්වා දැන් ඔයා ඇසිස්ටන්ට් කැමරාමන්නෙ. ඊළඟට කැමරාමන් වෙන්න කියලා. ඒත් මම බාරගත්තේ නැහැ. මම ඉල්ලු‍වා මාව වෙන ඩිපාර්ට්මන්ට් එකක වැඩට ගන්න කියලා. ඒ විදියට මම ෆිල්ම් ස්ටුඩියෝ වල හැම ඩිපාර්ට්මන්ට් එකේම වැඩකළා. වැඩ කෙරෙන විදිය ඉගෙනගත්තා. මොකද ඒ කාලේ මට ඕනෑවෙලා තිබුණේ ලංකාවට එන්න. ලංකාවේ ෆිල්ම් ස්ටුඩියෝ එකක් දාන එක තමයි මගේ හීනය වෙලා තිබුණේ. අදත් මම ලංකාවෙ ඉන්නවා. මට ඇමෙරිකාවෙ ෆිල්ම් ඉන්ඩස්ටි්‍ර එකේ වැඩ කරන්න බැරිකමක් තිබුණේ නැහැ.’
ඔහු ඇමෙරිකාවේ සේවය කරමින් උපයාගත් මුදල් රැගෙන ලංකාවට ආවේය. ඉන්පසු ‘ටාසන් ද ඒප් මෑන්’ චිත්‍රපටියට ලංකාවේ දර්ශනතල සම්බන්ධීකරණය කළේය. ‘ඒකෙන් මම හොඳට හම්බකළා. ඒ සල්ලි අරගෙන මම එංගලන්තයට ගියා. ගිහින් රොල්ස් රොයිස් කාර් එකක් ගත්තා. ඊට පස්සේ ලංකාවට ඇවිත් ‘ආදර කතාව’ ෆිල්ම් එක කළා. ඊට පස්සෙ මෙහේ සමාගමක් දැම්මා. ඊට පස්සෙ අවුරුදු හතළිහක් ලංකාවත් ඇමෙරිකාවත් අතර සැරිසරනවා.’
චන්ද්‍රන් රත්නම්ට රවීන්ද්‍ර රන්දෙණිය මුණගැසෙන්නේ ඒ කාලයේදීය. ඔහු තමන්ගේ මුල්කාලීන චිත්‍රපටි සියල්ලටම පාහේ රවීන්ද්‍ර රන්දෙණිය රංගන ශිල්පියෙකු ලෙස තෝරාගෙන තිබුණි. එමෙන්ම විදේශ චිත්‍රපටිවල රංගනය සඳහාද රවීන්ද්‍ර රන්දෙණිය තෝරාගෙන තිබුණි.

රවීන්ද්‍ර රන්දෙණිය

චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපටි නැරඹූ අය රවීන්ද්‍ර රන්දෙණිය හා චන්ද්‍රන් රත්නම් අතර තිබූ සම්බන්ධතාවේ ස්වරූපය හොඳින් දන්නෝය. ඔහු රන්දෙණියගේ මිතුරෙකු විය. එක්වරම රන්දෙණියලා චන්ද්‍රන් රත්නම්ගෙන් වෙන්ව චිත්‍රපටි සඳහා පසුබිම්තල සපයන සමාගමක් ආරම්භ කර තිබුණි. රන්දෙණිය චන්ද්‍රන් රත්නම් අත්හරින්නේ වසර දහයකට පමණ පෙරය.

‘රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු අය අවුරුදු විස්සක් මට වැඩ කළා. හිටපු ගමන් මගේ බඩු අරගෙන කම්පැනියක් දැම්මා. මට හරිම කැත වැඩක් කළා.’ ඔහු ඒ පිළිබඳව කියන්නට පටන්ගත්තේ එසේය.
‘මම කියන්නේ නැහැ රවීන්ද්‍ර මම කළ ව්‍යාපාරයම පටන්ගැනීම වැරදියි කියලා. ඒත් ඔහු හදපු සමාගමේ වෙබ් අඩවියෙන් මම සේවා සපයපු චිත්‍රපටි සියල්ලම ඔහුගේ අලු‍ත් සමාගම විසින් කළ වැඩ විදියට ප්‍රසිද්ධ කළා. ඒ කාලයේ ඒකට විරුද්ධවීමේ හැකියාවක් මට තිබුණෙ නැහැ. රවීන්ද්‍ර රන්දෙණියට ඒ කාලයෙ තිබුණු ආණ්ඩුවේ බලය තිබුණා. ඊළඟට මගේ සම්බන්ධතා ඔක්කෝම එයා පාවිච්චි කරන්න පටන්ගත්තා. දීපා මෙහ්තා වගේ අය මගේ සම්බන්ධතා. ‘වෝටර්’ චිත්‍රපටියට සේවා සැපයුවේ මම. ඔහු කළේ ඒ චිත්‍රපටි සියල්ලම ගත්ත එක.’ ඔහු කෙටියෙන් විස්තර කළේය. රත්නම් පවසන අන්දමට ඔහුගේ භාණ්ඩ හා උපකරණ රැසක්ද නව සමාගම රැගෙන ගොස් තිබුණි.
‘ඒ ඔක්කෝම කමක් නැහැ. ඒත් අන්තිමේ මට හිරේ යන්න සිදුවීම තමයි කනගාටුදායකම දේ. මාව රිමාන්ඞ් කළේ අයිෆා සිනමා උළෙල තිබුණු කාලයේදී. මම සිනමා උළෙලේදී කතාවක් කරන්න හිටියා. ඒකට කලින් තමයි මාව අත්අඩංගුවට ගත්තේ.

‘අලිමංකඩ’ චිත්‍රපටිය කළ කාලයේ ෆිල්ම් එකට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය මම ගත්තා. ඒවා සියල්ල ආයේ දුන්නා. මේ සිද්ධිය වෙද්දී ඒක ඉවරවෙලා අවුරුදු දෙකක් ගතවෙලා තිබුණා. ඒත් අයිෆා උළෙල දවස්වල මාව පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගැනීම ගැන චෝදනාවකට. ඒක බොරු චෝදනාවක්. පස්සේ මම ඒකෙන් නිදහස් වුණා. මට හිරේ ඉන්නකොට හරිම වේදනාවක් දැනුණා. හරිම කේන්තියි. මම හිතුවා ඒ කේන්තිය හිංසනයක් නැති ක්‍රමයකට පිට කරන්න. ඉතින් මම කතා පොතක් ලිව්වා. ඒ පොතට පාදක වෙලා තියෙන්නේ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කණ්ඩායම මගේ ළඟ වැඩකළ හැටි. පොතේ නම ‘අයියෝ බොනී.’ ඊට පස්සෙ මගේ සම්පත් පාවිච්චි කරලා එයාලා බිස්නස් එක කළ හැටි ලිව්වා. ඇත්තම සිදුවීම් ලිව්වා. ඒත් නම් වෙනස් කළා. ඊට පස්සේ කර්මාන්තය වෙනස් කළා. චිත්‍රපටි පසුබිම්තල වෙනුවට ඉදිකිරීම් කර්මාන්තය ගැන කතාවක් තමයි මම ලීවේ. මම ලියූ කතාව අවසානයේදී වීරයා විසින් දුෂ්ටයෝ හතරදෙනාව මරනවා. මට ඇත්ත ලෝකයේ ඔවුන්ව මරන්න බැරි හින්දා මම ප්‍රබන්ධ ලෝකයේදී ඔවුන්ව මැරුවා. ඒ තරම් මට කේනි්ියි.
ඒ දවස්වල ආණ්ඩුවට තිබුණු බය හින්දා තමයි මම කෙළින්ම නොලීවෙ. වක්‍රාකාරව කතාව කීවෙ. ඒත් මම අද ඒ කතාව කියන්න බය නැහැ.’
චන්ද්‍රන් රත්නම්ගේ ඒසියා ෆිල්ම්ස් සමාගම කළ චිත්‍රපටිවල නම්, ද ෆිල්ම් ටීම් වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණේ 2015 ජනවාරි 08 වැනිදාය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමෙන් පසු එම වෙබ් අඩවියෙන් චිත්‍රපටිවල නාමයන් ඉවත් කර තිබුණි.

‘අයියෝ බොනී’ නම් පොත කියවන්නෙකුට ඔහුගේ කතාව අවබෝධ කරගත හැකිවෙනු ඇත. ඔහුගේ කතාවේ බොහෝ කොටස් ලියන්නට නොහැක්කේ ඔහුගේ වචනය මත පමණක් පදනම් විය නොහැකි නිසාය.
‘ලංකාවේ වැඩ කරන්න බැරි කාලයක් තිබුණා. ඒ කාලයේ අපි මැලේසියාවේ වැඩ කළා. කාලයක් ලංකාවෙ කොල්ලො කෙල්ලො පවා මැලේසියාවට අරගෙන ගිහින් මම වැඩකළා. එතකොට මේ හතරදෙනාට මම සැලකුවේ මගේ සහෝදරවරු වගේ. පළවැනි පන්තියේ තමයි හැමෝම අරගෙන ගියේ. මේ වෙද්දී මැලේසියාවේ ෆිල්ම් ලොකේෂන් කර්මාන්තය දියුණු වෙලා තියෙනවා. එයාලාව දැන් අපට අල්ලන්නවත් බැහැ. මොකද එහේ ඉරිසියාව නැහැ. කැපිලිකෙටිලි නැහැ.’ 

‘මම ඔවුන්ව ලෝකයේ වටේටම අරගෙන ගියා. ලෝකයේ බොහෝ තැන්වලින් සම්බන්ධතා හදලා දුන්නා. ඒත් ඔවුන් මාව සෑහෙන වේදනාවකට පත්කළා. මට ඒ ගැන කියන්න වචන නැහැ.’ චන්ද්‍රන් රත්නම් කියන්නේ දැඩි වේදනාවකින්ය. 

මේ වෙද්දී චන්ද්‍රන් රත්නම්ගේ වැඩි අවධානය යොමුවී ඇත්තේ තමන්ගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කිරීම සඳහාය. ඔහු දැනටමත් චිත්‍රපටි දෙකක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් කරමින් සිටියි. අපි ඔහු සමඟ පැය ගණනක් කතාකළෙමු. මේ ලියා තැබුවේ ඒ කතාවෙන් බිඳකි. ඔහුගේ කතාව ඇසූ කල ඔහු වෙනස් මිනිසෙක්ය යන්න සටහන් කර තබන්නට සිතුවෙමු. ඇමෙරිකාවෙන් ලංකාවට පැමිණ ලංකාවේ වේදනාකාරී පොළොව මත චිත්‍රපටි කරන්නට කල්පනා කිරීමම අපූරු කාරණයක්යැයි අපි සිතුවෙමු.■

5 comments:

  1. මොහු සැබෑ සුන්දර මිනිසෙකි. 2003 වසරේ යාපනයේ හින්දු විද්‍යාලයේ චෙස් ක්‍රීඩා පුහුණු වැඩ සටහනක් කර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ එහි යාමට නොහැකිව ලත වෙද්දී චන්දුරන් රත්නම් මහතා කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ඇනටෝලිකාර්පෝව් චෙස් සමාජයට එවකට ඔහුගේ ලයන් එයාර් ගුවන් සේවයෙන් අපට එහි යාමට ඒමට ගුවන් ටිකට් 4 ක් නොමිලේ ලබා දුන්නා. අප එහි ගොස් එදිනම සවස නැවත ගුවන් යානයේ පැමිණීමට සිතා සිටියත් කිසියම් හේතුවක් නිසා ගුවන් යානය නොපැමිණීම නිසා ඇඳ සිටි ඇඳුම් වලින්ම පසුදා තෙක් ගුවන් සමාගමේ වියදමෙන් තිනකුරල් රෙස්ට් හි නැවතීමට මටත්, මගේ බිරිඳ වන ඇනටෝලිකාර්පෝව් චෙස් සමාජයේ උපදේශිකා සුනීතා විජේසූරියටත්,කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක මහතාටත් අප සමග ගිය ඉන්දියානු ජාතික චෙස් විශාරද මැනුඑල් ඒරන් මහතාටත් සිදු වුනා.
    චන්දුරන් රත්නම් මහතා නොවන්නට අපට එම ගමන යාමට සිදු වන්නේ නැහැ. ඔහුට ස්තූතියි.

    ReplyDelete
  2. උඩුවෝ මම පොඩි කාලයක් ඔය ෆීල්ඩ් එකේ ඉදල තියනවනේ ... හැමෝම කියන්නේ රත්නම් මහත්තය කියල ...ඔය බොනි ගැන නං එහෙම නැ

    ReplyDelete
  3. ++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. BONIYA NAMA EKA EKA ANDU WALATA HETTU WELA ANDUWE IDAM 99 AWURUDU WALATA BADU AAGENA EKA EKA SELLAM DANAWA

    ReplyDelete