Tuesday, October 04, 2016

තොරතුරු දෙන්න බැරිද?

මනෝරි පැලකැටිය.. තොරතුරු පනත... මහානාම ගුරුවරිය... රාජ්‍ය සේවය... දූෂණය... වංචාව....

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත රටේ ඉන්න සියලු දෙනාටම වැදගත් පනතක්. හැබැයි මේකේ වැදගත්කම ගැන වැඩියෙන් කියැවෙන්නේ මාධ්‍ය වලට සම්බන්ධ පනතක් විදියට. පනත ඉදිරිපත් කළෙත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් වීමත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මාධ්‍ය වලට කොටු කරන්න හේතුවක් වෙලා...




තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වගේම මූලික අයිතිවාසිකම් අතරට තොරතුරු දැනගැනීමේ අයිතිය එකතුවීමත් මූලික අයිතිවාසිකම් අතර භාෂණයේ හා ප්‍රකාශණයේ අයිතිය තිබීමත් වැදගත් කාරණයක්.


අපි (තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය) බලාපොරොත්තු වෙනවා මේ කොටස ගැන තව ටිකක් සංවාද කරන්න....මාධ්‍ය පැත්තෙන් විශේෂයෙන්..

උඩ කීව මනෝරි පැලකැටිය ගුරුවරියට ලැබුනු ඓතිහාසික නඩු තීන්දුව මේ ගැන සාකච්ඡා කරන්න එක් නිමිත්තක් වුනා. තොරතුරු කොමිසම පත්කිරීම මේ ගැන සාකච්ඡා කරන්න අනිත් හේතුවයි.

මනෝරි පැලකැටිය ගුරුවරිය සාමාන්‍ය පාසැල් ගුරුවරියක්. ඇය තමන්ට වුණ අසාධාරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක නොවෙන බව මාධ්‍ය වෙත කියනවා. ලංකා ගුරු සංගම් කාර්යාලයේදී. ඉන්පසුව ඇගේ වැඩ තහනම් කළේ මාධ්‍ය වලට අදහස් දක්වපු බවට චෝදනා කරමින්. මාධ්‍ය වලට අදහස් දැක්වීම වැරැද්දක්ද? ඇය ඇතුළු ලංකාවේ හැම පුරවැසියාගේම අයිතියක් භාෂණයේ සහ ප්‍රකාශණයේ අයිතිය. හැබැයි ඒ මූලික අයිතිය සීමා වුණ තනතුරු කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදියට මැතිවරණ කොමසාරිස්වරයාට හෝ රාජ්‍ය ආයතනවල මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දේශපාලන ගැතිභාවයන් එක්ක කතාකරන්න බැහැ. ඒ කියන්නේ ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදෙන්න බැහැ. හැබැයි ලක්ෂ ගණනක රජයේ සේවකයන්ට තමන්ට සිදුවුණු අසාධාරණයන් ගැන කතාකරන්න බැරිද? මනෝරි පැලකැටියට සිදුවුණු අසාධාරණය තමයි ලිංගික වශයෙන් ඇයව අපහසුතාවයට පත්කිරීම. ඇය චෝදනා කළේ පාසලේ විදුහල්පතිවරයාට සහ ඔහුට සමීපතම නිලධාරියාට. විදුහල්පතිවරයා ගැන පරීක්ෂණ කළයුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ ගුරුවරියට වැඩි බලයක් විදුහල්පතිට තියෙනවා.

ඇය සාධාරණය හොයන්නේ කොහෙන්ද? ඇය යන්නේ ජනතාව ඉදිරියට. ඒ සඳහා ඇය පාවිච්චි කරන්නේ ජනමාධ්‍ය.

මෙහෙම කතාකරන්න ඇයට අයිතියක් නැතිද? ඇයට තිබුණ අයිතිය සීමා කළේ ආයතන සංග්‍රහය පාවිච්චි කරමින්. එහි රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත කතාකරන්න බැහැ කියලා තියෙන වගන්තිය යොදාගනිමින්.

ගුරුවරියක් ලිංගිකව අපහසුතාවයට පත් කළ කෙනාට දඬුවම් නැති වෙද්දී ඒ ගැන මාධ්‍ය වලට කී කෙනාට දඬුවම් ලැබෙනවා. ඒ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන අපූරු ක්‍රමවේදය. දූෂිතයන් එකිනෙකා අතර අපූරු සම්බන්ධයක් තියෙනවා. මනෝරි තමන්ට යුක්තිය ඉටු කරවාගන්න ලක්ෂ ගණන් වියදම් කරනවා. ඇගේ පඩිය මදි වෙද්දී ඇගේ සහෝදරවරුන් වගේම ලංකා ගුරු සංගමයත් හිතවතුනුත් වරින්වර මුදල් එකතුකරලා දෙනවා.

ඇයට අන්තිමේදී ලොකු වියදමක් දරලා යුක්තිය ලැබෙනවා. වන්දි විදියට වියදමින් සීයට දහයක්වත් නැති තරම් මුදලක් ලැබෙනවා. ඇත්තටම ඇය තමන්ට වුණ අසාධාරණය දරාගෙන නිහඬව ඉන්නවාට වඩා වැඩි කට්ටක් කන්න වුණා යුක්තිය ඉටුකරවා ගන්නට.

ඉතින් මනෝරි පැලකැටියගේ මහන්සියේ ප්‍රථිඵල විඳින්න පුළුවන්. අද ඉඳන් ඉදිරියට. සුවහසක් රාජ්‍ය සේවකයන්ට.

මේ නඩු තීන්දව පූර්වාදර්ශයක්. තමන්ට වෙන අසාධාරණයක් ගැන බයනැතිව මාධ්‍ය ඉස්සරහට ඇවිත් වොයිස්කට් එකක් දෙන්න පුළුවන් විතරක් නෙවෙයි ප්‍රසිද්ධියේ සටන් කරන්න පුළුවන්. මේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්නේ කොහොමද? මේ නඩු තීන්දුවෙන් එහාට මේ අයිතිය පුළුල් කරගන්නේ කොහොමද?

මේ ගැන තොරතුරු කොමිසමේ සාමාජික එස්.ජී. පුංචිහේවා, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්, හිටපු පරිපාලන නිලධාරී අශෝක පීරිස් කතාකරන්නට නියමිතයි. මනෝරි පැලකැටිය ගුරුවරියත් පැමිණේවි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එදාට වචනයක් කතාකරන්නට පැමිණේවි.

දවස තමයි ඔක්තෝබර් පහ...

වෙලාව හවස තුන.

තැන ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය. නාරාහේන්පිට....

ඔබත් එන්න. අදහස් කියන්න.... කතාකරන්න....

2 comments:

  1. නියමයි. ඇවිල්ල අහන්න පුළුවන්කමක් තිබුන නං එන්න හිතෙනව.

    මාධ්‍යන්ට කතාකරන්න ඊට හිමිකමක් ඇති නිලධාරීන්ටම පවරල, අනෙක් අය ඈත් කරල තියෙන්නෙ මං හිතන විදියට හැමෝම කතාකරල 'නාගනී කියල' බයට වෙන්න ඕන. නමුත් මහානාම පාසලේ ගුරුවරියගෙ ප්‍රශ්නයේදි නං තනිකරම පලිගැනීමයි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  2. අගය කලයුතු තීන්දුවක් ඇයට ලැබුනේ.උඩුවා කියන විදියට මේ තීන්දුව හොඳ පුර්වාදර්ශයක් මේ විදියේ නෙතික කරණා තුලදී.

    ReplyDelete