Sunday, July 01, 2018

ලංකාවේ යුද්ධය ගැන ලියැවුණු පොත්



යුද්ධයක් කිසිම රටකට මිහිරි අත්දැකීමක් නෙවෙයි. එය අමිහිරි අත්දැකීමක්. එහෙත් යුද්ධයක් වැනි අමිහිරි අත්දැකීමක් අනාගතයේ එවැනි අත්දැකීම්වලට මුහුණ නොදීමේ අරමුණෙන් සාහිත්‍යාංගයක් ලෙස මතකයේ රඳවාගන්නට බුද්ධිමත් සමාජයන් කටයුතු කරනවා. ලෝක ඉතිහාසය තුළ ලෝක යුද්ධ දෙක ඇතුළු සියළුම යුද්ධයක් පිළිබඳවම පාහේ දියුණු සාහිත්‍ය ලෝකයක් නිිර්මාණය වෙලා තියෙනවා.









යුද්ධයකට මුහුණ දුන් විවිධ පුද්ගලයන් ඒ යුද්ධය දකින්නේ විවිධාකාරයට. යුද්ධයේ නිෂ්ඵලත්වය සහ දෙපාර්ශ්වයේම අඩුපාඩු දකින පිරිසක් සිටිනවා. යුද්ධයේ එක් පාර්ශ්වයක වීරත්වය අගය කරමින් අනෙක් පාර්ශ්වයේ් වැරදි පෙන්වාදෙන තවත් පිරිසක් සිටිනවා. යුද්ධයක සාධාරණත්වය මෙන්ම අසාධාරණත්වය ගැන කතාකරන අය මෙන්ම යුද්ධයේ පරාජය සහ ජයග්‍රහණය ගැන කතාකරන පිරිස් සිටිනවා. ඒ සියළුමදෙනාගේ අදහස් යුධ සාහිත්‍යයක් ගොඩනඟනවා. ඒ සාහිත්‍යය යුද්ධය ඇතිවීමට හේතුව, යුද්ධය ගලාගෙන ගිය ආකාරය සහ යුද්ධයෙන් පසු තත්වය පිළිබඳව අපට අවබෝධයක් ලබාදීමට සමත්වෙනවා.





ලංකාවේද එවැනි යුධ සාහිත්‍යයක් තියෙනවා. ඉදිරියටත් නිර්මාණය වෙමින් පවතිනවා. එය ඉතාම පුළුල් ක්ෂේත්‍රයක්. මේ සටහනෙන් අපි කතාකරන්නේ ඒ අතර තියෙන වැදගත් සහ ලංකාවේ පොත් අලෙවිසල් වලින් පහසුවෙන්ම සොයාගත හැකි කෘති කිහිපයක් ගැනයි. මේ සටහන සඳහා මූලාශ්‍ර කරගත්තේ මේ සටහනෙහි නම් සඳහන් වන කෘති කිහිපයයි.





අලිමංකඩ - තීරණාත්මක දින තිහක අප්‍රකට කතාව





මලික් ජයතිලක මහතා රචනා කළ මා දුටු ජනවාරි අට කෘතිය මෑත කාලයේ බොහෝ ජනප්‍රිය වුණ කෘතියක්. 2015 ජනවාරි 08 වැනිදා රටේ ඇතිවූ දේශපාලන වෙනස ගැන ඔහුගේ අත්දැකීම් ඒ කෘතියෙහි ඇතුලත් වුණා. මලිත් ජයතිලක විසින් 2005 දී රචිත කෘතියක් තමයි ‘අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව’ නම් කෘතිය. මේ කෘතිය යුද්ධාවසානයෙන් පසුව ‘අලිමංකඩ, තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කතාව’ නමින් යළිත් මුද්‍රණය කෙරුණා. මලිත් ජයතිලක මහතා එම කෘතියේම ලියා ඇති විදියට එයට හේතුව වුණේ ශ්‍රී ලංකා හමුදාව යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව සිංහල ජනතාව අතර නිර්මාණය වූ ජයග්‍රාහී මානසිකත්වය නිසා අලිමංකඩ පරාජය නම් වූ කෘතියක් කියවන්නට සිංහල පාඨකයා කැමති නොවනු ඇතැයි ලේඛකයා විශ්වාස කිරීමයි.





මලිත් ජයතිලක මහතා දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලසීමාවක් වූ 2000 වර්ෂයේ අප්‍රේල් 22 වැනිදා සිට මැයි 22 දක්වා කාලය තුළ සිදුවූ අලිමංකඩ කඳවුර අතහැර හමුදා පසුබැසීමේ සිදුවීම පසුබිම් කරගෙන මෙම කෘතිය ලියැවී තියෙනවා. කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් විසින් එම කෘතියෙහි ලියා ඇති ආරාධිත හැඳින්වීමක ලියන්නේ අලිමංකඩ සිදුවීම පිළිබඳ යුධමය, අන්තර්ජාතික සබඳතා සහ දේශපාලන වශයෙන් වෙන්කොට හඳුනාගත හැකි පැතිමානයන් තුනක් ඔස්සේ කෙරුණු සාරවත් කෘතියක් ලෙස මෙම කෘතිය නිසැකව හඳුනාගත හැකි බවයි.





හේවායෙකුගේ මතක සටහන්





මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ විසින් රචනා කළ හේවායෙකුගේ මතක සටහන් නම් කෘතියද යුද්ධයට මුහුණදුන් ප්‍රධාන බලකායක් පිළිබඳව හමුදා නිලධාරියෙකුගේ දෘෂ්ඨිකෝණයකින් දුටු තවත් කෘතියක්. ගැමුණු හේවා රෙජිමේන්තුවට වසර පනහක් පිරීම සමඟ 2012 වර්ෂයේදී මෙම කෘතිය පළකොට ඇති බව කෘතියෙහි සඳහන් වෙනවා. මේජර් ජෙනරල් එගොඩවෙලේ මහතා රෙජිමේන්තුවට සම්බන්ධ වූ මොහොතේ සිට ඔහු ලද අත්දැකීම් මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුව පිළිබඳ වැදගත් කරුණු රැසක්ද මෙම කෘතියෙහි ඇතුලත් වෙනවා.





වීරයන් ලෙස වර්ණනා කෙරුණු යුධ සෙබළුන් පිළිබඳ විස්තර මෙන්ම විවිධ දේශපාලන නායකයන්ගෙන් යුද්ධයට ලැබුණු ප්‍රතිචාර ගැනත් කෘතියෙහි විශ්ලේශණය කරනවා. රිවිරැස, ජයසිකුරු වැනි මෙහෙයුම් පිලිබඳ විස්තරත් ගැමුණු හේවා බළකාය පිලිබඳවත් මෙම කෘතියේ කරුණු ඇතුලත් වෙනවා. යුද්ධය පිළිබඳව වැදගත් කරුණු රැසක් මෙම කෘතියෙන් දැනගත හැකියි.





රණමඟ ඔස්සේ නන්දිකඩාල්





මේ කෘතිය මෑත කාලයේ යුද්ධය පිළිබඳ ලියැවුණු ජනප්‍රියම කෘති අතරින් එකක්. එය එක්තරා ආකාරයකට ආන්දෝලනාත්මක කෘතියක් බවටද පත්වුණා. කෘතිය පාඨකයන් අතර උණුකැවුම් මෙන් විකිණුනා. කෘතිය සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක්ද දියත් වුණා.





මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා බහුතරයක් සිංහල ජනතාව අතර ඉතාම ගෞරවාදරයට පත්ව සිටින්නේ යුද්ධයෙහි අවසාන කොටසට නායකත්වය දුන් 53 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා නිසායි. යුද්ධයෙහි අවසාන මෙහෙයුමෙහි සුවිශේෂී කාර්යභාරයක් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් සිදුකළා. නන්දිකඩාල් යුධ මෙහෙයුම පිළිබඳව හමුදාව පාර්ශ්වයෙන් වැදගත් තොරතුරු රැසක් මෙම කෘතියෙන් ලබාගත හැකියි.





අධිෂ්ඨානය, එල්.ටී.ටී.ඊ. පරාජය - නාවික හමුදා භූමිකාව





අද්මිරාල් වසන්ත කරන්නාකොඩ මහතාද යුද්ධයේ අවසන් සමයේදී 2005 සිට 2009 දක්වා නාවික හමුදාපතිවරයා ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කළා. ඔහු අවසාන යුද්ධයේදී ශ්‍රී ලංකා රජයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන්නා. විචාරකයන් පවසන අන්දමට ලංකාවේ හමුදා නිලධාරියෙක් අතින් යුද්ධය පිළිබඳ ලියැවුණු හොඳම කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකියි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරී රණසිංහ ඇතුළු පිරිසක් විසින් කෘතිය අගය කළ අන්දම සඳහන් උපුටාගැනීම් මේ කෘතියෙහි එනවා. මේ ග්‍රන්ථය පෙළපොතක් ලෙස නියම කළ යුතු බව ආචාර්ය ගුණදාස අමරසේකරයන් පවසනවා කරනවා.





දේශපාලනික අදහස්ද සමඟ යුද්ධය පිළිබඳ අභිමානවත් රචනයක් ඔහුගේ කෘතිය තුළ මුණගැසෙනවා. 2003 වර්ෂයේ සිට 2009 යුද්ධාවසානය දක්වා තොරතුරු මේ කෘතියෙහි ඇතුලත් වෙනවා.





අ ලෝන්ග් වොච්





මෙම කෘතිය හමුදා සෙබළෙකුගේ අත්දැකීම් ඇසුරෙන් රචනා කළ තවත් කෘතියක්. එහෙත් ඉහත කෘති තුනට වඩා මෙම කෘතියේ වෙනසක් තියෙනවා. පෙර කෘති තුනම හමුදා සෙබළුන් ලෙස තමන් විශ්වාස කළ මතවාදය වෙනුවෙන් රචනා කළ කෘතීන්. එහෙත් අජිත් බෝයාගොඩ මහතාගේ අත්දැකීම් යුද්ධයේදී යුධ සෙබළෙකු ලෙස නොව, එල්.ටී.ටී.ඊ. සිරකරුවෙක් ලෙස ලද අත්දැකීම්. ඔහු යුධ සෙබලෙකුට වඩා මධ්‍යස්ථව, සිරකරුවෙක් ලෙස ලද අත්දැකීම් විග්‍රහ කරගන්නට උත්සාහ කරන බව පෙනෙනවා.





නාවික හමුදාවේ කොමදෝරු අජිත් බෝයාගොඩ මහතා හිටපු නාවික හමුදා නිලධාරියෙක්. ඔහු ගමන් ගත් සාගරවර්ධන නෞකාවට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රහාරයක් එල්ලවීමත්, ඉන්පසුව ඔහු එල්ටීටීඊ සිරකරුවෙකු බවට පත්වීමත් සිරකරුවෙකු ලෙස ගෙවුණු කාලය පිළිබඳවත් මේ කෘතිියේ ඇතුලත් වෙනවා. කෘතිය රචනා කර ඇත්තේ සුනිලා ගලප්පත්ති විසින්. ඉංග්‍රීසියෙන් ලියැවී ඇති මේ කෘතිය නුදුරේදීම සිංහලයට පරිවර්තනය වන බව අජිත් බෝයාගොඩ මහතා පවසනවා. අන්තර්ජාතික රතුකුරුස සංවිධානයේ නිරීක්ෂණය මත එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිරකරුවෙකුව සිටි ඔහු විඳි කටුක අත්දැකීම් පිළිබඳව මෙන්ම එල්.ටී.ටී.ඊ.ය පිළිබඳව ඔහුගේ නිරීක්ෂණයන්ද කෘතියෙහි ඇතුලත් වෙනවා.





බිඳුණු තල් රුක





මේ කෘතිය යුද්ධයේ ආරම්භක සමයේදී යාපනය විශ්වවිද්‍යාලයේ සිටි ආචාර්යවරුන් වන රාජන් හූල්, දයා සෝමසුන්දරම්, කේ ශ්‍රීධරන් සහ රාජිනී තිරණාගම විසින් රචනා කරන ලද කෘතියක්. පුළුල් මූලාශ්‍ර සහ නිරවද්‍ය තොරතුරු ඇතුලත් කරගනිමින් හැකි තරම් විශ්ලේෂණාත්මකව යුද්ධයේ ආරම්භය පිළිබඳව මෙම කෘතියේ කරුණු සඳහන් වෙනවා.





යුද්ධය ආරම්භ වීමේදී දකුණේ කලබල, ආණ්ඩුව, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ඉන්දියාව වගකිව යුතු ආකාරය පිළිබඳව මධ්‍යස්ථව සහ විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කරන්නට මේ කෘතියේ රචකයන් උත්සාහ කරනවා. නිදහසෙන් පසු ලංකා ඉතිහාසය ගැන කෙටි හැඳින්වීමක් සහ 1970 දශකය සහ 1980 දශකය අවසාන වනතෙක් කාලසීමාව පිළිබඳව මේ කෘතියේ කරුණු සඳහන් වෙනවා. යුද්ධයේ ආරම්භය පිළිබඳව අධ්‍යනය කරන කෙනෙකුට කියැවිය හැකි විශ්ලේෂණාත්මක මූලාශ්‍රයක් ලෙස මේ කෘතිය සැලකිය හැකියි.





පිබිදුණු යාපනය





මාධ්‍යවේදිනි ශානිකා ශ්‍රියානන්ද විසින් ඉංග්‍රීසියෙන් ලියන ලද ‘මයි ජැෆ්නා’ නම් කෘතිය සහ ඒ ඩබ්ලිව්.එස්. බණ්ඩාර මහතා විසින් පරිවර්තනය කරන ලද එම කෘතියේ සිංහල පරිවර්තනය වන පිබිදුණු යාපනය නම් කෘතියද මෑත කාලයේ දකින්නට ලැබුණු වටිනා කෘතියක්. යුද්ධයට පෙර සමයේ සිට යාපනය සහ එහි සිටි මිනිසුන්වත්, නායකයන්වත් තමන්ගේ විග්‍රහයට හසු කරගන්නට ශානිකා ශ්‍රියානන්ද මාධ්‍යවේදිනිය සමත්වෙනවා.





කෘතියෙහි වැඩි වශයෙන් අතුලත් වෙන්නේ යුද්ධයෙන් පසුව යාපනයේ තත්වයයි. ඇය එය යාපනයේ පිබිදීමක් ලෙස විග්‍රහ කරනවා. යුද්ධාවසානයෙන් පසුව යාපනයේ මිනිසුන් සතුටින් සහ දියුණුවේ රසය විඳිමින් සිටිනා බව ශානිකා ශ්‍රියානන්ද මාධ්‍යවේදිනිය මෙම කෘතියෙහි කරුණු ඉදිරිපත් කරනවා. ස්වාධීන රූපවාහිනියේ සංස්කාරකවරයෙක් සහ නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන ඕෂධ කුලරත්න විසින් ගත් ඡායාරූප පෙළක්ද මේ කෘතියෙහි ඇතුලත් වෙනවා. යාපනය පිළිබඳව කරුණු කියවන්නට කැමති අයෙකුට මෙය වැදගත් මූලාශ්‍රයක්.





කොටි දියණියකගේ පාපොච්චාරණය





නිරෝමි ද සොයිසා යන ප්‍රබන්ධ නාමයෙන් පෙනී සිටින, විදේශගත හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක විසින් රචනා කළ ටැමිල් ටයිග්‍රස් නම් කෘතිය සිංහලයට පරිවර්තනය වුණේ කොටි දියණියකගේ පාපොච්චාරණය යන නමින්. මේ කෘතිය සිංහලයට පරිවර්තනය කළේ සුනිලා විජේසිංහ විසින්. ළමා සොල්දාදුවෙක් ලෙස යුධ සමයේ විඳි අත්දැකීම් ඇසුරෙන් ලියැවී ඇති මේ කෘතිය ලංකාවේ යුද්ධය ගැන ප්‍රබන්ධ ස්වරූපයෙන් ලියැවී ඇති හොඳම කෘතියක් සහ ජනප්‍රියම කෘතියක් ලෙස හැඳින්විය හැකියි.





තියුණු අසිපතක සෙවණ යට





කාන්තා සෙබළියක් විසින් රචිත තවත් කෘතියක් වන්නේ තියුණු අසිතපක සෙවණ යට කෘතියයි. එම කෘතිය රචනා කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි ජනප්‍රියම කාන්තා නායිකාව යැයි විශ්වාස කළ හැකි තමලිනී විසිනුයි. ඇය යුද්ධාවසානයෙන් පසුව ජෙයක්කුමාරන් මහතා සමඟ විවාහ වූ පසුව රචනා කළ මේ කෘතියේ වැඩි කොටසක් රචනා කරන්නට සිදුවී තිබුණේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් ලෙඩ ඇඳෙහි සිටියදීයි. යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් මහතා විසින් මේ කෘතිය සිංහලයට පරිවර්තනය කළා. කෘතියට ලැබුණු ප්‍රතිචාර දකින්නට ඇයට ජීවත්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.





යුද්ධය ගැන එක්තරා ස්වයං පාපොච්ඡාරණයක් ලෙසද, යුද්ධය ගැන වේදනාත්මක දැක්මක් සහිත රචනාවක් ලෙසද මේ කෘතිය හැඳින්විය හැකියි.





මතක වන්නිය





දෙමළ මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන කරුණාකරන් මහතා විසින් රචිත ලිපි එකතුවකින් සමන්විත කෘතිය ‘මතක වන්නිය’ නමින් සිංහලයට පරිවර්තනය කළේ අලුත් පරපුර සංවිධානය විසින්. කිළිනොච්චිය, පුදුකුඩුයි රිප්පු, කිලාලි, විශ්වමඩු, කණ්ඩාවලෙයි, ඉයක්කච්චි, අක්කරායන්, වන්නේරි කුලම්, චෙම්මනි, නන්දිකඩාල්, කේප්පාපිලවු, පූනගරි ආදි වන්නියේ නගර කිහිපයක අතීතය, වර්ථමානය, අනාගතය පිළිබඳවත් එම නගරවල වැදගත්කම පිළිබඳවත් ලියැවුණු ලිපි එකතුවකින් මතක වන්නිය කෘතිය සමන්විත වෙනවා. යුද්ධයේ දේශපාලන පසුබිම වෙනුවට වඩා මානුෂීය පාර්ශ්වයක් මේ කෘතියෙන් විඳින්නට හැකිවෙනවා.





උතුරේ ජීවත්වෙන මිනිසුන්ගේ ජීවිතයේ ස්වභාවය, යුද්ධය නිසා එය වෙනස් වූ ආකාරය ගැන කෘතියෙහි ඇතුලත් වෙනවා. යුද්ධයට විරුද්ධ දැඩි ආස්ථානයක සිටිමින් යුද්ධ කළ දෙපාර්ශ්වයම කරුණාකරන් තම විවේචනයට හසු කරගන්නවා.

5 comments:

  1. ප්‍රකාශකයා ගැන සහ මිල පිලිබඳ තොරතුරුත් සදහන් කලා නම් වඩාත් අගෙයි.

    ReplyDelete
  2. Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience”

    Link ; http://www.lankaweb.com/news/items/2014/07/17/shell-shock-to-palali-syndrome-ptsd-sri-lankan-experience-a-new-book-by-dr-ruwan-m-jayatunge/

    ReplyDelete
  3. කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා, යුධ හමුදා විශේෂ බලකාය, කර්නල් හරේන්ද්‍ර රනසිංහ සංස්කරනයක්.

    ReplyDelete
  4. කොල්ලො කුරුට්ටන් ගරිල්ලන් වූ හැටි, ආර්. කේ. නාරයන් ස්වාමි

    ReplyDelete