ගොඩවදින්නෝ

Thursday, January 05, 2017

පොෂ් සෙරෙප්පු එක්ක ඇමති මුණගැහෙන්න ගිය හැටි




මම හිතුවේ අලුත් අවුරුද්දෙදී බ්ලොගේ ටිකක් වැඩිපුර දේශපාලනය ගැන ලියන්න ඕන කියලා. සිනමාව ගැන ලියන පෝස්ට් වලට තරම් ප්‍රතිචාර නොලැබුණත්.

ඒත් අවුරුද්ද පටන්ගනිද්දිම දේශපාලනය ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියා නම් දරා සිටින අජිත් පැරකුම් කියනවා දේශපාලනය ලියලා හරියන්නෑලු. ඔහු ලියලා සපත්තු ගැන සටහනක්. ඒක ලියන්නේ දේශපාලනය ගැන කියැවිල්ලෙනුත් රහක් සපයන්න සමත්වුණ මාතලන් ලියපු සෙරෙප්පු පෝස්ට්එකක් අනුව යමින්. 


හොඳයි! දේශපාලනය ගැන ලිවිල්ල ටිකක් පස්සට දාලා මමත් හිතුවා සපත්තු සෙරෙප්පු පෝස්ට් එකක් ලියන්න. මොකද මේ දෙන්නාගේ පෝස්ට් කියෙව්වාම තමයි මට තේරුණේ මට ඔය මාතෘකාව ගැන තීසීස් එකක් කරන්න තරම් අදහස් තියෙනවා නේද කියලා.


කකුල තියෙන්නේ පාවහන් ඇතුවද? නැතුවද? පාවහන් නැතිනම් කකුල අන්ත අපිරිසිදුද? ටිකක් අපිරිසිදුද? අපිරිසිදු නැති පාවහන් නැති දුර්ලභ කකුලක්ද? 

සෙරෙප්පු තියෙනවානම් කකුල පිරිසිදුද? පිරිසිදුව නියපොතු මැදලා දශමයක්වත් නොගෙවුණු හත්සීයේ අටසීයේ දාහේ බ්‍රෑන්ඩඩ් සෙරෙප්පු දාගෙන ඉන්න කෙනෙක් සහ අඩියට ගෙවුණු එකසිය පණහේ සෙරෙප්පු දාගත් හොඳටම අපිරිසිදු නියපොතු තියෙන මං වගේ කෙනෙක් කියන්නේ කතා දෙකක්.

සෙරෙප්පු නම් ආරුගම්බේ
මෑත කාලයේ පොෂ් තරුණ තරුණියන් අතර පවා සපත්තු, සැන්ඩ්ල්ස් වෙනුවට සෙරෙප්පු සහ බීච් ෂෝට් අඳින ස්ටයිල් එකක් ආවා. ඒ ආරුගම් බේ බ්‍රෑන්ඩ් එක හිට් වෙද්දී. ෆොටෝ ෂූට්, ෆැෂන් ෂෝ, ලොකු කටවුට් වලින් ආරුගම්බේ හිට් කළාට පස්සේ වේව්ස් බ්‍රෑන්ඩ් එක ගෙනාවා ඩීඑස්අයිලා. ඉතින් කොල්ලෝ කෙල්ලෝ වේව්ස්, ආරුගම්බේ සහ ඕවාට ගහපු විකල්ප සෙරෙප්පු බ්‍රෑන්ඩ් පාවිච්චි කරන්න ගත්තා.

ඉතිං පොල්ගහ දදා හිටපු උඩුවාත් වේව්ස් බ්‍රෑන්ඩ් එකට මාරු වුණා. මාතලන්ලා පුංචි කාලේ වගේ නෙවෙයි. අපි වගේ සෙරෙප්පු රසිකයන්ට මේ බ්‍රෑන්ඩ් හිට් වුණ එක වාසියි. හැබැයි වේව්ස් වුණත් ගෙවුණම වැදගත්කමක් ඉතිරිවෙන්නෙ නෑ.

කියන්න යන කතාවට පසුබිම හැදුණා! 

2015 මුල් කාලේ දවසක ප්‍රබල ඇමතිවරයෙකුගේ ඉන්ටවීව් එකක් ගන්න ප්‍රධානම අමාත්‍යාංශයකට යන්න සිද්ධවුණා. යහපාලන ආණ්ඩුව ඇවිත් ටික කාලෙකට පස්සේ. අන්තරාදායක අතුරු අයවැය ගෙනා දවස්වලද කොහෙද. කොහොමහරි ඇමතිවරු දැන් වගේ ෆෝන් ආන්සර් නොකරන කාලෙක නෙවෙයි. ඕන වෙලාවක ෆෝන් ආන්සර් කරලා උත්තර දෙන, විපක්ෂෙන් ආණ්ඩුවට ආපු කාලෙම වගේ දවසක. ඇමතිවරු අපෙ යාළුවො කාලෙ. උදේ හතට කෝල් කළාම දහයට වෙලාව දුන්න නිසා හදිසියේ දුවන්න සිද්ධවුණේ. ඒ වෙද්දී තිබුණු වේව්ස් දෙක සෑහෙන්න ගෙවුනු දෙකක්. ඔය බ්‍රෑන්ඩ් වල අවාසිය පොල්ගස් වගේ ගොඩක් කල් දාන්න බෑ. ඉක්මනින් ගෙවෙනවා. මාස එකහමාරයි ආයුස! 

මඟදි දෙතුන් පාරක් වේව්ස් දෙකේ පටිය කැඩුණත් නොසැලී අමාත්‍යාංශෙට ඇතුල්වුණා කියමුකො.

රිසෙප්ෂන් හිටපු හැඩ කෙල්ල දිහා මමත් ගර්වයෙන් බැලුවේ මමත් ඒ වෙද්දී තනිකඩ හින්දා.

‘මොකක්ද වෙන්න ඕන?‘ මේකි ගහන්න වගේ ඇහුවෙ මගෙ කකුල් දිහා බලමින්. කකුල් ගලවලා සාක්කුවෙ දාගන්න ඇත්තං. ‘%&@$ ඇමතිතුමාව මුණගැහෙන්න‘

‘එහෙම මුණගැහෙන්න බෑ. අපොයිමන්ට් ගන්න ඕන.‘ දීපංකො උත්තර. 

අන්තිමේ අර පෙන්නුවාම වැඩියෙන් ගුටිකන්න වෙන හැඳුනුම්පත පෙන්නලා උඩට යන්න ලැබුණා. ඇමතිගේ කාමරේට. හැඳුනුම්පත පෙන්නුවත් ලොකු රෙස්පෙක්ට් එකක් නෑ. 

ඇමතිගේ කාමරේට එහාපැත්තේ තියෙනවා ඇමති සම්බන්ධීකරණ කාර්යාලය. ආණ්ඩුව පත්වුණ ගමං ඔයවගේ කාමර ඔක්කෝම පිරිලා තිබුණේ කළගුණ ඉල්ලාගෙන ආ අයගෙන්. මේ ඇමතිගේ ආසනේ කොළඹ නිසා සෙනඟ වැඩියි. ළඟ නේ! අනික මේ ඇමතිට වැඩිපුර හිටියේ හොඳට කිට මරපු කඩ්ඩ මරන බිස්නස් ඩයල්. 

ඔය කාමරේ මට ඉඳගන්නැයි කිව්වා. කිව්වා කිව්වාමයි විනාඩි විස්සක්වත් යනකන් කිසි ප්‍රතිචාරයක් නෑ. දහයයි විස්සයි. දුන් වෙලාව පහුවෙලා.

අන්තිමේ එතැන හිටපු නිලධාරියා ලඟට ගිහින් කරදර කරන්න සිද්ධවුණා. ඇමතිගේ සෙකට්‍රිට කෝල් කළාම ඊට වඩා ඉහළ ලෙවල් එකේ රූම් එකකට, ඒ කියන්නේ ඇමතිගේ රූම් එකට ඇතුල්වෙද්දී තියෙන කාමරේට මාරුවක් ලැබුණේ සෙරෙප්පු දිහා බලමින්මයි. ඔය කාමරේට එන්නේ ඉහළ තලයේ බිස්නස් ඩයල්. අර කාමරේ වගේ නෙවෙයි. වැදගත්ම පොරවල්. එක්තරා නාලිකාවක ආන්දෝලනාත්මක දේශපාලන විවාද තියෙන ප්‍රෝග්‍රෑම් එකක ඇමතිවරුන්ව කොර කරන්න ප්‍රශ්ණ අහන ඩයල් එකකුත් ඇවිත් මගේ එහාපැත්තේ හිටියා.

ඇමතිගෙන් මොකක්ද වැඩක් කරගන්න ඇවිත්.
 ටික වෙලාවකින් පොරට ඇතුලට එන්න අවස්ථාව ලැබුණා. 

දැන් මම ඉඳගෙන හිටපු සැටියට එකිනෙකා එනවා. මගේ සෙරෙප්පු දිහා බලලා මූණ ඇඹුල් කරං ටිකක් ඈතින් ඉඳගන්නවා. දොර ළඟ ඉඳන් ඇමති ළඟට කට්ටියව දාන කෙනා ඒ අයට කතා කරනවා. ඒ අය ඇතුලට යනවා. ආයෙත් අලුත් අය එනවා. ඒ අය ඇතුලට යනවා. මම ඉඳගෙනම ඉන්නවා. දොර ලඟ ඉන්න ඩයල් එක මාව ඇතුලට දාන්නෙම නෑ.

මාත් ඉන්නවා.

පැය දෙකකට වඩා හිටියා. කිහිපදෙනෙක්ට කියන්න හැදුවත් මට ඇතුලට යන්න චාන්ස් එක නෑ.

ඔය ඇමතිතුමා ඉස්සර අපට ගෙදරට කතා කරනවා. අයිස්ක්‍රීම් දෙනවා. තේ දෙනවා. නෝන ඇවිත් කතාකරනවා. වැඩේ ඉවරවුණාම ඩිනර් එකට කතාකරනවා. යන්න හදනකොට වාහනේ දෙන්න ලෑස්තිවෙනවා. දැන් අපට අමාත්‍යාංශෙට කතාකරනවා. අනිත් අයට දෙන තේ එකවත් දෙන්නේ නෑ. ඒවානං ඕන නෑ. වෙලාවට ඉන්ටවීව් එක දියං අඩු ගාණෙ.

ඇමතිට කෝල් එකක් ගත්තා. ‘මිස්ට *^$&$. මං ආවේ ජොබ් එකක් ඉල්ලගෙන නෙවෙයි. මගේ වැඩක් කරගන්න නෙවෙයි. මේ වගේ පහත් විදියට සලකන්න එපා. අනික මේ රස්සාව කරන,  ඔයාල කියන ඕන දෙයක් කරන අනිත් උන්ගෙ ලෙවල් එකට අපව දාන්න එපා. ‘ මම හිටපු කාමරේ ඔක්කොටම ඇහෙන්න කියාගෙන ගියා. ‘තරිඳු ඇවිල්ලද ඉන්නෙ? මට කවුරුත් කිව්වෙ නෑනෙ.‘ ඔන්න ඒ පැත්තෙ ප්‍රතිචාරෙ.

දැං කාමරේ නිලධාරියො සෙට් එක කලබල වෙලා. මුණුමුනුව. මගෙ ළඟ හිටපු කඩු, බිස්නස් ඩයල් එක ටිකක් ළං වෙලා. ‘මීඩියාද?‘ කියල ඇහුව. 

ඇමතිගෙ රූම් එකෙන් ඩයල් එකක් දුවගෙන ආව. ‘තරිඳු මහත්තයා කෝ.‘ මාව තප්පරෙන් ඇතුලට. හැබැයි වපරැහින් ඩයල් එකත් සෙරෙප්පු දිහා බැලුව.
ඉන්ටවීව් එක අවසානය ළං වෙනකොට හති දාගෙන ආපු අර ඩයල් එක ගිෆ්ට් පාර්සලයක් ඇමතිට දුන්නා. ‘තරිඳු සමාවෙන්න ඕන. මේ පොඩි තෑග්ග බාරගන්න.‘ ඇමති ඉන්ටවීව් එක ඉවර වෙලා කීවා.

‘බොහොම ස්තූතියි. හැබැයි තෑගි එපා.‘ මං එන්න ආවා. බෝඩිමේ හිටපු ලංකාවෙ ලොකුම පත්තරේ සහෝදර මාධ්‍යවේදියෙක් නං හවස බැන්න තෑග්ග බාරනොගත්ත එකට. ‘එයාට පොඩි තෑග්ගක් විසි තිස්දාහක් වටිනව මචං‘ මිනිහ කිව්වා.

මං එදා අලුත්ම ෂර්ට් එකක් ඇඳං ගියෙ. කොණ්ඩෙ ටිකක් වැවිලා රැවුල ටිකක් වැවිලා අපිලිවෙලට තියෙන්න ඇති. හැබැයි ලොකු අවුලක් තිබුණෙ නෑ. අලුත් ඩෙනිමක් ඇන්දෙ. හැබැයි සෙරෙප්පු දෙක නං පරණයි.


සෙරෙප්පු චාර්මත් නෑ හිටං බ්‍රෙසියර් ඇඳගත්ත ගෑණුත් දාගෙන යන්නෙ

46 comments:

  1. ලංකාවේ පොත් මනින්නේ කවරෙන්....

    ReplyDelete
    Replies
    1. මම කොට කලිසම ඇඳගෙන ඉන්න එකත් ප්‍රශ්ණයක් උනා මෑතක වැඩ කරපු තැනක..

      එයාලා දන්නේ නෑ ඒකත් මාකටින් මෙතඩ් එකක් කියලා...

      Delete
    2. /එයාලා දන්නේ නෑ ඒකත් මාකටින් මෙතඩ් එකක් කියලා.//:)

      Delete
  2. මොකටද beach යන්න සෙරෙප්පු?

    ReplyDelete
    Replies
    1. ආරුගම්බේ අයිතිකාරයගෙන් තමා අහන්න ඕන

      Delete
  3. මට සීන් එකක් උනා සාරි කඩයක හිටහං ලියන්නං

    ReplyDelete
  4. ඇමති දකින්නට උඩුවත් ගියේ නැගල තරප්පු
    කැමති වෙන්නෙ කවුද ඉතින් එහෙම කන්න පරිප්පු
    නොමැති වුණත් සැළකිල්ලක් වෙලා නැහැලු කුලප්පු
    විමති නොවී උඩුව ඇවිත් මෙන්න ලියලා සෙරෙප්පු.....

    ජයවේවා!!!

    ReplyDelete
  5. හැබෑටම ඔයි ලූනි ටූන් ෆ්‍රී වයි ෆයි බැලූන් එකට මොකෝ උනේ හිටන්? ඇමැති තුමා ගෙන් වත් අහමුද?

    ReplyDelete
    Replies
    1. ඒ ඇමතිතුමාව මුණගැහෙන්න නෙවෙයි ගියෙ

      Delete
  6. විසි තිස් දාහක් වටිනා තෑග්ග එපා කියපු එක නම් අපරාදේ. එත් ඕවා දිරවගන්න ගියාමත් අමරුයිනේ උදුවා.. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. තෑගි ගත්ත අය නිසා තමයි ජොබ් එකට මේ තත්වෙ ඇවිත් තියෙන්නෙ

      Delete
  7. මෙහි ප්‍රශ්නය සෙරෙප්පු හෝ ඇඳුම්වල නොවේ ඔබේ සහ ඔබව එහි යැවූ පුද්ගලයා ගේ ය.

    නියමිත වෙලාව පසු වූ විට ඒ ගැන නැවත විමසිය යුතුයි. ඔබ එසේ නොකලේ බොහෝ විට නවකකම, අත්දැකීම් අඩුකම නිසා සහ නිසි උපදෙස් ජ්‍යෙෂ්ඨයින්ගෙන් නොලැබුණු නිසා බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. එහෙම තත්වයක් තිබුණේ නැහැ. කිසිවෙක් වැඩ වලට යවන්නේ නැහැ. මම තමයි කාවද ඉන්ටවී් කරන්නේ කියලා තීරණය කරලා අපොයිමන්ට් එක අරගන්නේ.
      ඉන්ටවීව් එකක් කරමු කියලා මට ආරාධනා කළේ අදාල ඇමතිවරයාමයි

      Delete
    2. ඒ කියන්නේ විධිමත් හෝ අවිධිමත් හෝ පුහුණුවක් හෝ මෙන්ටරින් ක්‍රමයක් නැද්ද පත්තරේ?

      Delete
    3. තියෙනවා. ලංකාවෙ හොඳම පුහුණුවක් ලැබෙන තැන මෙතැන.
      කොච්චර පුහුණුවුණත් ඇමතිලා ඇමතිලාම තමයි. ප්‍රශ්ණය වුණේ ඇමතිගෙ පරක්කු කිරීම...
      මට එන්න තිබුනා.. ඒත් මම නිකම් හිටියා....
      බොහෝ වෙලාවට අපට දෙන වෙලාවට ඉන්ටවීව් එක නොදුන්නොත් අපි එනවා

      Delete
  8. කොච්චර කයිවාරු ගැහුවත් අපේ මිනිස්සු ඔය ඇඳුමෙන් පැලඳුමෙන් මිනිස්සු මනින එක නතර කරන්නෙ නෑ. හැබැයි, තමන් මැනපු මිම්ම වැරදියි කියල දැනගත්තම
    මිනිස්සු හැසිරෙන ආකාරය බලන්න ලස්සනයි.

    ReplyDelete
  9. බ්‍රෙසියර් දාපු ගෑනි ඇයි බන් සෙරෙප්පු දෙක අතේ දාන් යන්නෙ...

    ReplyDelete
  10. රවි ඇමතිතුමා එච්චර නරක මිනිහෙක් නෙවෙයි ..ඒකාලෙ. වවුලගෙ ගෙදර යනකොට සරමක් ඇඳගෙන ගිය එකත් වැරදියි .. නැද්ද හා....

    ReplyDelete
  11. ඉස්සර මම වැඩකරපු අමාත්‍යාංශයේ මාධ්‍යෙව්දීන් එද්දි එයාලා පිලිඅරගෙන නියමිත තැනට එක්කන්යාම මගේ රාජකාරියේ කොටසක්. මාධ්‍යවේදීන්ගේ හැටි දන්න නිසා අපි ඇඳුම ගැන බැලුවේ නෑ. සමහර වෙලාවට ඇමතිතුමා හම්බවෙන්න කට්ටිය වැඩි උනාම ඉන්ටර්වීව් එක පොඩ්ඩක් පරක්කු වෙනවා. මම ඉතින් ලඟටවෙලා රටේ තොටේ දේවල් කතාකරකර ඉන්නවා. පොඩි පොඩි නෝක්කාඩු ආවේ නැතුව නෙමෙයි පරක්කුයි කියලා. හැබැයි මේ එන හැමෝම ඇමතිතුමාව පුද්ගලිකව දන්න අය නිසා ලොකු ගැටලු ආවේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇමතිවරු මුණගැහෙද්දී ලැබෙන වෙලාවට වඩා පොඩ්ඩක් පහු වෙනව කියල අපි දන්නවා. බොහෝ වෙලාවට අපට ඒක දරාගන්න පුළුවන්.
      හැබැයි පරක්කු වෙද්දී අපි නිශ්ශබ්දව ඉවසන්නෙ නෑ. ටිකක් බරබරේ දානව.

      Delete
  12. ඕක ලංකාවේ හැටි බං...

    අර උඩ මාතා කියලා තියෙනවා වගේ අපේ උන් පොත මනින්නේ කවරෙන්..

    ReplyDelete
  13. නියම වැ ්ඩ් කර්ල තියෙන්නේ

    ReplyDelete
  14. උඩුවාගේ කතාව ඇත්ත. සෙරෙප්පු දාගෙන ගියාම බලන්නෙ පීචං විදිහට. ඉස්සර නං ජේ.වී.පී.කාරයෙක් කියල හිතන්නෙ.

    ReplyDelete
  15. මම හරිම කැමති බාටා රබර් සෙරෙප්පු දාන් යන්න. පහුගිය දවසක දවස් 4ක බදුලු ට්‍රිප් යද්දි දාන් ගියේ ඔය කියන ජාතියේ රෝස පාට සෙරෙප්පු දෙකක්. ඔයාගෙ කතාවෙ වගේම ගෙවිලා. දුන්හිද බලන්න යද්දි මගදි සෙරෙප්පුව අවසන් ගමන් ගියා. කැලේ විසිකරනෙක හරි නැති නිසාත් , මෙච්චර කල් දාන් ආපු සෙරෙප්පු දෙක නොදන්න තැනක දාලා යන්න බැරි කමක් හිතට දැනුන නිසාත් බෑග් මල්ලෙ ඔබා ගෙන නිරුවත් කකුල් වලින්ම ගිහින් ආවා. දුන්හිද හංදියේ කඩේක තිබිලා පොල් ගහ මාර්ක් කළු රබර් දෙකක් දාගෙන තමා ඉතිරි දවස් දෙක ඇවිද්දෙ.
    ඔය මොනා වුනත් ඇදුමෙන් මිනිස්සු මයනෙක කවදාවත් නතර වෙන්නෑ උඩුවො.කොහොමත් පත්තරකාරයොන්ගෙ තියෙන්නෙ අමුතු තාලේ ස්ටයිල් එකක් නේ.... ඒත් මම දැකල තිනෙවා සුපිරියට කිට මරල එන පත්තරකාරයොත් ඉන්නවා. විශේෂයෙන් පත්තරවලට ෆොටෝගහන ෆොටෝකාරයෝ.....

    තව පත්තරකාරියක් බ්ලොග් ලියනව අහඹූ ලෙස හදිසියේම දැක්කා. දැන් ඒක සොයා ගන්න බැහැ මට...

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර උන්දැත් පත්තරකාරිනෙ. ඔය ලියන්නෙ බ්ලොග් එකක්.
      ලිප්ස්ටික් කියලා

      Delete
    2. උපේක්‍ෂා නුවන්ශ්‍රීනි
      http://sarpayasdaughter.blogspot.com/

      අරුණි කළුපහන ??


      Delete
    3. නැහැ රසික ඒ බ්ලොග් එක මම දන්නවා.කියවනවා.... උඩුවා ලියල තියන “ලිප්ස්ටික් “ තමා මම සෙවූ බ්ලොග් එක. රසික කියපු බ්ලොග් එක මම රෝලට එකතු කරන් ඉන්නේ...ලිප්ස්ටිකුත් එකතු කර ගමු.

      Delete
    4. රසික..
      මෙන්න .. උඩුවගෙ “ආදරය“ ලු .


      http://rekhanilukshi.blogspot.com/

      Delete
  16. සෙරෙප්පු ගෙන ගිහින් එතනට යන්න දුන්නවත් මදැයි? ඒ දවස්වල ලංකාවේ එයෙරෝෆ්ලොට් එකේ දොර ගාව ඉන්න සෙක්ක දොර අරින්නේ නැහැනේ සෙරෙප්පු දාගෙන ගියොත්.

    ReplyDelete
  17. සෙරෙප්පු නිසා තවමත් පාඩු වෙනවා කියන එක නම් ඇත්ත.සමහර තැන් වල ඇතුලට යන්න දෙන්නෙත් නෑ සෙරෙප්පු දාගන හිටියොත්.
    ඒ උනාට දවසින් දවසට මේකට තියන ආදරේ වැඩි වෙනවා නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ඒ හින්ද කවුරු මොනව කිව්වත් සෙරෙප්පු නං අතාරින්නෙ නෑ.

      Delete
  18. මට මතකයි ජී.එල් පීරිස් අපේ බීච් එකට සපත්තු දාන් ආවා.....

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆෙසර්ලට අකැපයි වෙන්නැති සෙරෙප්පු+

      Delete
  19. රබර් සෙරෙප්පුව කොතරම් පහසුවුනත් මට නම් මාර වාතයක්. දවසක් දැම්මොත් කකුල් දෙක වන වෙනවා. මාර කරුමයක්. ඊට පස්සේ කාලයක් යන කම් සදා සොත්ති තමයි.

    දේශපාලකයා මීඩියවලින් උපරිම ගන්නේ අත යට වාසි දීලා කියන එක වෙනස් වෙන්නේ නැති බාල මැජික් එකක්.

    ReplyDelete
  20. කිව්වට තරහ වෙන්න එපා, ඔය ඔපිස් එකේ හිටපු මිනිස්සුන්ටත් වැඩිය වැරද්දක් කියන්න අමාරුයි. කවුරු මොනවා කිව්වත් මිනිහෙක් තව මනුස්සයෙක් විනිශ්චය කරන පළවෙනි දේ තමයි පිට පෙනුම. වෙන විදිහක් නැහැනේ ටිකක් කතා බහ කරලා අඳුරගන්නකන්.

    ReplyDelete

Search This Blog