Thursday, April 27, 2017

කීර්තිරත්න පෙරේරා - මීතොටමුල්ලේ හෘදය සාක්ෂිය 2

මම කලින් පෝස්ටුවකින් කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නුවන් බෝපගේ කියූ කතාවක් ලීවෙමි.

එතැනදී බෝපෙ මළමිනීත් විකුණන් කන බව කියන්නට ඇතැම්හු පෙළඹුනහ. හැබැයි නුවන් බෝපගේට විකුණන්නට දෙයක් තිබුනේ නැත. මීතොටමුල්ල අරගලය නුවන් බෝපගේ විකුණුවේ නැත. මීතොටමුල්ල බෝපෙ සහෝදරයාගේ ගමය. ඔහු සටන්කලේ ගම වෙනුවෙන්ය. ඔහුගේ මැදිහත්වීම අවංක නොවන ප්‍රශ්ණය වවාගෙන කන එකක්යැයි ඇතැම්හු කියති. එහෙත් කුඩා දරුවෙක් සිටින පියෙකු වන බෝපගේ තමන්ගේ නිවස ළඟ තියෙන කුණුකන්දෙන් හම්බ කරන්න හිතාවියැයි කීම පලක් නැති කතාවක්යැයි මට සිතේ.

මා කලින් ලීවේ මීතොටමුල්ල ජනතා වාර්තාවේ වැඩ පටන්ගත් මොහොතේ බෝපගේ කළ කතාවයි. මේ එම අවස්ථාවේ කීර්තිරත්න පෙරේරා මහතා කී කතාවයි. කීර්තිරත්න පෙරේරා කවුදැයි හඳුන්වාදිය යුතු නැතැයි සිතමි. ඔහුට ඒ තරම් මීතොටමුල්ල අපරාධයෙන් පසුව මාධ්‍යවල ඉඩ ලැබුණි.

මීතොටමුල්ලේ හෘද සාක්ෂිය - නීතීඥ නුවන් බෝපගේගේ අදහස්

මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව කීර්ති සහෝදරයාගේ පවුලේ උදවියගේ අවසන් කටයුතුවලින් පසුව අපි කිහිපදෙනෙකු එක්ව දැන් කුමක් කරන්නේදැයි කෙටි සාකච්ඡාවක යෙදුණෙමු. ප්‍රථමයෙන් ශෝකය, විරෝධය හා පිළිකුල ප්‍රකාශ කළයුතුයැයි අපට සිතුණි. ඒ අනුව ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කරන්නට තීරණය කළෙමු. එ් අනුව සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී මිතුරන් කිහිපදෙනෙක්ද සමඟ අපි ඉටිපන්දම් විරෝධය කෙටි කාලයකින් සැලසුම් කළෙමු. නිදහස් චතුරස්‍රයට එක්වුණෙමු.

ඉටිපන්දම් විරෝධයෙන් පසුව අපට ඕනෑ වුනේ මේ ඛේදවාචකය ගැන හැඟීම්බර වීමෙන් එහා ගොස් බුද්ධිමත් ලෙස දැකිය යුතු බවයි. කුණු ගැන ඉදිරි කතාවලට පෙර මීතොටමුල්ලේ සිදුවුණේ කුමක්දැයි කතා කරන්නට අපට ඕනෑ විය.

පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සංවිධානයෙන් ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංගමයේ සාමාජිකයන් විසින් මීතොටමුල්ලේ සිදුවීම පිළිබඳ ජනතා වාර්තාවක් සකස් කරන්නට තීරණය විය. එම වාර්තාව සඳහා ප්‍රථමයෙන් කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ මහජන සාක්ෂි විමසීම මහජන පුස්තකාලයේදී පසුගිය 26 වැනිදා සිදුකෙරිණි. එම අවස්ථාවට එක්වෙමින් නීතීඥ නුවන් බෝපගේ දැක්වූ අදහස්ය මේ.