Monday, September 18, 2017

කසුන්ගෙ පොතයි තව පොත් දෙකකුයි!





වැඩ ගොඩක් මැද්දෙ කසුන්ගෙ පොත කියවල ඉවරවුණේ ඊයේ හැන්දෑවෙ. රාවය සහ ඉරුදිනේ ඔහු ලිව්ව පුවත්පත් වාර්තාවලට එහා ගිහින් වෙහෙසවෙලා හොයාගත්ත කරුණු රැසක් වගේම ගවේෂණාත්මක වාර්තාකරණයක අනිවාර්ය අංගයක් වන චූදිතයාගේ පැත්තෙන් අදහස් විමසලා ඒක පල කිරීම වැලිකඩ පොත ලකුණු 10න් 10 ගන්නට හේතුවක්. කසුන් ඉදිරියටත් පුවත්පත් මාධ්‍ය වේදියෙක් විදියටම වැඩකරන්න ඕනෑය කියන කාරණය මම නිතර කියන එකක්. ෆේස්බුක් එකේ කරන වැඩ සහ චැරිටි වැඩවලට වඩා මහා සමාජ දේශපාලන වැඩ රැසක් කරන්න කසුන්ට කැපෑසිටියක් තියෙනවා.


කසුන්ගෙ පොතට ලැබෙන ප්‍රතිචාර එක්ක දැනෙන දෙයක් තමයි ගවේෂණාත්මක වාර්තාකරණයන් ගැන කෘතියකටත් පාඨකයන් අතරෙ ඉඩක් තියෙන බව. හොඳ පබ්ලිසිටි එකක් දුන්නොත් ඒ වගේ පොතක් විකිණෙනවා.

හොඳ ගවේෂණාත්මක කෘතියකට දැන් කාලයේ උදාහරණයක් විදියට ගන්න බැරිවුණත් පොත ලියැවුණු කාලයට සාපේක්ෂව හොඳ කෘතියක් විදියට සැලකිය හැකි චෞර රැජිණ කෘතියත් ඒ කාලේ මිනිස්සු පෝලිම් ගහලා ගත්ත බව කියැවෙනවා. අදටත් රාවය ප්‍රකාශණ ආයතනයේ වැඩියෙන්ම විකිණෙන කෘතියක් තමයි චෞර රැජිණ. ඒක ලංකාවේ වැඩියෙන්ම විකිණුන කෘතියක්. මම දැක්කා අහස පොත් ප්‍රකාශකයන්ගෙත් මෙවර වැඩිම අලෙවියක් තියෙන්නෙ වැලිකඩ පොතට කියලා.

ඒත් වැලිකඩ පොතට ලොකු ප්‍රචාරයක් සහ විචාරයක් ලැබිලා තියෙන මොහොතක මම ඒ ගැන වැඩිය ලිවිය යුතු නෑ. ලියන්න දේවල් හිර කරගෙන ඉන්නවා. 

මේ සටහන ලියන්නෙ වැලිකඩ පොත ගැන කියන්න නෙවෙයි. කසුන් පුස්සෙවෙල තමන්ගෙ ගුරුවරයා ලෙස හඳුන්වපු, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම වෙනුවෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුගේ පැත්තෙන් කළ හැකි උපරිම කාර්යභාරයක් කරපු. මගේ මෑතකාලීන කියැවීම් අනුව ලංකාවේ දැන් ඉන්න එකම ටෙක්ස්ට්බුක් ගවේෂණාත්මක මාධ්‍යවේදියා වන ලසන්ත රුහුණගේගේ කෘති දෙක ගැන. ඇත්තටම මෑත කාලයේ බිහිවුණ ගවේෂණාත්මක හෙළිදරව් කිරීම් පැත්තෙන් හොඳම මාධ්‍යවේදියා ඔහුයි. 

(පෝද්දල ජයන්ත, ලසන්ත වික්‍රමතුංග වගේ අයත් ඇතුලුව. මම කියන්නේ හෙළිදරව් කරපු කතා විතරක් නෙවෙයි ඒ හෙළිදරව් කිරීම කරද්දී ඒක ආචාරධර්මානුකූලව සහ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ තියරිවලට අනුකූලව ලිවීම පැත්තෙන්. අනික හෙළිදරව්වේදී මාධ්‍යවේදියාගේ කාර්යභාරය පැත්තෙන්. ඒක දිග සබ්ජෙක්ට් එකක්. කෙටියෙන් කිව්වොත් විගණණ වාර්තාවක් ක්වෝට් කරමින්, කවුරුහරි කරපු ප්‍රකාශ ක්වෝට් කරමින් ලිවීම හොඳ හෙළිදරව්වක් වුණත් ගවේෂණාත්මක ලිපියක් වෙන්නෙ නෑ.)

පුත්‍ර සමාගම සහ රාජපක්ෂ සමාගම තමයි ලසන්ත රුහුණගේගේ කෘති දෙක. මහින්ද රාජපක්ෂ යුගයේ දූෂණ, වංචා සහ අපරාධ පිළිබඳව තනි පුද්ගලයෙක් විසින් කරපු වැඩිම හෙළිදරව් කිරීම් තියෙන්නෙ ලසන්ත රුහුණගේගේ නමට ඉදිරියෙන් බව දන්නෝ දන්නවා. වෙන අය විසින් කරපු හෙලිදරව් ගැන වුණත් විස්තරාත්මකව වාර්තා කරන්නට ඔහු පෙලඹිලා තියෙනවා. ඔහුගේ හෙළිදරව් ගවේෂණාත්මක වාර්තාකරණයේ අංග සම්පූර්ණ ලක්ෂණ සහිත ලිපි විදියට හඳුන්වන්න පුළුවන්. අනෙක් පැත්තෙන් රාජපක්ෂ පවුල ගැන කෙලින්ම වාර්තා කරන්න සමහරු බය වෙලා හිටපු සමයක කෙලින්ම කේන්ද්‍රය අභියෝග කරලා ලියන්න තරම් නිර්භය වුණ ලේඛකයන් තුන්හතර දෙනෙක් අතර ලසන්ත ඉන්නවා.

පුත්‍ර සමාගම කෘතිය එළිදැක්වුවෙ රාජපක්ෂ ආණ්ඩුව තීරණාත්මක ලෙස බලවත් වෙලා හිටපු කාලෙක. 2010 සැප්තැම්බර් මාසයේදී. රාජපක්ෂවරුන්ට ඒ කාලයේ තිබුණු බලයත් එක්ක රාජපක්ෂවරුන් ගැන වාර්තා කිරීම මරණීය අවදානමකට අත වැනුවා. ඒ නිසා වෙන්න ඇති පුත්‍ර සමාගම කෘතියේ කවරය රාජපක්ෂවරුන්ගේ රුවෙන් සැරසුවේ නැහැ. සාටකයක් සංකේතාත්මකව යෙදුවා. රාජපක්ෂවරුන්ට අමතරව එකල සිටි වෙන දේශපාලඥයන්ට අදාල හෙළිදරව් කිරීම්ද එහි තියෙනවා. තාරුණ්‍යයට හෙටක් ගැන ලසන්ත රුහුණගේ විසින් කළ හෙළිදරව් මේ කෘතියේ සුවිශේෂීයි. මේ පොත පුත්‍ර සමාගම විදියට නම් කරන්න හේතුවත් ඒ ලිපි පෙලයි. ආයුධ ගනුදෙනුවල වංචා, ශෂීන්ද්‍ර වෙනුවෙන් ජනාධිපති බලය යෙදවීම ගැන සුවිශේෂී හෙළිදරව්වක්, කෝටි 300ක ඉඩම් වංචාවක්, වීරවංශගේ වංචා ඇතුළු බොහෝ දේ ඒ කෘතියෙහි අඩංගුයි. ඇත්තටම මේ කෘති දෙකේ නොතිබුණත් ශෂි වීරවංශගේ ගමන් බලපත්, වීරවංශගේ ව්‍යාජ ලේඛන ගැන මුලින්ම ලීවෙත් ලසන්තම තමයි. ඒ විතරක් නෙවෙයි මේ මේ ආණ්ඩුවට එරෙහිව ටොප් ටෙන් කියලා ඒකාබද්ධෙන් දාපු පැමිණිලි අතරින් හතක් විතර ලසන්ත රුහුණගේ හෙළි කරපුවා. ඒවා දාලා යහපාලනේ ගැන පොතකුත් ගහන්න පුළුවන් වේවි ළඟදීම.

රාජපක්ෂ සමාගම කියන්නේ වඩා නිදහසක් ඇතිව පල කරපු කෘතියක්. 2015ට  පෙර අවසාන භාගයේ තීරණාත්මක හෙළිදරව් කිරීම් රැසක් කෘතියේ තියෙනවා. කාල්ටන් ස්පෝට්, භාරත ඝාතනය සහ ඝෝඨා, නාමල්ගේ නයිට් රේස් විනෝද බද්දෙන් නිදහස්, පුතාගේ කාර් රේස්වලට තාත්තාගෙන් බලපත්‍ර සහන,  ධාතු කරඬුව ජනාධිපතිට දීලා, ජනාධිපතිගේ ප්‍රචාරයට හමුදාවෙන් ලියුම් ලක්ෂ දෙකක්, අපි වෙනුවෙන් අපි ගිණුම හිඳිලා වැනි ලිපි රැසක් තියෙනවා. ඒ වගේම දැන් ආන්දෝලනයට ලක්වුන ශිරන්තිගේ සිරිලිය සවිය ගිණුම ලසන්ත ලියූ ලිපියක්. මේ වෙද්දී ජේවීපිය එහෙම තමන්ගෙ පැමිණිලි කියලා ගෞරවය ගන්න ගොඩක් ලිපි ලසන්ත ලියපුවා.

රාජපක්ෂලා විසින් වංචා සහගත ගණුදෙනුවලට හදලා තිබුණු සමාගම් ගැන හෙළිදරව් කෙරෙන ලිපි මාලාවක්ද පොතෙහි ඇතුලත් වෙනවා. මේ වෙද්දී දූෂණය ක්‍රියාත්මක වෙන්නෙ කොච්චර සංකීර්ණ අල්ලන්නට අමාරු විදියටද කියලා තේරෙන්නෙ ලසන්තගෙ හෙළිදරව් කියවද්දී. එය ජනාධිපතිගෙ අතේ තියෙන පතේ රොලෙක්ස් ඔරලෝසුවෙන් ජනාධිපති දූෂිතයි කියනවාට වඩා සංකීර්ණ වැඩක්. ඉතින් මේ කෘති දෙකත් මෙවැනි කෘතියක් කියවන්න කැමති ඔබට රාවය කුටියෙන් මිලට ගන්න පුළුවන්.

5 comments:

  1. ලසන්තට තව ටික දවසකින් ඇහැක් වේවි මාමා බෑණා අන්දැරය වගේ හෙළිදරව් නොවිච්ච ඒවත් ලියන්න..

    ReplyDelete
    Replies
    1. /* මේ මේ ආණ්ඩුවට එරෙහිව ටොප් ටෙන් කියලා ඒකාබද්ධෙන් දාපු පැමිණිලි අතරින් හතක් විතර ලසන්ත රුහුණගේ හෙළි කරපුවා. ඒවා දාලා යහපාලනේ ගැන පොතකුත් ගහන්න පුළුවන් වේවි ළඟදීම. */

      Delete
    2. ඒවත් ලියන්න පුළුවන් වේවි. හැබැයි බෑණා මාමා කතාවනම් ලසන්ත වැඩිපුර ෆලෝ කලේ නැහැ. කොච්චර හොඳ මාධ්‍ය වේදියෙක් වුණත් සමහර තැන්වලදී කරුණු සීයට සීයක් තහවුරු කරගන්න බැරිවෙනවා.

      Delete
  2. /* ඉතින් මේ කෘති දෙකත් මෙවැනි කෘතියක් කියවන්න කැමති ඔබට රාවය කුටියෙන් මිලට ගන්න පුළුවන්. */

    ප්‍රදර්ශනයෙන් පස්සේ කොහෙන්ද?
    කවුද ප්‍රකාශක? රාවය ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රකාශකයා රාවය. ලංකාවට ආ වෙලාවක ගන්න. හොඳ පොත් දෙකක්.

      Delete