Monday, August 21, 2017

එම්.ජී. නිදහසේ පියඹා යා යුතුය

 



‘සංගීත ක්ෂේත්‍රයේ උඩට එන්න හරි අමාරුයි. රැඳී ඉන්න නම් යමක් කළ යුතුයි. මට ඕනෑ මේ ආදරේ හැමදාම මේ විදියට තියාගන්නයි. නිහතමානීව මිනිස්සුත් එක්ක එකතුවෙලා අඩුපාඩු හදාගෙන කල් පවතින, හැමෝටම ගැලපෙන අර්ථවත් ගීත නිර්මාණය කරන්නයි මං බලාපොරොත්තු වෙන්නේ.‘ මේ එම්.ජී. ධනුෂ්ක ඩ්‍රීම් ස්ටාර් වූ පසුව පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකි. 




එම්.ජී. ධනුෂ්කව බොහෝ දෙනෙක්ට මතක ඇතැයි සිතන්නෙමු. 2014 දී පමණ ධනුෂ්ක ඩ්‍රීම්ස්ටාර් බවට පත්වූ මොහොතේ ලංකාවේ ජනප්‍රියම මෙන්ම දක්ෂතාවයෙන් සපිරුණු ගායන තරුවක් ලෙස ඔහු අවදානය දිනාගෙන සිටියත් වසර තුනක් පසුවෙද්දී ඔහු තවත් ගායකයන් අතර තවත් ගායකයෙක් පමණක් ලෙස ප්‍රසංග වේදිකාවේ කොණකට තල්ලුවී සිටියි. ප්‍රසංග වේදිකාවේත් ඔහු කළේ අනුන්ගේ ඉල්ලීම්වලට යට වෙමින්, ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප නොකර එම්.එස්. ගේ ගී ගැයීමයි. තමන්ගේ රසවත් ගී රැසක් එම්.ජී. තමන් විසින්ම වළලා දැමුවේ එම්.එස්.ගේ ගී ගයමිනි. ඉන්පසුව එම්.එස්. ගේ ගී ගැයීම ඔහුට තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කිරීම ගැන මාධ්‍ය වාර්තා පළවිය. දැන් එම්.එස්. හැර වෙන අයගේ ගී ඔහු ගයයි. අධිකරණ නියෝගය නිසාවත් තමන්ගේ ගී වලට වැඩි ඉඩක් දෙන්නට ඔහු පෙළඹී තිබුණේ නැත. ප්‍රසංග වේදිකාවේ සීමිත ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් දැන් ඔහු අනුන්ගේ ගී ගයයි.

‘කවදාවත් එම්. එස්. කෙනෙක් ආයිත් ලංකාවේ හැදෙන්න ඕන නෑ. මට එහෙම වෙන්න ඕන නෑ. මගේ ඇඟේ තියෙන හැකියාව දියුණු කරගන්නයි ඕන.‘ එම්.ජී. ඩ්‍රීම් ස්ටාර් ජයග්‍රහණය කළ වෙලාවේ කියා තිබුනේ එසේයි. එහෙත් ඔහු අනුන්ගේ ගී ගයමින් ඉතිහාසයේ සැඟව යමින් සිටියදී අප නැවත ඔහු ගැන ලියන්නේ ඔහු සුවිශේෂී ප්‍රාසාංගික ඉදිරිපත් කරන්නෙකු ලෙස මතකයේ රැඳී ඇති නිසාය. තමන්ව අපූරු වර්ණවලින් චිත්‍රණය කරගන්නට ඔහු සමත්ව සිටි නිසාය. ඔහු ඒ චිත්‍රය අනුන්ගේ චිත්‍රවල ගිලී යන්නට ඉඩ නොදී යළි වර්ණනය කරගැනීම වැදගත්ය. 

මෑත දිනවල එම්.ජී. ගැන අසන්නට ලැබුණු පුවත් කිහිපයක් විය. ඔහු සංගීත කණ්ඩායමක් පටන්ගත් බව අසන්නට ලැබුණි. ඒ ප්‍රසංගවල එම්.ජී. නොවීය. ඒවායේ වූයේ ලංකාවේ කොතෙකුත් ඇති සංගීත ප්‍රසංගවල පොදු වට්ටෝරුවමය. කාටූන් වැඩසටහන්වල සිංදු, ඉන්දීය ටෙලිනාට්‍ය වල සිංදු, ජෝතිපාලගේ සිංදු, හින්දි සහ දෙමළ සිංදු කිහිපයක් සමඟ ප්‍රසංගයට මත්ව පැමිණෙන තරුණයන් නටවනු පිණිස ගයන සිංදු ඇතුළු සුපුරුදු වට්ටෝරුව මිස අන් කිසිවක් ඒ කණ්ඩායමේ ප්‍රසංගවල නොවුණි. අනෙක් සියල්ලන්ගේ වට්ටෝරුවට එම්.ජී. ගැයිය යුතුද. 

එම්. ජී. සංගීත වීඩියෝවක් කරන බව මාධ්‍යවලට පවසා තිබුණි. ‘ඒක මගේ ආරෙට කරපු එකක් නෙවෙයි. රැල්ලට කරපු ආදර ගීතයක්.‘ එම්.ජී. සංගීත වීඩියෝව ගැන එසේ කියා තිබුණි. ඔහු රැල්ල යැයි කියන්නට ඇත්තේ මේ දිනවල අසන්නට ලැබෙන පූජා කරන්නම් මලක්, ඔයාගෙ නමට පඬුරක් බඳින්නම්, පූරුවෙ කරපු පවක් වෙන්නැති වර්ගයේ පෙම්වතුන්ගේ විලාපයන්ගෙන් පිරුනු විරහ ගී රැල්ල ගැන විය යුතුය. ඒ කතාවෙන් තේරෙන්නේ එම්.ජී. යළිත් අනුන්ගේ වට්ටෝරුවකට වැඩ කරන්නට සූදානම් වෙන බවයි.
ඒ අතරේ ඔහු දෙරණේම තවත් නර්තන තරඟයකට සහභාගි විය. ඔහු අනුන්ගේ කණ්ඩායමක නැට්ටුක්කාරයෙක් විය. අනුන්ගේ ගී ගැයීය. ඔහු දක්ෂයෙකු බව එතැනදීත් පෙණුනු බව ඇත්තය. එහෙත් රියැලිටියට මිස එම්.ජී.ට එයින් වූ යහපතක් නැත. 

දැන් ඔහු රඟපාන්නට සූදානම් වෙන බව කියයි. මේ වෙද්දී ඔහු මහේන්ද්‍ර පෙරේරාගේ රංගන වැඩමුළුවලට සහභාගී වෙන බව කියයි. ‘මම ප්‍රධාන චරිත කරන්න සුදුසු නෑනේ. වෙන චරිතයක් තිබුණොත් මම බාරගෙන රඟපානවා.‘ එම්.ජී. කියා තිබුණි. 

එම්. ජී. කලින් කියා තිබුණු, ඉහතින් උපුටා දැක්වූ කතාව පරිදිම ලෝකයේ ඕනෑම තැනක තරුවක් වීම අපහසු දෙයක් නොවේ. තරුවක් ලෙස රැඳී සිටීමය අපහසු කාරණාව. එම්.ජී. තරුවක් ලෙස රැඳී සිටින්නට තෝරාගෙන ඇත්තේ වැරදි පාරවල්ය. අපේ යෝජනාව නම් එම්.ජී. අලුතින් සිතිය යුතු බවයි. අලුතින් තමාව ‘ඩිසයින්‘ කරගත යුතු බවයි. එම්.ජී. මුලින් කීවා වගේ වෙන අය කළ දේවල් ඔහුත් කළ යුතු නැත. ඔහු අලුත් යමක් කළ යුතුය. 

රියැලිටි යනු යථාර්තයක් නොවේ. රියැලිටි එන්නේ ඒ මොහොතේ ප්‍රේක්ෂකයන්ව රූපවාහිනියේ රඳවාගන්නට පමණකි. ඒ වෙනුවෙන් එම්.ජී.ව වෙනම තලයකට ඔසවා තබන්නට රියැලිටියේ නිෂ්පාදකයන් උත්සාහ කරන්නට ඇත. ඉන්පසුව එම්.ජි.ගේ අනාගතය එම්.ජී. සතුය. එම්.ජී.ව තවත් බයිලා චක්‍රවර්තී කෙනෙක් තරමට ඔසවා තැබීය. ඔහු අලුතින් පටන්ගන්නට නම් ඔහුව ඔසවා තැබූ තැන්වලින් බැස රියැලිටිය වෙනුවට රියල් එක දිහා යළි හැරී බැලිය යුතුය. 

රියැලිටියෙන් එම්.ජී.ට ලැබුණු මුදල් සහ තත්වය නඩත්තු කිරීම වෙනුවට යළි පොළොවේ සිට පටන්ගන්නට උත්සාහ කළ යුතුය. ඔහුට ප්‍රසංගවල අනුන්ගේ වට්ටෝරුවලට වැඩ කිරීමෙන් ලැබෙන ආදායම අලුත් ඇරඹුමකදී නොලැබෙන්නට පුළුවන. තවම ඔහුට ප්‍රසංග වේදිකාවේ ‘මාර ඉල්ලුමක්‘ මෙන්ම ‘මාර වටිනාකමක්‘ ඇති බව ඔහුට දැනෙනවා විය යුතුය. එහෙත් ඔය වටිනාකම අලුත් යමක් නොකළොත් වැඩි කල් පවතින්නේ නැත. ඔබට පමණක් කළ හැකි සුවිශේෂී යමක් ඔබ කළ යුතුය. 

වෙනස් දේවල් ගැන කියද්දී සිහිපත් වෙන්නේ පහුගිය කාලයේ එම්.ජී. ගැයූ ගීත කිහිපයයි. ඒ අතර හොඳ තත්වයේ ගී කිහිපයක්ම විය. එහෙත් එම්.ජී. තමන්ගේ සිංදු වෙනුවට අනුන්ගේ සිංදු ගයමින් යෑම නිසා තමන්ගේම සිංදුවලට අසාධාරණයක් සිදුව ඇති බව ඔහුට නොවැටහෙනවා විය යුතුය. ඔහුගේ සිංදු ගැන බොහෝ දෙනෙක් දන්නේ නැත. 

හදවතක් තියෙන ළඳක් ඕන, හොයනවා මටම කියා, කාලයක්අරන්, නදීකා ඇතුළු එම්.ජී. ගේ සිංදු කිහිපයක් වෙය. ඊට අමතරව ‘ලාල්ගුපට්ටා‘ නම් හින්දි ගීයේ තනුවට කැලුම් ශ්‍රීමාල් පද යෙදූ දෑත ගත්තා අනවසරයෙන්‘ නම් ගීයත් ඔහුගේ රසවිඳිය හැකි මට්ටමේ ගීයකි.  හදවතක් තියෙන ළඳක් ඕන වැනි ගීයක සංගීතය දිවෙන අයුරු ඉතා රසවත්ය. එම්.ජී. මෙවැනි ගී ඉදිරියට ගෙන ඒම වෙනුවට එම්.එස්ලාගේ සිංදුම ගැයීම මහත් අපරාධයකි. 

ලද රචනා අතරින් ලක්සිරි වික්‍රමගේ ලියූ නදීකා නම් ගීය එම්.ජී. ගැලපෙයි. එයටත් වඩා ලියුම්කරු ප්‍රියකරන ගීය වන්නේ ගාමින්ද ප්‍රියවිරාජ් හෙවත් පොඩි මල්ලි ලියූ හොයනව මටම කියා නම්‘ ගීයයි. සමන්ත ගී කියනගේගේ ‘කාලයක් අරන්‘ නම් ගීයේ පද රචනාවත් එම්.ජී.ට ගැලපෙයි. 

එහෙත් එම්.ජී. වැඩියෙන් විශ්වාසය තබා ඇත්තේ තමාට නොගැලපෙන ගීත ගැන බව පෙනෙයි. ‘හොයනවා මටම කියා‘ නම් ගීතය මුලින් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව එම්.ජී. කියා තිබුණේ ඒ ගීයට මහේන්ද්‍ර පෙරේරා රඟන හොඳ තත්වයේ වීඩියෝවක් කිරීමට බලාපොරොත්තු වන බවයි. එහෙත් ඒ වීඩියෝව වසර දෙකක් පමණ ගෙවී ගිහින් ඇතත් නිර්මාණය කර නොතිබුණි. 

මේ වෙද්දී ගීයක රසයට සංගීත වීඩියෝවෙන් වැදගත් යමක් කළ හැකිය. එහෙත් ලංකාවේ සංගීත වීඩියෝ සාම්ප්‍රදායික වට්ටෝරුවක ගිලී ගොස් ඇත. එම්.ජී.ට මහේන්ද්‍රලා යොදාගෙන විශේෂ යමක් කරන්නට ඉඩ තිබුණි. එහෙත් ඔහු විශ්වාසය තබා ඇත්තේ ‘රැල්ලට යන‘ වීඩියෝවක් ගැන බව පෙනෙයි. හීනෙන් පවා දෑස, සඳවත අහසින් වැටිලා වැනි මෑත දිනවල එම්.ජී. ගැයූ ගී ඔහුට නොගැලපෙන ඒවාය. ඔහුට කිසිසේත්ම හඬා වැලපෙන පෙම්වතෙක් විය නොහැකිය. 

ඔහු අසීමිත විනෝද උත්පාදකයෙකි. ඔහු තමන්ගේ සුවිශේෂී හැකියාව ගැන සිහිතබාගැනීම වැදගත්ය. එම්.ජීම කියා තිබුණේ තමන්ට එම්.එස්. කෙනෙක් වෙන්නට ඕනෑ නැති බවයි. එය යහපත් නමුත් එම්.ජී. වැඩිපුර ඉගෙනගත යුත්තේ එම්.එස්. ‍්, ජෝති වැනි ගායකයන්ගෙන්ය. නිහාල් නෙල්සන් වැනි ප්‍රසාංගික ඉදිරිපත් කරන්නන්ගෙන් මෙන්ම ජිප්සීස් සුනිල් වැනි වෙනස් සිතන්නන්ගෙන් එම්.ජී. ඉගෙනගත යුතු දේද බොහෝය. ඔවුන් ගැන කියවන්නට එම්.ජී. වෙලාව සොයාගත යුතුය. සුනිල්, නෙල්සන් වැන්නන් සමඟ කතාකරන්නට, ඔවුන්ගෙන් ගුරුහරුකම් ගන්නට එම්.ජී. උත්සාහ කළ යුතුය. මහේන්ද්‍ර ළඟ රංගනය ඉගෙනගන්නට යන එම්.ජී. ටෙලිනාට්‍ය කෑලිවල රඟපා මුදල් හොයන්නට නොව තමන්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් දියුණු කරගන්නට ඒ රංගන අධ්‍යාපනය යොදාගත යුතුය. 

බොරු සදාචාරවාදීන්ගෙන්ද, මල් පූජා කරන්නන්ගෙන්ද, හඬා වැළපෙන ගායකයන්ගෙන්ද වෙන්ව එම්.ජී. අලුත් යමක් අපට කියා දිය යුතුය. විරහව මැද්දේ හිනහවෙමින් බයිලාවක් කියන ගායකයෙක් ලෙසයි එම්.ජී. අප මවාගත්තේ. ඔහු ඒ ප්‍රතිරූපය විනාශ කරගන්නට ඕනෑ නැත. විනෝදය අමතක වුණු මිනිසුන් සිටින රටක එම්.ජී. ඉගැන්විය යුත්තේ විනෝද වෙන හැටිය. විනෝදයට සීමා තබාගන්නට ඕනෑ නැත. සදාචාරයේ බැමිවලට ඔහුවෙන්නටත් ඕනෑ නැත. එම්.ජී. ධනුෂ්ක නිදහසේ පියාඹා යා යුතුය. 



(රාවයේ පළවූ ලිපියකි.)

12 comments:

  1. බොරු කියන්න බැහැ . මට නම් හැඟුණ දෙයක් තමයි ලංකාවේ ඔය රියලිටි වලින් අන්තිමට දිනන්නේ දක්ෂයා නෙවෙයි. එම්.ජී. ත් ඒ වගේ. ඔහු දිනුවේ තනිකරම දක්ෂකම නෙවෙයි. සිම්පති වෝට්ස් වලින් තමයි තීරණේ උනේ. එම්.ජී. හිටපු අනිත් එකාට ( විශ්මිත) වඩා අනුකම්පාව දිනාගතා සහ විශ්මිත නෑව නිසා එම්.ජී. ගොඩ ගියා. වෝකල් හැකියාව බැලුවොත් ඔහු සාමාන්‍ය ගායකයෙක්.

    එහෙම කෙනෙක්ට මේ ඉන්ඩස්ට්‍රි එකේ පවතින්න සෑහෙන්න විකිනෙන්න වෙනවා. එහෙම බ්‍රොයිලර් වගේ ඔවුන්ව හදන්නේ එහෙම විකුනන්න තමයි. නැතුව උන්ට තියෙන ආදරේකට නෙවෙයි කියලා තාමත් තේරෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. ඒකනේ හැම පැත්තටම දුව දුව ස්ථාවර වෙන්න බලන්නේ. ඔහු දැනගෙන හිටියේ නැහැ ඔහුගේ ඉලක්කය. (කතාකරන්න දක්ෂ උනාට) ඔහු ස්වාධින නැතිබව ඔහුටම තේරෙන්නේ නැහැ.

    ඉතින් මේ වගේ නිෂ්පාදන වලින් ප්‍රේක්ෂක අපිට ඇති සෙතක් නැහැ. ඔක්කොම රියැලිටි වලින් හදපු තරු එහෙමයි. එහෙන නොවුන එක උදාහරණයක්වත් මට සිහියට එන්නේ නැහැ. ( යම් තරමකට උපේඛා නම් හොඳයි, නමුත් පුම්බපු තරමට නෑ )

    ලංකාවේ රියලිටි හරි පුස්සක් අය්යෝ...

    ReplyDelete
    Replies
    1. සිම්පති වෝට්ස් කතාව යම් දුරකට ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මට හිතෙන්නේ ධනුෂ්ක දිනුවේ හිස් ටින් එකක් වාගේ කියන ගීතය නිසා. ඒ ගීතයට ඔහු අපූරු ආලෝකයක් ගෙනාවා. ඩ්‍රීම් ස්ටාර් උන දවස් වල මාතලන් එම්.ජී ගැන අපූරු ලිපියක් ලියලා තිබුණා.

      ඔය රියැලිටි වලින් ආපු අය අතරින් මගේ මතකයේ රැඳෙන්නේ සුරේන්ද්‍ර, ප්‍රදීප් රංගන, තීක්ෂණ අනුරාධ, සංඛ දිනෙත් වගේ කිහිප දෙනෙක් පමණයි. ඔවුන් නම් දක්ෂයෝ බව පෙනෙනවා. බහුතරයක් පුම්බපු චරිත පමණයි.

      Delete
    2. එක ගීතයක් නිසා කොහොමද මේ වගේ වෝකල් කම්පිටිෂන් එකක් දිනන්නේ? එහෙම දිනනවා නම් එය වැරදි ජජ්මන්ට් එකක්!

      ඔබ ඔය කියපු ලිස්ට් එකෙන් පෙන්නන්නේ දැනට සින්දු කියන උන්දලා ගේ ලිස්ට් එක මිසක් 'රියල් වෙනසක්' කරපු ස්ටාර් නෙවෙයි. අමිල පෙරේරා වගේ වොයිසස් තමයි ඕනේ. බලන්නකෝ ඔහුගේ ආගමනයෙක් පස්සේ ඔහුටම අනන්‍ය ලස්සන සින්දු කියපු හැටි. ඒ වගේ උන් තමයි ටැලන්ට්. අනිත් ඔක්කොම අර කෝම්පිට්ටු ගහනවා වගේ එකම ජාතියේ වැලපුම් ගීත කියමින් තමන්ගේ තරු ඌශ්නය නිසා දිදුලනවා මිසක්..... මම නම් කියන්නේ හරියට සින්දුවක් කියපු එකෙක් නැහැ. එම්.ජී ත් ඒ කැලෑසියේ.

      Delete
    3. ලිඛිතා මේ අන්තිම කමෙන්ට් එකේ කියන එක ඇත්ත. ඒත් එතැන සංඛට යම් ටැලන්ට් එකක් තියෙනවා.
      එම්.ජී. එන්ටර්ටේනර් කෙනෙක්. ඔහු අතිවිශිෂ්ඨයෙක් ඒ අතින්. ඔහු හොඳම ගායකයා නොවෙන්න ඇති. ඒත් ඔහු නියම එන්ටර්ටේනර් කෙනෙක්.
      විශ්මිතට එතැනට ළං වෙන්නවත් බෑ.
      නිකන්ම එම්.ජීව පිම්බුවානම් අනෙක් සුපර්ටාර්ස්ල වගේම වෙන්න එපැයි. ඒත් එම්.ජී.ට ඊට වඩා අවධානයක් ලැබුණා.

      Delete
    4. එම්.ජී. ගයපු සිංදු හොඳ ඒවා නොවෙන්න ඇති. ඒත් ඒ සිංදුත් හොඳයි.
      ඒ මගෙ අදහස.

      Delete
    5. ඔය හොඳම ගායකයා කවුද කියන එක හරියටම කියන්න බැරි දෙයක් නේ. මේවා subjective measurements. //අමිල පෙරේරා වගේ වොයිසස් තමයි ඕනේ// අමිල හොඳයි. එත් හැමෝම අමිල වගේ වෙන්න ඕනෙද? අමිල benchmark එකක් ලෙස ගෙන අනික් අය මනින්නේ කොහොමද? //එම්.ජී. එන්ටර්ටේනර් කෙනෙක්. ඔහු අතිවිශිෂ්ඨයෙක්// එකෙන්ම. එක එක පුද්ගලයාට දැනෙන විදිය වෙනස්. ඒකයි මම කියුවේ මේක හරිම subjective කියලා.

      let's agree to disagree :)

      Delete
    6. වෝකල් තරගෙක බලන්නේ වෝකල් හැකියාව නේද? එතැනදී ඇවරේජ් කෙනෙක් දිනනවා කියන්නේ මොකක් හරි අවුලක් වගේ දැනෙන්නේ නැද්ද? මම දැකපු දෙයක් තමයි වෝකල් අතින් විශ්මිතගේ පරාසයට අභියෝගයක් තිබ්බෙම නැහැ. ඒ තමයි ඇත්ත. ඔව්... MG දිනුවේ කටහඬ හොඳ නිසා නෙවෙයි කියන එක ඒ කියන්නේ ඔබත් පිළිගන්නවානේ ?

      මෙන්න මේ ලින්ක් එක බලන්න. මේ සින්දු අහගෙන ඉන්නකොට තමයි මියුසික් කියන්නේ මොනවද කියලා හිතෙන්නේ. කොටින්ම මේ කන්සෙප්ට් එක ගෙනාපු American idol එකේ පවා බාහිර අලංකාරයට වඩා වෝකල් හැකියාව තමයි ෆෝකස් එක.
      Something terribly wrong somewhere උඩුවා.


      මෙහෙම 'තරු' දිහා බල බල අපි තාමත් හැත්තෑව දශකයේ ආපු ගායක ගායිකාවෝ ඔලුවේ තියාගෙන නටනවා. ඉතින් කොහෙද අනාගතයක්?

      Delete
    7. Link : https://www.youtube.com/watch?v=ySzyJqcpT5I

      read this also:

      http://upekshad.blogspot.com/2015/08/blog-post_62.html

      Delete
    8. හොඳ නිර්මාණ කරන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම සාකච්ඡාවක්.
      ඊළඟට මේ ගායකයාට සාපේක්ෂව ධනුෂ්කව බලන එකත් හරියන වැඩක් නෙවෙයි. ධනුෂ්ක කියන්නෙ වෙන ගායකයෙක්.
      ඩ්‍රීම් ස්ටාර් තරඟෙ වර්ණනා කරන්න මට ඕනෙ නෑ. මම කතා කළේ ධනුෂ්ක ගැන විතරයි.

      හොඳ ගායන හැකියාවක් තියෙන අය ඉන්නත් ඕනෙ. ඒ වගේම විවිධත්වයක් තියෙන්නත් ඕනෙ.

      ධනුෂ්ක ඒ වෙනකොට මියුසික් වල තිබුනු හිස්තැනක් පුරවපු හැකියාවක් එක්ක ආවා. ඒත් තමන්ගෙ හැකියාව එක්ක වෙනස් වැඩක් කරන්න තවම ඔහුට බැරිවෙලා. ඒකයි කාරනේ

      Delete
    9. ඔයාගෙ පෝස්ට් එකට මම විරුද්ධ නෑ.
      මම හැබැයි මියුසික් කියන එක ඒ සීමාවෙ ඉඳන් බලන්න ඕනෙ නෑ.
      මමනම් බලන්නෙ එන්ටර්ටේනින් පැත්තෙන්. ඔයා පෙන්වපු එකත් එන්ටර්ටේනින්. මේ පෙන්වපු ගායකයාත් එන්ටර්ටේනින්.

      Delete
  2. ලිඛිත කියන කතාවත් ඇත්ත තමයි. රියලිටි ෂෝ වල කරන්නේ ටිකක් වෙන්න බ්‍රොයිලර් කුකුල්ලු හදන එක තමයි. නමුත් එක සින්දුවෙන් ගොඩ යන අය මම එංගලන්තයේ ගොඩක් දැකල තියනව. සොෆි එලිස් බෙක්ස්ටර් වගේ අය . ඒවගේම ස්පයිස් ගර්ල්ස් වගේ බ්‍රොයිලර් ටය්ප ඒවත් ගොඩ ගියා. එනිසා මම උඩුවගේ යෝජනාවට වඩා කැමතියි සමස්තයක් වශයෙන්. මේ ගායකයා හොඳයි. හිස් ටින් සින්දුව මාරයි. එයා තමන් ලියල හොඳ මියුසික එකක් දදාල එම් එස් ටයිප් එකෙන් ගියානම් හරි. ඒ ශෛලියම ඕනෑත් නැහැ. මිනිහ දක්ෂයෙක් කියල මමත් හිතනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමහරි අන්තිමේදී කලාව කියන්නෙ මොන විදියකින් හරි එන්ටර්ටේනින් වෙන්න ඕනනෙ.
      රසය විවිධාකාර වෙන්න පුළුවන්.

      Delete